කාල්පනික ලොව සහ තථ්‍ය ලොව අතර ‘ඝරසරප’

 ඡායාරූපය:

කාල්පනික ලොව සහ තථ්‍ය ලොව අතර ‘ඝරසරප’

වෘත්තාන්ත සිනමාපට අරබයා සිදු කෙරෙන විචාර කාර්යයන්හිදී ඒ ඒ චරිත නිරූපිත ආකාරය හා ඒ ඒ රංගන ශිල්පීන්ගේ සමත්කම් කෙරෙහි පෘථුල අවධානයක් යොමු කෙරෙන බව සත්‍යයකි. නොඅනුමානවම මේ වෘත්තාන්ත සිනමා විචාරයේදී බැහැර කළ හැක්කක් නොවේ. කෙසේ නමුදු ඒ ඒ චරිත නිරූපිත ආකාරය හා ඒ ඒ රංගන ශිල්පිනියන්ගේ සමත්කම් යටපත් කොට මතවාදීව ඉස්මතු වන සිනමාපටද, සියල්ල පරයා යන තාක්ෂණික පිවිසුම් මුල්කොට ගත් සිනමාපටද දැක ගන්නට පුළුවන. ඒ තුළ වුව චරිත හා රංගන ශිල්ප ශිල්පිනියන් ස්වකීය වපසරියේ රැඳෙන අවස්ථා සුලබය.

ජයන්ත චන්ද්‍රසිරිගේ අලුත්ම සිනමාපටය වන 'ඝරසරප' පාදක කොටගෙන පැන නඟින විචාර ප්‍රතිචාර බොහොමයකම ඒ ඒ චරිත නිරූපිත ආකාරය සේම ඒ ඒ රංගන ශිල්ප ශිල්පිනියන්ගේ සමත්කම් පිළිබඳ කියැවීම් නොමඳව දක්නට ලැබේ. මෙතැනදී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැන නඟින විචාර ප්‍රතිචාරද මුළුමනින්ම නොසලකා හරින්නට නුපුළුවන.

කොහොමත් ජයන්ත රංගන කාර්යය සඳහා නිරතුරුවම සහභාගි කරගන්තේ ස්වකීය කණ්ඩායමේ උදවියයි. ඉන් පරිබාහිරව ආ අය වෙතොත් ඒ තාවකාලිකවය. මෙසේ තමන්ගේම වූ කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමේ වාසි මෙන්ම අවාසිද තිබේ. නමුත් ජයන්ත ඉන් තෝරා ගන්නේ වාසිය. අවාසි තෝරා ගන්නා මාදිලියේ සිනමාකරුවන් හමුවන්නේ නිතර දෙවේලේ නොවේ. මේ අනුව ජයන්තගේ හැම සිනමා පටයකම රංගන පාර්ශ්වය නියත වශයෙන්ම කැපී පෙනේ. ඔහුගේ කණ්ඩායමේ ස්ථිර සාමාජිකයෝ සිනමා රංගනයට ආධුනිකයෝ නොවෙති. ඔවුන් ආධුනික සමයක් ගතකළේ ජයන්තද ආධුනිකයකු වූ සමයේය. කෙසේ වෙතත් මේ නිසා ජයන්තගේ සිනමා භාවිතයට යම් ඒකාකාර බවක් එක්වන අයුරු නම් පෙනේ. ජයන්ත ඊට වැඩි අවස්ථාවක් නොදෙන්නේ රූප රචනය සතු ප්‍රබලතාව අවධාරණය කරමිනි. 'මහරජ ගැමුණු' යන ජයන්තගේ නොවැදගත්ම සිනමාපටයේ වුව මේ ලක්ෂණය දක්නට ලැබේ.

'ඝරසරප' හි ජයන්තගේ සමීපතමයන් වන ජැක්සන් ඇන්තනි, කමල් අද්දරආරච්චි හා ශ්‍රියන්ත මෙන්ඩිස් නිරූපණය කරන්නේ ප්‍රබල හා තීරණාත්මක චරිතය.

ඉන් ජැක්සන්ට ලැබෙන්නේ නිත්‍ය ලෝකයේ නොවන යම් අතිශයෝක්තියක් බඳු චරිතයකි. එසේම ජැක්සන්ගේ පසුබිම් කථනයද සැලකිය යුතු ප්‍රමාණයකින් උපයෝගී කොට ගන්නට ජයන්ත ක්‍රියා කරයි. සිනමාපටය තත්‍ය ලෝකය හා කාල්පනික ලෝකයේ මැදිහත්වීම් අතර දෝලනය වන්නකි. එබඳු විටෙක ජැක්සන්ගේ චරිත නිරූපණ විලාසය කෙරෙහි ජයන්ත කල්පනාකාරී වූ වග පෙනේ. එහෙයින් ජැක්සන්ගේ චරිත නිරූපන විලාසය තත්‍ය ලෝකටයම අදාළ සෙසු චරිත කිසිවකට එරෙහි වන බවක් නොපෙනේ. එසේම එහි ආගන්තුක බවක්ද නොදැනේ. ජැක්සන් නිරූපිත චරිතයේ ශාරීරික පක්ෂය සහිත වීමද ජයන්තට වාසියකි.

නමුත් සිනමාපටයේ සමස්තය විෂයෙහි ජැක්සන්ගේ රංගනය, අධි රංගනයක් සේ පෙනී යාමේ ඉඩක්ද පවතී. එසේ නම්, කල්පනා කළ යුත්තේ අධි රංගනයක අවශ්‍යතාව කොතෙක් දුරට සිනමාපටය තුළ පවතින්නේද යන්නය. ඊට එක් වගකිව යුත්තකු වන්නේ තිර නාටකයයි. තිර නාටකය රචනා කොට ඇත්තේද ජයන්ත වීම වගකීම හිස මත තබා ගැනීමකි.

'ඝරසරප' හි විශිෂ්ටතම චරිත නිරූපණය ගෙන එන්නේ කමල් අද්දරආරච්චිය. මේ කමල්ගේ සාර්ථකම අවස්ථාවක් සේ වුව නොපැකිලව සඳහන් කරන්නට පුළුවන. තිර නාටකයේ සහය ඔහුගේ චරිතය ගොඩ නැංවීමට ලබාදුන් ඉඩ හසර ප්‍රමාණවත් නොවේ යැයිද විටෙක සිතේ. කමල් නිරූපණය කරන්නේ සඳරැස් නමැති සරසවි ඇදුුරාගේ චරිතයයි. ඔහු සිය ගැටවර වියේදී ඇසුරු කළ පෙම්වතිය ගැන දිගින් දිගටම මෙනෙහි කරන වග ප්‍රෙක්ෂකයාට දනවනු පිණිස තිරනාටකය ලබාදෙන සහය සීමාසහිතය. කෙසේ නමුදු කමල් ස්වකීය සතතාභ්‍යාසයේ පිහිටෙන් ආචාර්ය සඳරැස් විශ්වාසනීය චරිතයක් බවට පත්කරයි. ආචාර්ය සඳරැස් බිරිඳටද, අර යුවතියටද එක සේ පෙම් කරන්නෙකි. ජයන්ත සිනමාපටයේ උච්චතම අත්දැකීම බවට පත්කරන්නේ තිස් හත් වසරකට පසුව ආචාර්ය සඳරැස් හා ගැටවර වියේ පෙම්වතිය අනපේක්ෂිතව මුණ ගැස්වීමය. කමල් මෙතැනදී ප්‍රකට කරන රංගන කෞෂල්‍ය එම උච්චතම අත්දැකීම තීව්‍ර කරන්නකි.

ජයන්ත සිය ප්‍රමුඛ පුරුෂ ත්‍රිත්වය තෙයාකාරයකින් ප්‍රකාශයට පත්කිරීමට උත්සුක වූ අන්දම පෙනේ. එහි වැඩි වාසි ලැබෙන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්ටය. යාඥා බලයෙන් රෝගීන් සුවපත් කරන දේවගැතිවරයකු ලෙස ශ්‍රියන්ත, ජැක්සන් හා කමල් අතර දෝලනය වෙයි. ඒ කාල්පනික ලෝකයටද එබිකම් කරන තත්‍ය ලෝකයේ වසන්නකු සේය. සිනමාපටයේ විචිත්‍ර පිටවැස්ම පවත්වා ගනු පිණිස එබඳු පිළිවෙතක් ඇවැසි වන වග ජයන්ත නිවැරදිව වටහාගත් අයුරු මෙයින් ගම්‍ය වේ.

සංගීතා වීරරත්නගේ කෙටි රංගනය ජයන්තට වුවමනා ආකාරයෙන්ම සිනමා පටයට එක්වී ඇත. තිස් හත් වසරකට පසුව හමුවූ තමන්ගේ ගැටවර පෙම්වතා අබියස සිය වෘත්තීය ගෞරවය රැකගෙන ප්‍රතිචාර දක්වන මනෝ වෛද්‍යවරියක ලෙස සිනමාපටය තුළ තහවුරු වීම සංගීතාට අභියෝගයක් නොවන්නටද ඇත.

ආචාර්ය සඳරැස්ගේ හා මනෝ වෛද්‍ය විද්‍යා දොරේඅප්පාගේ ගැටවර සමය ප්‍රතිනිර්මාණයට ආ දෙව්නක පෝරගේ හා කාවින්ධ්‍යා අධිකාරී 'ඝරසරප' විෂයෙහි එන එකම අනාගත ආයෝජනය වන්නට වුව ඉඩ තිබේ. මේ දෙදෙනා වෙතින්ම ගැඹුරු හා සංකීර්ණ රංගන කාර්යයක් අපේක්ෂා නොකිරීම සහේතුකය. ඒ සඳහා කමල් හා සංගීතා සූදානමින් සිටිති. එනිසා දෙව්නක හා කාවින්ධ්‍යා සිනමාපටයේ රසාලිප්ත හා නැවුම් මුහුණුවර අවධාරණය කිරීමේ අභිප්‍රාය වෙනුවෙන් පෙනී සිටින අයුරු පැහැදිලිය.

'ඝරසරප'ගැන සාකච්ඡා කරන බොහෝ තැන්හිදී ආචාර්ය සඳරැස්ගේ බිරිඳ-ෆ්‍රැන්කිගේ චරිතය නිරූපණය කරන අමීශා කාවින්දි සම්බන්ධයෙන් මතු කරන්නේ ප්‍රසාදජනක ආකල්ප නොවේ. ඇගේ චරිත නිරූපණය දුර්වල හෝ අසාර්ථක බව පවසන්නේ කාරණා තුනක් මුල්කොට ගෙනයි. ඈ නිෂ්පාදකවරයාගේ බිරිඳ වීම පළමු වැන්නයි. නිෂ්පාදකවරයා විනෝදාත්මක සිනමාවට අදාළ රංගන ශිල්පියකු වීම දෙවැනි කාරණාවයි. අමීශාද විනෝදාත්මක සිනමාවට කොටු වූ රංගන ශිල්පිනියක වීම තෙවැනි කාරණාවයි.

අමීශාට එල්ල කරන එක් ප්‍රශ්නයක් වන්නේ විනෝදාත්මක සිනමාවේ රැඳී සිටීම නිසා වෙනත් ආකාරයේ සිනමාපටයකදී සාර්ථක වන්නට හැකිද යන්නය. 'ඝරසරප' අපූර්වත්වය ප්‍රමුඛ කොටගත් ස්ත්‍රී-පුරුෂ ප්‍රේමය පිළිබඳ නව්‍ය හා විවාදාත්මක මැදිහත්වීමක් ප්‍රකට කරන සිනමාපටයකි. එසේම ජයන්ත සිනමා රංගනයේ දිග පළල නොදන්නා හා සිනමා රංගනයට ආගන්තුක අය වෙතින් තමාට අවැසි දේ සාක්ෂාත් කරගන්නට සමත් අයකුය යන්න අමතක නොකළ යුතුය. 'ඝරසරප' ඊට උදාහරණ සපයයි. ඒ දෙව්නක හා කාවින්ධ්‍යාට අදාළවය.

සිනමාපටය විෂයෙහි අමීශාගේ රංගනය අතිශය දුර්වල මට්ටමක නොපවතී. ඇය ජයගත යුතුව තිබූ පළමු අභියෝගය වන්නේ උච්චාරණ විලාසයයි. ඇරත් කමල් වැන්නකු සමඟ එක පෙළට රංගන කාර්යයෙහි නිරත වීම ලෙහෙසි පහසු නොවේ. මෙය වටහා ගන්නා ජයන්ත ඇගේ චරිතයට වැඩි බරක් එක් නොකරයි. බර දරාගන්නට කමල් සිටී. නිෂ්පාදකවරයාට චරිත නිරූපණ අවස්ථාවක් ලබා නොදෙන ජයන්ත ඒ හිලව්වට නිෂ්පාදකවරයාගේ බිරිඳට සැලකිය යුතු චරිතයක් ලබාදීම සම්බන්ධයෙන් තුළනාත්මක අදහසකට පැමිණීම වඩා තර්කානුකූලය. මන්ද සිනමාපටයේ රුව ගුණ විමසීමේ අරමුණු සියල්ලට ඉහළින් පවතින හෙයිනි. නිෂ්පාදකවරුන් නොමැති වීම නිසා ස්වකීය සිනමා අධ්‍යක්ෂණ කාර්යයන් අතහැර දමන්නට වුව සිනමාකරුවනට සිදුවන පසුබිමක ජයන්තට ලැබුණු මේ අවස්ථාව සුළු කොට නොතැකිය යුතුය. ඒ මෙහිලා ජයන්තගේම ප්‍රවිෂ්ටය මූලික වන නිසාය.

ජයන්ත, ජැක්සන් ඇන්තනි හරහා කාල්පනික ලෝකය තත්‍ය ලෝකයට මුසු කිරීම ඔස්සේ සිනමාපටයට දෙයාකාරයක බලපෑම් එල්ල කරයි. පළමුවැන්න මේ ජයන්තගේම 'සමනළ සංධ්වනිය' සිහිපත් වුවද එහි තවත් පිටපතක් නොවීමය. දෙවැනි ආකාරය වන්නේ සිය අදෘශ්‍යමාන චරිත නිරූපණයට වැඩි ඉඩක් සහතික කර ගන්නට ජයන්ත සමත්වීමය.

'ඝරසරප'හි ජයන්තගේ අදෘශ්‍යමාන චරිත නිරූපණය විමසීම අත්‍යයන්තයෙන්ම වැදගත් වන්නකි. එහ ජැක්සන්, කමල්, ශ්‍රියන්ත, සංගීතා, දෙව්නක හා කාවින්ධ්‍යාට දෙවැනි නොවන චරිත නිරූපණයක් සේ ගත හැක්කේ ඉන් අනතුරුවය. ජයන්තගේ මතවාදී එළැඹුම නිශ්චය කරගන්නට එහිලා ඉඩකඩ සැලසේ. එය විවාදාත්මකය. ප්‍රශ්නකාරීය. සඳරැස් සිංහල සමාජයට අයත් කරලීමත්, විද්‍යා දෙමළ සමාජයට අයත් කරලීමත්, ඔවුන් වෙන් කරනු පිණිස එල්.ටී.ටී.ඊ.ය කැඳවීමත්, යාඥා බලයෙන් රෝග සුව කරන දේවස්ථානය උත්කර්ෂයට නැංවීමත්, සඳරැස් හා විද්‍යා එකම ක්ෂේත්‍රයක ප්‍රවීණයන් බවට පත්කිරීමත් කාල්පනික ලෝකය කෙරෙහි අවිඥානික ඇල්මක් ප්‍රකට කිරීමත් උක්ත එළැඹුම හා අදෘශ්‍යමාන චරිත නිරූපණය විවරණයට වුවමනා පරිසරය සකස් කර දෙනු ඇත.

[තුසිත ජයසුන්දර]

මාතෘකා