කළු වලාවේ රිදී රේඛා දුටුවාද?

 ඡායාරූපය:

කළු වලාවේ රිදී රේඛා දුටුවාද?

අපි හැමෝටම ජීවිතේ හීන තියෙනවා. හැබැයි ඒ හීනය යථාර්ථයක් කරගත් අය ඉන්නේ ගොඩාක් සුළු ප්‍රමාණයක්. සමහර අය කියන දෙයක් තමයි "මගේ ජීවිතේට නම් ලැබිලා තියෙන්නේ ප්‍රශ්න විතරයි " කියන දේ. තමන්ගේ හීනය යථාර්ථයක් කරගත් අයගේ ජීවිතවලට ඒ වගේ ප්‍රශ්න ඇවිල්ලා නැද්ද? සමහර සාර්ථක මිනිස්සු දිහා බලන ගොඩක් අය හිතන්නේ "එයාලට මොන ප්‍රශ්නද?" කියලයි. ඒත් ඒ මිනිස්සු ඒ තත්ත්වයට ආපු විදිහ බැලුවොත් ඔබට පුදුම හිතේවි. එහෙම නම් එයාලටත් ඒ විදියට ප්‍රශ්න ආවනම් එයාලා කොහොමද දිනුවෙ? ඒ අයගේ ජයග්‍රහණ පිටුපස්සේ රහස් ගොඩාක් සැඟවිලා තියෙනවා. මේ කියන්න යන්නේ ඒ ගැනයි.

ඔබේ ජීවිතයට එන ප්‍රශ්න ගැටලු ඔබ ප්‍රශ්නයක්, ගැටලුවක් විදිහට දකින තාක්කල් ඔබට ඉදිරියට යෑම පහසු නැහැ. ඒ කියන්නේ ප්‍රශ්න එන්න එන්න ඔබ දුර්වල වෙනවා. අන්තිමට වෙන්නේ ඔබ ඔබේ සිහිනය අත්හරින එක. ප්‍රශ්නයක් ප්‍රශ්නයක් විදිහට නැතුව දකින්නේ කොහොමද? කියලා ඔබ සිතනවා ඇති. ජීවිතේ තමන්ගේ හීන ජයගත් බොහෝ දෙනෙක්ගේ එක රහසක් තමයි එන ප්‍රශ්න ප්‍රශ්නයක් විදිහට නැතුව අවස්ථාවක් විදිහට දැකපු එක. ජීවිතේට එන ප්‍රශ්න අවස්ථාවක් විදිහට දක්නවා නම් ඒඅවස්ථාව ලබාගන්න ඔබ උත්සාහ කරනවා. ඇත්තටම ඒක ඔයාගේ හීනයට යන්න උදවු කරන තීරණාත්මක දිනුම් කණුවක් වුණා නේද කියලා පස්සෙ දවසක ඔයාට හිතේවි. මේ කතාව අපේ සිංහල සාහිත්‍යය තුළ හරි ලස්සනට කියනවා. "ඕනෑම කළු වලාකුළක රිදී රේඛාවක් තියෙනවා" කියලා. වැදගත් වන්නේ ඔයාගේ ජීවිතේට එන ප්‍රශ්නවල තියෙන ඒ සැඟවුණ අවස්ථාවන් හඳුනා ගැනීමයි.

මේ කියන්න යන කතාවත් ඒ වගේ එකක්. 1992 ලෝක ඔලිම්පික් උළෙලේ මීටර් 400 දිවීමේ තරගාවලියේ එක් තරගකරුවෙක් වුණේ ඩෙරෙක්. ඔහු මෙම තරගයට සහභාගී වෙමින් සිටින අතරතුර ඔහු කකුලේ ආබාධයකට ලක්වෙනවා. ඔහුට තරගය දිගට ක්‍රීඩා කිරීමට නොහැකි වෙනවා. ඔලිම්පික් කියන්නේ ක්‍රීඩකයකුගේ ජීවිතේ තීරණාත්මක සිහිනයක්. තමන්ගේ පාදයේ සිදුවන ආබාධය ඔහුගේ එම සිහිනය බොඳ කරන්න හේතුවක් වෙනවා. ඔහු දැන් ඉන්නේ ලොකු ගැටලුවක. ඔබේ ජීවිතේ කාලයක් තිස්සේ දැකපු හීනයක් එය ළඟාකරගන්න ඔන්න මෙන්න තියෙද්දි නැතිවුණොත් ඔයාට මොනවා හිතෙයිද? ඩෙරෙක් තමන්ට ඇතිවූ ගැටලුව අවස්ථාවක් කරගන්නවා. වේගයෙන් දුවන්න බැරිවුණත් ඔහු නැඟී සිටිනවා. නොන්ඩි ගහමින් ඔහු ඉදිරියට යනවා. ඒ මෙහොතේ ප්‍රේක්ෂකාගාරයේ සිටි කෙනෙක් ඔහුගේ සහායට ක්‍රීඩා පිටියට දිව එනවා. ඒ තමයි ඔහුගේ තාත්තා. තමන්ගේ පියාගෙත් සහාය ඇතිව ප්‍රේක්ෂකාගාරයේ ඔල්වරසන් හඬ මැද ඔහු තරගය නිමාකරනවා. මේ කතාවේ හොඳම ටික තමයි අදටත් මේ තරගයේ ජයග්‍රාහකයා ගැන කවුරුත් කතාකරන්නේ නැහැ. නමුත් තරගය නිමාවෙලා මේ වෙනකොට වසර ගණනාවක් ගතවුණත් බෙරෙක්ගේ නම අදටත් හැමෝම කතාකරන නමක් වෙලා ඉවරයි. හැබැයි එදා ඔහුට පාදයේ ආබාධය ඇතිනොවුණානම් හෝ ඔහු තරගය නිමාකරන්න තීරණය නොකළා නම් ඩෙරෙක් කියන්නේ ඔලිම්පික් තරගයකට සහභාගී වූ තවත් එක් සාමාජිකයෙක් විතරයි.

ඩෙරෙක්ගේ මේ ජයග්‍රහණය ඇතුළේ නොකියවූ කතා තුනක් තියෙනවා. ඒ එක කතාවක් තමයි ඔහු තමන්ගේ ජීවිතේට ආපු ගැටලුව ගැටලුවක් විදිහට නැතුව අවස්ථාවක් විදියට දැකපු එක. ඒ වගේම තමයි ප්‍රශ්නයක් ආපු වෙලාවකදි ගැටලුව එක්ක නැඟිටින්න හැකියාව තියෙන්නේ තමන්ටමයි කියන දේ. එදා ඔහු පාදයේ ආබාධය කියලා නැඟී සිටින්නේ නැතුව සිටියානම් ඔහුගේ සහායට කවුරුත් එන්නේ නැහැ. නමුත් ප්‍රශ්නයක් එක්ක ඔයා නැඟිටිනකොට ඔයාට උදවු කරන්න අය ඉන්නවා. ඒ උදවු ලබාගන්න නම් ඔයාට ප්‍රශ්නෙට මුහුණ දෙන්නම වෙනවා. තුන්වැනි කාරණාව තමයි නිවැරදිම තීරණය නිවැරදිම මොහොතේ ගන්න එක. එදා ඔහු තරගය කොහොමහරි නිමාකරන්න ගත් තීරණය ඔහුගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වෙනවා.

හීනයක් යථාර්ථයක් කරගන්න නම් ඔයා ළඟ ඒ වෙනුවෙන් කැපවෙන්න පුළුවන් විය යුතුමයි. අපේ ජීවිතේ ඉලක්ක අපේ හිතට මුලින්ම එන්නේ හීනයක් විදිහට. ඔයා ඒ හීනය දකිනකොට ඒක හරිම සුන්දරයි. ඒ වගේම ඒක දිනාගන්න එක එතරම් අපහසු නැහැ. ඒ කියන්නේ එයා ඒ හීනය ජයගන්න දකින පාර සෘජුයි. නමුත් ඒ හීනයම යථාර්ථයක් කරගන්න යන ගමන ඒ තරම්ම සුන්දර වෙන්නේ නැහැ. හීනය ජයගන්න නම් වංගු, කඳු, පල්ලම් බොහෝමයක් පසුකරන්න ඔබට සිද්ධවෙනවා. ඒ හැම බාධකයක්ම ජයගත්තොත් විතරයි ඔබ ජයග්‍රාහකයෙක් වෙන්නෙ. ඕනෑම කළු වලාකුළක රිදී රේඛාවක් තියෙනවා. ජීවිතේ ගැටලු ඔබ දකින විදිහ වෙනස් කරගත්තොත් ඒ රිදී රේඛාව ඔබටත් පහසුවෙන්ම සොයාගත හැකිවේවි.

[මනෝ උපදේශිකා ඉවෝනි දිල්කි]

 

මාතෘකා