ජේ.ආර්.ගේ කලිසම බලන්න මහ සෙනඟක් රැස් වු හුණුකොටු හන්දිය | ඇස පාදන රැස


ජේ.ආර්.ගේ කලිසම බලන්න මහ සෙනඟක් රැස් වු හුණුකොටු හන්දිය

 ඡායාරූපය:

ජේ.ආර්.ගේ කලිසම බලන්න මහ සෙනඟක් රැස් වු හුණුකොටු හන්දිය

වේගයෙන් ආ පොලිස් ජීප් රථය තුන්මං හන්දියේ එකවර නතර කළේය. ක්ෂණයකින් ඉන් බැසගත් කොටකලිසම්, කාකි තොප්පි වලින් සැරසුණ පොලිස් නිලධාරීන් හන්දියේ තේ කඩයේ කණ්ඩි කොනක සිටි අලහකෝන් වෙත කඩා පැන්නේ විදුලි වේගයෙනි. එහෙත් අලකෝන් ඊට වඩා වේගවත් විය. ඔහු එල්ල කළ පා පහරින් එක් නිලධාරියෙකු විසි වී බිම වැටෙද්දී අලහකෝන්ගේ අත පය හතර අතට කැරකුණේ යන්ත්‍රයක් සේය. පහර පිට පහර වදිද්දී පැමිණි සියලු නිලධාරීන් තැන තැන ඇදවැටුණේ ජනතාව තූෂ්නිම්භූතව බලාසිටියදීය. ඒ සමගින් අලහකෝන් පැනගියේ දවසේ වීරයා බවට පත්වෙමිනි.‍   

ඒ ජනප්‍රිය සිංහල චිත්‍රපටයක දර්ශනයක් නොව මීට දසක හතර පහකට පෙර මාතර සුප්‍රසිද්ධ හුණුකොටු හන්දියේ සිදු වූ සත්‍ය සිදුවීමකි. මෙවැනි සිදුවීම් නිසා අතීත හුණුකොටු හන්දිය පොලිස් පොතට එක් කර තිබුණේ කළු පැල්ලම්ය. එහෙත් අද වන විට හුණුකොටු හන්දිය සුපතල ව්‍යාපාරයන්ද සහිත දියුණුවේ මාවතේ සිටින කුඩා නගරයක් බවට පත්ව ඇත්තේ පරම්පරා තුන හතරක ව්‍යාපාරික අත්දැකීම්ද සමගිනි.   

නම ලැබුණු හැටි   

මාතර රාහුල පාරත්, දැල්කඩ පාරත් බතූතා පාරත් එකිනෙක යාවෙද්දී ඒ දෙසට තේජාන්විතව නැමී තිබෙන අතුපතර විහිදී ගිය බෝධිරාජයා හුණුකොටු හන්දියේ සංකේතය බවට පත්ව ඇත්තා සේය. හුණුකොටු හන්දියට මේ නම ලැබුණේ කොහොමද?   

දොන් කරෝලිස් අබේරත්න වික්‍රමසිංහ හෙවත් හුණුකොටුවෙ පොඩි මහත්තයා මේ නමට මුල් වුණු පුද්ගලයාය. ටුවිට් රෙද්ද හා කෝට් එක හැඳ ගණට වැඩුණු උඩු රැවුල කරකවා තේජාන්විත පෙනුමෙන් යුතුව සිටි ඔහු, ප්‍රදේශයේ ප්‍රභූවරයකු ලෙස සැලකුම් ලද්දෙකි. පොඩි මහත්තයාගේ මුණුපුරු කාන්ත වික්‍රමසිංහ (64) ඒ අතීත කතාව මෙසේ සිහි කරයි.   

“ අපේ සීයගෙ ප්‍රධාන රැකියාව වුණේ හුණු පිළිස්සීමයි. පොල්හේනෙන් ගේන හුණු ගල් පුච්චන කොටු තිබුණෙ ඔය බෝගහට ටිකක් දුරින්. ඒ කාලේ හුණු කොටුවට අමතරව පොල් අතු කඩ කීපයක් තිබිල තියෙනව. එක පැත්තක කැලේ. මේ හුණු කොටුව නිසා තමයි ඔය තුන්මං හන්දියට හුණුකොටු හන්දිය කියල නම වැටිල තියෙන්නෙ”   

අවුරුදු අනූවකට වැඩි කාලයක් වික්‍රමසිංහ පවුල විසින් මෙම හුණුකොටුව පවත්වාගෙන ගොස් ඇති අතර විවිධ කාලයන්හි පරිසර ප්‍රශ්නද ඇතිව තිබේ. පරම්පරා තුනක ඇවෑමෙන් අද වන විට එම හුණුකොටුව ක්‍රියාත්මක නොවන්නේ පරිසර නීති දැඩි වීම නිසාය.   

කරත්ත නැවතුම   

හන්දියට එන ජනතාවගේ ප්‍රවාහන කටයුතු සදහා එදා තිබුණු එකම වාහනය ජේමිස් අප්පු මාමාගේ ගොන් කරත්තයයි. හන්දියේ කඩයකින් ගන්නා බඩු භාණ්ඩ ප්‍රවාහනය කරදීම ජේමිස් අප්පු මාමා කැපවීමෙන් කළේය. අය කළේද ඉතා සුළු මුදලකි. ජේමිස් අප්පු මාමා මෙහි නිත්‍ය සාමාජිකයා වුවද පිටස්තර ප්‍රදේශවලින්ද බොහෝ කරත්තකරුවෝ පැමිණියහ. ඒ එකල සිටි ව්‍යාපාරිකයන් කරත්තවලින් ගෙන එන භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස හුණුකොටු හන්දිය භාවිත විය. කරත්තකරුවන්ට පිදුරු මිටි අළෙවි කිරීමේ කඩයක්ද එකල විය. අද එම කඩය තිබූ ස්ථානයේ ඇත්තේ බයිසිකල් වින්කලයකි.   

මුල් කාලයේ තිබූ පොල් අතු කඩ ක්‍රමයෙන් වෙනස්වද්දී අලුත් ව්‍යාපාරිකයෝද හන්දියේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළහ. කොටවිල පොඩි මහත්තයා, ආරියපාල මුදලාලි, ප්‍රේමදාස මුදලාලි, තව්පික් මුදලාලි, ප්‍රැන්සිස් මුදලාලි, පීටර් මුදලාලි, ලොරි බොඩි අප්පුහාමි ඒ අතරය. වර්තමානය වන විට ඔවුනගේ දරුවන් මෙන්ම අලුත් ව්‍යාපාරිකයින් රැසක් හුණුකොටු හන්දියේ ව්‍යාපාර අරඹා ඇත්තේ මහල් ගොඩනැගිලිද සමගිනි. සුපතල හරිස්චන්ද්‍ර කර්මාන්තායතනයද ඒ අතර ඇත. එදා කේන්දර බලා තම අනාගතය ගැන, අපල උපද්‍රව ගැන ජනතාවට කියූ හා නිමිති ශාස්ත්‍රයෙන් හොරකම් ගැන කියූ ගුරුහාමි සිටි ස්ථානය අද හරිස්චන්ද්‍ර කර්මාන්තායතනයට අයත්ය.   

“ හන්දියෙ ආරක්ෂකයින් විදියට හිටියෙ ප්‍රේමදාස මුදලාලි හා තව්පීක් මුදලාලි. ඒ අය පිට කෙනෙකුට ඇවිත් හන්දියේ සද්ද දාන්න ඉඩ දුන්නේම නෑ. මුල් කාලයේ පොඩි වෙළෙන්දන් පාර අයිනේ තබාගෙන එළවළු විකුණා තිබෙනවා. පසුව ක්‍රමයෙන් ඒක තමයි මාර්කට් එකක් බවට පත් වුණේ. මට හොදට මතකයි ඒ කාලයේ මිනිස්සු මාර්කට් එකෙන් බඩු ගෙනගියේ පොල් අත්තෙන් සෑදූ කුරවලුවලට. එදා කුරවළු සාදා විකිණීමත් හොද බිස්නස් එකක්. එකක් ශත දහයයි.” ඒ කාන්ත වික්‍රමසිංහ මහතාගේ අතීත මතකයන්ය.   

71 වෙඩිතැබීම   

ඒ 1971 අප්‍රේල් හයවැනිදාය. අප්‍රේල් කැරැල්ල ආරම්භ වී දිනකි. ඒ වන විට එකොළොස් හැවිරිදි වියේ පසුවූ ආර්. පී මහින්ද මහතා අද පනස් අට හැවිරිදි වියේ පසුවෙයි. එම බිහිසුණු සිද්ධිය ඔහුට අද වගේ මතකය.   

“එදා හරියටම හරිස්චන්ද්‍ර ආයතනයේ සේවකයින්ගේ බෝනස් දවස. ගොඩාක් සේවකයින් බයිසිකල්වලින් ඇවිත් සිටියා. ඒ කාලයේ හරස්චන්දු ආයතනය වටේට ටකරන්වලින් තමයි ආවරණය කරල තිබුණෙ. ඒකෙ ගාල තිබුණෙ අළුපාට සායම්. ඒ නිසා කවුරුත් හිතන්නෙ තාප්පයක් කියල. ගේට්ටුව ළඟ ඉඳල හන්දිය පැත්තට බයිසිකල් ගොඩාක් නතර කර තිබුණා. එක පාරටම පොලිස් නිලධාරීන් පුරවාගත් ජීප් එකක් අවා. හන්දියේ නතර කළ ගමන් අර නවතා තිබූ බයිසිකල්වලට පොලිස් රාලහමිලා පයින් ගසා පෙරළා දමා අර බොනස් ගන්න ඇවිත් සිටි පිරිස එලවා දැමුවා. ඒ අතර එක රාලහමි කෙනෙක් දණ බිම තබා රයිෆලයකින් දුවන අය දෙසට වෙඩි තැබුවා”   

සිදු වන මේ මහා කලබලය බලන්න හරිස්චන්ද්‍ර එකේ ඇතුළෙ සිටි අප්පුහාමි ටකරමට උඩින් එබිකම් කරමින් සිටියා. තාප්පයක් යැයි සිතා අර පොලිස් රාලහමි ඒ දෙසටත් වෙඩි තැබුවා. වෙඩි පහර ටකරම පසාරු කර ගෙන ගිහින් අප්පුහාමිගේ පපුවට වැදුණා. එයා එතනම මිය ගියා. පව් ඒ අහිංසක මණුස්සය පාලටුව පැත්තෙ අයෙක්”   

ජේ. ආර්. ගේ කලිසම   

හිටපු අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාට එදා සිටි හුණුකොටු හන්දිය අවට ජනතාව මහත්සේ ආදරය කර ඇත. යම් අවශ්‍යතාවයකට ඩඩ්ලි සේනානායක මහතා මාතරට පැමිණියහොත් කෑමට හුණුකොටුවෙ පොඩිමහත්තයාගේ ගෙදරට ඒම පුරුද්දක්ව තිබුණි. අවට ජනතාව හා බැදීමක් ඇති වීමට මෙය හේතුවක්ව තිබුණි.   

මෙලෙස ඩඩ්ලි සේනානායක මහතා හා ජනතාව අතර තිබුණු බැදීම නිසා හුණුකොටුව හන්දියට නුදුරින් සිදුවූ අපූරු සිදුවීමක් පිළිබද කතාවක් ආර්. පී. මහින්ද මහතා මෙලෙස මතක් කළේය.   

“ ඩඩ්ලි සේනානායක මහත්තය මියගියේ මගේ මතකයේ හැටියට 1973 අප්‍රේල් 12 දින. මේ ආරංචියෙන් පස්සෙ ගමේ මිනිස්සු අවුරුද්දට කිරිබත් ඉව්වෙවත් නෑ. හරිම දුකෙන් හිටියෙ. මේ නිසාම ඩඩ්ලි සේනානායක මහත්තයගෙ තුන්මාසෙ පින්කමට හන්දියට ටිකක් දුරින් තියෙන ධර්මපාල මහත්තයගෙ වත්තෙ ටකරං මඩු ගහල හාමුදුරුවරු සියයකට මහා දානයක් දුන්නා. දානයට ජේ. ආර්. ජයනර්ධන මහතාත් ආවා. එයා කලිසමකුයි කමිසයකුයි ඇඳගෙන පරණ මැස්ඩා කාර් එකකින් තමයි ඇවිත් තිබුණෙ. ජේ. ආර්. මහත්තය ගැන අපේ ගමේ මිනිස්සුන්ගෙ හිතේ තිබුණෙ ජාතික ඇඳුම අදින කෙනෙක් විදියට. ඔන්න ජේ. ආර්. කලිසමක් ඇඳල ඇවිත් කියල ආරංචිය ගමේ ගියා විතරයි මහ සෙනගක් ජේ. ආර්. මහත්තය කලිසම ඇදල ඉන්නව බලන්න ආවා ”   

හුණු කොටුව හන්දියේ තේජාන්විතව තිබෙන මහා බෝධිරාජයා පිළිබදව ද ඇත්තේ රසපිරි කතා පුවතකි. විශ්‍රාමික ග්‍රාම නිලධාරී සරත් ගුණසේතර (64) මහතා ඒ කතාව මෙසේ විස්තර කළේය.   

හත් බෝධියේ කතාව   

“ මාතර ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයාවූ කුමාරදාස රජතුමාගෙ හොද යාළුවෙක් තමයි කාලිදාස කවියා. රජතුමා පෙම් කළ කාන්තාවක් සමඟ මේ කවියාත් සබඳතාවක් ඇති කර ගත්තා. මේ ගැන රජතුමාට දැනගන්න ලැබී කාන්තාව හමුවන්න කාලිදාස එන බව සැකහැර දැනගන්න උපක්‍රමයක් යෙදුවා. ඒ තමයි අර කාන්තාවගේ නිවසේ බිත්තියේ කවි පද දෙකක් ලියා ඉතිරි පද දෙක සම්පූර්ණ කරන කෙනෙකුට ඇතෙක් බරට වස්තුව දෙන බව කීම.   

“කාලිදාස කවියා කාන්තාවගේ නිවසට පැමිණි මොහොතේ කවිය දැක ඉතිරි පද දෙක සම්පූර්ණ කළා. වස්තුවට ලෝභ කළ කාන්තාව කලිදාස කවියා මරා නිවස පිටුපස වළදැමුවා. ඒ අතර රජතුමාත් පුරුදු පරිදි කාන්තාව හමුවන්න පැමිණියා. කවිය සම්පූර්ණ කර ඇති ආකාරය දැක ඒ පිළිබද විමසීමේදී තමා විසින් එය සම්පූර්ණ කළ බව කාන්තාව පැවසූවා. ඒ වන විටත් කාලිදාසගේ අතුරුදන් වීම රජතුමා දැනගෙන සිටියා. මේ පිළිබද සැකසිතූ රජතුමා කාන්තාවට තරවටු කරද්දී සත්‍ය සිදුවීම හෙළිවුණා. පසුව රජතුමා කාලිදාසගේ මිනිය ගොඩගෙන උයන්වත්ත ප්‍රදේශයේ දරසෑයක් සාදවා දේහය දවද්දී තම යාළුවාගේ වෙන්වීම දරාගත නොහැකිව රජතුමාද දර සෑයට පැන්නා. රජතුමාගේ මියයාම දරාගත නොහැකි වූ බිසෝවරු හත්දෙනාද දර සෑයට පැන සිය දිවි හානි කර ගත්තා. මෙන්න මේ බිසෝවරු හත්දෙනා සිහිවෙන්න පසුව බෝධි හතක් ස්ථාන හතක රෝපනය කළා. හත් බෝධිය ලෙසින් එය හැදින්වූවා. ඉන් එක් බෝධියක් තමයි මේ හුණුකොටු හන්දියේ තිබෙන්නෙ ”   

අඩ සිය වසකට පමණ පෙර තුන්මං හන්දියට ලැබුණු නම අදටද භාවිතයේ ඇතත් එදා තිබූ පොල් අතු කඩ හෝ මෙරට උළු සෙවිලිකළ කඩද ඇද නැත. දිනෙන් දින දියුණු වන හුණුකොට හන්දියේ පරණ මාර්කට් එක වෙනුවට දෙමහල් නවීන වෙළදපොළක් ඉදි වෙමින් පවතී. එදා තිබූ කුඩා තේ කඩ වෙනුවට හෝටල්ද කුඩා සිල්ලර කඩ වෙනුවට මහා පරිමාණයේ තොග කඩද හාඩ්වෙයාර් කඩ, සාප්පු බඩු, කුළු බඩු, බයිසිකල් කඩ මෙන්ම රට බීම හල්, නවීන නිවාස හා නවීකරණය වූ මාර්ගද හුණුකොටු හන්දියේ නූතන මුහුණුවර බවට පත් ව තිබේ. එහෙත් හන්දියේ අතීත මතකය තව බොහෝ කලක් පැරැන්නන් තුළ පවතිනු ඇත.

සටහන හා ඡායා [ජයසිරි පේදුරුආරච්චි]

මාතෘකා