උඳුවප් සීතල මැද එදා නත්තල සමරපු හැටි ලංකාවේ නත්තල සැමරුම ඇරඹුණේ පෘතුගීසීන්ගෙන් මීගමු හැමිල්ටන් ඇළේ 'පාරු කැරොල්'

 ඡායාරූපය:

උඳුවප් සීතල මැද එදා නත්තල සමරපු හැටි ලංකාවේ නත්තල සැමරුම ඇරඹුණේ පෘතුගීසීන්ගෙන් මීගමු හැමිල්ටන් ඇළේ 'පාරු කැරොල්'

උඳුවප් මාසය එළැඹෙන්නේ සීතලද සමඟය. ඒ සීතල අසිරිමත් නත්තලට කරන ඇරයුමක් බඳුය. ආගම් භේදයකින් වයස් භේදයකින් තොරව රටම නත්තල් සිරියෙන් ඇලලෙන්නට පටන් ගන්නේ උඳුවප් මහේ ඇරඹුමත් සමඟය. කඩසාප්පු, නගර නත්තල් විසිතුරුවලින් අලංකාර වද්දී නත්තල ගැන හැඟීමක් ඇති නොවන සිතක් නැති තරම්ය. නත්තල තුළින් සමරන්නේ සාමයේ පණිවිඩය ලොවට දුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත වුවත් වර්තමානයේ එහි සැබෑ අරුත වාණිජකරණයට නතුව තිබෙන බවටද බොහෝදෙනකු චෝදනා කරති.

එසේ වුවද අතීතයේ මෙරට සැමරුණු නත්තල අපේකමට නතුවූ දේශීය උත්සවයක් ලෙස පැවැති බවට සාධක ඕනෑ තරම් හමුවේ. ශ්‍රී ලාංකිකයන් නත්තල උත්සවාකාරයෙන් සැමරීම ආරම්භ වන්නේ පෘතුගීසී යුගයේ සිට යැයි පැවසේ. සිංහල කැරොල් සහ පසන් ගීත සාහිත්‍යයේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ පඬිවරයකු වන ගරු ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාය. 1730දී උන්වහන්සේ විසින් රචිත 'මංගල ගීතය' නම් කෘතියේ ප්‍රථම සිංහල කැරොල් ගී ඇතුළත් වන අතර ඒ අතරින් 'දෙවිඳු උපන්නේ' සහ 'තුන්ලොව නායක ' ගීත අදටද අතිශයින් ජනප්‍රියය. ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා එම කැරොල් ගී හෙළ සිරිතට විරිතට අනුව නිර්මාණය කර ඇති අතර ගැමි ජන ගී ලක්ෂණවලින් එම කැරොල් ගී ද පොහොසත්ය.

එසේ දේශීය මුහුණුවරක් ගත් කැරොල් ගී මෙන්ම ආදී කිතුනුවන් නන්තල සමරා ඇත්තේද යුරෝපීයන් නත්තල සමරන ආකාරයට නොවන බවද හෙළිවේ. නත්තලේ අරුත සහ ජන වන්දනාව ලොව පුරා එකම අයුරකින් සිදුවුවත් එය සැමරීම එක් එක් රටවලට ආවේණික සංස්කෘතියට අනුගත වෙමින් සිදුවීම දැකිය හැකිය. ශ්‍රී ලාංකිකයන්ද නත්තල සමරනු ලබන්නේ දේශීයත්වය සහ සංස්කෘතික වටිනාකම්වලට මුල්තැන දෙමිනි. ඒ තුළින් එය එක් ආගමකට සීමා වූ උත්සවයක් නොව ජාති, ආගම් භේදයකින් තොරව රටම එකම රැහැනකික් බැද තබන උත්සවයක් බවට පත්කර ගැනීමට පැරණි කිතුනුවෝ උත්සාහ ගත්හ.

උදාහරණයක් ලෙස ජේසු බිලිඳුන්ගේ උපත සැමරීම සඳහා නත්තල වෙනුවෙන් ගවලෙනක්, නත්තල් ගසක් ඉදිනොකරන දේවස්ථානයක්, නිවසක් නොමැති තරම්ය. එහෙත් ඒ සඳහාද අපේ රටේ සංස්කෘතිය මුසුකර තිබේ. ඒ අනුව මෙරට ඉදිකරන බොහෝ ගවලෙන් ගොවිතැන මූලික කරගත් පිදුරු යොදාගනිමින් නිර්මාණය වේ. මීට දශක දෙක තුනකට ඉහතදී නත්තල් කැරොල් ගී ගයමින් කණ්ඩායම් වශයෙන් ගම පුරා නිවෙස්වලට ගොස් නත්තලට සුබපැතූ ඉතිහාසයක් කිතුනුවන් අතර තිබුණද වර්තමානයේ එය බොහෝවිට දේවස්ථානයේ හෝ නත්තල් උත්සවයක වේදිකාවක ගැයෙන කැරොල් ගායනයකට පමණක් සීමා වී තිබේ.

අතීතයේදී මීගමු හැමිල්ටන් ඇළ ඔස්සේ ඉතා අලංකාර ලෙස සැරසූ පාරු යාත්‍රාවල කැරොල් සංදර්ශන පැවැත්වූ බවත් එම පාරු 'කැරොල් ' ලෙස හඳුන්වා ඇති බවත් පැවසේ.

දෙසැම්බර් 24 වැනිදා මැදියම් රැයේ දේව මෙහෙයට සහභාගී වීමෙන් පසුව එකිනෙකා හා නත්තල් සුබපැතුම් හුවමාරු කරගැනීමත් උදෑසන කිරිබත් ඇතුළු රසකැවිලි පිඟන් අසල්වැසියන්ට බෙදාදෙමින් නත්තල් සතුට විඳගැනීමටද කිතුනුවෝ පුරුදුව සිටියහ. කුඩා ළමුන් නත්තල් දා හිමිදිරියේ පිබිදෙන්නේ නත්තල් සීයා තමා වෙනුවෙන් නත්තල් ගස පාමුල තබාගොස් ඇති තෑග්ග කුමක්දැයි බැලීමේ බලවත් ආශාවෙන් සහ කුතුහලයෙනි. නත්තල් සීයා මැදියම් රැයේ පිනි මුවා බැඳි හිම කරත්තයෙන් රහසේම ඇවිත් 'හොඳ ළමයින්ට' තෑගි තබායන බවට මවුපියන් විසින් කුඩා දරුවන්ට කියන ඒ සුන්දර මුසාවට මුලානොවූ කිතුනු දරුවකු නැති තරම්ය.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ නෑගම් යන්නාක් මෙන් නත්තලේදීද පවුලේ උදවිය එකට එක්වී, විශේෂයෙන් මවුපියන් ජීවත්වන මහගෙදරට එක්වී නත්තල සැමරීමට එදා කිතුනුවෝ අමතක නොකළහ. වර්තමානයේ පවතින දැඩි තරගකාරී, කාර්යබහුල ජීවන රටාව තුළ එකී සිරිත් විරිත් අභාවයට යමින් තිබුණද පැරණි කිතුනුවෝ නත්තල සැමරූ ආකාරය ඉතා සරල වුවත් එම සිරිත්විරිත් තුළ පැවතියේ අපූර්වතම ගාම්භීරත්වයක් සහ අලංකාරයකි.

එදා මෙන්ම අදද මහත් හරසරින් නත්තල සැමරෙන්නේ 'පුංචි රෝමය'ලෙස විරුදාවලී ලත් මීගමු පුරවරයේය. පෘතුගීසීහු දෙසැම්බර් මාසය උදාව සමරා ඇත්තේ කාලතුවක්කු වෙඩිමුරයකින් සහ පල්ලියේ සීනුව නාද කිරීමෙන් බව පැවසේ. ඒ අනුව වර්තමානයේද මීගමු පුරවරයේ ඇත්තන් දෙසැම්බර් මාසයේ උදාව සමරන්නේ පළමුවෙනිදා පළමු පැයේ සිට පැය ගණනක් ගිගුම් දෙන රතිඤ්ඤා හඬිනි. මීගමුවට නත්තල ලැබුණේ පෘතුගීසින්ගෙන් වන අතර, පෘතුගීසින්ට පසුව පැමිණි ලන්දේසි සහ ඉංග්‍රීසීන්ගේ ලක්ෂණද මීගමු නත්තල තුළ දැකගත හැකිය. ජාතික වැදගත්කමකින් යුතු දේශීය නාට්‍ය සම්ප්‍රදායක් බිහිකිරීමට ඉවහල්වූ මීගමුව දූව ග්‍රාමයේ සින්ද්‍රාති දේවමාතා දේවස්ථානය කේන්ද්‍ර කරගනිමින් ගොඩනැඟී ඇති නත්තල් සම්ප්‍රදාය අපූරුය. එහි නත්තල සමරන්නේ පල්ලියේ මංගල්‍යයට සුදානම් වන ආකාරයට දින නවයක සන්ධ්‍යා දේව මෙහෙයන් පවත්වමිනි. එය ආරම්භ වන්නේ මීගමු දූවේ දෙනු ලබන මහා දානයකින් වන අතර අවට ගම් සියල්ලේම ජනයා ඒ සඳහා පැමිණෙති. එම මහා දානය බත්, මාළු ඇතුළු වෑංජන රැසකින් සරුවන අතර 1937-39 කාලයේ එම දේවස්ථානයේ මීසම්භාර පියතුමා ලෙස කටයුතු කළ ගරු මර්සිලින් ජයකොඩි පියතුමා ඒ සඳහා දැක්වූ දායකත්වය අමතක කළ නොහැකිය. එදා බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගවලෙනේ උපන් ජේසු බිලිඳු නැමදීමට පැමිණි රජතුන් කට්ටුව නාට්‍යය රඟ දැක්වීමද එම දෙව්මැදුර කේන්ද්‍ර කරගනිමින් සිදුවේ. නත්තල් ගවලෙන් සහ නාට්‍ය ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදාය මෙරටට පෘතුගීසීන්ගෙන් හිමිවූවද නත්තල් ගස් සම්ප්‍රදාය මීගමුවට ලැබී ඇත්තේ ලන්දේසීන්ගේන්ය. ජර්මනියෙන් ආරම්භවූ නත්තල් ගස් සංකල්පය ලන්දේසි යුගයේදී මීගමු පුරයේත් ලංකාව පුරාත් ප්‍රචලිත වන්නට විය.

නත්තල් උත්සවය යනු රසමසවුළුවලින් පිරි උත්සවයක් බව නොරහසකි. නත්තල් කේක්, වයින්, බෘදර්,ලව් කේක් මෙන්ම මුද්දරස්පලන් දැමූ කහ බත, රෝස්ට් කළ කුකුළු මස්, මාළු සහ වම්බටු මෝජු, ඌරු මස්, හරක් මස් බිස්ටෙක්, මිරිසට හදන කුකුළු මස්, විවිධ වර්ගවල අච්චාරු, හුරුල්ලෝ මාළු ස්ටුව, අල තෙල්දැමීම, ඉස්සෝ, කකුළුවෝ, දැල්ලෝ, මිශ්‍ර තක්කාලි සලාද සහ කට්ලට් නත්තල් ආහාරපාන අතර අතිශයින් ජනප්‍රියය. නත්තලට මස් පිණිස ඌරන්, කුකුලන් හදන නිවෙස්ද, වැඩි මාළු ජාඩි දමා නත්තලට ජාඩි මුට්ටි වශයෙන් සකසන නිවෙස්ද මීගමු පුරවරයේ අදද දුලභ නොවන අතර එය ලන්දේසීන්ගෙන් මීගමු ජනයා උරුමකරගත් සම්ප්‍රදායකි. රා සහ පලතුරු යොදාගනිමින් නත්තලට' නත්තල් වඩිය' සකසා ගන්නා අයද, තැඹිලිවලින් සහ ලොවිවලින් වයින් පෙරාගන්නා අයද මීගමුවේ අදත් සිටිති. ඊට අමතරව නත්තල් කේක් ඇතුළු විවිධ කේක්, බිබික්කන්, කැවුම්, කොකිස්, සව් දොදොල්, පුඩින් සහ බිස්කට් ආදියද ඔවුහු වෙනම පිළියෙල කරගනිති.

මීගමුවේ අතීත නත්තල පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන යුග තුන ඔස්සේම විකාශනය වූවක් වුවත් ඒ සියල්ල තුළ මීගමුවටම ආවේණික වූ අනන්‍යතාවක්ද ගොඩනැඟී තිබිණි. වර්තමානයේ මීගමු නත්තලට නවීන නත්තල් සංකල්ප ඇතුළත් වී තිබුණද මීගමුවේ ඇති උත්සවශ්‍රීය මෙරට අන් කිසිදු ප්‍රදේශයක දැකිය නොහැකිය. නිවෙස්වලට සහ දේවස්ථාවලට අමතරව වෙරළේ සහ කලපුවේ ඉදිකෙරෙන දර්ශනීය ගවලෙන්ද එම නවතම සංකල්ප අතර වේ.

අතමිට මිල මුදල් ඇත්තන් සේම එදාවේල සරිකරගන්නා අයද නත්තල හැකි උපරිම ඉහළින් සැමරීමට උනන්දු වෙති. නත්තල උත්සවශ්‍රීයෙන් සැමරීම සඳහා ඔවුන් සූදානම් වන්නේ වසර මුල සිටමය. කිහිපදෙනකු එක්වී 'නත්තල් සීට්ටුවක් ' දැමීම ඒ අතර මුල්තැනක් ගනී. මෙම සීට්ටුවල ඇති විශේෂත්වය ඒවා මුදල් සීට්ටු නොව බඩු සීට්ටුවක් වීමය. මාස්පතා කණ්ඩායම විසින් එකඟ වූ මුදලක් එකතු කරන අතර, එම මුදල්වලට සරිලන බඩු දෙසැම්බර් 20 වැනිදා පමණ සාමාජිකයන්ට ලබාදේ. නත්තල් කෑමට අවශ්‍ය වන හාල්, පොල්, මස්, මාළු, තුනපහ, පොල්තෙල්, බිස්කට්, කේක්, රසකැවිලි, සිසිල් බීම ඇතුළු සියල්ල එම බඩු සීට්ටුවට ඇතුළත්ය.

අන් කවර දිනකදීවත් පල්ලි නොයන අයද නත්තල උදාවන මැදියම් රැයේ දේවස්ථානය කරා ගොස් දේව මෙහෙයට සහභාගි වෙති. රට පුරා දේවස්ථානවල පැවැත්වෙන එම මැදියම් රෑ නත්තල් මෙහෙය අවසාන වන්නේ රටම ගිගුම් දෙන රතිඤ්ඤා සහ ගිනිකෙළි හඩිනි. මීගමු පුරවරයේ නම් පාර දෙපස නිවෙස්වල සිංහල මෙන්ම ඉංග්‍රීසි නත්තල් ගීතද ඇසෙයි. පාර දෙපස බබර චක්‍ර නම් ගිනිකෙළි විශේෂයද පත්තු කරයි. දේවස්ථානයේ සිට නිවෙස කරා පැමිණෙන බැතිමතුන් පවුලේ සියලුදෙනා සමඟ නත්තල් ප්‍රීතිය බෙදාගනිමින් නැවතත් කේක්, බිබික්කන්, කැවුම්, කොකිස්, සව් දොදොල්, බිස්කට් ආදි රස කැවිලි කා කෝපි හෝ තේ බොති. ඒ අතර මීගමු ජනයා යටත්විජිත යුගයේ සිට ඉඟුරු, කුරුඳු සහ සුදුරු මිශ්‍රකළ විශේෂ කළු කෝපි වර්ගයක් බීමට පුරුදුව සිටි බව පැවසේ. එකිනෙකා සමඟ නත්තල් තෑගි බෙදාගන්නා අතර කුඩා දරුවෝ ඉන් අපමණ සතුටක් ලබති. වැඩිහිටියෝ මදුවිතකින් සප්පායම් වීමටත් තරුණයෝ මුහුදු වෙරළට හෝ ඒ අසල අවන්හලකට ගොස් එළිවන තුරු කමින් බොමින් විනෝද වීමද මීගමු පුරවරයේ අදත් දැකගත හැකිය.

එකී නත්තල් සැමරීම දෙස බලන විට නත්තල යනු කෑම, බීම සහ විනෝද වීම පමණකැයි යන හැඟීමක් යමකු තුළ ඇතිවීමටද බැරි නැත. එහෙත් නත්තලේ සැබෑ අරුත ප්‍රේමය සහ සමාදානයයි. එකිනෙකා හා බෙදාහදාගන්නා සතුට තුළ සැබෑ ප්‍රීතිය අත්දැකිය හැකිය. එය නත්තල තුළින් දෙවියන් දැකීමකි. 'පන්සලේ පියතුමා' ලෙස විරුදාවලි ලත් හෙළ බසින් අපූර්වතම පද පෙළහර පෑ ගරු මර්සලින් ජයකොඩි පියතුමා සිය නිර්මාණ තුළින් ජන හදවත්තුළට කා වැද්දවීමට උත්සාහ කළේ එම අදහසයි.

"මගෙ නත්තල දුගියා බත් කන දාය

මගෙ නත්තල වැරහැලි නැති වන දාය

මගෙ නත්තල ඔබෙ දුක නැති වන දාය

මගෙ නත්තල පව පල්ලියෙ යන දාය"

උන්වහන්සේ එදා එසේ පබැඳුවේ නත්තල දා දුගියාට දෙන බත්වේලකින්, වස්ත්‍රයකින් මෙන්ම අනෙකා වෙත පාන සැනසුම් මදහසකින් පවා සාම කුමරාණන් වන ජේසුස් වහන්සේ දැකගත බව සරල බසින් කියාපාමිනි. නත්තලේ එම අරුත එදා මෙන්ම අදටත් හෙටටත් වලංගුය.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා