හදවත නැවතුණ සඳවත

 ඡායාරූපය:

හදවත නැවතුණ සඳවත

ඇය දේවියකි. කලාවට සරස්වතී දේවියට වැඳුම් පිදුම් කරන ජනයා  වරෙක ඇය හැඳින්වූවේ ඉන්දියාවේ ජීවමාන සරස්වතිය ලෙසය. තෙලිඟු සිනමාවෙන් දකුණු ඉන්දීය දමිළ සිනමාවටත් අනතුරුව හින්දි සිනමාවට විත් නිවීයන තාරකා අතරේ දේවියක් නැතිනම් දෙවඟනක් මෙන් ආදරය ලබන්නට තරම් ඇයගේ ජවය ජීවමාන විය. ඇය ශ්‍රී දේවියයි. ඉන්දීය සිනමා නිළියක වුවද ආසියානු සිනමාවේ නියෝජනයක් හැටියට සිය රැඟුමින් ලෝකය වශී කරන්නට ඇය සමත්කම් දක්වන්නියක වූවාය.   

ඉන්දීය සිනමාවේ පළමු සුපිරි නිළි තාරකාව වන්නී ඉන්දීය සිනමාවේ විශිෂ්ටයන් අගයන 'ෆිල්ම් ෆෙයාර්' සම්මාන උළෙලේ සම්මාන පහකට උරුමකම් කී තැනැත්තියක වූ ඇය ඊයේ (24) සියලු හදවත්වල සුසුම් නංවමින් සිය තාරකා දෑස් වසා ගත්තාය. අසූව හා අනූව දශකවලදී ඉන්දියාවේ වැඩිම අදායමක් ඉපැයූ නිළිය වශයෙන් හැඳින්වුණේ ශ්‍රී දේවියයි.   

නාගීනාහි ඇගේ ජවසම්පන්න රැඟුමත්, මිස්ටර් ඉන්ඩියාහි සැවොම කැළඹූ දෑසත් කිසිවකුට අමතක වන්නට නොහැක.  

1963 අගෝස්තු 13වැනිදා ශ්‍රී අම්මා යන්ගර් අයියප්පන් නමින් නීතිඥ අයියප්පන්ටත් ඇගේ බිරිඳ රාජේශ්වරීටත් දාව උපන් ඈ ශ්‍රී දේවී නමින් දෙමළ, තෙලිඟු, හින්දි, මලයාලම් හා කන්නඩ භාෂාවලින් නිෂ්පාදනය කෙරුණ චිත්‍රප්පටිවලට දායක වූවේ ළමා නිළියක හැටියටය.   

1969 දී එම්. ඒ. ත්‍රිමගම්ගේ තුනෛවාන් චිත්‍රපටියේ ළමා රංගන ශිල්පිනියක ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹන විට ශ්‍රී දේවි වයස අවුරුදු 06ක දැරිවියකි. එතැන් සිට ළමා නිළියක හැටියට දෙමළ, තෙළිඟු, මලයාලම් හා කන්නඩ චිත්‍රපටිවලට දායක වන්නට තරම් ඇගේ භාෂා හැකියාව ඉහළ විය. 1975දී හින්දි සිනමාව එනම්, බොලිවුඩයට ඈ පය තබන්නේ 'ජූලී' චිත්‍රපටියෙනි. 1976දී වයස අවුරුදු 13දී ඈ වැඩිහිටි චරිතයකට පණ පොවන්නේ 'මූන්ඩෘ මුඩිචු' යන චිත්‍රපටියෙනි. එසේ වුවද ඈ ස්ථාවර නිළියක වශයෙන් රංගනයෙන් දායක වූයේ දෙමළ හා තෙලිඟු සිනමාවේ පමණි. වයතිනිල්, සිංගප්පු රෝජාකල්, වරුමයින් නීරම් සිවප්පු, මීන්දුම් කෝකිලා, ප්‍රේමාභිෂේකම්, මූන්ඩ්‍රම් පිරායි, ආකාරි පොරටම්, ජගදේකා වීරුදු අතිලෝක සුන්දරායි, ක්ෂාණ ක්ෂාණම් යන දමිළ චිත්‍රපටිවල අනූව දශකය ආරම්භ වන තුරුම ශ්‍රී දේවී රංගනයෙන් දායක වූවාය.   

1979දී සෝල්වා සාවන්හි රඟපාමින් හින්දි සිනමාවේ වැඩිහිටි චරිත සඳහා දායක වීම ආරම්භ කළ ශ්‍රී දේවි 1983දී හිම්මත්වාලා චිත්‍රපටියට දායක වන්නී සිය නම හින්දි සිනමාවේ සලකුණු කරන්නට සමත් වූවාය. වාණිජ වශයෙන් සාර්ථක වූ මවාලි, තෝෆා, නාය කදම්, මක්සත්, මස්තෙර්ජි, නස්‍රානා, මිස්ටර් ඉන්ඩියා, වක්ත් කි ආවාස්, චාන්දනී යන චිත්‍රපටි ශ්‍රී දේවිගේ ජීවිතය මෙන්ම හින්දි සිනමාවද ආලෝකවත් කළ නිර්මාණය විය.   

හින්දි සිනමාවේ සාර්ථක හා අති ජනප්‍රිය වූ සද්මා, නාගිනා, චාල්බාස්, ලම්හේ, ඛුදා ගවාහ්, ගුම්‍රාහ්, ලාඩ්ලා, ජුදායි යනාදී චිත්‍රපටිවල 1997 දක්වාම ඇය චරිත නිරූපණය කළාය.   

අනතුරුව ඈ චිත්‍රපටි රංගනයට දිගු විරාමයක් තැබුවාය. 2004-2005 වර්ෂවලදී මාලනී අයියර් යන පුංචි තිරයේ ටෙලි චිත්‍රපටියකට දායක වූ ඇය යළි හින්දි සිනමාවට පා තැබුවේ අති සාර්ථක 'ඉංග්ලිශ් වින්ග්ලිශ්' චිත්‍රපටියෙනි. 2017දී 'ත්‍රිලර් මම්' හි රඟපාමින් ශ්‍රී දේවිය පැවසුවේ ඈ ඇගේ සිනමා ජීවිතය අලුතින් පටන් ගත්තාක් මෙන් ඇයට දැනෙන බවය.   
ෆිල්ම් ෆෙයාර් සම්මාන හැරෙන්නට ශ්‍රී දේවි 2013දී ඉන්දියාවේ ඉහළම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානය දිනා ගත්තීය. ඉන්දීය සිනමා කර්මාන්තයට දායක වෙමින් රටක් පිනවීමට ඈ දැක්වූ මහඟු කර්තව්‍ය වෙනුවෙන් ඇයට එම සම්මානය පුදන බව එවකට ඉන්දීය රජය නිවේදනය කළේය.   

සීඑන්එන් හා-අයිබීඑන් කළ සමීක්ෂණ ඇසුරින් සියවසක් තුළ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම නිළිය බවට ශ්‍රී දේවි නම් කෙරිණි. ඇය සිනමාව හා සම්බන්ධ නොවූ කාලයේදී මෝස්තර නිරූපණයටත් චිත්‍ර ඇඳීමටත් උනන්දුව දැක්වූවාය. චිත්‍ර ඇඳීමෙන් ඈ ලද ආදායම අනාථ දරුවන්ගේ සුභසාධනය සඳහා ශ්‍රී දේවී යෙදවූ බව බොහෝ දෙනා දන්නා කරුණකි.   

ශ්‍රී දේවි හින්දි සිනමාවට පිවිසෙන විට එහි ප්‍රමුඛ පෙළේ රංගන ශිල්පිනියක වූ රේඛා සමග දැඩි තරඟයක් තිබිණි. අනතුරුව ඇයට පසුව සිනමාවට ආ මාධුරී ඩික්ෂිත්, ජුහී චව්ලා, කරීෂ්මා කපූර් හා දිව්‍යා භාරතීගෙන් ශ්‍රී දේවිට ආ තරඟය ඉන්දියාවේ උණුසුම් පුවත් මවන්නට විය. මධුරී ඩික්ෂිත්ටද ශ්‍රී දේවිටද වඩා හොඳින් නර්තනයේ යෙදිය හැක්කේ? යන පැනය හින්දි සිනමාව ගැන විචාර විවේචන සිදුවන බොහෝ තැන්වලදී මතු විය.   

මේ දෙදෙනාටම අභියෝග කරන්නට හැකියාව තිබූ සුන්දර දිව්‍යා භාරතී සමග ශ්‍රී දේවිට තිබුණ තරඟය ඉතා සීතල එකක් විය. දිව්‍යා භාරතී අභිරහස් ලෙස සිය නිවසේ උඩුමහලින් ඇද වැටී මියගිය ඉක්බිති ඈ විසින් අඩක් රඟ පා නිම කරන ලද ‘ලාඩ්ලා‘ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය හිමි වූයේ ශ්‍රී දේවිටය. ශ්‍රී දේවිට වැඩිම තරඟයක් දුන්නද දිව්‍යාට වඩා ශ්‍රී දේවි ලාඩ්ලාහි චරිතය වඩා උද්යෝගයෙන් රඟපෑ බව චිත්‍රපටියේ දෙදෙනාගේ සමාන ජවනිකා සසඳන කල දැකිය හැකිය. ඇගේ සැමියා වශී වූයේ ශ්‍රී දේවිගේ මේ උණුසුම් රංගන හැකියාව හා ඇගේ සරල කමට බව ඔහු රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින් මෑතකදී පැවසුවේය.   

ශ්‍රී දේවිගේ සිනමා දිවියට දිගු විරාමයක් තැබුණ වකවානුව ඇගේ පෞද්ගලික දිවියේ සිදුවූ හැළහැප්පීම් හා එහි සිදු වූ වෙනස්කම් ඇසුරෙන් වූ බව පැහැදිලිව දකින්නට ලැබිණි.   

ඇය සිය විවාහය බොලිවුඩයේ අනෙක් නිළියන් මෙන් ප්‍රසිද්ධියේ සමරන්නට ක්‍රියා නොකළ අතර ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ධනවත් චිත්‍රපටි නිෂ්පාදකවරයකු වන බොනී කපූර් සිය සැමියා වශයෙන් තෝරා ගන්නට ශ්‍රී දේවි තීරණය කළාය. මිථුන් චක්‍රබෝර්ති, කමල් හසන්, අනිල් කපූර්, යනාදී නළුවන් සමග ශ්‍රී දේවිගේ නම ඈඳුණු අතර ඔවුන් සමඟ ආදර සම්බන්ධතා පැවති බවත් බොහෝ අවස්ථාවලදී ශ්‍රී දේවිගේ සිත් රිදීම්වලට මුහුණ දුන් බවත් එවකට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.    
හින්දි සිනමාවට අලුතින් ආ කැඩුණු ඉංග්‍රීසියෙන් කතා කරන පුංචි කෙල්ලක වූ ඇය හින්දි සිනමාව ජය ගත් හැටි තමන් බලා සිටි බවත් ඇයට අදටත් පිස්සුවෙන් මෙන් තමන් ආදරය කරන බවත් බොනී කපූර් මෑතකදී ප්‍රසිද්ධියේ පැවසීය.  

2011 වර්ෂයේදී කරීනා කපූර් ශ්‍රී දේවිගේ කලා ජීවිතය පසසමින් 'ග්ලෝබල් ඉන්ඩියන් ෆිල්ම් අවෝඩ්ස්' හි නර්තනාංගයක් ඉදිරිපත් කළාය.
ශ්‍රී දේවිගේ දෙටු දියණිය ජාන්වීගේ පළමු චිත්‍රපටිය තවමත් තිරගත වී නැත. ඇය නිසි කල වයසට එනතුරු රංගනයට යොමු නොකිරීමට ශ්‍රී දේවි වගබලා ගත්තාය. අනතුරුවය දෙටු දියනිය ජාන්වී කපූර් හින්දි සිනමාවට පය තබන්නේ. ජාන්වීගේ පළමු චිත්‍රපටියේ රඟපෑම් හේතුවෙන් ඇය මේ දිනවල පවුලේ අය සමඟ සම්බන්ධ නොවී චිත්‍රපට රූගතකිරීම්වලට සහභාගි වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. එවැනි මොහොතකය මෙවැනි දෙයක් සිදුවුණේ. ශ්‍රී දේවිට සිය දියණියගේ පළමු රංගනයේ ගුණ දොස් දකින්නට නොහැකි විණි. හදිසි හෘදයාබාධයක් ඇය වැළඳගෙන තිබුණේ සැමගේ හදවත් කම්පා කරමිනි.  

ඉන්දියාවේ නළුවකු නොමැතිව චිත්‍රපටි සාර්ථක කරගැනීමට හැකි වූ නිළියන් පස් දෙනා අතරින් එක් අයකු වන්නට සමත් වූ ශ්‍රී දේවි පසුගියදා සිය ඥාති දියනියකගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වී සිට අනතුරුව සිය සැමියා, බාල දියනිය ඛුෂි සමග ඩුබායිහි නැවතී සිටියදී පෙරේදා (24) සිය කාන්තිමක් දෑස් සදහටම පියා ගත්තාය.   

නාගිනාහි ඇගේ නර්තනය, ලාඩ්ලා ච්ත්‍රපටියේ ඇගේ දෑස්වල තිබූ කාන්තිය, මිස්ටර් ඉන්ඩියාහි ඇගේ සරාගී බව සිහිපත් කරමින් ඉන්දියාවේ නොවන බොහෝ දෙනාද විවිධ සටහන් සිය සමාජ මාධ්‍යවල පල කර තිබිණි. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍රසිං මෝදිගේ සිට රජිනි කාන්ත්, සචින් තෙන්දුල්කාර්, රාහුල් ගාන්ධි, ෂාරුක් ඛාන්, ලන්ඩන්හි නගරාධිපතිවරයා ඇතුළු විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින් සිය පෞද්ගලික ශෝකී අදහස් පළකර තිබිණි.   

මිස්ටර් ඉන්ඩියාහි 'බිජ්ලී ගිරානී' ගීතයේ කියන පරිදි හවායිහි සුළඟක් මෙන් ශ්‍රී දේවී නික්ම ගොසිනි. ඇගේ නික්ම යාම ඈ ගැන මතකය යළි අවදි කළාක් මෙන්ම ඈ අමතකව ගිය අයට ඈ තමන්ව යළි සිහිපත් කළාය. සැබවින්ම ඈ මියැදුණා නොව යළිත් වරක් දහස් ගණනකගේ හදවත් තුළ ඉපදුණාය. ඒ අනෙකෙකු නොව ශ්‍රී දේවියයි. 

මාතෘකා