ඉක්මනින් බෝවන පැපොල රෝගය

 ඡායාරූපය:

ඉක්මනින් බෝවන පැපොල රෝගය

අ‍පගේ ආදිකාලීන මුතුන්මිත්තන් පැපොල රෝගය හැඳින්වූයේ "දෙයියන්ගේ ලෙඩ" නමිනි. වෛරස් මගින් ඇතිවන මෙය එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට ඉතා ඉක්මනින් බෝවේ. ඇතැම් පුද්ගලයන්ට පැපොල රෝගය හේතුවෙන් අසීමිත බියක් හට ගනියි. එමෙන්ම බොහෝ දෙනකුට පැපොල රෝගය වැලඳුණු රෝගියකු රැකබලා ගත යුත්තේ කෙසේද යන්න පිළිබඳවද නිසි අවබෝධයක් නැත. පුද්ගලයකුට එක් වරක් පැපොල රෝගය වැලඳුණු විට ප්‍රතිශක්තිකරණය ජීවිත කාලය පුරා රඳා පවතින බැවින් ‍පැපොල රෝගය දෙවරක් සෑදීමේ ඉඩකඩක් හට නොගනී.

පැපොල රෝගය ඇතිවන්නේ කෙසේද?‍

සෙම්ප්‍රතිශ්‍යාවේ සිට සරම්ප, කම්මුල්ගාය වැනි රෝග හට ගන්නා ලෙසටම පැපොල රෝගයද වෛරස් මඟින් ඇතිවන, ඉතා ඉක්මනින් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවන රෝගයක් ලෙස හැඳින්වීමට පුළුවන. පුද්ගලයකුට මෙම වෛරසය ශරීරගතවී රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 10 සිට දින 21ක් පමණ ගත වේ.

පැපොල රෝගයේ ලක්ෂණ කවරේද?

ඕනෑම වෛරස් උණක් මෙන් ප්‍රථමයෙන්ම සාමාන්‍ය උණ ගතිය, ඇඟපතේ හා හන්දිවල කැක්කුම, කෑම අරුචිය, හිසරදය වැනි ලක්ෂණ පෙන්නුම් කරයි. ඉන් පසුව පැපොලටම ආවේණික වූ සම මත රතු හෝ රෝස පැහැති පලු ඇතිවීමට පුළුවන. මෙම පලු ප්‍රථමයෙන් මුහුණ, පපුව සහ පපුවේ පිටුපස ප්‍රදේශවල ඇතිවන අතර පසුව අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වේ. මෙම පලු ඇතිවීම ශරීරයේ සෑම තැනකම එක විට ඇති වන්නේ නැත. ඊට පසුව මෙම රතු පාට පලු, දියර පිරුණු බුබුළු බවට පත් වේ. මෙම බුබුළු දවස් කිහිපයකින් විශාල වී පුපුරා ගොස් කබොළු බවට පත් වේ.

පැපොල රෝගය වැලඳීමට බලපාන විශේෂ හේතු කාරණා මොනවාද?

පැපොල, වෛරස් රෝගයක් බැවින් සාමාන්‍යයෙන් පුද්ගලයකුට එකවරක් රෝගය වැලඳුණු විට ජීවිත කාලයටම ප්‍රතිශක්තිය රඳා පවතී. එබැවින් සාමාන්‍යයෙන් දෙවරක් පැපොල රෝගය හැදෙන්නේ නැත. මෙසේ එක්වරක්වත් රෝගය නොවැලඳුණු හෝ පැපොල රෝගයට එන්නත් ලබා නොගත් ඕනෑම අයකුට මෙය වැලඳෙන්නට පුළුවන. මෙම රෝගයට වැලඳීමට වැඩි ප්‍රවණතාවක් පවතින්නේ කුඩා දරුවන්ට, මහලු පුද්ගලයින්ට, ප්‍රතිශක්තිය හීන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට හා ගර්භණී මවුවරු ආදී අයටය. ඊට අමතරව ළදරු පාසල්වල සේවය කරන කාර්ය මණ්ඩලවලට, රෝහල්වල සේවය කරන කාර්ය මණ්ඩලවලටද මෙම රෝගය වැලඳීෙම් වැඩි ප්‍රවණතාවක් දක්වයි.

පැපොල රෝගය මගින් අතුරු ආබාධ තත්ත්වයන් ඇතිවීමට පුළුවන්ද?

පැපොල රෝගී තත්ත්වය ළමා වියේදී හෝ තරුණ වියේදී නිරෝගී පුද්ගලයන්ට වැලඳුණහොත් අතුරු ආබාධ ඇතිවීමකින් තොරව සම්පූර්ණයෙන්ම සුව වේ. නමුත් ඉතා කුඩා ළදරුවන්ට, ඉතා මහලු පුද්ගලයන්ට, ගර්භණී මවුවරුන්ට මෙන්ම ප්‍රතිශක්තීකරණය හීන වෙනත් රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන්ට වැලඳුණහොත් ඔවුන්ට අතුරු ආබාධ ඇතිවීමට වැඩි හැකියාවක් තිබේ.

උදාහරණයක් ලෙස අතුරු ආබාධ ලෙස හමේ ඇතිවන තුවාල, බැක්ටීරියා, ආසාදනවලට ලක්වීමේ සිට නිව්මෝනියාව සහ මොළයට විසබීජ ඇතුළුවීම දක්වා බරපතළ විය හැකියි. මෙවැනි අතුරු ආබාධ ඇතිවන අවස්ථාවලදී මෙන්ම රෝග ලක්ෂණ අඩුකර ගැනීම සඳහාද පැපොල වෛරසයට විරුද්ධව ප්‍රතිජීවක වෛද්‍ය උපදෙස් මත ලබා ගන්න පුළුවන‍. පැපොල රෝගයේදී හමේ ඇතිවන පලු කසන ගතියෙන් යුක්ත වන බැවින් නියපොතුවල ඇති වන විසබීජ නිසා මෙම තුවාල පැසවීමට ලක්වීමට පුළුවන.

විශේෂයෙන් කිවයුතු තවත් අතුරු ආබාධයක් වන්නේ රෝගය වැලඳී සම්පූර්ණයෙන් සුව වූ අයෙකු තුළ මෙම වෛරසය ශරීරය තුළ නිදන්ගතව පැවතිය හැකි අතර, ප්‍රතිශක්තිය හීන වූ අවස්ථාවකදී මෙම වෛරසය සක්‍රිය වීමෙන් පැපොල රෝගයේම විශේෂ අතුරු රෝගයක් වන තත්ත්වයක් (Shingles) ඇති වන්නට පුළුවන. මෙහිදී රෝග ලක්ෂණ ශරීරයේ එක කුඩා ප්‍රදේශයකට පමණක් සීමා වන අතර සමහර පුද්ගලයන්ට රෝග ලක්ෂණ සුව වී පසුව තද වේදනාවක් පවතින්නට පුළුවනි. වයසක පුද්ගලයන්ට මෙන්ම ප්‍රතිශක්තිය හීන පුද්ගලයන්ට මෙම රෝගී තත්ත්වය වැඩි වශයෙන් ඇතිවන්නට පුළුවන.

පැපොල රෝගය වැලඳීම වළක්වා ගන්නට කළ හැකි පිළියම් මොනවාද?

රෝගය වළක්වා ගැනීමට ඇති ප්‍රධාන ක්‍රමය එන්නත් ලබාදීම ලෙස හඳුන්වන්නට පුළුවන. ඊට අමතරව මෙම රෝගීන්ගෙන් ඉතා ඉක්මනින් අන් අයට රෝගය බෝ වන බැවින් පැපොල රෝගය වැලඳීමේ වැඩි හැකියාවක් ඇති පුද්ගලයන් එම රෝගීන්ගෙන් ඈත්වී සිටීම ඉතා වැදගත්ය.

රෝගීන්ගේ සමේ රෝග ලක්ෂණ ලෙස දියර පිරුණු බුබුළු පවතින තාක් කල් ඔවුන් සාමාන්‍යයෙන් අනෙක් අයට රෝගය පතුරවන්නට පුළුවන. මෙම හමේ බුබුළුවල ඇති දියර තුළ පැපොල වෛරසය අන්තර්ගත වන බැවින් එම දියර ස්පර්ශ කිරීමෙන් හෝ එම දියර අංශු අඩංගු වාතය ආශ්වාස කිරීමෙන් මෙම රෝගය තවත් අයකුට බෝවිය හැකිය.

උපදෙස්- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය [චන්දන හේවගේ]

සාකච්ජා සටහන [මදාරා මුදලිගේ]

මාතෘකා