වැලි මිදුල

 ඡායාරූපය:

වැලි මිදුල

සිතුවිලි - යහපත්කම

හම යනු යහපත්කමය. එය රකින්නා ආගම රකින්නාට වඩා වැදගත්ය. ආගම බෙල්ලේ එල්ලාගත් නොදැහැමියෝ කොතෙකුත් වෙත්.

ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම්

තාත්තා

 

දිවා රෑ කල අව්ව වැස්සට

සිටියෙ නෑ නිවසට වෙලා

තුන් යමේ රෑ නිදිවරාගෙන

හේනෙ පැල් රකිනා පියා

නින්ද යන තුරු කවි කතන්දර

කිව්වෙ මගෙ හිස අත ගගා

වෙහෙස දුටුවා දෑත රළු වී

උදලු මිට සියුමැලි වෙලා

 

මවගෙ රුධිරය කිරි උරන සේ

දහදියෙන් කෙත සරුවුණා

කෙතේ ගොයමට කිරි වදින විට

සතුට ඔබ මුවගෙහි සිනා

එයින් අටුකොටු පිරී අප ලොව

දිවා රෑ සඳ පායනා

අම්ම නැති දුක අපට දුන්නෑ

සැඟව නෙතු කඳුළක් ගෙනා

 

[මොනාලි ටිමේෂා කුමාරි]

8 ඩී

කෑ/ස්වර්ණ ජයන්ති මහ විදුහල


තනි වූ මල

 

බොහෝ මල් අතර

නිහඬ තනි මල

කාටත් නොකියා පරව ගියේය.

සුවඳ හමන්නට වූයේ

මළ පසුය

මල

මඟ අවුරා තිබුණි

සුවඳෙහි.

[සේයා සෙව්වන්දි]

අම්/පානම මහ විදුහල


නොයෙක් හැල හැප්පීම් මැද පසුගිය දින කිහිපය ගත වූයේ ඉතාමත් අවිවේකීවය. පාසලෙන් ලබා දෙන ගෙදර වැඩ, නිවසේ දෛනික කටයුතු, ළමා සමාජය, ඉරු දින දහම් පාසල් ද පමණක් නොව සමාජසේවා ක්‍රියාකාරකම්හි ද නියැෙළන මේ පුංචි අමාලි එම කටයුතු මනාව කළමනාකරණය කර ගනී. පසුගිය සතියක පමණ කාලය ඉතාමත් අවිවේකී වූ බැවින් ඉදිරි දින කිහිපය තුළ ඇය යම් විවේකයකින් කටයුතු කිරීමට ඉටා ගත්තේය.

“හරි මගෙ වැඩේ ඉවරයි” යි කියමින් උණුසුම් සුසුමක් හෙළුෑ අමාලි රෑ බෝවී ඇති හෙයින් වෙනදාට වඩා මඳක් ඉක්මනින් නින්දට යාමට තීරණය කළාය.

“අම්මේ මම අද ටිකක් කලින් නිදාගන්නවා. අම්ම නිදාගන්නැද්ද?”

“ඔයා නිදාගන්න. මම මේ වැෙඩ් ඉවර කරලම එන්නම්.” ඇඳුමකට රෙදි කපමින් සිටි සිරිමලී පැවසීය.

පසුදා හිමිදිරියේ අවදිව තමන්ගේ උදෑසන නිවසේ රාජකාරි අවසන් කළ අමාලි උදෑසන ආහාරගෙන, තම මව විසින් ඔතා දුන් දහවල් ආහාරය සහිත පෙට්ටිය බෑගයට දමා ගත්තේය. මවට වැඳ අවසර ගත් අමාලි නගරය කරා දිවෙන බස් රථයේ නළා හඬ ඈතින් ඇසුනු බැවින් බස් නැවතුම කරා පිටත් විය. අමාලිගේ මුහුණ අමුතු ආලෝකයකින් පිරුණු බවක් පෙණෙන්නට තිබුණි.

පාසලට පැමිණි විගස බෑගය තුළ වූ තරමක ෆුල්ස්කැප් කොළ මිටියක් අතට ගෙන පන්තියෙන් පිටව ගුරු කාමරය දෙසට ඇදුණේය. පන්තිකාමරය ඇති ශාලාවේ ඉදිරියේ වූ පඩි පෙළ අඩි දෙක තුනකින් බැසි අමාලි ඉදිරියේ දර්ශනය වූයේ සුපුරුදු ලෙසම වේවැල අත දරන රත්නායක සර්ය. ඔහු දුටු අමාලි එක්වරම නැවතුණි.

“අමාලි කොහෙද මේ කලබලේ දුවන්නෙ?”

“මම මේ සර්ව මුණගැහෙන්න ගුරු කාමරයට යන්න ආවෙ.”

“මොකද කලබලේ?”

“සර් මම අත් පිටපත් තරගයට යවන්න කතාවක් ලිවුවා. ඒක හොඳද බලන්න සර්ට දෙන්න ආවෙ.”

“බොහොම හොඳයි. බොහොමත්ම හොඳයි. ඔය දරුවට කුඩා කාලෙම මේ වගේ දෙයක් හිතුණ එකත් ලොකු දෙයක්.

“සර් මාව දිරිගන්වපු නිසා තමයි මට මේක ලියන්න පුළුවන් වුණේ”

මට දවස් දෙක තුනක් දෙන්න දුවේ මම බලල දෙන්නම්. මේක එහෙන් මෙහෙන් බලල හරියන්නෙ නැහැ. ආ එහෙනම් පන්තියට යන්න.”

“හොඳයි සර්” අමාලි පන්තිය කරා පිය නැගින විට පාසල ආරම්භ කරන වේලාව ළංව තිබුණි. අමාලි ගේ අදහස වූයේ රත්නායක සර්ගෙන් අදම පිටපත කියවා ගැනීමටයි.

“මේක ලියන්න මට මාස තුනක් විතර ගියා. රත්නායක සර් කොහොමද දවසින් කියවන්නෙ” අමාලි සිතින් තමාටම කියා ගත්තාය.

ගෙවුණු දින කිහිපය අමාලි ගත කළේ ඉවසුම් රහිතවය. රත්නායක සර්ගෙන් පොත පිළිබඳ දැනගන්නා තෙක් ඇයට ඉවසීමක් නොමැති විය. තම මිතුරිය වූ ශමාලිද පන්තියේ නොමැති වීම ඇයට මහත් පාඩුවක් විය.

“අමාලියෝ මොනවද බං ඔච්චර කල්පනා කරන්නෙ. ලෝකෙ පෙරළන්නවත්ද?” අමාලි අසලට පැමිණි දිනෙති ඇසුවේ කොලොප්පමට මෙනි.

“නැහැ එහෙම විශේෂයක් නැහැ.” අමාලි පැවසුවාය. මොහොතක් ගතවිණි.

“අමාලි අක්කේ, අමාලි අක්කේ, අන්න ඔයාට දැන්මම ඔෆිස් එකට එන්න කියල ප්‍රින්සිපල් සර් කිවුවා. දෙදෙනාගේ සංවාදයට තිත තබමින් යාබද පන්තියේ තරුෂ කෑ ගැසුවේය.

මඳ කුතුහලයක්ද සහිතව අමාලි කාර්යාලය වෙත පියමැන්නේ ය.

“ආ එන්න දුව ඇතුළට” අමාලි දුටු විදුහල්පතිතුමා පැවසීය. රත්නායක සර්ද නියෝජ්‍ය විදුහල්පතිතුමියද කාර්යාලයේ වූහ.අවසාන කොටස ලබන සතියේ

9 ශ්‍රේණිය,

කහපොළ පඤ්ඤානන්ද විදුහල

[හිරුණී හංසිකා]


උදෑසන

හිරු කුමරා කන්ද උඩින් එබී බලනවා

පාට පාට මල් පිපිලා සුවඳ හමනවා

කුරුලු පැටවු ඉගිලි ඉගිලි ගීත ගයනවා

උදෑසනේ අසිරිය අපි වටහ ගන්නවා

ගොවි නැන්දල ගොවි මාමල කුඹුරට යනවා

පුංචි ළමයි සුදු ඇඳුමින් පාසල් යනවා

ලොකු අයියල ලොකු අක්කල කොළඹට යනවා

සමහර අය ගෙයට වෙලා නිකන් ඉන්නවා

බට්ටිච්චෝ කෑම සොයා පියඹා යනවා

සමනලයෝ පුෂ්ප කරා පියඹා යනවා

මී මැස්සෝ ගුම් ගුම් හඬ නාද කරනවා

උදෑසනේ කුසුම් පිපී සුවඳ හමනවා

[ගයංසා සෙත්මී]

5 ශ්‍රේණිය,

ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය කහපොල


සෙනෙහස

වැරහැලි පිළියෙන් ගත සරසාගත්

මගේ ලොවේ සුරඟන අම්මා

ළිප මත මුට්ටිය රඳවා

හද ගින්නෙන් බත ඉදවන අම්මා

සැඳෑ අඳුර ලොව වැටලූවද

පැල්පත අයිනේ එළිය කරන අම්මා

නියං පොළොව දහදියෙන් තෙත් කර

අව් ගින්න සුසුමෙන් පැරදූ

හද ගින්නට දරු සෙනෙහෙන්

හව් හරණක් සැදු අම්මා

[ඉසුරි කෞශල්‍යා]

අම්/පානම මහ විදුහල


දෙපා වාරු ඇත

ලෝකයම හැල්මේ දිව යද්දී සිතිවිලි විතරක් කොහොම නවතින්ද...? මේ හැම මොහොතක්ම සිතිවිලි එක්ක බැඳිලා. ඒ බැඳීම්, සිදුවීම් අපූරු පාඩම් කියා දෙනවා. සමහර පාඩම් අවසානයේ කාටත් තවත් දින කිහිපයක් යනතුරු හිතන්න යමක් ඉතිරි කළ අවස්ථා බොහොමයි.

මහනුවර තෙක් ධාවනය වෙන බස් රථය ඒ අරමුණ දිගේ අපවත් රැගෙන යන්නේ මහා ඝෝෂාවක් එක්ක අහන්න ගීතයක් පසුබිමෙන් දායාද කරන ගමන්මයි. කීප වතාවක් ඒ ගීතයේ තේරුම ගැන හිතන්න උත්සාහ කළත් ඒ උත්සාහයට වඩා වේගයකින් ගීතය අවසන් වෙලා. එක් නැවතුමක රථය නතර වූ හැම වාරයක් පාසාම ගොඩවෙන අයගෙත් ඉන් බැස යන අයගේත් මුහුණුවල ලියවිලා තියෙන හැඟීම් මොන තරම්ද.? සමහර කෙනෙකුගේ හැසිරීම් ගමනේ විඩාව නොදැනීම මඟ හරවන්න තරම් ප්‍රබලයි. ඒ මොන සිදුවීම් සිදු වුවත් ගමනාන්තය තෙක් වන රියැදුරු මහත්මාගේත් බස් රථයේත් අරමුණෙහි කිසිම වෙනසක් නැහැ.

එක් නැවතුමකදී ගොඩවුණු මිත්තණියක් පා පුවරුව අසලම ඇති ආසන දෙකක අත්වාරුව තදින් අල්වාගෙන. රථය ධාවනය වන වේගය ඇගේ හිතේ ඇති ශක්තිය පරදවන තරම්. එහා මෙහා වැනෙන ශරීරය ඒ අවසඟ බව හොඳින්ම කියනවා. ළඟම ඇති ආසනයේ වාඩි වෙලා ඉන්න සොහොයුරා ජනේලයෙන් පිටත බලා ඉන්නේ මිත්තණියගේ ඇඟ දැවටුණු සුදෝ සුදු ඔසරියේ පැහැය ඇහැට රිසි නැති නිසා වගෙයි. නැත්නම් රථයේ තිරිංගය ක්‍රියාත්මක වෙන හැම වාරෙකදීම ඇය පියවර ගණනක් එහාට මෙහාට විසිවෙන ඇයව නොදකින්න කිසිම හේතුවක් නැහැ. රථයේ පිටුපස ම ආසනයේ වාඩි වී ඉන්න මගේ ආසනය ඇය වෙනුවෙන් වෙන් කළ හැකි වුවත් එතෙක් දුර ෙගවාගෙන ඇයට ආ හැකි වේදැයි සැක හිතෙන තරම්.

මේ සිදුවීම් එක්ක තවත් සැතපුම් කිහිපයක දුරක් ගෙවෙන්න ඇති. ජනේලයෙන් පිටත බලා ඉන්න සොහොයුරා අසල වාඩි වී උන්නු කෙනෙක් එක්වරම තමන්ගේ ආසනයෙන් නැඟී හිටින්නේ අපහසුවෙන් වාරු නැතිව ඉන්න මිත්තණියට ඒ ආසනය පිරිනමන ගමන්මයි. හැම දෙනාටම වගේ ම මගේ ඇසුත් ඔහු අසල නතර වෙලා. මිත්තණියටත් වඩා වයසින් වැඩි සීයා කෙනෙක් තමන්ගේ දෙපාවල ඉතිරි වෙලා ඇති ශක්තිය ගැන තියෙන විශ්වාසය නිසා ඒ තරම් කරුණාවන්ත වෙද්දී ජනේලයෙන් පිටත සිරි නරඹන සොයුරාටවත් රථයේ ඉන්න අනෙක් කෙනෙකුටවත් මේ කිසිම දෙයක් දැනෙන්නේ නැති ගාණයි. ඇත්තෙන්ම මම කියවූ පොතකත් මේ සිදුවීම මීට වඩා මඳක් වෙනස් විදිහකට ලියවිලා තිබුණා. ඒ කියන්නේ අපට අපේ පරම්පරා කිහිපයක් ගත වෙලත් හදා ගන්න නොහැකි වූ ආකල්ප තියෙනවා කියන දෙය නොවෙයිද.?

එත් එක්කම රියැදුරු මහත්මයා කටහඬ අවදි කළා. “ආ... මම මේ හිතාගෙන උන්නේ මේ අම්මාට ඉඳ ගන්න මගේ සීට් එකවත් දෙන්නම් කියලා. මේ මහත්තයා කලින්ම නැඟිට්ට නිසා හොඳට ගියා.” මේ කතාවේ තේරුම වටහා ගන්න අපිට තවත් විනාඩි කිහිපයක් ගත වුණා.

තවත් දුරක් යද්දී සීයාට තමන්ගේ අතේ රැඳුණු ගමන් මල්ලේ බර වැඩියෙන් දැෙනන්න ඇති. ඒ නිසාම ඔහු පහත් වී එය බස් රථයේ බිමින් තබනවා. ඒත් එක්ක ම ඒ දිහාවට හැරෙන මිත්තණිය ඉතාමත් අපහසුවෙන් එය රැගෙන සිය ඔඩොක්කුවේ තියා ගන්නේ තමන්ගේ ගමන් මල්ල රඳවා ගන්නවත් සවියක් නැතිව ඉඳිද්දීයි. මේ හැම දෙයකටම වඩා මමත් ඇතුළුව බස් රථයේ වාඩිවෙලා හිටිය කිසි කෙනෙක් අඩුම තරමින් ඒ සීයාට ආපහු ආසනයක් පිරිනැමුවා නම් අපි හැමෝම අතින් වුණු වරද නිවැරදි කර ගන්න හොඳ අවස්ථාවක් තිබුණා. තවත් සංවාදයක් ඔය අතරේ ඇහෙන්න ගත්තේ මගේ හිතේ ඇතිවුණු තර්කය යටපත් කරගෙනමයි. “එයාලා දැන ගන්න එපැයි දුර ඉඳන් එන බස්වලට මඟදී නැග්ගහම කොහොම ඉඳගන්න ද කියන එක. අනික මේ අපිටවත් හිටගෙන යන්න බැරි එකේ ඉඳගන්න තියනවාද කියලා අහලා බස් එකට ගොඩ වුණා නම් ඉවරයිනේ.” “අපිත් ගමන් මහන්සියෙන්නේ එන්නේ. නැඟිටලා යනවා තියා හිතා ගන්නවත් බැහැ.”

ඇත්තටම අර්ථයක් නොදැනෙන මහා ශබ්දයෙන් ඇහෙන ගීත ගොන්නට වඩා මේ ගීතය හෙමින් හරි ඇහුණා නම් අපිට යමක් හිතන්න ඉතිරි වෙන්නවත් තිබුණා.

“දකින විට පන්සලක් පිළිමයක්, බෝධියක්

හුනස්නෙන් නැඟිටිමින් වඳිනවා

හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන

අඩවන්ව නෙත් බරව බලනවා.....

කවුළුවෙන් අනන්තය සොයනවා

අතෙහි රුඳි පොත පතෙහි එකම පේළිය තුළම

නෙත් දහස් වාරයක් දුවනවා.”

“ඔය නෝනා මහත්තුරු හැමෝම බැහැ ගන්න.” තවත් ගමනක අවසානය.

[චමත්ක කවීන් බණ්ඩාර]


නිදහස් මනස නීරෝගිමත්ය. ජවසම්පන්නය. කිසි විටක එවැනි මනසක් ශක්තිමත්ව හිමිකරගන්නා අය අනෙකා පසුපස අනුකාරක වාදීව ගමන්කරන්නේ නැත. ඔවුන් තමන්ගේම අත්දැකීම් රසවිඳ, එම රසයට හානියක් නොකර නිර්මාණාත්මකව, නව මානයන් ඉදිරිපත් කරයි. එය පහසු කටයුත්තක් නොවේ.

පන්තියක්ම නොවන චිත්‍ර පන්තියේ අභ්‍යාසයේ නියැෙළන මේ දරුවා ගේ නිර්මාණ ඉහත කී ගුණයෙන් මැනවින් පිරී තිබේ.

මේ ශක්තිය මිනිසාට තම ජීවන ගමනට මහත් ශක්තියක් ගෙන දෙයි. ඒනිසා මේ හුරුව ළමා අවදියේදීම ලබාදීම ඉතා නුවණක්කාර කමක් බව කියන්නට පුළුවන්.

මේගැන ඔබටත් යමක් කියන්ට තියෙනවානම් පහත ඊ ලිපිනයට ලියන්න. [email protected]

මේ චිත්‍ර නිර්මාණය - සහේලි මෙතායා


වැලිමිදුල පිටුවට ඔබ එවන නිර්මාණ අතරින් හොඳම නිර්මාණය සඳහා සතිපතා ‘රන්පෑන‘ ත්‍යාගය වශයෙන් අගනා පොතක් පිරිනැමේ. මේ සඳහා පොත් ලබාදෙන්නේ ‘සන්ථව‘,‘සූරිය‘,‘ග්‍රැෆිකෙයා‘ යන ප්‍රකාශන ආයතනයි. ඔබේ චිත්‍ර, කවි, රචනා, කෙටිකතා සහ වෙනත් ලිපි, පන්තිභාර ගුරුතුමාගේ/තුමියගේ අනුමැතිය ඇතිව පහත ලිපිනයට එවන්න.

වැලිමිදුල සංස්කාරක,
රැස කතුමඬුල්ල,
ලේක් හවුස්,
ඩී.ආර් විජේවර්ධන මාවත,
කොළඹ 10.
 

මාතෘකා