“මෙතන හොඳයි, ඒත් එතැනට ගියාම ඇස්වලට කඳුළු එනවා” නව ලග්ගල හද ගැහෙන හඬ

 ඡායාරූපය:

“මෙතන හොඳයි, ඒත් එතැනට ගියාම ඇස්වලට කඳුළු එනවා” නව ලග්ගල හද ගැහෙන හඬ

මේ නව ලග්ගල නගරයයි. බැලූ බැලූ අත නව ගොඩනැඟිලිය. අලුත් සුවඳ බිත්තිය. අලුතින් තැනූ කොන්ක්‍රීට් පාරවල්ය. සිහිපත් වන්නේ අතීතයේ සිංහල පෙළ පොතක පාඩමක තිබූ ගිරාඳුරු කෝට්ටේ නව ජනපදයයි. නව ජනපදයක් පිළිබඳ එකල මැවුණු සිතුවම අද ජීවමානව දැක ගත හැකිය. නව මාර්ග ඔස්සේ ගමන් ගන්නා නගර වැසියෝ කඩිමුඩි ගමනක නිරත වෙති. ඔවුන්ගේ මුහුණු දෙස විපරම් සහගත වූයේ එහි දුකක හෝ සතුටක වෙන් වූ මනෝභාවයන් දැක ගැනීමේ උනන්දුවකිනි. සියල්ල අලුතින් ඉදි වූ නව නගරයක ඔවුන්ගේ ජීවිතය කෙබඳුද?

අප ලග්ගලට යෑමට පිටත් වූයේ උදෑසන හතර හමාරටය. කොළඹ සිට ලග්ගලට යන ගමන එතරම් පහසු නැත. එය පැය පහක පමණ ගමනකි. ලග්ගලට ළඟාවන විට උදෑසන නවය පසු වී තිබිණි. ඒ වන විටත් අව් රශ්මිය හිසට දරාගත නොහැකි තරම් විය. වාහනයේ ඉන්ධන අවසන් වීගෙන එන බව රියැදුරා පැවසීමත් සමඟ අපට සිදුවූයේ ඉන්ධන පිරවුම්හලක් සොයා ගැනීමටය.

නව මඟක අතරමඟ...

“මේ ළඟක නම් තෙල් ගහගන්න තැනක් නැහැ. බකමූණටම යන්න වෙයි. නැත්නම් ඉතින් ළඟ තියෙන කඩේකින් බෝතල්වලට අරන් තෙල් ගහගන්න.” ඒ ගැමියකුගේ හඬය. අපට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් පැරණි ලග්ගල නගරය සොයා යාමටය. එය බෝට්ටුවෙන් යා යුතු ගමනකි. වැඩි දුරක් යාමට මත්තෙන් වාහනයේ ඉන්ධන අවසන් විය. අපට උදව්වට පැමිණියේ මොරගහකන්ද - කළුගඟ ජලාශයේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්. ඒ. එම්. ඩබ්. අබේසිංහ මහතාය.

“අර පේන්නේ පරණ දඹුල්ල හෙට්ටිපොළ මහියංගණ පාර. ඒ පාර තව ටික දවසකින් ජලාශයට යට වෙනවා. ඒ වෙනුවට තමයි මේ පාර හදලා තියෙන්නේ.” අබේසිංහ මහතා අපට අලුත් පාරක් පෙන්වමින් පැවසුවේය. මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියෙහි මොරගහකන්ද ජලාශයට ජලය පුරවා අවසන් අතර කළුගඟ ජලාශයට ජලය පිරවීම මේ වන විට සිදු කෙරමින් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසුවේය. “තවමත් අපි ඇළවේලි හදාගෙන යනවා. ඒ නිසා මිනිස්සු තවම කරන්නේ ගොඩ වගා විතරයි. කුඹුරු කරන්න තරම් වතුර නැහැ. අපි ඒ නිසා හැම පවුලකටම වියළි සලාකයක් ලබා දෙනවා. ඒ වගේම පානීය ජල ව්‍යාපෘතියක් කරලා දෙනවා. හැම නිවසකටම පරිභෝජනයට ඇති තරම් ජලය ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, වාහනයක් ගන්න පුළුවන් විදියට පාරවල් හදලා, විදුලියත් ලබා දුන්නා. ලග්ගල මධ්‍ය මහා විද්‍යාලය ජලාශයට යට වුණා. ඒ පාසල වෙනුවට පාසලක් ඉදිවුණා. ඊට අමතරව තවත් පාසල් කිහිපයක්ම ඉදිවෙලා තියෙනවා. කලින් තිබුණේ කුඩා රෝහලක්. දැන් පහසුකම් සහිත රෝහලක් ඉදිවෙලා තියෙනවා.”

දිය යට නගරය

ඔහු පැවසූ සියල්ල දැකබලා ගැනීමේ ආශාවක් ඇති වුවද ඊට ප්‍රථමව ජලයට යටවූ පැරණි ලග්ගල දැකබලා ගැනීමට අප පැමිණියේ

කළු ගඟ ජලාශයේ වැව් බැම්ම අසලටය. ජලාශයට වතුර පිරවීමේ කටයුත්ත තවමත් අවසන් නැත. බෝට්ටුව පිටත් වන්නේ ජීවිතාරක්ෂක නිලධාරියකු සහ වනජීවී නිලධාරීන් කිහිපදෙනකුද සමඟින්ය. ජලාශයේ තැනින් තැන ඉතිරිව ඇති විශාල වෘක්ෂ හා පඳුරු මත්තෙහි උරගයන් හා වෙනත් සත්තු විශාල ප්‍රමාණයක් ජීවිතය ඉල්ලා සිටිති. ඔවුන් බේරා ගැනීම වෙනම ව්‍යාපෘතියකි.

කටුමානඔය ප්‍රදේශයට අපි බෝට්ටුවෙන් පිටත් වෙද්දී උදෑසන දහය පසු වී තිබිණි. අපි විනාඩි තිහක පමණ ගමනකින් පසු පැරණි ලග්ගල මධ්‍ය මහා විද්‍යාලය අසලට පිවිසියෙමු. එහි තට්ටු තුනෙහි ගොඩනැඟිල්ලක තුන්වැනි තට්ටුව පමණක් අපට දැකගත හැකි විය. අපි බෝට්ටුව නතර කරගෙන සිටි ස්ථානය පාසලේ ක්‍රීඩා පිටිය බව බෝට්ටු ක්‍රියාකරු යූබී පැවසුවේය. අතරමඟ තිබූ අඹ ගස්වලින් අඹ කඩා ගැනීම සඳහා අප බෝට්ටුව ඒ දෙසට රැගෙන යද්දී පඳුරු අතර සිටි සතුන් මුදා ගැනීමද වනජීවී නිලධාරීන් අතින් සිදු විය. පොල් ගස්වල ගෙඩි අතින් කැඩිය හැකි මට්ටමට ජලය පිරී තිබිණි.

ඈතින් පෙනුණු ගොඩනැඟිල්ලෙහි ජාතික ලාංඡනය ඇති බව බෝට්ටුවේ සිටි අයෙක් පැවසුවේය. එය පැරණි උසාවිය බව තවත් අයෙක් පැවසුවේය. උසාවිය ඒ වන විටත් වතුරට යට වී නොතිබිණි. අපි බෝට්ටුව අසල ඇති ගසක ගැට ගසා උසාවිය අසලට ගියෙමු. එම ගොඩනැඟිල්ල කඩා තිබුණද විනිසුරු අසුන තිබුණු ස්ථානය සුරක්ෂිතව තිබිණි.

“මුළු ගමම අයින්වෙලා ගියත් උසාවියේ රාජකාරි ළඟක් වෙනකම් කෙරුණා. මොකද නඩු අහන්න වෙන තැනක් තිබුණේ නැහැ. තවමත් සම්පූර්ණයෙන්ම වතුරට යට වෙලා නැත්තේ උසාවියයි, ගොවිජන සේවා මධ්‍යස්ථානයයි, රෝහලයි විතරයි.” ඒ යූබීගේ හඬයි.

අපි එතැනින් නැවතත් පැමිණීමට හැරුණේ ඉන් ඉහළට වූ නිවාස දෙක තුනක් හැරුණු විට තවත් කිසිදු ගොඩනැඟිල්ලක් හෝ දැකගැනීමට නොහැකි නිසාය. තවත් කිහිප දිනෙකින් අපි ඇවිද ගිය බිමද ජලයෙන් යට වී යනු ඇත. සතුන් මුදා ගැනීමේ ව්‍යාපෘතියෙහි යෙදුණු පැය කිහිපයකින් පසු අපි ආ පිට පැමිණියේ අහස බර වී මහා වැස්සක පෙර නිමිති පෙනුණු නිසාය. වැස්සත් සමඟ පරිසරයේ තිබූ අධික රස්නය ක්ෂණිකව දරාගත නොහැකි සීතලක් බවට පත් විය. එය අදහාගත නොහැකි පරිසර වෙනස්වීමකි. එහි දේශගුණය පසුකාලීනව නුවර එළියේ දේශගුණයට සමාන වනු ඇතැයි යන ගැමියන්ගේ කතාවල සත්‍යයක් ඇතැයි එවෙලෙහි සිතිණි.

අලුත් පොළොවක ජීවිත

නව ලග්ගල නගරයේ නව නිවාස ඉදිකරගත් කිහිපදෙනකු සමඟ කතා කිරීමට මඳ වැස්සෙහිම අපි එහි අතුරු පාරකට පැමිණියෙමු. කලින් පැවසුවාක් මෙන් සෑම නිවසක්ම අලුත් පාටය. බොහෝ නිවාසවල සුදු හුනු පිරියම් කර නැත. වැඩ අවසන් කර ඇති දෙමහල් නිවසකි. එම නිවසෙහි ගෘහ මූලිකයා විශ්‍රාමික තැපැල් සේවකයකු වූ එච්. එම්. දයාරත්න බණ්ඩාය (55)

“මම උපන්දා ඉඳලම හිටියේ ලග්ගල පල්ලේගම. 2016 තමයි අපට එතැනින් අයින් වෙන්න කියලා කිව්වේ. මුලින් අපට පොළොන්නරුවේ ඉඩම් දුන්නා. ඒත් අපි කැමති වුණේ නැහැ. අපේ මුළු ගමම හිටියේ එකට. නෑදෑයෝ දාලා යන්න කවුරුවත් කැමති වුණේ නැහැ. දැන් අපට මෙහේ ඉඩම් ලැබිලා තියෙන්නේ කලින් ගෙවල් තිබුණු පිළිවෙළටමයි. අපිට ගොඩින් අක්කර භාගයයි, මඩින් අක්කර එකහමාරයි ලැබුණා. ඊට අමතරව වන්දි ලැබුණා. ඒවගෙන් තමයි මේ ගෙවල් හදාගත්තේ. තාම කුඹුරු වැඩ පටන් ගත්තේ නෑ වතුර නැති නිසා. පරණ ගෙදර යටවෙන්න කලින් බලලා ආවා. මෙතන හොඳයි, ඒත් එතනට ගියාම ඇස්වලට කඳුළු එනවා.”

ඔහුගේ බිරිඳ ඒ. එම්. කුසුමාවතී ලග්ගල මධ්‍ය මහා විදුහලේ ප්‍රාථමික ගුරුතුමියකි. ඇය වසර අටක් එම පාසලේ උගන්වා ඇති බවත් තවත් වසර හයකින් විශ්‍රාම ගන්නා බවත් අප සමඟ පැවසුවාය.

“මම අවුරුදු අටක් ඉගැන්නුවේ ලග්ගල මධ්‍ය මහා විද්‍යාලයේ. දැන් අපිට අලුත් පාසලක් ලැබිලා තියෙනවා කලින් පාසලට වඩා පහසුකම් එක්ක. ළමයි වුණත් උනන්දුවෙන් පාසල් එනවා දැන්. පාසල් එන ළමුන් ප්‍රමාණයත් දවසින් දවස වැඩි වෙනවා. කලින් පාසල වතුරෙන් යටවෙලා තියෙද්දි හිතට කියාගන්න බැරි දුකක් එනවා. ඒත් මේ සිද්ධ වුණු දේ හොඳයි. නැත්නම් මෙහෙම සංවර්ධනයක් ගැන අපිට හීනෙකින්වත් හිතන්න බැහැ.” ඔවුන්ගේ නිවසින් නිවාස කිහිපයකට පසු කුඩා පැලක් අටවාගෙන සිටි කාන්තාවක් සමඟ කතා කිරීමට අපි නැවතුණෙමු. ඇය 50 හැවිරිදි සන්ධ්‍යා විජේරාජ මහත්මියයි.

“මම කලින් හිටියේ ලග්ගල උසාවිය ළඟ. තාම මේ ගෙදර හදනවා. ඒ නිසා අපි පොඩි පැලක් හදාගෙන ගේ හදන වැඩ ටික කරනවා. මට දුවකුයි, පුතෙකුයි ඉන්නවා. මහත්තයා විශ්‍රාමික හමුදා නිලධාරියෙක්. මේ සිද්ධ වුණු දේට අපි කැමතියි. අපිට සමානව ඉඩම් ලැබුණා. සාධාරණ වන්දි මුදල් ලැබුණා. ඒත් අලි කරදර තියෙන එක තමයි ලොකුම ගැටලුව. මේ ළඟදිත් වැට ළඟටම අලි ඇවිත් ඉඩමේ මායිමේ තිබුණු කෙසෙල් ගස්, කොස් පැළ පාගලා දාලා ගිහින්. අපිට වියළි සලාකයක් ලැබෙනවා. වතුරත් දිනපතා ලැබෙනවා. අපි නම් නළ ළිඳක් හදාගත්තා. ඒ වතුර හොඳයි. වට පිටාවෙ අයටත් වතුර ඒකෙන් ගන්න පුළුවන්. ඒත් ඉස්සර ගඟ අයිනේ ඉද්දි දැනෙන සැනසීම දැන් දැනෙන්නේ නැහැ.”

එළවළු කඩයක් කරගෙන යන අජන්ත පුෂ්ප කුමාර (38) මහතා පැවසුවේ නව ලග්ගල නගරය තමන්ගේ ජීවිතය සුරපුරයක් කළ බවය.

“අම්මා තාත්තා එක්ක මම ඉන්නේ. මම නුවරින් පිහි ගෙනත් විකුණනවා. ලැබුණු ඉඩමේ එළවළු වගාකරලා විකුණනවා. මම ලෑන්ඩ් මාස්ටර් දෙකකුයි ත්‍රීවීලර් එකකුයි ගත්තා. කලින් අපි හිටියේ ලග්ගල මිහිරංකැටියේ. ඒ කාලේ මේ තරම් දේවල් තිබුණේ නැහැ. මේ ලැබුණු වන්දියෙන් අපි ගොඩක් දේවල් කරගත්තා. අපිට විතරක් නෙවෙයි, කිසිම කෙනෙකුට අඩුපාඩුවක් වුණේ නැහැ.”

නව ලග්ගල නගරයේ හන්දියේ ත්‍රිරෝද රථ රියදුරකු වූ විසි දෙහැවිරිදි අර්ජුන හෂාන් කුමාර මහතා පැවසුවේද එවැන්නකි.

“පැරණි ගෙවල් අතෑරලා දාලා එද්දි දුක හිතුණේ නෑ කිව්වොත් ඒක බොරුවක්. ඒත් ඊට වඩා දෙයක් මේ වෙද්දි මිනිස්සු කරගෙන තියෙනවා. අපි කුඹුරු වැඩත් පටන් ගත්තා. හැම කෙනෙකුටම මාසෙකට හාල් කිලෝ 15 ගානේ ලැබෙනවා. පොඩි ළමයිට කිරිපිටි ලැබෙනවා. වියළි සලාකයක් ලැබෙනවා, පරිප්පු, හාල්මැස්සෝ, සැමන් වගේ දේවල් එක්ක. උදේට වතුර ගෙනත් දෙනවා. දියුණු වෙන කෙනෙකුට මේ සිද්ධ වුණු දේ හොඳ දෙයක්. කොටින්ම කටුමැටි ගෙයක හිටපු කෙනෙක් පවා අද හොඳ ගෙයක් හදාගෙන ඉන්නවා.”

තමන් හදාගත් පැල දමා වෙනත් ඉසව්වක පදිංචියට යෑම පිළිබඳ ඔවුන්ගේ කිසිදු අමනාපයක් නොවේ. ඔවුන්ට ඇවැසි එකම දෙය වී ඇත්තේ තමන්ගේ උන් සමඟ එකට වැටී සිටීමට තැනක් ලබා ගැනීම පමණි. සියලුම දෙනා පාහේ එය පමණටත් වඩා බව පවසන්නේ සතුටින් වීමම භාග්‍යයකි.

හරිත නගර සංකල්පය

මීට අමතරව ලග්ගලට නව පොලිස් ස්ථානයක්, අංගසම්පූර්ණ රෝහලක් ඉදිවී තිබේ. ලග්ගල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජී. බී. එම්. නිශ්ශංක මහතා පැවසූවේ මෙම ප්‍රදේශයේ දරුණු ගනයේ අපරාධ වාර්තා නොවන බවත් මේ වන විට නව උසාවියේ ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙන බැවින් වෙනත් ස්ථානයක උසාවි කටයුතු සිදු කරන බවත්ය‍.

නව ලග්ගල නගරය හරිත නගරයක් කිරීම සඳහා වන පැළ සිටුවීමේ ව්‍යාපෘතිය ඒ වන විටද ක්‍රියාත්මක වෙමින් පැවතිණි. නව නගරයෙහි මාර්ගය දෙපස මෙම පැළ සිටුවීම සිදුවිය. මෙය නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාගේ සංකල්පයක් බව පැවසුවේ ලග්ගල කළුගඟ ව්‍යාපෘතියේ ක්ෂේත්‍ර සහකාර ටී. ජී. අයි. යූ. එම්. බණ්ඩාර මහතාය.

“කළුගඟ ජලාශය නිසා ගස් විශාල සංඛ්‍යාවක් විනාශ වුණා. ඒ නිසා අපි වන වගා පැළ තවාන්වල හදනවා. පැළ 28,000ක්, 30,000ක් පමණ ක්ෂේත්‍රයේ ඉන්දනවා. වැව් රක්ෂිතවල සහ පාර රක්ෂිතවල තමයි බොහෝ විට පැළ ඉන්දන්නේ. මේක අපි පටන් ගත්තේ ඔක්තෝබර් මාසේ ඉඳලා. මාස තුන හතරක් එක දිගට පැළ ඉන්දනවා. දැනට තවානේ පැළ හැට හතර දහසක් පමණ තියෙනවා. ඒවා අතරින් වන වගා පැළ 33,070ක්, පලතුරු පැළ 25,295ක්, විසිතුරු පැළ 2000ක් සහ ඖෂධ පැළ 2965ක් තියෙනවා. මේ සියල්ලටම අමතරව හරිත නගරය කියන සංකල්පය නි. ව්‍යාපෘති අධ්‍යක්ෂ අබේසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වෙනවා.” කළුගඟ ව්‍යාපෘතියේ වැඩ බලන පරිසර නිලධාරි පී. ආර්. නන්දන අබේරත්න මහතා කළුගඟෙහි ජල පෝෂක ප්‍රදේශ සහ ව්‍යාපෘතිය කිරීමේදී සැලකිලිමත් වූ පාරිසරික කාරණා පිළිබඳ දීර්ඝ විස්තරයක් කළේය.

“ජලාශයට ඉහළින් තියෙන ගම්මාන ප්‍රදේශ ජල පෝෂක ප්‍රදේශ වෙනවා. කළුගඟේ නම් උඩසීය සහ පල්ලෙසීය කලාප තියෙනවා. ජල පෝෂක ප්‍රදේශ තුළ වන වගා, පාංශු සංරක්ෂණ කටයුතු කරන්න ඕන. ඒ වගේම මෙවැනි ව්‍යාපෘතියක් කෙරෙද්දි ග්‍රාමීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සිදුවෙනවා. අමුණු, වැව්, කෘෂි මාර්ග හා වගා ළිං ආදිය හදනවා. මේ සියල්ල සිදුකරන්නේ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවට (EIA) අනුව.”

මේ සියලු කතා අවසන් වූයේ ඉර අවරට යන බවවත් නොදැනීමය. දැඩි අව් රශ්මිය හොරු අරන් ගියාක් මෙන් මීදුම සහිත අඳුරකින් හාත්පස වෙළී ගියේය. යෝධ සංවර්ධන ව්‍යාපෘතියක හතරමායිම් දැක බලා ගැනීමේ භාග්‍යය අපට ලැබිණි. නව ජනපදයට මිනිසුන් හුරු වී තිබේ. අලි කරදර තවමත් එලෙසමය. එහෙත් මිනිසුන් සතුටින්ය. නැවත පැමිණීමේදී හිතට දැනුණු එකම සැනසීම එයය. තව ටික දිනකින් හෙක්ටයාර් දහස් ගණනක් අස්වැද්දිය හැකි, මෙගාවොට් 25ක විදුලියක් උපැද්දවිය හැකි මහා ජල කඳක් නිදහස් වනු ඇත. එය ලංකාවේ පිරිසුදුම ජලය සහිත ජලාශයයි. මතකයට නැඟෙන්නේ ගැමියකු කළුගඟ පිළිබඳ පැවසූ වදනකි. ‘කළුගඟ කවදාවත් මඩ වෙන්නෙවත්, බොර වෙන්නෙවත් නෑ.’

[නදී මාණික්කගේ]

ඡායා - [සුදම් ගුණසිංහ]

මාතෘකා