මම අනේක වාරයක් මංගල හස්තිරාජයා සරසලා තිබෙනවා

 ඡායාරූපය:

මම අනේක වාරයක් මංගල හස්තිරාජයා සරසලා තිබෙනවා

සධාතුක කරඬුව වැඩමවන මංගල හස්තිරාජායා හැඩගන්වන
ඇහැලමල්පේ මුදියන්සේලාගේ ජයතිස්ස බණ්ඩා

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සම්පූර්ණයෙන්ම කේන්ද්‍රගතව පවතින්නේ සධාතුක කරඬුව වටායි. මේ නිසාම සධාතුක කරඬුව වඩම්මන මංගල හස්තිරාජායා අන් සියල්ලට වඩා කැපීපෙනෙන ලෙස හැඩගැන්වීම රජ දවස පටන් එන චාරිත්‍රයකි. මෙය සියවස් ගණනාවක් තිස්සේ ඉටු කරනු ලබන්නේ ඇහැලමල්පේ පරපුර විසිනි. ඇහැලමල්පේ මුදියන්සේලාගේ ජයතිස්ස බණ්ඩාර දැන් වසර 45ක පමණ කාලයක් තිස්සේ සධාතුක කරඬුව වැඩමවන මංගල හස්තිරාජයා සැරසීමේ භාග්‍යය ලද එම පරපුරේ වත්මන් සාමාජිකයායි.

මංගල හස්ති රාජයා අන්දලා පිටේ රන්සිවි ගෙය බඳින වගකීම ඇහැලමල්පේ පරපුරේ උරුමයක්ද?

දළදා මැඳුරට අයත් වී - අමුණු නවයක කුඹුරුයාය රජදවසේ පටන් අස්වැද්දූවේ ඇහැලමල්පේ පරපුරයි. රජ කාලේ ඉඳලම අපේ පරම්පරාවේ අය පදිංචි වෙලා හිටියේ ගුරුදෙණියේ. දළදා මාලිගාවේ සතර මංගල්‍යයන්ගෙන් අවුරුද්දේ මුලින්ම පැවැත්වෙන්නේ අලුත් සහල් මංගල්‍යයයි. දුරුතු පුන් පොහොය දිනයේ තමා අලුත් සහල් මංගල්‍යය කෙරෙන්නේ. මේකට සහල් සපයන්නේ ඇහැලමල්පේ පරපුරයි. රාජ නියෝගයකට අනුව තමයි කරඬුව වැඩම කරන ඇතාගේ පිටේ රන්සිවිගෙය බඳින රාජකාරිය අපේ පරම්පරාවට ලැබිලා තිබෙන්නේ. රජ්ජුරුවෝ මේ වගකීම ඇහැලමල්පේ පරපුරට දීලා තියෙන්නේ විශ්වාසවන්තව හා වගකීමෙන් රාජකාරී කිරීම නිසයි. පෙරහරේ ගමන් කරන ඇතුන්ට හස්ති වස්ත්‍ර අන්දන්නේ ඇත්ගොව්වොයි. ඒත් දළදා මාලිගා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන ඇතා ලස්සනට අන්දලා, පිටේ රන්සිවිගේ බැඳලා, ලයිට් සෙට් කරලා, මල්වැල් ඇදලා ඔක්කොම කරන්න අවසර තියෙන්නේ ඇහැලමල්පේ පරපුරටයි. මම දැන් අවුරුදු 45ක් තිස්සේ මේ රාජකාරිය කරනවා.

මේ රාජකාරිය ඔබට පැවරුණේ කොහොමද?

මගේ සීයාගෙන් පස්සෙ තාත්තා රාජකාරිය බාරගත්තා. 1974 අවුරුද්දේ තාත්තා මියගියා. එතකොට මට වයස අවුරුදු 18යි. තාත්තා එක්ක ඇතා සරසන්න ඇවිත් මට මේ වැඩේ ගැන තරමක දැනුමක් තිබුණා. තාත්තා මියගියාට පස්සේ පරම්පරාවේ උරුමය අනුව මට රාජකාරිය පැවරුණා. එදා ඉඳන් දැන් අවුරුදු 45ක් මම මේක කරනවා. ඇසළ පෙරහර රාත්‍රී 10ක් වීදි සංචාරය කරනවා. දවල් පෙරහරත් එක්ක සෑම අවුරුද්දකම පෙරහර 11ක් කෙරෙනවා. මාලිගාවේ වෙසක්, පොසොන් හා කාර්තික මංගල්‍යයන් වෙනුවෙන් පවත්වන පෙරහර වලදී කරඬුව වැඩම කරන ඇතා අන්දන්නේ මම. එහෙම බැලුවොත් මම දැන් පන්දහස් වතාවකට වඩා සාධාතුක කරඬුව වැඩම කරන ඇතා සරසලා තිබෙනවා. මගේ පුතාත් දැන් මාත් එක්ක ඇතා අන්දවන්න එකතු වෙනවා.

පෙරහැරේ වැඩිම අවධානයක් යොමු වන්නේ සධාතුක කරඬුව වැඩම කරන මංගල හස්තිරාජයාටයි?

ඔව්. පෙරහැර කරඬුව වැඩමවන ඇතා අනිත් හැම ඇතාටම වඩා ලස්සනට ඉන්න ඕන. ඒ නිසා ඇතාට අන්දන්නේ ඉස්තරම්ම ඇඳුමක්. ඇඳුම අන්දනවාටත් වඩා වැදගත්ම දේ රන්සිවිගේ හොඳ පට්ටලේට ඇතා පිටේ බඳින එක. රන්සිවිගේ තියන්න කලින් ඇතාගේ පිටේ මෙට්ටයක් තියලා, ඒක උඩ වත පුටුව බඳිනවා. වත පුටුව හම්පටිවලින් තද කරලා ඇතාගේ පිටේ සමබර කරන එක හැමෝටම කරන්න බැහැ. ඒවායේ රහස් තිබෙනවා. ඇත් හැට්ටය දාලා තමයි රන්සිවිගේ තියන්නේ. ඒක ඇතුළේ විශේෂ ආසනයකයි සධාතුක කරඬුව තැනපත් කරන්නේ.

මේ වෙනකොට ඇත්තු කීදෙනෙකු විතර පෙරහරට සරසලා තියෙනවාද?

1974 දී මම රාජකාරිය බාරගෙන මුලින්ම ඇන්දුවේ රාජා ඇතාව. රාජා මාලිගාවේ ඇත්පන්තියේ හිටපු අවුරුදු 50ක් එකදිගට පෙරහර කරඬුව වැඩමවූ භාග්‍යවන්ත ඇතෙක්. දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍යය හැම ඇතෙකුටම හිමි වන්නේ නැහැ. ඒ නිසා මේ අවුරුදු 45ටම මම අන්දලා තියෙන්නේ ඇත්තු 20කටත් අඩු සංඛ්‍යාවකටයි. රාජා ඇතාගෙන් පටන්ගත්තම කන්දා, ජයරාජා, රත්නපුර සමන් දේවාලයේ ඇතා, ගංගාරාමේ දළ පූට්ටුවා, මිල්ලන්ගොඩ ලොකු ඇතා, මිල්ලන්ගොඩ පොඩි ඇතා, ඉන්දි රාජා, සිංහ රාජා, තායි රාජා, මිගාර, ඒක දන්තයා, කතරගම වාසනා, නැඳුන්ගමුවේ රාජා කියන ඇතුන්ව මගේ අත් දෙකෙන් සරසලා, රන්සිවිගේ තැන්පත් කරලා තිබෙනවා. මේ ඇත්තු කීප දෙනෙක්ම මේ වෙනකොට මියගිහින්.

ඇතා සරසන්න කොපමණ වේලාවක් ගත වෙනවාද?

නැකතට අනුව දළදා වහන්සේ වැඩසිටින කුටියෙන් පිටතට පෙරහැර කරඬුව වැඩම කරනවා. ඒ වෙනකොට ඇතා සරසලා, රන්සිවිගේ තැන්පත් කරලා, සියල්ල අවසන් කරලා තියෙන්න ඕනා. ඇතා සරසන මණ්ඩපයට කරඬුව වැඩම කරවන ඇතා නාවලා තමයි ගේන්නේ. මට ඇතා සරසලා, වත පුටුව බැඳලා, රන්සිවිගේ තැන්පත් කරලා, ලයිට් සෙට් කරලා වැඩ ඔක්කොම ඉවර කරන්න පැය එකහමාරක් විතර යනවා. රන්සිවිගේ පිච්ච මල්වලින් සරසලා ඇත්දළවලට පිච්ච මල් මාලා පළඳවන්නේත් මගේ අතින්. උඩමාලේ සිටි නිලමේතුමන් අතින් වැඩම කරන කරඬුව රන්සිවිගේ තිබෙන ආසනයේ තැන්පත් කරන්නේ කාරියකරවන කෝරාළයි. කරඬුව වැඩම කරන ඇතා එක්ක මම හැමදාම පෙරහරේ යනවා. සමහර අලි ටික දුරක් ගිහින් ඇඟේ හිරි අරිනවා. එතකොට රන්සිවිගේ පැතතකට ඇල වෙනවා. එහෙම වුණාම කැතයි. එතකොට පටි තදකරලා රන්සිවිගේ කෙළින් කරන්න ඕන.

සධාතුක කරඬුව වැඩම කරවන්න හොඳ ශරීර ශක්තියක් තියෙන දළ ඇතෙක් ඕන නේද?

සධාතුක කරඬුව වැඩම කරන ඇතා හොඳින් වැඩුණු, ඉහ කර ඔසවා තේජසට ගමන් කරන කෙනෙක් වෙන්න ඕන. රන් හා රිදී අලේප කරලා තියෙන රන්සිවිගේ කිලෝ 200 ක් විතර බරයි. වත පුටුවත් කිලෝ 50 ක් විතර බරයි. ඇඳුම් කට්ටලේ බරත් කිලෝ 50 ක් විතර වෙනවා. රන්සිවිගේ හා ඇතාගේ ඇඳුමේ දැල්වෙන බල්බ්වලට කරන්ට් එක දෙන්න ලොකු බැටරි 04ක් යොදා ගන්නවා. ඒවාත් කිලෝ 100 ක් විතර බරයි. මේ සියල්ල හොඳින් තැන්පත් කරන්න නම් කරඬුව වැඩම කරන ඇතාට හොඳ පැතලි පිටක් තියෙන්න ඕන. එහෙම වුණාම මට වැඩේ කරන්න පහසුයි.

කරඬුව වැඩම කරන ඇතුන්ට තමන් කරන වැඩේ ගැන ලොකු අවබෝධයක් තිබෙන බව කියනවා නේද?

ඔව්. ඇතා දන්නවා මේක ගෞවරනීය කටයුත්තක් කියලා. ඉස්සර රාජා පාවඩේ එළනකල් කරඬුව වඩමවා ගෙන ඉස්සරහට යන්නේ නැහැ. පාවඩේ එළන්න ප්‍රමාද වුණොත් ඇතා කකුළ උස්සගෙන ඉන්නවා. ඉන්දි රාජාත් ඒ වගේ. හරියටම පාවඩේ උඩින්මයි යන්නේ. ඉන්දි රාජා තමයි දැන් අවුරුදු 20 ක් තිස්සේ කරඬුව වැඩම කරන්නේ. 2009 අවුරුද්දේ පෙරහර 10ක කරඬුව වැඩම කළේ ඉන්දි රාජා. 2014 අවුරුද්දේ කොටුගොඩැල්ල වීදිය කෙළවරේදී දෑලේ ඇතෙක් ඉන්දි රාජාට ගැහුවා. රාජා අනිත් ඇත්තුන්ට බය සතෙක් නොවෙයි. ඒත් ඇතා කරඬුව තියෙන නිසා පහර කාගෙන හිටියා. පස්සේ දෑලේ ඇත්තු නැතුව කරඬුව වඩම්මගෙන මාලිගාවටම ආවා. දැන් ඉන්දි රාජා මේ උතුම් සත්කාරයට කැපවෙලා ඉන්නේ. මම ඇතා සරසන්න ගන්න කොට ඉන්දි රාජා දන්නවා ඊට පස්සේ කරන්න ඕන දේ.

පෙරහරේ අමතක නොවන සිදුවීම් එහෙමත් ගොඩක් ඇති නේද?

රත්නපුර සමන් දේවාලයේ ඇතා 1992 සධාතුක කරඬුව වැඩම කරන්න සූදානම් කළා. ඇතා කරඬුව වැඩමවා ගෙන පත්තිරිප්පුව ළඟට ආවා විතරයි කුලප්පු වුණා. ඇත්ගොව්වටත් ගහලා ඇතා මහමළුව පැත්තට දුවන්න ගත්තා. ඒ වෙනකොට පෙරහැර රැජිණ හෝටලයත් පහුකරලා යනවා. කරන්නම දෙයක් නැති තැන නිලමේතුමා කිව්වා පශු වෛද්‍යවරුන්ට ඇතාව නිර්වින්දනය කරන්න කියලා. නිර්වින්දන බෙහෙත් විදලා විනාඩි 10-15ක් විතර යනකොට ඇතා මහමළුවේ වැටුණා. එතකොට ජයරාජා පෙරහරේ ගමන් කරමින් හිටියේ. නිලමේතුමා කිව්වා රන්සිවිගේ ගලවලා ඉක්මනට ජයරාජාගේ බඳින්න කියලා. මම විනාඩි 30ක් වගේ වෙලාවකින් ජයරාජාගේ පිටේ රන්සිවිගේ බැන්දා. එදා කරඬුව වැඩම කළේ ජයරාජා. එදා පෙරහැර බලපු අයගෙන් කීප දෙනෙක් ඇරෙන්න වෙන කවුරුවත් මෙහෙම දෙයක් වුණා කියලා දැන ගත්තේ නැහැ.

මේ රාජකාරියේදී විශාල කැපකිරීම් එහෙමත් කරන්න වෙනවා නේද?

දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන හස්ති රාජයා සරසන්න පෙර පින් තියෙන්න ඕන. මේ පූජනීය භාණ්ඩ අතපාත ගාන්න වරම් තියෙන්නේ කීප දෙනාටයි. පෙරහර කියන්නේ දළදා හාමුදුරුවෝ වෙනුවෙන් කරන පූජෝපහාරයක්. ඒ නිසා අපි මේකට කැපවෙලා ඉන්නේ. මළගෙයක්, කිළිගෙයක් වුණත් අපි පෙරහැර කාලය තුළ ඒවාට යන්නේ නැහැ. මේ රාජකාරිය අපේ පවුලේ උරුමයක් කියලා ඥාතීන් පවා දන්නවා. මළගෙයක් වුණත් ඇයි මම නොඑන්නේ කියලා ඒ අය අවබෝධ කරගෙනයි ඉන්නේ.

පෙරහර කරඬුව වැඩම කරන ඇතාව තීරණය කරන්නේ කවුද?

දියවඩන නිලමේතුමන් තමයි ඒක තීරණය කරන්නේ. ඒ ඇතාව ලස්සනටම සරසලා කරඬුව ආරක්ෂා සහිතව වැඩම කරවීමට සැලස්වීම තමයි මගේ රාජකාරිය. ඒක මම මැරෙන කල් කරනවා. දැන් මගේ පුතාට අවුරුදු 18ක්. එයත් මේකට දැන් එකතු වෙලා ඉන්නේ. ඇතා සරසලා රන්සිවිගේ තැන්පත් කරලා වැඩ ඔක්කොම කරනකන් අපි 15 දෙනෙක් විතර එකතු වෙනවා.

සටහන [අසේල කුරුළුවංශ]

ඇහැලමල්පේ මුදියන්සේලාගේ ජයතිස්ස බණ්ඩා

ඡායාරූප [බුද්ධික මහේෂ - ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය]