සල්ලම් නොවෙන්න කළොත් ගොඩයන්න පුළුවන් වල්ලපට්ටා

 ඡායාරූපය:

සල්ලම් නොවෙන්න කළොත් ගොඩයන්න පුළුවන් වල්ලපට්ටා

'වල්ලපට්ටා' ගැන පුවත්පත් වාර්තාවක් පළ නොවූ දිනයක් ඇත්නම් ඒ ඉතා කලාතුරකිනි. ලක්ෂ ගණන් වටිනා වල්ලපට්ටා තොග පිටින් මෙරටින් පිටකරන්නට දැරූ උත්සාහයන් හෝ වල්ලපට්ටා සොයා සිදුකරන වන සංහාරයන් ඒ බොහෝ පුවත්වලට සිරස්තල වේ. "මොනවද මේ වල්ලපට්ටා? එකී ශාකයේ ඇති වටිනාකම සහ එම ශාකය සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වය කුමක්ද? "යන කරුණු පිළිබඳ බොහෝදෙනකුට නිසි අවබෝධයක් නැත. අතීතයේදී මෙරටට විදේශ විනිමය ගෙන ආ තේ, රබර්, පොල්, කුරුඳු, ගම්මිරිස්‌ සහ මැණික් පරදවමින් මේ වන විට කොතල හිඹුටු, සුදුහඳුන් සහ වල්ලපට්‌ටා විශාල විදේශ විනිමයක්‌ උපයන තත්ත්වයට පත්ව තිබේ. එබැවින් වල්ලපට්ටා ගැන දැනුවත් වීම වැදගත්ය.

වල්ලපට්ටා ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය Gyrinops wallas wdlla‌ය. 'වල්ලා' යන්න එය සිංහල භාෂාවෙන් හඳුන්වන නාමයයි. Gyrinops ඝනයට ශාක විශේෂ 8ක්‌ පමණ අයත්වන අතර වල්ලපට්ටා ඒ අතර විශේෂ ශාකයක් වේ. මෙරට තෙත්කලාපීය හා අතරමැදි කලාපීය ප්‍රදේශවල බහුල වශයෙන් පැතිර පවතින වල්ලපට්ටා එම ප්‍රදේශයේ වනාන්තරවල යටි ස්‌ථරය තුළද විසිර පවතී. ඉන්දියාවේ කේරළ, තමිල්නාඩු ප්‍රදේශවලද වල්ලපට්ටා තිබුණද ඒ සුළු වශයෙනි. වල්ලපට්ටා ශාකයක සාමාන්‍ය උස මීටර් 5-7ක් පමණ වන අතර ගසේ පොත්ත කොළත් සමඟම ගැලවී යාම මෙම ශාකයේ ප්‍රධාන ලක්‌ෂණයකි. වසරේ අප්‍රේල් සිට ජුලි දක්වා කාලය මෙම ශාකයේ මල් හටගන්නා කාලය වන අතර ඒ කාලයේදීම එහි නොමේරූ ගෙඩිද හටගනු දැකිය හැක.

වල්ලපට්‌ටා ශාකයට අධික වටිනාමක් හිමිවීමට හේතුව එම ශාකයෙන් ලබාගන්නා රසායනික ද්‍රව්‍ය මඟින් සුවඳ විලවුන් හා ඖෂධ නිෂ්පාදනය කිරීම නිසාය. මෑත කාලයේදී එම රසායනික ද්‍රව්‍ය ලෝක වෙළෙඳ පොලේ ඉතා ඉළෙ මිලකට අලෙවි වීම වල්ලපට්ටා ශාකයට පෙර නොවූවිරූ වටිනාකමක් හිමිවීමට හේතුවයි.

වල්ලපට්ටා ශාකයෙන් ලබාගන්නා එම රසායනික ද්‍රව්‍ය විවිධ රටවල විවිධ සංස්කෘතීන්වල විවිධ ආකාරයෙන් හඳුන්වන බවද වාර්තා වේ. ඒ අනුව වල්ලපට්ටා ඈත අතීතයේ සිටම මිනිසුන් විසින් භාවිත කළ සමීප ශාකයක් බවට සාක්ෂි තිබේ. විශේෂයෙන් සුඛෝපභෝගී ජීවන රටාවකට අනුගත වූ සමාජයේ ඉහළ පැළැන්තියේ පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය විදහාපාන නිෂ්පාදනයක්‌ ලෙස වල්ලපට්ටාවලින් නිෂ්පාදනය කරන සුවඳ විලවුන් ජනප්‍රිය වී තිබිණි. සංස්‌කෘත භාෂාවේ "අයුරු" ලෙස හැඳින්වෙන වල්ලපට්ටාවල අඩංගු එම රසායනික ද්‍රව්‍ය පිළිබඳව ලොව ඉපැරණි ග්‍රන්ථයක් වන සංස්‌කෘතවේද ග්‍රන්ථවලද සඳහන් වන බව පැවසේ. එම ආකර්ෂණීය සුවඳට සමාන ස්වාභාවිකව නිපදවන වෙනත් සුවඳක් සොයාගැනීමට අසමත් වීම නිසා වල්ලපට්ටාවල ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් තිබේ. තායිවානය, කාම්බෝජය, වියට්‌නාමය වැනි රටවල් වල්ලපට්ටා ශාකය ඇසුරින් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රටවල් අතර පෙරමුණේ සිටින අතර, එම රසායනික නිෂ්පාදන සඳහා ජපානය, කොරියාව, චීනය, යුරෝපීය සහ මැදපෙරදිග රටවලින් ඉහළ ඉල්ලුමක්‌ ඇත. විශේෂයෙන් අරාබි රටවල් වැඩි වශයෙන් එම රසායනික ද්‍රව්‍ය ඉල්ලුම් කරන්නේ එය මද්‍යසාරයෙන් තොර නිෂ්පාදනයක්‌ වන නිසාය. ඊට අමතරව ඉන්දියාවේ මෙම රසායනික ද්‍රව්‍ය ඇදුම, උදරාබාධ, අතීසාරය, ගලගන්ඩය, රූමැටික්‌ උණ සහ අංශභාගය වැනි රෝග නිවාරණය සඳහාත් ලිංගික ශක්‌තිය වර්ධනය කිරීමට සහ සමේ රෝග සුව කිරීම සඳහා යොදාගන්නා බවත් වාර්තා වේ. වල්ලපට්ටා ශාකයේ කුඩා කැබලි තෙල් තුළ බහා ශරීරය සුවඳවත් කිරීමටත් ශාකයේ ලී විවිධ කැටයම් වර්ග තැනීමටත් භාවිත කරන බවද පැවසේ.

වල්ලපට්ටා ශාකයේ ඇති ඉහළ ආර්ථික වටිනාකම නිසාම ඒ පිළිබඳ පර්යේෂණද වැඩිවශයෙන් සිදුවන බව වාර්තා වේ. වල්ලපට්ටා ශාක කඳ තුළ ස්‌වභාවිකව නිපදවන රසායනිකය කෘත්‍රිමව ගසට ලබාදීමෙන් ඉක්‌මනින් ආර්ථික වාසි අත්කර ගත හැකි බව එවැනි පර්යේෂණවලින් හෙළි වී තිබේ. ඒ අනුව එම දිලීරය විද්‍යාගාර තුළ වෙනමම නිෂ්පාදනය කර ‌ Gyrinops ඝනයට අයත් ශාකවලට එන්නත් කොට එම රසායනිකය නිෂ්පාදනය කිරීම පිළිබඳ රටවල් කිහිපයක පර්යේෂණ පවත්වා ඇති අතර ඇමෙරිකා එක්‌සත් ජනපදයේ මිනසෝටා විශ්වවිද්‍යාලයේ ඒ සම්බන්ධයෙන් පර්යේෂණ විශාල ප්‍රමාණයක්‌ සිදුකර තිබේ.

කෙසේ වෙතත් වල්ලපට්ටා ශාකයේ ආර්ථික වටිනාකම ජාවාරම්කරුවන්ගේ අවධානයෙන් නම් ගිලිහී ගොස් නැති බව පසක් කරමින් නීතියට පිටින් වල්ලපට්ටා රට පටවන ජාවාරම්කරුවෝ ගැන තොරතුරු සැලවන්නට විය. වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් වල්ලපට්‌ටා ශාකය පිළිබඳ මුල්ම වැටලීම සිදුකර ඇත්තේ 2012 අගොස්‌තු මස 27 වැනිදා රත්නපුර, කළවාන ප්‍රදේශයේදීය. එහිදී වල්ලපට්‌ටා ශාකයේ කොටස්‌ අත්අඩංගුවට ගෙන ඇති අතර, එම නීති විරෝධී ශාක ජාවාරම කලක සිට සිදුව ඇති බව අනුමාන කළ හැකි සාක්‌ෂිද එහිදී හෙළි වී තිබිණි. ශ්‍රී ලංකා රේගු අධිකාරියේ වාර්තා සඳහන් කරන්නේ මෙම නීති විරෝධී ජාවාරම පුළුල් ජාලයක්‌ ලෙස රටපුරා විසිර ඇති බවත් විශේෂයෙන් උතුර, උතුරු නැඟෙනහිර ප්‍රදේශ ආශ්‍රිතව මුහුදු මාර්ග ඔස්‌සේ සිදු කෙරෙන බවත්ය. මෙම ජාවාරම තුළින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක්‌ අහිමිවනවා පමණක්‌ නොව අපේ රටට ආවේණික ශාක හා සත්ත්ව ප්‍රජාවත්, ජානමය අයිතියත් එම ශාක හා සත්ත්ව විශේෂ වෙනුවෙන් පේටන්ට්‌ බලපත්‍ර ලබා ගැනීමේ හැකියාවත් මෙරටට අහිමිවීම එහි ඇති බරපතළ කාරණාය.

එසේ තර්ජනයට ලක්ව ඇතිබවට හඳුනා ගැනීමෙන් පසු වල්ලපට්‌ටා ශාකය වඳවී යෑමේ අවදානමක් ඇති විශේෂයක්‌ ලෙස 2012දී රතු දත්ත වාර්තාවටද ඇතුළත් කෙරිණි. වන සංරක්‌ෂණ ආඥා පනතේ පවතින විධිවිධාන යටතේ වනාන්තර තුළින් මෙම ශාකය හෝ වන ද්‍රව්‍ය උකහා ගැනීමේදී ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය. වනසත්ත්ව හා වෘක්‌ෂලතා ආඥා පනත යටතේද වල්ලපට්ටා අපනයන කිරීම, වගා කිරීම තහනම් කිරීමට හෝ විධිමත් කිරීමටත්, ඉවත් කිරීමට, ආරක්‌ෂා කිරීමට, සංරක්‌ෂණයට නියෝග පැනවිය හැකිය. මෙම ශාක හෝ ශාක කොටස්‌ අපනයනය කිරීම සඳහා වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහ අපනයනයට අදාළ අනෙක්‌ රටේ අනුමැතිද අවශ්‍ය වේ. ගතවූ වසර හතර පහක කාලය තුළ වල්ලපට්ටා ජාවාරම මහත් ආන්දෝලනයකට තුඩු දී තිබූ හෙයින් එම ශාකය ආරක්ෂා කරගැනීම සඳහා එය කෘෂි වන වගාවක් ලෙස දියුණු කිරීමට පියවර ගැනීමටද 2014 වසරේදී කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අදහසක් ඉදිරිපත් කර තිබිණ. බොහෝ විට ඇතැම් මිනිසුන් නිකරුණේ වල්ලපට්ටා ශාකය විනාශ කිරීමට පෙලැඹී ඇත්තේ ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම නිසා බැවින් එම තත්ත්වය වැළැක්වීමට වල්ලපට්ටා ශාකයේ වැදගත්කම පිළිබඳ අවබෝධය ජනතාව වෙත ගෙනයෑමේ අවශ්‍යතාවද එහිදී හඳුනාගෙන තිබිණි.

එම අදහස් ක්‍රියාවට නැංවූයේ නැතද මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස වඳවී යෑමේ තර්ජනයට ලක් වී ඇති වල්ලපට්ටා ශාකය සම්බන්ධ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලට ඉදිරිපත් කිරීමට පියවර ගත් අතර 2015 වසරේ ජූලි මාසයේදී ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

ඒ අනුව ජාතික රතු දත්ත ලේඛනය මගින් නම් කර ඇති ගිරිනෝප්ස් වල්ලා ශාක සුරැකීමට අවශ්‍ය පියවර දැඩි සේ බලාත්මක කරන අතරම වාණිජමය කාර්යයන් උදෙසා වවනු ලබන එකී ශාක අදාළ බලධරයා විසින් නිකුත් කරනු ලබන අවසර පත‍්‍රයක් මත සන්තකයේ තබා ගැනීම සහ ප‍්‍රවාහනය කිරීම සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ එකඟතාව ඇතිව සකස් කරන ලද ක‍්‍රමවේදය කි‍්‍රයාත්මක කිරීමේ අවස්ථාව සැලසුණි.

නීති විරෝධී ලෙස අපනයනය කිරීම ඉහළ ගොස්‌ ඇති ශාක, වාණිජ වශයෙන් වගා කිරීමට නිති සංශෝධනය කෙරෙන අතරතුර එම ශාක ගෙවතු වගා ලෙස හඳුන්වා දීමටද පසුගිය කාලයේ රජයේ අවධානයට ලක්වී තිබිණි. ඒ අනුව වල්ලපට්‌ටා, සඳුන්, කොතල හිඹුටු වැනි ශාක ගෙවතුවලට හඳුන්වාදීමේ අවශ්‍යතාවද එහිදී සැලකිල්ලට ගෙන තිබිණි. දිනෙන් දින වල්ලපට්ටා පැළෑටි නීති විරෝධී ලෙස රටින් ගෙනයෑම ඉහළ යාම වැළැක්වීම එහි එක් අරමුණකි. බොහෝදෙනකු වල්ලපට්ටා ගැන නොදන්නා කරුණ වන්නේ වල්ලපට්ටා ආශ්‍රිත නිෂ්පාදන මෙරට සිදුකළද ඒවාට ඉල්ලුමක් නැති බවය. ඉල්ලුම තිබෙන්නේ ජාත්‍යන්තර සන්නාම යටතේ නිෂ්පාදන වන නිෂ්පාදනවලට පමණක් බැවින් වල්ලපට්ටාවලින් විදේශ විනිමය ඉපැයිය හැක්කේ වල්ලපට්ටා ශාක අමුද්‍රව්‍ය වශයෙන් අපනයනය කිරීමෙන් පමණි. එම නිසා වල්ලපට්ටා ගෙවතු වගාවක් ලෙස ප්‍රචලිත කිරීමෙන් නීතිවිරෝධී වල්ලපට්ටා අපනයනය මෙන්ම වන සංහාරයද නවතා ගත හැකි බවට අදහස් පළවේ.

කෙසේවෙතත් ඉහළ ආර්ථික වටිනාකමක් ඇති වල්ලපට්ටා ශාකය රැකගැනීම කාගේත් වගකීමකි. ඒ පිළිබඳ පවත්නා නීති රාමුව ශක්‌තිමත් කරමින් ස්‌වාභාවික වනාන්තර තුළ එම ශාක ආරක්‌ෂා කරන අතරම වාණිජ භෝගයක්‌ ලෙස ප්‍රවර්ධනය කිරීමට නීති සැකසීම, පර්යේෂණ ක්‌ෂේත්‍ර දිරි ගැන්වීම සහ නීත්‍යනුකූල නොවන වෙළෙඳාම තහනම් කිරීම ආදී ක්‍රියාමාර්ග තුළින් වල්ලපට්‌ටා ශාකය ආරක්‌ෂා කිරීම සඳහා පියවර ගැනීම කාලීන අවශ්‍යතාවකි.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා