කහවණු එව්වත් තඹයක් නොවටින ජීවිත…

 ඡායාරූපය:

කහවණු එව්වත් තඹයක් නොවටින ජීවිත…

ශ්‍රී ලංකාව විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ග තුනකි. එනම් විදේශ රැකියාවලින් ලැබෙන ආදායම, නිමි ඇඳුම් අපනයනය හා තේ නිෂ්පාදනයන්ය. මේ අතර විදෙස් රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් පිටරට යෑම එයිනුදු ප්‍රධාන වේ. 2014දී රුපියල් බිලියන 916.3ක්‌ද, 2015දී රුපියල් බිලියන 948.9ක්‌ද, 2016දී රුපියල් බිලියන 1,054.5ක්‌ද මෙම ශ්‍රමිකයන් නිල වශයෙන් ශ්‍රී ලංකාවට එවා ඇත. එනම් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ තවදුරටත් වර්ධනය වෙමින් පවතන බව පැහැදිලිය.

මේ වන විට ශ්‍රමිකයන් ලක්ෂ 20ක් පමණ විදෙස් රැකියාවල නිරත වේ. 2016 වසරේ පමණක් ශ්‍රමිකයන් 24493ක් විදෙස් රටවලට සේවයට ගොස් ඇත. විදෙස් රටවල සේවය කරන පිරිසෙන් වැඩි පිරිසක් මැදපෙරදිග රටවල සේවය කරති. එනම් බොහෝ විට ගෘහ සේවිකාවන් ලෙසය. එනම් මේ රට දුවන්නේ නිවෙස්වල බැලමෙහෙවර කර ලැබෙන මුදල්වලින්ය. ඒ ගැන රටක් ලෙස ලැජ්ජා විය යුතු ‍නොවේද? අඩුම තරමේ විදෙස් ගත ශ්‍රමිකයන්ට මුහුණ දෙන ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලැබී ඇති බවට සිතා පාලකයන්ට මෙන්ම ඔවුන්ව බලාධිකාරය බවට පත්කරන පාලිතයන්ට සැනසිය හැකිද?

එසේම 2018 වර්ෂය වන විට විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් 19 දෙනකු අතුරුදන් වී ඇති බවට දත්ත තිබේ. කුවේට්හිදී 11 දෙනකුත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ 3 දෙනකුත් ලෙබනන් හා ජෝර්දාන් රටවලදී දෙදෙනකුත් මලයාසියාව සඳහා පිටත්ව ගිය 1 අයකුත් මෙලෙස අතුරුදන්වී ඇති බව වාර්තා වේ. ජීවිත දහනමයයි කියා සැනසෙන්නට නොහැකිය. නැවත වරක් එලෙස අතුරුදන්වීම වැළැක්වීමට පියවර ගත යුතුය.

2018 වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 225 දෙනකු මිය ගිය බවටත් ඉන් 31 දෙනකු සියදිවි හානිකරගෙන තිබෙන බවටත් වාර්තා විය. විදෙස් රටවල සේවය සඳහා ශ්‍රී ලාංකිකයන් පිටරට යැවීමේදී පුහුණු කරන ලද වෘත්තිකයන් සඳහා අවස්ථාව ලබා දීම සඳවා අවධානය යොමු කළ යුත්තේ එවැනි ආකාරයේ අනතුරු අවම කර ගැනීමටය.

බිරිඳ විදෙස් ගතවීම නිසා ස්‌වාමිපුරුෂයා බීමට ඇබ්බැහිවීමෙන් පවුල් ඉහිරී යෑම මෑතකාලීනව දැකිය හැකි වුණු ප්‍රධානම ප්‍රශ්නය විය. වෙහෙස වී බිරිඳ හම්බ කරන මුදල් බීමට නාස්ති කිරීම, අනියම් සබඳතා, ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීම, අපයෝජනයට පත්වීම, මෙන්ම සියදිවි හානි කරගැනීම්ද වාර්තා විය.

එවැනි පවුල් හා ළමයින් ශක්‌තිමත් කිරීමට, ළමයින් රැකබලා ගැනීමට, ඇබ්බැහිවීම්වලින් ඉවත්වීමට, විවිධ මානසික ප්‍රශ්නවලින් මුදා ගැනීමට මනෝ විද්‍යාත්මක උපදේශනය තීරණාත්මක සාධකයක්‌ බවට පත්වී තිබේ. ළමයින් විදේශ ගතවීම නිසා වයස්‌ගත මවුපියන් අසරණ වූ අවස්‌ථා බොහෝය.

සල්ලි ටිකක් වැඩිපුර ඉක්මනින් සොයා ගැනීමේ මාර්ගයක් ලෙස බොහෝ දෙනෙක් විදෙස් රැකියාවලට යොමුවීමට සිතති. විදේශ රැකියා සපයන ආයතන 1000කට වැඩි ගණනක්‌ ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ ලියාපදිංචි වී සිටියත් බොහෝ පිරිසක් පෞද්ගලිකව රැකියා සොයා ගැනීමට මහන්සි වනු දැකිය හැකිය. ජපානයේ විදෙස් රැකියා ‍දෙනවා කියමින් මුදල් ගෙන පසුව අන්තිම මොහොතේ ඒ අවස්ථා නැති වී ගිය බව කියමින් මුදල් ආපසු දෙන බ්‍රෝකර්වරයකු පිළිබඳ පුවතක් සැලවිය. එම පුද්ගලයා මාස කිහිපයක් එම මුදල් ආයෝජනය කර නැවත මුදල් දෙමින් තම ව්‍යාපාරය උපක්‍රමිකව සිදුකරන බව පසුව සොයා ගත හැකි විය. මේ එක් උදාහරණයක් පමණි. තනිවම විදෙස් රැකියා සොයා ගැනීමට බ්‍රෝකර්වරුන්ට මුදල් දුන් බොහෝ දෙනකුට රැකියාත් මුදලුත් දෙකම නැතිවුණු පුද්ගලයෝ ඕනෑ තරම් සිටිති.

විදෙස්‌ රැකියා සඳහා යන අයගෙන් පිරිසක් පෞද්ගලික සම්බන්ධකම් හරහා හෝ අන්තර්ජාලය හරහා රැකියා අවස්‌ථාවන් සොයා ගනිති. 2014 වර්ෂයේ 123,874ක්‌ද, 2015 වසරේ 146,441ක්‌ද, 2016 වසරේ 154,766ක්‌ද පෞද්ගලික හෝ අන්තර්ජාලය හරහා තමන් විසින්ම රැකියා සොයාගෙන ඇත. එසේ පෞද්ගලිකව රැකියා සොයා ගැනීමේ වාසිය රැකියාලාභියාට අත්කර දිය යුතුව තිබේ. ශ්‍රී ලංකාවේ විදේශ රැකියා කාර්යාංශය රැකියා සඳහා ලියාපදිංචි කිරීමට සියලු දෙනාගෙන්ම සම්පූර්ණ ලියාපදිංචි වීමේ ගාස්‌තුව අයකරයි. මෙම ලියාපදිංචි වීමේ ගාස්‌තුවෙන් 70%ක් අදාළ ලියාපදිංචි රැකියා ආයතනයට ගෙවිය යුතුය. 30%ක්‌ පමණක්‌ රක්‌ෂණ හා අනෙකුත් වියදම් සඳහා කාර්යාංශය රඳවා ගනී. එහෙත් පෞද්ගලික ක්‍රමවේදයන් හරහා රැකියා සොයාගත් අයගෙන් සම්පූර්ණ ගාස්‌තුව අයකරගෙන එය කාර්යාංශය රඳවා ගනී. එය කොතරම් සාධාරණද යන්න සිතා බැලිය යුතුය.

සමහරක්‌ රැකියා ඒජන්සි කාර්යාංශයේ නියමිත මුදලට වඩා ගාස්‌තු අයකරන බවද වාර්තා වේ. එසේම ඇතැම් රැකියා අපේක්ෂකයෝ ගමන් බලපත්‍රය ආපසු ලබා ගැනීමට නොහැකිව ළතැවෙති. සමහරුන්ගේ ගමන් බලපත්‍ර බ්‍රෝකර්වරු තබා ගනිති. ශ්‍රමිකයාට වඩා බ්‍රෝකර්වරුන් වාසි අත්පත් කර ගැනීමත් බ්‍රෝකර්වරුන් නිසා රැකියාලාභීන් විවිධ අපහසුතාවලට මුහුණදීම වැළැක්වීමට නිසි පියවර ගන්නේ කවදාදැයි කිසිවකු දන්නේ නැත.

විදෙස්‌ රැකියා සඳහා වෛද්‍ය පරීක්‌ෂණය සඳහා විශාල මුදලක් අයකළත් එම ස්ථානයේදී ඔවුන්ට මුහුණු දීමට සිදුවෙන්නේ දැඩි අපහසුතාවන්ටය. එතැනදී පිළිගැනීමක් නැත. සලකන්නේ පහත් ආකාරයටය.

ගමන් බලපත්, උප්පැන්න, වෛද්‍ය, අධ්‍යාපන සහ රැකියා වැනි සහතිකපත්වල පිටපත් සහතික කරගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයට විශාල මුදලක්‌ ගෙවීමට සිදුවේ. එම සහතික කිරීම වලංගු වන්නේ වසරක්‌ සඳහා පමණි. යම් හෙයකින් මෙම සහතික කිරීම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයකින් කරගැනීමට සිදුවුවහොත් ඒ සඳහා විශාල මුදලක්‌ ගෙවීමටත් රස්‌තියාදු වීමටත් සිදුවේ.

කම්කරු සහ ගෘහ සේවිකා රැකියා සඳහා පිටත්ව යෑමට අවශ්‍ය කාර්යාංශයේ පුහුණුව සඳහාද සෑහෙන මුදලක්‌ ගෙවීමට සිදුවේ. මෙම පුහුණුව රජය මගින් නොමිලේ ලබාදිය යුතු ය. එනම් මේ පේන්නේ කාර්යාංශය නඩත්තු කිරීමේ වගකීමද රැකියාලාභීන් මත පටවා ඇති බව නොවේද?

විදේශ‌ ණය සහ බැඳුම්කර සඳහා වැඩි පොලී ගෙව්වත් විදෙස්‌ මුදල් උපයන උල්පත වන විදේශගත ශ්‍රමිකයන් නොසලකා හැර ඇති සෙයකි. විදෙස්‌ගත ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකාවට එවන මුදල් රුපියල්වලින් විශේෂ විදෙස්‌ ආයෝජන තැන්පත් ගිණුම්වල (SFIDA) තැන්පත් කොට ඉහළ පොලියක්‌ ලබා ගැනීමේ අවස්‌ථාව තිබිණි. නමුත් අද එම අවස්ථාව අහිමිව ගොසිනි. මෙම සියලුම ගිණුම් 2018 අප්‍රේල් 01 දින සිට අභ්‍යන්තර ආයෝජන ගිණුම්වලට (IIA) පරිවර්තනය කරයි. මෙම ගිණුම්වලට සහ පෞද්ගලික විදෙස්‌ මුදල් තැන්පත් ගිණුම්වලට (PFCA) මෙරට ක්‍රියාත්මක වන බැංකු ගෙවනු ලබන්නේ අවම පොලී අනුපාතයන්ය.

විදේශ මුදල් ගිණුම්වල මුදල් ශ්‍රී ලංකාවේදී ආපසු ලබා ගත හැක්‌කේ ශ්‍රී ලංකා රුපියල්වලින් පමණි. එම නිසා තම ගිණුම්වල මුදල් විදේශ මුදල්වලින් ආපසු ලබාගෙන ඒ සඳහා බලයලත් විදේශ මුදල් හුවමාරු කරන ආයතනයකින් වැඩි රුපියල් ප්‍රමාණයක්‌ ලබා ගැනීමට තිබූ අවස්‌ථාව ඒ අනුව අහිමි වී ඇත.

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා විවිධ දිරි දීමනා ලැබේ. එසේම විවිධ බදු සහන, පොහොර සහනාධාර, අනෙකුත් සහනාධාර, ආධාර ඇතුළු නොයකුත් සහන ලැබේ. එහෙත් විදෙස්‌ගත ශ්‍රමිකයන්ට රජයෙන් සහන නොලැබෙන තරම්ය. තිබුණු පහසුකම් සහ සහනද එකින් එක ක්‍රමයෙන් කපාහරිමින් පවතින බව නැඟෙන චෝදනාවකි.

විදේශයන්හි අධ්‍යාපනය ලබන විදෙස්‌ගත ශ්‍රමිකයන්ගේ දරුවන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමේ අවස්‌ථාව ඇතත් ඒ සඳහා විදේශිකයන් ගෙවන ගාස්‌තු ගෙවීමට සිදුවේ. මෙය ගෙවීමට හැකියාව ඇත්තේ ටික දෙනෙකුට පමණි.

රැකියාවෙන් ඉවත්වී තම රටට එන විට අවුරුදු පහකවත් තීරූ බදු සහනය එකතු කර ලබාදෙන මෙන් ඉල්ලීම් කර තිබිණි. ඒ විදෙස්‌ගත රැකියාවල නියුතු වෘත්තිකයන් නිතර නිවාඩු ලබාගෙන තම රටට පැමිණෙන විට එම සහනය ලබාගැනීමට ඔවුන්ට අවස්‌ථාව අවම වන නිසාය. පිටරට ගොස්‌ නැවත සිය රටට එන ඕනෑම අයකුට පිට රැඳී සිටි කාලය අනුව තීරු බදු සහනයන්ට යටත්ව බඩු බාහිරාදිය පිටරටින් හෝ ගුවන් තොටුපළෙන් මිලදී ගත හැකිය. එම අවස්ථාව අහිමි කිරීම සාධාරණ නැත.

විදෙස්ගත ශ්‍රමිකයන් මුහුණදෙන අප කවුරුත් නොසිතන ගැටලු ඕනෑ තරම් ඇත. හැකිතරම් ඒ ගැටලුවලට උත්තර සැපයීමට හැකි නම්, විදෙස් රටවල සේවය සඳහා යන ශ්‍රමිකයන් සංඛ්‍යාව වැඩි කරගත හැකිය. එමඟින් රටට එකතු වෙන විදේශ විනිමයද වැඩි වේ. සමාජ ප්‍රශ්න ඇති නොවෙමින් රටේ විදේශ විනිමය වැඩිකර ගත හැකි නම් එහි වටිනාම නිම කළ නොහැකිය.

[රසිකා හේමමාලි]

මාතෘකා