දේශපාලනයේ තරු මුහුණු

 ඡායාරූපය:

දේශපාලනයේ තරු මුහුණු

ජනතා පරමාධිපත්‍ය යනු මේ වෙද්දී නිතර දෙවේලේ සතර අත ඇසෙන මාතෘකාවකි. තමන් පාලනයටත්, තමන් නියෝජනයටත් අයකු පත්කර ගැනීම සඳහා සිය ශුද්ධවූ අයිතිය පාවිච්චි කරමින් කටයුතු කරන ජනතාව තමන් ඇළුම් කරන තැනැත්තා, තැනැත්තිය තෝරාගැනීමට කටයුතු කිරීම මැතිවරණයකදී දකින්නට ලැබෙන්නේය. ජනතා පරමාධිපත්‍ය යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. දේශපාලනයට එන්නට ලේසි නැත. ඒ ඇවිත් ලොකු පුටුවකට යාමත් ඊට වඩා ලොකු වැඩකි. දේශපාලනයේ පමණක් නියැලී පරාද වන බොහොමයක් මිනිසුන් අතරේ ධනයෙන්, බලයෙන් හෝ සිය තරු ගුණයෙන් ජය ගැනීම මේ වෙද්දී දේශපාලනය තුළ සුලභ සිද්ධියකි.  

ජන මනස විවිධ කලා කෘතිවලින් පිනවන්නට ආසියාතිකයින් පුරුදුව සිටීම හේතුවෙන් දේශපාලනයට අලුත් මුහුණු වෙනුවට තරු මුහුණු ගෙන එන රටවල් අතරේ ආසියානු කලාපය ඉදිරියෙන් සිටී. ජනතාව තිරය මත දකින රංගන ශිල්පීන් දේශපාලනය තුළද විශ්වාසනීයව කටයුතු කරාවි' යන විශ්වාසය හේතුවෙන් මෙම තත්ත්වය වර්ධනය වී ඇතැයි අනුමාන කළ හැකිය.  

ඒ සඳහා ළඟම ආදර්ශය සැපයෙන්නේ අසල්වැසි ඉන්දියාවෙනි. ඒ ඉන්දියාවේ තමිල්නාඩු මහඇමතිනිය ලෙස පත්වී වැඩිම කාලයක් එම ධුරය හෙබවූ ජයලලිතා ජයරාම් හේතුවෙනි. ඉන්දියාවේ කෝමලවල්ලි ගම් පළාතේ ඉපදුණු ඇය ඉන්දීය ජනතාව වසඟකළ දමිළ සිනමාවේ රංගන ශිල්පිනියක වූවාය. 1991 සිට 2016 දක්වා පස් වතාවක් ඇය තමිල්නාඩුවේ මහඇමතිනිය වශයෙන් පත්වෙමින් 1989දී 'ඕල් ඉන්ඩියා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම්' පක්ෂයේ මහලේකම් ධුරය හෙබවූ ඇය සිය දේශපාලන දිවිය තුළදී 'අම්මා' නමින් හැඳින්වුණාය.   

ජයලලිතා කී පමණින් ඇගේ නම සමඟ කියවෙන එම්. ජී. රාමචන්ද්‍රන් හෙවත් එම්. ජී. ආර්.ද ඉන්දීය දමිළ සිනමාව මෙන්ම දේශපාලනය තුළ අදටත් ආදර ගරු බුහුමනට ලක්වන්නෙකි. ඔහු අදටත් ඉන්දීය සිනමාවේ පූර්වාදර්ශයක් වන අතර වසර 10ක් තමිල්නාඩුහි මහ ඇමති වූයේය. 'මක්කල් තිලහම්' හෙවත් ජනතාවගේ වීරයා වශයෙන්ද විරුදාවලි ලැබූ ඔහුගේ අභාවයෙන් අනතුරුව, ඔහු සමග ප්‍රේමයෙන් වෙළී සිටි ජයලලිතා 'ඕල් ඉන්ඩියා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම්' පක්ෂය මෙහෙයවීමට ඉදිරියට පැමිනියාය.   

ආර්නෝල්ඩ් ස්වසනේගර් - ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පියා ඇමරිකා එක්සත් ජනපදයේ වෘත්තීය කායවර්ධන ශිල්පියෙකු වේ. 'කෝනෑන් ද බාර්බේරියන්' පුරාවෘත්ත චිත්‍රපටියේ ප්‍රධාන චරිතයෙන් ලොවක් වසඟ කළ ආනෝල්ඩ් හොලිවුඩයේ ක්‍රියාදාම චිත්‍රපටි වීරයකු වේ. ජේම්ස් කැමරන්ගේ 'ද ටර්මිනේටර්' චිත්‍රපටි මාලාවේද රඟපෑ ආනෝල්ඩ්, කමාන්ඩෝ, ද රනින් මෑන්, ප්‍රෙඩේටර්, ටෝටල් රීකෝල් වැනි ජනප්‍රිය සිනමා නිර්මාණවලටද ආනෝල්ඩ් දායක විය. මේ වන විට ඔහු කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධුරය හොබවන්නේ 'රිපබ්ලිකන්' පක්ෂය නියෝජනය කරමිනි.   

රුසියාවේ සිනමා නළුවකු වූ මිහායෙල් යෙව්දොකිමොව්හ සිය කලා ජීවිතය අතහැර එරට අල්තායි ක්‍රායි ප්‍රදේශයේ ආණ්ඩුකාරයා බවට පත්වූයේය.   

පාකිස්ථානයේ ෆව්සියා වහාබ්, අතීකා ඕදෝ යනාදීන්ද මේ ආකාරයෙන්ම සිය සිනමා ජීවිතය තුළ ලබන කීර්තිය අතහැර දේශපාලනයට ආ අය වෙති.   

කලාකරුවන් - දේශපාලඥයින් බවට වූ දීර්ඝම ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමි වන පිලිපීනයේ සුපිරි සිනමා නිළියක වූ විල්මා සැන්ටෝස් 2007 වර්ෂයේදී එරට බටනගාස් හි ආණ්ඩුකාර ධුරයට පත්වූවාය. පිලිපීන සිනමාවේ හා පුංචි තිරයේ සදාකාලික තාරකාවක් වශයෙන් ඇය හැඳින්වෙන්නීය. ළමා රංගන ශිල්පිනියක වශයෙන් සිනමාවට ආ විල්මා දේශපාලනයට පැමිණීම පිළිබඳව එවකට බොහෝ දෙනා විමතිය පල කළ බවද කියවේ.   

කලාකරුවන් දේශපාලනයට ආ දීර්ඝම ලයිස්තුව හිමි ඉන්දියාවේ අමිතාබ් බච්චන්, රාජේශ් ඛන්නා, රජිනි කාන්ත්, සංජේ දත්, ශබානා ආස්මි, ස්ම්‍රිති ඉරාණි, සුරේශ් ඔබරෝයි හා විනෝද් ඛන්නා ශ්‍රී ලංකාවේද ජනප්‍රිය තාරකාවන් වේ.   

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා, රන්ජන් රාමනායක, ජීවන් කුමාරතුංග, මාලිනී ෆොන්සේකා, උපේක්ෂා ස්වර්ණමාලිනී, අනාර්කලී ආකර්ෂා, ගීතා කුමාරසිංහ වැනි අය කලාකරුවන්ව සිටි අය අතර ඇතැමකු තවමත් සිය රංගන කටයුතුවල නියැලෙති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද දේශපාලනයේ යෙදෙන අතර වරින් වර නළුකමේ නියැලුණු අවස්ථා තිබිණි. කොළඹ පළමු පුරපතිනිය බව ප්‍රකාශ කෙරුණ රෝසි සේනානායකද රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් හා හිටපු ලෝක රූ රැජිණක් වූවාය.   

ලංකාවේ අගනුවර පුරපති පුටුවට ඒම ලේසි පහසු දෙයක් නොවේ. එයද කාන්තාවකට කිසිසේත්ම පහසු එකක් නොවන්නේ බලය සඳහා අරගල කිරීමේදී නාරිදේහය පමණක් නොව පිරිමින් හා උරෙනුර ගැටීමේ පෞරුෂයත්, ජනතාව පිළිගන්නා තරමට ඔවුන් අතරට යා යුතු වීමත් හේතුවෙනි. ඇගේ ගමන රෝසි පිළිබඳ සලකුණු තබන්නේ දේශපාලනයට විත් එය ජයගත් හුදු තැනැත්තියක් වශයෙන් පමණක් නොව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් කලා ලෝකය තුළින් දේශපාලනයට ආ කාන්තාවක් හැටියටය.   

දේශපාලනය යනු කීර්තියෙන් තොර ක්ෂේත්‍රයකි. හැම අතින්ම දෝෂාරෝපණ එල්ල වන ස්ථානයකි. එසේ වුවද මිනිසුන්ට සේවය කිරීමේ වගකීමෙන් කිසිවකුට බැහැර විය නොහැකිය. මේ සියල්ල ජය ගෙන සාර්ථක දේශපාලඥයින් වී සිටින්නේ ලෝකයෙන්ම බොහෝ අඩු සංඛ්‍යාවකි. එනම්, ජනතා දෝෂාරෝපණවලින් තොර ලොකු පුටුවලට ආ දේශපාලඥයින් ඉතා අඩුය. ඇතැම් විට එය එසේ වන්නේ රංගනයේ තරමට බොහෝ රංගන ශිල්පීන් දේශපාලනය හරිහැටි නොකරන නිසා වියයුතුය. 

මාතෘකා