අපි මේවා විශ්වාස කරන්නේ නෑ

 ඡායාරූපය:

අපි මේවා විශ්වාස කරන්නේ නෑ

කොළඹ තොවිල් බඩු කඩේ කතාව

ඒත් බඩු ගන්න එන අය විශ්වාස කරනවා

මේ ගෙවී යන්නේ විසි එක් වැනි සියවසයි. එනම් සර් ආතර් සී. ක්ලාක් කියූ පරිදි තාක්ෂණික මිනිසකු බිහිවෙමින් පවතින්නාවූ කාල වකවානුවයි. එනමුත් විද්‍යාවෙන් තාක්ෂණයෙන් හා උසස් බුද්ධිපරිචයකින් පිරිපුන් ලෝකයක ඒ බුද්ධිය යටපත් කරගෙන අවිද්‍යාව ඉස්මතු වීම හේතුවෙන් පැන නඟින සමාජ අර්බුදය වන්නේ "අන්ධ භක්තියයි."

දෙවිවරු ඇදහීම, යක්ෂ ප්‍රේත පිසාචාදීන් ලවා තම කාර්යයන් කර ගැනීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරීම ඉන්දියාවේ වෛදික යුගයන්හීදී ආරම්භ වුවද ලංකාවේද අතීතයේ සිටම තොවිල් පවිල්, යන්ත්‍ර මන්ත්‍රගුරුකම්, ශාන්තිකර්ම ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව පැවතුණු අතර ග්‍රාමවාසීහු මේවා දැඩි ලෙස විශ්වාස කළෝය. තුන්වෙනි ලෝකයේ ධනේශ්වර රටක් වන ශ්‍රී ලංකාව කොතෙක් තාක්ෂණයෙන්, අධ්‍යාපනයෙන් ඉහළ තැනක පැවතියද තවමත් තොවිල් පවිල් යාගහෝමයන්ගේ ආත්මයන් ගංතුලානේ මෙන්ම කොළඹ හතේ සිදාදියේද සැරිසරයි.

අතීතයේ ගංතුලානේ අමනුෂ්‍ය බිය, ලෙඩ සුව කරගැනීම ආදී කාරණා සඳහා තොවිල් පවිල් ශාන්තිකර්ම බහුලව භාවිත කළද තාක්ෂණය සමඟ නිතර ගැවසෙන සිදාදියේ ඇත්තන් ඒවා සිදුකරන්නේ ඔවුන්ගේ පෞද්ගලික ආත්මාර්ථයන් සාක්ෂාත් කරගැනීමටය. මේ හේතුවෙන් නාගරික ප්‍රදේශවල තොවිල් පවිල් සහ ශාන්තිකර්ම සඳහා ගනු ලබන කළමනා එකම තැනකින් මිලදී ගැනීමට "තොවිල් බඩු කඩ" බිහි වී ඇත. තොවිල් පවිල් ශාන්තිකර්ම වර්තමානයේ වාණිජ අරමුණු ඔස්සේ ආයතනීකරණය වී හමාරය. එම නිසා සිදාදියේ අමුතු විදිහට කෙරෙන තොවිල් පවිල් ගැන තොරතුරු හාරවුස්සන්න හිතාගෙන මේ සඳහා අවැසි කළමනා විකුණන තොවිල් බඩු කඩ සොයාගෙන යන්න අපි තීරණය කළෙමු.

මහරගම මංසන්ධියේ ප්‍රධාන බස්නැවතුම්පොළෙහි කොනකට වන්නට පිහිටි පුංචි ඉඩකඩකින් සෑහුණු කඩයකි. එහි ඉඩකඩට සරිලන ලෙස තැනින් තැන ගොඩ ගැසූ පුහුල් ගෙඩි, ගොක්අතු, සාම්බ්‍රානි, පන්දම්, විලක්කු රාශියකි. ඒ අතරින් එබුණු තලතුනා මුහුණකි. ඔහු නමින් එදිරිවීරය. අසූව දශකයේ සිට මහරගම මේ තොවිල් බඩු කඩය කරගෙන යන එදිරිවීර මාමා සමඟ අප කතාබහ ආරම්භ කළෙමු.

"ඉස්සර වගේ නෙමෙයි පුතේ, දැන් තොවිල් බඩු කඩ වැහි වැහැලා. මේකෙන් ලොකු ආදායමක් ලැබෙනවා. ඒ නිසා දැන් ගොඩක් අය තොවිල් බඩු කඩ කරනවා. ඒත් හරියටම මේ සාස්තරේ කරන අය කීපදෙනයි ඉන්නේ" යැයි එදිරිවීර මාමා කතාව ආරම්භ කළේය. මෙතරම් විද්‍යාව දියුණු ලෝකයේ මිනිස්සු මේ තොවිල් පවිල් ශාන්තිකර්මවලට කෙතරම් නම් ඇබ්බැහි වී තමන්ගේ සිත සනසා ගන්න උත්සාහ කරනවාද? මේ යාගහෝම සඳහා තම සේසතා වියපැහැදම් කරන්න වුවද නොපැකිළෙන මිනිසුන් මේ දූපතේ නැතිවාම නොවේ. මේ සියලු ප්‍රශ්න සිත්හි තබාගෙන මේ ශාන්තිකර්ම කරන කපු මහතුන් ගැන එදිරිවීර මාමාගෙන් විමසුවෙමු.

"දැන් කපු මහත්තුරුයි කියන පුළුවන් අය නැහැ. වැඩියෙන්ම ඉන්නේ හොරු. පානදුර පැත්තේ මේවා කරන හාමුදුරු කෙනෙක් ඉන්නවා. හැටදාහයි එයාගේ ගාස්තුව. එයාට ආරූඪයක් තියෙනවාලු. ඒ වගේම මගෙනුත් බඩු ගන්න එනවා කට්ටඩියෝ.... සමහරු මට සල්ලි දීලා බඩු එවන්නත් පොරොන්දු කරගන්න හදනවා. ඒත් මම කැමති නැහැ යක්කු, මළපෙරේතයො එක්ක වැඩ කරන්න" යැයි මේ ක්ෂේත්‍රය වර්තමානයේ වැටී ඇති තත්ත්වය පිළිබඳ ඔහු පැවසුවේ කලකිරීමෙනි. නාම මාත්‍රිකව වුවද ඉස්සර අපේ මුතුන්මිත්තන් බොහොම සැදැහැතිව නූලට තිතට කළ මේ ගුරුකම්, යාගහෝම සියල්ලම වාණිජත්වයට හැරුණු 21 වැනි සියවසේ වෙළෙඳ කාක්කන් කෙතරම් සූක්ෂ්මව විකුණනවාද?

කුඩාවට තිබුණද බොහොම සාරවත්ව කරගෙන යන දිනකට රුපියල් 3000ට අධික ආදායමක් ලබන එදිරිවීර මාමාගේ තොවිල් බඩු කඩේ දිනකට වැඩිපුරම අලෙවි වන්නේ එක නැට්ටේ දෙහි, ගොක්අතු, පොල්මල්, පුවක් මල් ආදී යාගහෝම සහ ශාන්තිකර්ම සඳහා නිරන්තරයෙන් අවශ්‍ය වන කළමනා වේ.

"ඒත් පුතේ, මේකෙන් ලොකු අපරාදෙකුත් සිද්ධ වෙනවා. මේ මහරගම වටේම ඉන්න කුඩුකාරයො හොරෙන් වතුවලට පැනලා පොල්මල්, ගොක්අතු, පුවක්මල් ගෙනල්ලා දෙනවා. අනිත් පැත්තෙන් ලොකු පරිසර හානියකුත් මේකෙන් වෙනවා" යැයි එදිරිවීර මාමා පැවසීය. බැලූ බැල්මට කිසිවෙකුටත් නොපෙනෙන මේ තොවිල් බඩු ව්‍යාපාරයන්හි නොපෙනෙන පැතිකඩක් එලෙස හෙළිදරව් විය. මෙසේ තොවිල් පවිල් ශාන්තිකර්මයන්හි වර්තමාන තත්ත්වය විමසන අප තොවිල් සීට්ටුව පිළිබඳවත් එදිරිවීර මාමාගෙන් විමසන්නට අමතක නොකළෙමු.

"තොවිල් සීට්ටුව කියන්නේ තොවිල් පවිල් කරන්න අවශ්‍ය කළමනා ඔක්කොම ලියලා තියෙන කොළේට. ඉස්සරනං කපු මහත්තයා හරි කොට්ටෝරුවා හරි අතින් ලියපු කොළයක් තමයි තොවිල් සීට්ටුව කියන්නේ. හැබැයි දැන් ඒක ප්‍රින්ට් කරලම එවනවා. සාමාන්‍යයෙන් ගොක්අතු, පොල්මල්, පුවක්අතු, වැටමාර කෝටු, පුහුල්, එක නැට්ටෙ දෙහි, සාම්බ්‍රානි, සුදුහඳුන්, කපුරු, පන්දන් විලක්කු මේ හැමදේම තොවිල් සීට්ටුවක අනිවාර්යයෙන් තියෙනවා."

නිතර දෙවේලේ දකින, නිතර තමන්ගේ කඩයට ගොඩවදින ඇත්තන් රැගෙන පැමිණෙන තොවිල් සීට්ටුවේ අත්‍යවශ්‍ය කළමනා ඔහු විස්තර කළේ එසේය. මේ අතරවාරයේ තොවිල් කළමනාවල ගණන් හිලව් විමසන්නත් අප අමතක නොකළෙමු.

"එක නැට්ටේ දෙහි තුනක් මං දෙන්නේ රු. 200ට. ගොක් අත්තක් රු. 200යි. පුහුල් ගෙඩියක් රු. 300- 350 අතර විකුණන්නේ. පහන්තිර, කපුරු බෝල වගේ දේවල්වල ගණන් ඉතින් සාමාන්‍ය කඩවල විකුණන ගණන්වලට සමානයි" යැයි එදිරිවීර මාමා පැවසුවේය.

අන්ධයි

එදිරිවීර මාමා වසර තිහකට වඩා වැඩි කාලයක් මේ තොවිල් බඩු විකිණුවද ඔහු ඒ පිළිබඳව විශ්වාස කරන්නේ නැත. ඔහු කී ආකාරයට වෙනත් කෙනෙකුට කිසියම් කරදරයක් වන්නට සලස්වා හිත සතුටින් කාලය ගත කිරීම අපහසු වේ. එමෙන්ම මේවා සියල්ල අන්ධ විශ්වාස බවත් කර්මය අනුව ජීවිතයේ ඵලවිපාක තීරණය වන බවත් ඔහු දැඩි ලෙස විශ්වාස කරයි.

මේ තොවිල් පවිල් යාගහෝමයන් පිළිබඳව සිදාදියේ උග්‍ර ලෙස විශ්වාස කරන්නේ බහුතරයක් මධ්‍යම පාන්තිකයෝය. එසේ වුවද කොළඹ හතේ අති සුඛෝපභෝගී ජීවිත ගතකරන නෝනා මහත්වරුද මේවා පිළිබඳ දැඩි ලෙස විශ්වාස කරති. සාමාන්‍යයෙන් ලංකාව වැනි තුන් වැනි ලෝකයේ රටක පාලකයෝ බහුතරයක් අන්ධ භක්තිකයෝය. නීතියට, අධිකරණයට, පොලිසියට බිය වැද්දිය නොහැකි ඔවුන්ව "ඔළුව හත් කඩකට පැළෙන්න පොල් ගහනවා" යැයි කී විට බිය වැද්දිය හැකිය. ඒ තරමටම මේ තොවිල් පවිල් ආදිය පිළිබඳව සිටින්නේ අන්ධ විශ්වාසයකය. තොවිල් පවිල් යාගහෝම ශාන්තිකර්ම ආදිය පිළිබඳව දැඩි විශ්වාසයකින් සිටින ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන චරිත බොහෝමයක් තොවිල් බඩු ගන්න එදිරිවීර මාමාගේ කඩයට ගොඩවදී. ඒ පිළිබඳ ඔහු මතකය අවදි කළේ මෙසේය.

"ලංකාවේ දේශපාලනය කරන ඇත්තෝ ගොඩක් මේවා නොසෑහෙන්න විශ්වාස කරනවා. ඒ නිසා ඒ වගේ ගොඩක් චරිත නිතර දෙවේලේ ඇවිත් බඩු අරගෙන යනවා. එක්කො ගෝලයන් එවනවා. එස්.බී. දිසානායක මහත්තයා තොවිල් බඩු ගන්නේ මගෙන්. එතකොට නිරූපමා රාජපක්ෂ මහත්මියත් මගෙන් තොවිල් බඩු අරගෙන ගිහින් තියෙනවා. අපේ මහඇමතිතුමා, ඉසුර දේවප්‍රිය මහත්තයත් නිතරම ඇවිත් බඩු අරගෙන යනවා."

අතීතයේ පැරැන්නෝ තොවිල් සීට්ටුවේ කළමනා සූදානම් කළේ ගංතුලානේ කරක් ගසාය. නමුදු වර්තමානයේ සියල්ල ආයතනීකරණය වී හමාරය. හැමදාම උදේ පාන්දරින් කහ දියර ඉස නමෝවිත්තියෙන් මේ තොවිල් බඩු ව්‍යාපාරය කරන එදිරිවීර මාමා වැනි අය සේම වාණිජත්වය අරමුණු කොටගෙන කූඨ ලෙස මේ ව්‍යාපාරය කරන මුදලාලිලා නැතිවාම නොවේ. ඒ පිළිබඳ එදිරිවීර මාමා දරන්නේ මෙවැනි අදහසකි.

"දැන් මිනිස්සුන්ව අන්දලා තමයි කඩකාරයෝ මේ ව්‍යාපාරය කරන්නේ. ඒ අය මිනිස්සුන්ව ගොඩක් බොරුවෙන් රවට්ටලා බඩු විකුණ ගන්නවා. අළු කෙසෙල් අල වෙනුවට දෙන්නේ සීනි කෙසෙල් අල, ඇඹුල් කෙසෙල් අල. එක නැට්ටේ දෙහි කියලා දෙහි ගෙඩි නැට්ටෙන් අලවලා අලවපු දෙහි දෙනවා. දැන් තියෙන සිංහල බෙහෙත් බඩු කඩවලත් වැඩිපුර තියෙන්නේ තොවිල් බඩු තමයි. මොකද මේ බිස්නස් එකෙන් එන ලාභේ වැඩියි."

ඈත අතීතයේ මේ තොවිල් වැඩිමනක් සිදු කර ඇත්තේ ලෙඩරෝග සුව කිරීම සඳහාය. එහෙත් මේ වනවිට තම පෞද්ගලික අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීම සඳහා මේවා සිදු කරනු ලබයි. ධනය වැඩිවත්ම බල තණ්හාවෙන් මත්වන මිනිසුන් තමන්ගේ "ගොඩ වැඩි කරගැනීම" පිණිස ශාන්තිකර්ම, යාගහෝම පසුපස හඹා යන්නට ඇබ්බැහි වී හමාරය. එදිරිවීර මාමා කියූ ආකාරයට බොහෝ මිනිසුන් කියන්නේ "අරූ මට කරලා" ලෙසය. "කරලා" යන්නෙන් අදහස් වන්නේ ගුරුකමක් හෝ හදි හූනියමක් කර ඇති බවයි. මිනිසුන් යථාර්ථය මායාවකින් මුළා කරන්නේ එසේය. යථාර්ථය පිළිගන්නට අකමැති බොහෝදෙනා තමාට පැමිණෙන සියලු දුක්කම්කටොළුවලට හේතුව හදිහූනියම් යැයි විශ්වාස කරති.

අපත් සමඟ මෙසේ දොඩමලු වෙමින් සිටින අතර පොල් මල් තොගයක් රැගෙන ආ තැනැත්තෙක් එදිරිවීර මාමා ආපිට හරවා යැවීය. එසේ කර නැවත අප වෙතට හැරී ඔහු මෙසේ පැවසීය.

"මම ලොකුවට මේ කටයුත්ත කරන කෙනෙක් නෙමෙයි. හේතුව මේ කළමනා ඔක්කොම හොයලා දෙන්න මට මිනිස්සු නැහැ. කුඩුකාරයෝ එක්ක ගනුදෙනු කරන්න මම කැමති නැහැ. මේ තොවිල් බඩු කඩ මහරගම ඉස්සෙල්ලාම පටන් ගත්තේ සුපර්මාර්කට් එකේ තොවිල් බඩු කඩේ කරන ජයසේන. මට වගේම එයාටත් මේ ගැන කියන්න ලොකු කතාවක් තියෙනවා."

එසැණින් ජයසේන මුදලාලිව සොයා යෑමට අපි තීරණය කළෙමු. එදිරිවීර මාමාට සමුදී ඔහු දුන් ඔත්තුව දිගේ මහරගම පොදු වෙළෙඳ සංකීර්ණයේ කොනකට වන්නට පිහිටි ජයසේන මුදලාලිගේ තොවිල් බඩු කඩයට අපි ගියෙමු. අප යන විටත් තම ගෝලයත් සමඟ තොවිල් සීට්ටුවකට අවැසි කළමනා සූදානම් කරමින් සිටි ජයසේන මුදලාලිව සියලු වැඩ කටයුතුවලින් මඳකට නිදහස් කර පුංචි කතාබහකට මුලපිරුවෙමු. මහරගම මුලින්ම තොවිල් බඩු කඩය ආරම්භ කරන ලද්දේ ජයසේන මුදලාලි විසිනි. 1970 සිට මේ වන තෙක් මේ තොවිල් බඩු කඩේ කරන ජයසේන මුදලාලි තම අදහස් දැක්වූවේ මෙලෙසය.

වැඩිෙවන හූනියම්

"ඉස්සර වගේ නෙමෙයි. දැන් දැන් මේ තොවිල් පවිල්වලට බඩු අරගෙන යන්න ගොඩක් අය හරි හරියට ඇවිත් පොරකනවා. ඉස්සර මේවා බොහොමයක් සිද්ධ වුණේ ගම්වල.ඒත් දැන් ටවුමේ ඉන්න අය මේවාට ඇබ්බැහි වෙලා. ඒ නිසා මේ තොවිල් පවිල් හදි හූනියම් දැන් එන්න එන්න වැඩි වෙනවා."

ඔහු කතා කරන අතරවාරයේ එහි වූ එක් සුවිශේෂ යමක් පිළිබඳ අවධානය යොමු වූ නිසා ඔහුගේ කතාව මඳකට නවත්වා ඒ පිළිබඳ විමසුවෙමු. ඒ වෙන වෙනම ක්‍රමවත්ව අහුරන ලද කළමනා අතර තරමක් විශාල සුදු පැහැටට හුරු මුල් වර්ගයකි. ඒ පිළිබඳ ජයසේන මුදලාලි පැවසූයේ මෙලෙසය.

"ඒ තමයි නෝනා හොඬල අල. මනුස්ස රූප, යක්ෂ රූප කපලා ඒවා ජීවං කරලා බලි අරින්න, පිල්ලි අරින්න ගන්නේ හොඬල අල තමයි."

මේ අතරවාරයේ එදිරිවීර මාමා කියපු එක නැට්ටේ දෙහි අලවලා විකුණන කතාව ජයසේන මුදලාලිගෙන් අප විමසුවෙමු. එවිට එකිනෙකට සමාන දෙහි ගෙඩි දෙකක් සහ ඊට වෙනස් දෙහිගෙඩියක් ගෙන එය පෙන්වමින් ඔහු මෙසේ පැවසීය.

එක නැට්ෙට් ෙබාරු

"ඕක මම හොඳට බලලා තියෙනවා. කට්ටිය දෙහි ගෙනල්ලා දෙනකොට මෙන්න මෙහෙම එක වගේ දෙහි ගෙඩි දෙකක් එක්ක මේ වගේ පොඩි දෙහි ගෙඩියක් තියෙනවා. හොඳට බැලුවාම පේනවා ඒවා සුපර්ග්ලූ ගාලා අලවලා කියලා. මම ඒවා විකුණන්නේ නැහැ. ඒවා ගේනකොටම අපි දන්නවා ප්‍රෝඪාව කියලා."

වසර ගණනාවක ලද පළපුරුද්දෙන් ජයසේන මුදලාලි මේ ව්‍යාපාරය කරගෙන යන්නේය. ඔහු කියනා පරිදි වසරේ ඇතැම් කාලවල ව්‍යාපාර අඩු වන අතර ඇතැම් කාලවල ව්‍යාපාර වැඩි වේ. මේ ගත වන්නේ වසරේ අවසාන දින කීපය බැවින් මවුපියන් තම දරුවන්ගේ පාසල් අවශ්‍යතා සඳහා මුදල් වියදම් කරන අතර එම නිසා මේ තොවිල් පවිල් යාගහෝම සඳහා වියදම් කිරීමට මිල මුදල් හිඟ වේ. ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට නැවත මේ තොවිල් බඩු කඩ සඳහා ව්‍යාපාර වැඩි වන බව ජයසේන මුදලාලි අප සමඟ පැවසීය.

"වැඩක් නෑ නෝනා. දැන් ඉන්න මිනිස්සුන්ගෙ මනුස්සකම අන්තිමටම අඩු වෙලා. අම්මා දුවට කොඩිවින කරන, දුව අම්මාට කොඩිවින කරන කාලයක් මේක. එක බඩවැල කඩන් ආපු සහෝදර සහෝදරියෝ එකාට එකා කොඩිවින කරගන්නවා. ඉස්සර මේවා තිබ්බේ නැහැ. දැන් ඉන්න පරම්පරාව හරි කුහකයි. ආත්මාර්ථකාමීයි."

ඉස්සර නොතිබුණු වර්තමානය වන විට වැඩි වශයෙන් කෙරෙන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳ තම අදහස ජයසේන මුදලාලි අප විමසන්නටත් ප්‍රථම පැවසුවේ එසේය.

සමාන්‍ය මිනිසුන් සේම මැති ඇමතිවරු පවා ජයසේන මුදලාලිගෙන් තොවිල් කළමනා රැගෙන යයි. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ජයසේන මුදලාලිගේ හොඳ පාරිභෝගිකයෙක්ලු. ඊට අමතරව ආරක්ෂක අංශයේ ඉහළ නිලතලවල ඇත්තන් ද තොවිල් සීට්ටුවලට ජයසේන මුදලාලිගෙන් කළමනා රැගෙන යනවලු.

මහරගම මුල්ම තොවිල් බඩු කඩය කරගෙන ගියද ඊට පෙර ජයසේන මුදලාලි තොවිල්වලට ශාන්තිකර්මවලට "කොට්ටෝරුකං" (අත්උදවු දීම) කර ඇති බව ඔහු අප සමඟ පැවසීය. තොවිල් පවිල් යාගහෝම ගැන යම් තරමක් දන්නා අයකු වන නිසා වර්තමානයේ මේ කෙරෙන ශාන්තිකර්මවල සත්‍ය අසත්‍යතාව ගැන ඔහු දැක්වූයේ මෙබඳු අදහසකි.

" සමහරු මේවා විශ්වාස කරනවා සමහරු විශ්වාස කරන්නේ නැහැ. ඒක ඉතින් මිනිස්සුන්ගේ කැමැත්තනේ. හැබැයි පෙළක් තැන්වල මේවා බොරුවටත් කෙරෙනවා. බොරුවට වරම් තියෙනවා. බොරුවට දේවාරූඪ තියෙනවා කියලා මිනිස්සුන්ගෙන් සල්ලි ගරා ගන්නවා."

සතිඅන්තයේ දිනයක් බැවින් මේත් සමඟම ජයසේම මුදලාලිගේ කඩයට සෙනඟ වැඩි විය. එම නිසා ඒ කටයුතුවලට ඉඩහසර ලබාදෙමින් අප ජයසේන මුදලාලිගෙන් සමුගත්තෙමු.

තාක්ෂණික ලෝකයේ මිනිසුන් රොබෝවරුන් බවට පත් වෙමින් පවතින සමයක, වෙනත් ග්‍රහලෝකවල ජනාවාස ඉදිකිරීමට හැකිදැයි පිරික්සන මොහොතක වෛදික යුගයේ පැවති නෂ්ටාවශේෂ ඉතිරිව ඇති බව මෙවන් තොවිල් පවිල් යාගහෝමවලින් සහ ඒවා පසුපස යන අන්ධ භක්තිකයන්ගෙන් හෙළි වන්නේ ය. කෙසේ වුවද එදිරිවීර මාමලා ජයසේන මුදලාලිලා ඇතුළු අනෙකුත් තොවිල් බඩු කඩ කරන්නන්ද කරනු ලබන්නේ ව්‍යාපාරයකි. ඔවුන් මේ විශ්වාස පිළිබඳ එළඹගෙන සිටියද නොසිටියද ඔවුන් ළඟට පැමිණෙන පාරිභෝගිකයන් ඒවා පිළිබඳ විශ්වාස කරන්නේය. ඔවුන් කරන්නේ ඒ සඳහා යම් සාධාරණ මිලකට කළමනා විකිණීම පමණි.

විද්‍යාවෙන් කොතරම් ලෝකය දියුණු වුවද අන්ධ භක්තිය හේතුවෙන් බුද්ධිය පරයා භාවයන් ඉස්මතු වන්නේය. එවිට තමා සන්තක සියල්ල පූජා කොට අන්ධ භක්තිය වැලඳ ගන්නට මිනිසා නොපැකිළෙන්නේය. ඒ මිනිස් ගතියය. ඉටු නොවනා බව දැන දැනත් තමන්ගේ හිත රවටා ගන්නට සනසා ගන්නට මිනිසුන් කැමතිය.

සටහන සහ ඡායා [නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා

ජනප්‍රිය ලිපි