ව්‍යවස්ථාව අනුව බහුතරයක් තියෙන කෙනාට අගමැතිකම දෙන්න

 ඡායාරූපය:

ව්‍යවස්ථාව අනුව බහුතරයක් තියෙන කෙනාට අගමැතිකම දෙන්න

එජාප නායක රනිල් වික්‍රමසිංහ

“ව්‍යවස්ථාව අනුව බහුතරයක් තියෙන කෙනාට අගමැතිකම දෙන්න. තුනෙන් දෙකක් එකතු වුණු තැන ඡන්දයක් තියන්න. ඊයේ ජනාධිපතිතුමා කිව්වලු 225ම කැමති වුණත් මට අගමැතිකම දෙන්නේ නෑ කියලා. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ජනාධිපතිවරයාගේ ප්‍රශ්නයක්. අපි පාර්ලිමේන්තු ප්‍රජාතත්ත්‍රවාදය ආරක්ෂා කළා. රට පාලනය කරන්නේ විධායක ජනපති නෙමෙයි. රට පාලනය කරන්නේ ආණ්ඩුව හා කැබිනට් මණ්ඩලයයි. ආණ්ඩුව මෙහෙයවන්නේ කැබිනට් මණ්ඩලය සාමූහිකව වැඩ කරලා. එහෙනම් කොහොමද පාර්ලිමේන්තුවට ඇහුම්කම් නොදී යන්නේ” යැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (05) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

“අපි මේ අවුරුදු තුනේදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. ඇමෙරිකානු ජනපතිටත් සීමා තියෙනවා. අපිට සීමා නැතිව යන්න බෑ. 2015 පස්සේ කිසිම විනිශ්චයකාරයකුට මමත් ඇමතිවරුත් කතා කරලා නෑ. ඒ ශක්තිය නිසා මේ ආයතන අද ක්‍රියා කරනවා. පොලිසිය නීතිය අනුව ක්‍රියාත්මක කරනවා. අපි ඒවා තවත් ශක්තිමත් කරන්න ඕන. මෛත්‍රීපාල ජනපතිතුමා කිව්වා මහානායකගේ වැඩ කටයුතු විහාරාධිපති කරන්න යනවා කියලා. මම එතුමාට මතක් කරන්නේ මේක මහානායකගේ වැඩක් නෙමෙයි. විහාරාධිපති හාමුදුරුවන්ගේත් වැඩක් නෙමෙයි. මෙතත තියෙන්නේ විනය පිටකයේ ප්‍රශ්නයයි. විනය අනුව වැඩ කරනවාද නැද්ද කියන එකයි. ප්‍රශ්නය ව්‍යවස්ථාවයි. අපි ජනාධිපතිගේ බලතල සීමා කරලා ජනපති ව්‍යවස්ථාවට යටත් කළා. මහානායක ස්වාමීන් වහන්සේ විනය පිටකයෙන් පිට වැඩ කරන්නේ නෑ.

“අපි දැක්කා නොවැම්බර් මාසයේ මේ අය හැසිරුණු හැටි. ඒක පාර්ලිමේන්තුවට නිග්‍රහයක්. පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධව හැසිරුණු අයට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. අපි ජනාධිපතිගේ විධායක බලතල ඉවත් කරන්න ඕන. අපි මේ ගමන ආරම්භ කළේ විධායක ජනපති ධුරය නැති කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය පැවැත්වූයේ පක්ෂය ගැන කතා කරන්නවත් දිවංගත එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා ගැන කථා කරන්නවත් නෙමෙයි. කතා කළේ රනිල් වික්‍රමසිංහ ගැන. මම එක දවසක්වත් ඕකේ සාමාජිකත්වය අරගෙන නෑ. මට දේශපාලන කරුමයක් කිව්වා. මට දොස් කිව්වා. බැන්නා, අවලාද කිව්වා. එ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මගේ සංස්කෘතිය අනුව පිළිතුරු දෙනවා. මම පිළිතුරු දෙන්නේ සංයුක්ත නිකායේ ආකෝෂ සූත්‍රයෙන්.

“ආකෝෂ බමුණා බුදුරජාණන් වහන්සේට බැන්නා. බමුණ ඔබට මිත්‍රයන් ඉන්නවද? නෑදෑයන් ඉන්නවද? දන්න අය ඉන්නවද කියලා ඇහුවා. ආකෝෂ බමුණා කිව්වා ඔව් මට මිත්‍රයන් ඉන්නවා, නෑදෑයන් ඉන්නවා, දන්න අය ඉන්නවා කිව්වා. ඒ අය ඔබේ නිවසට පැමිණියාම ආහාර දෙනවද? සංග්‍රහ කරනවද? ඔව්, මම එහෙම සංග්‍රහ කරනවා කිව්වා. කවුරුහරි ඒ ආහාර බාර ගන්නේ නැත්නම්, අනුභව කරන්නේ නැත්නම් කාටද ඒක අයිති කියලා ඇහුවා. ඒක මට අයිති කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ කිව්වා. මට කිව්වේ දොස්, මම දොස් කිව්වේ නෑ. මට කිව්වේ අවලාද, මම අවලාද කිව්වේ නෑ. මට නින්දා කළා, මම නින්දා කළේ නෑ. ඔබ මට කරපු නින්දා ඔක්කොම ඔබට භාරයි කියලා කිව්වා. මම ඊට වඩා ජනාධිපතිට කියන්නේ නෑ.”

මාතෘකා