අඩ සියවසක් අලි ඇතුන් ‘ඇන්දවූ’ ක්‍රිෂ්න්චන්ද් චන්දිරම් තදානි

 ඡායාරූපය:

අඩ සියවසක් අලි ඇතුන් ‘ඇන්දවූ’ ක්‍රිෂ්න්චන්ද් චන්දිරම් තදානි

"පෙරහැර" යන්න සවන් වැකුණු සැණින් අපේ සිහියට එන්නේ, පෙරහැරේ ගාම්භීරත්වය තීව්‍ර කරන අලි ඇතුන්ය. පෙරහැරේ යන අලි ඇතුන්ගේ තේජස ඔප් නැංවෙන්නේ, ඔවුන් සැරසී සිටින නේක වර්ණයෙන් අලංකෘත ඇඳුම් ආයිත්තම්වලිනි. අලි ඇඳුම් මැසීම සුවිශේෂ කලාවකි. දුලබ එමෙන්ම දුෂ්කර ශිල්පයකි. එම ශිල්පයෙහි කෙළපැමිණි නිර්මාණ ශිල්පියකු වන ක්‍රිෂ්න්චන්ද් චන්දිරම් තදානි, ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ට ඇඳුම් මැසීමේ කලාවේ පුරෝගාමියාය. වසර 50ක් තිස්සේ, මහනුවර දළදා පෙරහැරේ අලි ඇතුන්ට ඇඳුම් නිර්මාණය වන්නේ ඔහු අතිනි.

අමුතු නමක් තියන කවුද ඔබ?
මම ක්‍රිෂ්න්චන්ද් චන්දිරම් තදානි. හැමෝම මට කතා කරන්නෙ තදානි කියලා. ඒක මගේ පෙළපත් නාමය. මම උතුරු ඉන්දියාවෙ සින්ධි ජාතිකයෙක්.

තදානි ලංකාවත් එක්ක ගනුදෙනු කරන්න පටන්ගත්ත තැනින්ම කතාව පටන් ගනිමු?
මගේ තාත්තා තමයි ලංකාවත් එක්ක ගනුදෙනු කරන්න පටන්ගත්තේ. තාත්තාගෙ නම එම්. චන්දිරම්. තාත්තා උතුරු ඉන්දියාවෙන් ලංකාවට ආවා. ඇවිත් කොළඹ ව්‍යාපාරයක් පටන්ගත්තා ලංකාවේ මහත්තයෙක් එක්ක. ඒ ඉන්දියාවෙන් සාරි ලංකාවට ගෙනැවිත් විකුණන එක. මේ කාලේ තාත්තාට අවසර ලැබෙනවා ලංකාවේ වලව්වලට ගිහින් එහෙ කුමාරිහාමිලාට සාරි විකුණන්න. එතකොට අද වගේ වාහන තිබුණේ නැහැ. බක්කි කරත්ත තිබුණේ. ඉතින් තාත්තා බක්කි කරත්තෙන් මහනුවරට ගිහින් ටික කාලයක් ව්‍යාපාරය කරගෙන යද්දි "චන්ද්‍රා සිල්ක් හවුස්" කියලා කඩයක් පටන්ගත්තා.

එතකොට ඔබ ඉපදෙන්නෙ මහනුවර?
ඔව් මම ඉපදුණෙත් මහනුවර හැදුණෙ වැඩුණෙත් මහනුවර. මගේ ගම මහනුවර අස්ගිරිය. මගේ අම්මාත් ඉන්දියවේ සින්ධි ජාතික කාන්තාවක්. මගේ පවුලේ පිරිමි ළමයි අටදෙනයි, ගැහැනු ළමයි අටදෙනයි. ඔක්කොම දාසය දෙනෙක්. මම දහතුන්වෙනියා. මම ඉගෙන ගත්තේ මහනුවර සිල්වෙස්තර විද්‍යාලයෙන්. අටේ පන්තියේ විභාගෙ ලියන්න බැරි වුණා බොක්සින් තරඟෙකදි වුණු තුවාල නිසා. ඉතින් තාත්තා කිව්වා මට "දැන් ඉගෙන ගත්තා ඇති මගේ බිස්නස් ටික බලාගන්න" කියලා.

නුවර පෙරහැරේ අලි ඇත්තුන්ට ඇඳුම් මහන්න හිතෙන්නෙ මේ අතරෙද?
ඔව්. මේක පරම්පරාවෙන් ආපු දෙයක් නෙමෙයි. මගේ අත්හදා බැලීමක්. මම පොඩි කාලේ ඉඳන්ම මහනුවර ඇසළ පෙරහැර බලන්න යනවා. ඒ කාලෙ අලින්ට ඇඳුම් හදන්නෙ බෙඩ්ශීට්වලින්. ලණු ඇදලා රෑන්වලින් තමයි ඇඟට තියලා බඳින්නෙ. හොඬවැලට දාන නෙත්ති මාලෙයි කණ්ජෝඩුවයි සෙටින් රෙද්දෙන් මහලා පිත්තල කෑලි අල්ලලා සරසනවා. ඒක බුරුම ඇඳුමක්. ඒක අලියාට හරිම අපහසුයි. මම කල්පනා කළා අලියෙක්ට ඇඳුමක් හදන්න ඕනේ කියලා. එතකොට මගෙ අවුරුදු 22ක් විතර ඇති. මම රෙදිවලින් ඇඳුමේ ආකෘතියක් හැදුවා. මට ඕනේ වුණේ අලියාට ලණු බඳින්නෙ නැතුව ඇඳුමක් හදන්න.

කොහොමද ඒ ඇඳුම නිර්මාණය කරන්නෙ?
හරියටම ඒ 1970දි. අර ආකෘතිය හදලා ඒකට කොට්ට පුළුං මැඳට දාලා නෙළුම්මල් එම්බෝස් කරලා සීක්වීන්ස් අල්ලලා හැඩ කළා. එතකොට මාළිගාවෙ දියවඩන නිලමෙ උඩුරාවණ මහත්තයා. දළදා කරඬුව වඩම්මන රාජා හස්තිරාජයාට තමයි ඒක මුලින්ම ඇන්දුවෙ දළඳා පෙරහැරට. එදා ඉඳන් අද වනතුරු අවුරුදු 50කට කිට්ටු වෙන්න රන්දෝලි පෙරහැරටයි සතර දේවාලෙ පෙරහැරවලටයි අලි ඇත්තුන්ට ඇඳුම් මහන්නෙ මගේ අත්දෙකෙන්.

ඔබ ඇඳුම් නිර්මාණය කරපු කරඬුව වඩම්මපු හස්තිරාජයන්ගෙ නම් කිව්වොත්?
රාජා, ස්කන්ධ, අම්පිටියේ රාජා, මාවනැල්ලෙ ඇතා, ගංගාරමේ ඇතා, කෝට්ටෙ ඇතා, ඉන්දි රාජා, තායි රාජා, කතරගම වාසනා, නැඳුන්ගමුවෙ රාජා. අපි කොහොමත් හොඳම ඇඳුම මහන්නෙ කරඬුව වඩම්මන ඇතාට තමයි.

මේ අතරින් කැමැත්තෙන්ම ඇඳුම් නිර්මාණය කරපු හස්තිරාජයෙක් ඉන්නවාද?
මම වැඩියෙන්ම ඇඳුම් හැදුවෙ රාජාටම තමයි. රාජා අවුරුදු 87ක් ජීවත් වුණා. ඒ නිසා වැඩියෙන් ඇඳුම් හැදුවේ රාජාට තමයි. දැන් රාජාගෙ අනුරුවට අන්දවලා තියෙන්නෙත් මගේ ඇඳුමක්.

අලි ඇත්තුන්ට මහන ඇඳුමේ කොටස් ගැන විස්තරයක් කළොත්?
පළවෙනි කොටස ඇඟේ ඇඳුම. ඒක තමයි ප්‍රධාන කොටස. ඒක හදන්න තමයි වැඩි කාලයක් යන්නෙත්. අනිත් කොටස තමයි නෙත්ති මාලේ. ඒක දාන්නෙ හොඬවැලට. කන්දෙකට දාන කන්වසන් දෙක.

දැන් ඔබ නිර්මාණය කරන ඇඳුමෙ වෙනසක් තියෙනවාද?
දැන් අපි හදන ඇඳුම කෝට් එකක් දැම්මා වගේ ගාණට ඇඟට හරියනවා. ඒ වගේම රබර් ශීට් දාලා ශක්තිමත් කරනවා. ඒ වගේම ඉස්සරට වඩා ලස්සන වෛවාරණ පබළු සීක්වීන්ස් අල්ලලා හැඩ කරනවා. ඒවා තමයි පන්දම් එළියට දිලිසෙන්නෙ. ඒ නිසා බල්බ් දාන්නෙ නෙත්ති මාලෙට විතරයි.

අලින්ට ඇඳුම් මහන්න මිම්ම ගන්නෙ කොහොමද ?
මම අලින්ට ඇඳුම් මහන්නෙ මිනුම් අරගෙන නෙමෙයි. මට දැකපු ගමන්ම කියන්න පුළුවන් අලි ඇත්තුන්ගෙ මිණුම්. රාජා තමයි මම ඇඳුම් මහපු ලොකුම ඇතා. එයාට අඩි 11ක් උස ඇඳුමක් මහන්නෙ. "කතරගම වාසනා" ඒ තරන්ම උස නැති වුණත් වාසනාටත් අඩි 11ක ඇඳුමක් මහන්න ඕනේ. ඒ ඇරෙන්න සාමාන්‍යයෙන් අනිත් ඇත්තුන්ට අඩි 10ට ඇඳුම හැදුවාම ඇති.

මේ ඇඳුමක් නිර්මාණය කරන්න රෙදි කොච්චරක් විතර යනවාද?
ඕනෙම ඇතෙකුට අලියෙක්ට ඇඳුමක් මහන්න රෙදි මීටර් 80ක් ඕනේ. රෙද්ද කොටස් 9කට කඩලා මූට්ටු කරලයි මහන්නෙ. රෙද්ද හතර පොටක් දාලායි මහන්නෙ.

මේ ක්‍රියාවලියට කොයිතරම් කාලයක් ගත වෙනවාද?
ළමයි හත්දෙනෙක් වැඩ කරලාත් එක ඇඳුමක් මහන්න මාස 2 1/2ක් විතර යනවා. ඇඳුම ලොකු වුණාට පුංචි සියුම් දේවල්වලින් හැඩ කරන්නෙ. අපි වැඩ කරන්නෙ කුඩා කණ්ඩායම්වලට බෙදලා. ඒ ඒ කණ්ඩායම් නායකයන්ට මම උපදෙස් දෙනවා ඇඳුම නිර්මාණය වෙන්න ඕනේ කොහොමද කියලා.

මොනවාද ඇඳුම් නිර්මාණයට භාවිතා කරන සුවිශේෂ වර්ණ සංයෝගයන්?
ඒක අපිට ඕනේ විදිහට කරන්න බැහැ. ඒ ඒ දේවාලවලට විශේෂ වුණ පාට අනුව තමයි අලි ඇත්තුන්ට ඇඳුම් නිර්මාණය කරන්නෙ. නාථ දේවාලේට රත්තරන් කහපාට, විශ්නු දේවාලෙට නිල්පාට, කතරගම දේවාලෙට රතු පාට, පත්තිනි දේවාලෙට මෙරුන් පාට. ඒත් මාළිඟාවේ කරඬුව වඩම්මන ඇතාට ඕනේ පාටක් අන්දන්න පුළුවන්.

අලි ඇත්තුන්ට ඔබ නිර්මාණය කරන මේ ඇඳුමක මිල කීයද?
එක්ලක්ෂ හැත්තපන්දාහක් වෙනවා එක ඇඳුමක්.

ඔබ ඇඳුම් නිර්මාණය කරන්නෙ දළදා මාළිගාවෙ අලි ඇත්තුන්ට විතරයිද?
නැහැ. මට ඇණවුම් එන විදිහට ඕනේම තැනක අලියෙකුට ඇතෙකුට ඇඳුම් මහනවා. කතරගම පෙරහැර, මාතර දෙවුන්දර පෙරහැර, බෙල්ලන්විල පෙරහැර, ගංගාරාමේ පෙරහැර මේ හැම පෙරහැරකම අලි ඇත්තුන්ට ඇඳුම් මහන්න ඇණවුම් එන්නෙ මට.

මේ ඇඳුම්වලට ඇණවුම් එන කාලයක් තියනවාද?
දළදා පෙරහැර ඉවර වුණ ගමන්ම ඊළඟ අවුරුද්දට ඇණවුම් ලැබෙනවා. ඇණවුම්වලින් නම් මට අඩුවක් නැහැ. මිනිස්සු ඔක්කොම මාව තමයි හොයාගෙන එන්නෙ. හැබැයි මම කලබලේට එන ඇණවුම් භාරගන්නෙ නැහැ. මොකද මේක පිළිවෙළකට කරන්න කාලයක් ගත වෙනවා. නුවර KCC එකේ අධ්‍යක්ෂ තුසිත විජේසේන මහත්තයාගෙන් තමයි මට වැඩියෙන් ඇණවුම් ලැබෙන්නෙ අලි ඇත්තුන්ට ඇඳුම් මහන්න. අවුරුදු 22ක් තිස්සෙ ඉඳන්ම ඒ මහත්තයා මාළිගාවේ ඇත්තුන්ට ඇඳුම් පූජා කරනවා.

අවුරුදු 50කට ආසන්න කාලයක් මේ රාජකාරිය ඔබ කරනවා. මොකද හිතෙන්නෙ?
මට ඒ ගැන ගොඩක් සතුටුයි. මේක ලොකු භක්තියකින් කරන වැඩක්. ඒ වගේම පෙරහැරේ යන අලියෙක් සරසන එක ලොකු පිනක්. හින්දු ජාතිකයෙක් වුණාට මම හොඳ බෞද්ධයෙක්. මම මල්වතු අස්ගිරි මහනායක හිමිවරු හත්නමක් ළඟින්ම ඇසුරු කරපු කෙනෙක්. ඒ නිසා මේක හරිම සැදෑ සිතින් තමයි කරන්නෙ. මේක මට දෙවියන්ගෙන් ලැබුණ වරමක්.

පවුලෙ විස්තර කිව්වොත්?
මගේ බිරිඳත් ඉන්දියානු ජාතික කාන්තාවක්. නම රීටා තදානි. මට පුතෙක් ඉන්නවා. එයා පෞද්ගලික ආයතනයක සේවය කරනවා. එයාත් විවාහකයි. මට මිණිබිරියකුයි මුණුබුරෙකුයි ඉන්නවා. එයාලා හරිම හුරතල් වයසෙ ඉන්නෙ. එයාලා හැමෝමත් එක්ක මම සතුටින් ඉන්නවා.

තදානි කියන නම ලංකාවෙ ප්‍රසිද්ධ චරිතයක් ඉන්නවා?
ඔව්. ඒ මගේ අයියාගේ දුව. එයා තමයි සංගීතා තදානි බස්නායක කියන්නෙ. එයා ලංකාවේ ටෙලිනාට්‍ය නිළියක්.

අවසාන වශයෙන් ඔබට මොනවාහරි කියන්න ඇති?
මට දැන් වයස 80ක් වෙනවා. දැන් පෙරහැර බලන්නවත් යන්න බෑ මට. TV එකෙන් තමයි පෙරහැර බලන්නෙ. මගේ නෝනාගේ පවුලේ අය ඉන්දියාවේ කෝටිපතියො. ඒ අය අපිට ඉන්දියාවට එන්න කියනවා. ඒත් මම කැමති නැහැ යන්න. මම මැරෙනකන්ම අලින්ට ඇඳුම් මහනවා. අන්තිම හුස්ම ටික යනකන්ම මම මගේ රාජකාරිය කරනවා.

මාතෘකා