කහවණු හිලව්වට හුස්ම දෙන්න එතෙර යන්නෝ...

 ඡායාරූපය:

කහවණු හිලව්වට හුස්ම දෙන්න එතෙර යන්නෝ...

‘පරිස්සමින් ගිහින් එන්න’ යැයි පැවසීම මෙරට මිනිසුන්ගේ පුරුද්දකි. ‘ගිහින් එන්නය’ යන වදනෙහි, යනවාටත් වඩා නැවත එනතුරු වන බලාපොරොත්තුව පෙන්වයි. මෙතෙරින් එතෙර යන මිනිසුන් ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී එකිනෙකාගෙන් වෙන් වන්නේ කඳුළු කූඩයක බර හදවත් මත අඩුක් කරමින්ය.

2018 වසරේදී විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 225 දෙනකු මියගිය බවට ප්‍රවෘත්තියක් පසුගියදා වාර්තා විය. මේ ප්‍රවෘත්තිය සමඟ 2013 වසරේ ජනවාරි 09 වැනිදා මරා දැමුණු 17 හැවිරිදි රිසානා සිහිපත් වෙයි. රිසානා නෆීක් සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස ළාබාල වයසින්ම රැකියාවකට ගියේ නිවසේ පැවැති ආර්ථික දුෂ්කරතා නිසාය. තමා සේවය කළ නිවසේ බිලිඳකු මරාදැමීමේ චෝදනාවට ෂරියා නීතිය යටතේ ඇයට මරණ දඬුවම හිමි වූයේ මුළු මහත් ශ්‍රී ලංකාවම කම්පනයට පත් කරවමිනි. කාන්තාවක් නාඳුනන රටක සේවය කරන්නට යන්නේ නිවසට හයියක් වන්නට, අනාගතය සරි කරගන්නට තමාගේ හිතේ ඇති දස දහසකුත් බලාපොරාත්තු නිසා මිස කැමැත්තකින් නොවේ. එලෙස සේවය කිරීම පහසු කටයුත්තක්ද නොවේ. විශේෂයෙන් කම්කරුවන් ලෙස සහ ගෘහ සේවිකාවන් ලෙස විදෙස් ගත වීම හා එවැනි රැකියාවල නිරත වීම ඉතා දුෂ්කර කාර්යයකි. එලෙස සේවයට යන පුද්ගලයකු මරණයට පත්වීම හුදෙක් එම පුද්ගලයාට සිය ජීවිතය අහිමි වීම පමණක් නොවේ, බොහෝ පිරිසකට ලබැඳියකු අහිමි වීමයි. පවුලකට අත්වාරුවක් අහිමි වීමයි. එබැවින් ඉහතාකාරයේ ප්‍රවෘත්තියක් සැහැල්ලුවෙන් බැහැර කළ නොහැකිය.

සෞදියෙහි 74ක්, කුවේට්හි 46ක්, කටාර්හි 28ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි 27ක්, ඕමාන්හි 8ක්, බහරෙන්හි 07ක්, දකුණු කොරියාවෙහි 04ක්, මාලදිවයිනෙහි 04ක්, සයිප්‍රස්හි 01ක්, ලෙබනන්හි 01ක්, ඊශ්‍රායල්හි 01ක්, ඊජිප්තුවෙහි 01ක්, ජපානයෙහි 01ක්, උගන්ඩාවෙහි 01ක්, ඝානාවෙහි 01ක්, පිලිපීනයෙහි 01ක්, බංග්ලාදේශයෙහි 01ක්, සීෂෙල්ස්හි 01ක් වශයෙන් එම මරණ වාර්තා වේ.

කාන්තාවන් 52 දෙනකු සහ පිරිමි 167කගේ මරණ වාර්තා වන අතර එයින් පිරිමි 25 දෙනකු හා කාන්තාවන් 6 දෙනකු එනම් 31 දෙනකු සියදිවි හානිකරගෙන ඇත. ස්වභාවික හේතූන් මත පුද්ගලයන් 145 දෙනකුත්, මාර්ග අනතුරු නිසා පුද්ගලයන් 21 දෙනකුත් මිය ගොස් තිබේ. මීට අමතරව ශ්‍රමිකයන් බොහෝ දෙනකු අතුරුදන්වීමටද ලක්ව ඇත.

විදේශයන්හිදී මිය ගිය විට එම පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ සිදු කරන්නේ එම රටවලදීය. මිය යන්නේ මුස්ලිම් පුද්ගලයකු නම් ඔවුන් එම රටේදීම ආදාහනය කරයි. ඉස්ලාම් ආගමට අනුව මියගිය පුද්ගලයකු පැය 24ක් ඇතුළත ආදාහන කටයුතු කරන නිසා එසේ කටයුතු සම්පාදනය වේ.

පුද්ගලයකු සියදිවි හානි කරගන්නේ තාඩන පීඩන උසුලාගත නොහැකිවීමකදී, මානසික කම්පනකදීය. මේ සියදිවි හානි කරගැනීම්වලින් කියැවෙන්නේ රැකියාවක් සඳහා විදෙස් රටවලට යෑමේ අපහසුවේ තරමය. ඔවුන්ට විඳීමට සිදුවන මානසික කම්පනයේ තරමය.

විදෙස්ගත රැකියාවකට ගිය විට මරණයට ලක් වුණොත් එහි මරණ පරීක්ෂණ කරන්නේ එම රටවලය. එබැවින් සැබෑවටම දිවි තොර කරගැනීම්ද නැත්නම් මිනීමැරුම් හෝ වෙනත් අනතුරු සිදුවනවා දැයි යන්නෙහි ඉතිරි වී ඇත්තේ සැකයක් පමණි.

2016 වසරේ විදෙස් රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව 242,93කි. එයින් ස්ත්‍රීන් සංඛ්‍යාව 82,628 දෙ‍ෙනකි. පුරුෂයන් 16, 032 දෙ‍ෙනකි. 2008 වසරේ සිට ආරක්ෂිත, පුහුණු ශ්‍රමික, පිටත්ව යෑම් යන උපායමාර්ගික ක්‍රියාමාර්ග හේතුවෙන් විදේශ සේවා පිටත්ව යෑම්හි නිපුණතා මට්ටම්වල ප්‍රගතියක් පෙන්නුම් කෙරිණි. එහෙත් මුළු පිටත්ව යෑම්වලින් 56%ක් නුපුහුණු හා ගෘහ සේවිකා කාණ්ඩවලින් තවදුරටත් වාර්තා වේ.

එසේම දකුණු කොරියානු රැකියා සඳහා පිටත්වීම් ඉහළ ගියද එයින් 100%ක් නුපුහුණු ශ්‍රමික කාණ්ඩයට අයත් වේ. එනම් තවදුරටත් පුහුණු ශ්‍රමිකයන් යැවීමේ ක්‍රමවේදය ශක්තිමත් කළ යුතු බවට හැඟවෙන ලකුණකි. නුපුහුණු තත්ත්වයන් සේවා කටයුතු සැපයීමේදී විවිධ කායික මානසිකා අපහසුතා ඇති වීමට බොහෝ ඉඩ ඇත. ගෘහ සේවිකා, කම්කරු ඇබෑර්තු වෙනුවට වෙනත් කර්මාන්ත සඳහා පුහුණු ශ්‍රමිකයන් විදෙස්ගත කළ හැකි නම් සිදුවිය හැකි අනතුරු අවම කර ගත හැකිය. ශ්‍රම සැපයීම පුහුණු කිරීම තුළින් ආරක්ෂිත ලෙස රැකියාවේ නියුතු වීමටත්, අනතුරුවලින් අත්මිදීමටත් හැකියාව ලැබේ.

2016 වසරේදී විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සංඛ්‍යා දත්ත බැලූ විට සෞදි අරාබිය සඳහා 63,389ක්ද, කටාර් සඳහා 59,527ක්ද, කුවේට් සඳහා 32,415ක්ද, එක්සත් අරාබී එමීර් රාජ්‍යය සඳහා 40,124ක්ද වෙනත් රටවලට 47,475ක්ද පිටත්ව ගොස් තිබේ. මේ අනුව බලන විට පේන්නේ බොහෝ ශ්‍රමිකයන් පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ මැදපෙරදිග රටවලට බවය. එනම් මේ පිටත්ව යෑම සිදු කෙරෙන්නේ ගෘහ සේවිකා රැකියාව සඳහාය. කම්කරුවන්, ගෘහ සේවිකාවන් ලෙස සේවයට යෑමේදී එම සේවාවන් තුළ ඇත්තේ විශාල අනතුරකි. හාම්පුතුන්ෙගන් සිදුවන අනතුරු, සේවා ස්ථානවලදී සිදුවන අනතුරු, ශ්‍රමය හූරා කෑමට ලක්වීම, මානසික කායික පීඩාවන්ට ලක්වීම මෙවැනි ශ්‍රමිකයන්ට නිරායාසයෙන්ම මුහුණු දීමට සිදුවන තත්ත්වයන් වේ.

පහරදීම්වලට ලක්වුණු, හාම්පුතුන්ගේ අඩම්තේට්ටම්වලට, දූෂණයට ලක්වුණු ලංකාවේ අම්මලා ඇත. එසේම වද වේදනා ඉවසාගත නොහැකිව සේවය කළ නිවසින් පැන ගොස් නැවත ලංකාවට පැමිණීමට නොහැකිව දුක්විඳන සහෝදරියෝ වෙති. සම්පූර්ණයෙන්ම ආබාධිත බවට පත්වුණු මිතුරියෝද වෙති. මේසා දුකක් විඳිනවා සේම වරදක් නොමැතිව මරණයෙන් පවා වන්දි ගෙවන්නට සිදුවීම අහස පොළොව නුහුලන තරම්ය.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ශ්‍රී ලංකාව විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයකි. එහෙත් විදෙස් ශ්‍රමිකයන්ට සිදුවන අනතුරු, අනාරක්ෂිත තත්ත්වයන්, මරණ වැනි ඒවා නිසා ශ්‍රමිකයන් පිටරට යෑමට ඇති උනන්දුව අවම වේ. 2016 වසරේදී 2015 වසරට සාපේක්ෂව විදේශ රැකියා සඳහා පිටත්ව යන්නන්ගේ සියයට 7.8කින් පහළ යෑමක් වාර්තා වේ. මෙසේ විදෙස් ශ්‍රමිකයන්ගේ පහළ යෑමේ බලපෑම විදේශීය අංශයේ ජංගම ගිණුම් ශේෂයට අහිතකර බලපෑමක් එල්ල කරන බැවින් ශ්‍රමිකයන් විදෙස්ගත කරවනවා නම් පුහුණු ශ්‍රමිකයන් ආරක්ෂිතව විදෙස් ගත කරවීමේ ක්‍රියාමාර්ග ගත යුතුය. එවැනි ආරක්ෂණයක් දැනේ නම් විදෙස් රැකියා සඳහා බිය සැක නැතිව එක්වීමට බොහෝ ඉඩකඩ ඇත.

මවුවරුන් විදේශගත වීම පසුගිය කාලයේ විශාල වශයෙන් සමාජ ප්‍රශ්න ඇති කිරීමට හේතු වූ අයුරු මතකය. බීමත් පියවරුත්, අඩු වයසින් නිවසට හොරා විවාහය තෝරා ගන්න දූවරුත්, පියා අතින් අපහරණයට ලක්වුණු දූවරුත් සමාජයට එක් වුණු අයුරු මතකය. වසර ගණනක් බැලමෙහෙවර කොට නිවසට එන විට, අගහිඟකම් අවසන් වී තිබුණත් එකට පැවති කැදැල්ල කැඩී බිඳී ගිය අවස්ථාවවලට නිදසුන් ඕනෑ තරම් ඇත.

විදෙස්ගත වන ශ්‍රමිකයන්ගේ සංක්‍රමණික ක්‍රියාවලිය නියාමනය කිරීමටත්, ඔවුන්ගේ සුරක්ෂිතතාව හා ඔවුන් කෙරෙහි සාධාරණත්වය තහවුරු කිරීම සඳහාත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩපිළිවෙළක් යොදා ඇති බව අමතක කළ යුතු නැත. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් 2016 වසරේදී විදේශ රැකියා සඳහා නීති විරෝධී ලෙස බඳවා ගැනීම් සම්බන්ධව වැටලීම් 101ක් කරන ලදී. එසේම මිනිස් ජාවාරමට එරෙහි කාර්යාංශ ඒකකයක්ද ස්ථාපනය කර ඇත.

ලෝ පුරා සේවායෝජකයන් හා රැකියා ඒජන්තවරුන් මුහුණ පාන ප්‍රධාන ගැටලුවක් වන්නේ ඉතා කාර්යක්ෂම පුහුණු ශ්‍රමිකයන් සොයාගැනීමයි. එම අතිරික්තය පිරවීමට රටක් ලෙස ශ්‍රී ලංකාවට හැකි නම් එය ශ්‍රමිකයාට මෙන්ම රටටද යහපතකි.

ඉංජිනේරු, ගණකාධිකාරි, වාස්තුවිද්‍යාඥ, වෛද්‍ය, ගුරු, නීතිඥ, බැංකුකරණ, හෝටල් සහ ආපන ශාලා සේවක, පිළිගැනීමේ නිලධාරී, හෙද සේවක, අනුපූරක වෛද්‍ය සේවක, පරිගණක ක්‍රියාකරු සහ මෘදුකාංග නිර්මාණ ශිල්පී ආදී ක්ෂේත්‍ර රැසකින් ශ්‍රී ලංකික පුහුණු ශ්‍රමිකයෝ සිටිති.

මීට අමතරව, මැෂින් ක්‍රියා කරවන්නන්, කර්මාන්ත ශාලා සේවකයන්, වෑල්ඩින් සහ මෝටර් රථ කාර්මික ශිල්පීන්, බර වාහන රියැදුරන්, වරාය සේවකයන්, දුරකථන සන්නිවේදන කාර්මිකයන්, නැවියන්, කම්කරුවන් සහ ගෘහ සේවකයන් ආදී ක්ෂේත්‍රවලින්ද ශ්‍රී ලංකික පුහුණු ශ්‍රමිකයෝ සිටිති.

කළ යුත්තේ තවදුරටත් පුහුණු ශ්‍රමිකයන් සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගැනීමය. හැකිතරම් නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් සූදානම් කළ යුතුය. වෘත්තිය පුහුණුව මඟින් කළ යුත්තේ කර්මාන්තවල නියැළිය හැකි ශ්‍රමිකයන් පුහුණු කිරීමය. එවැනි පුහුණු කර්ම සඳහා යෙදෙන්නන් දිරිමත් කිරීමය.

[රසිකා හේමමාලි]

මාතෘකා