නැදුන්ගමුවේ ඇතා කේන්ති ගන්නේ නෑ

 ඡායාරූපය:

නැදුන්ගමුවේ ඇතා කේන්ති ගන්නේ නෑ

පෙරහැරක සැබෑ ලස්සන දකින්නේ එහි ගමන් ගන්නා පිරිස නොව දුරින් සිට එදෙස බලා සිටින්නන් බවට මතයක් වෙයි. ඉදින් එවන් පෙරහැරකට නැතිවම බැරි, ඊට ආඩම්බරය කැන්දන හස්ති රාජයන් පිළිබඳ අමුතුවෙන් වර්ණනා නුවුවමනා වනු ඇත. එහෙත් මහවන බූටෑවල අසීමිත නිදහසක් විඳින අලි ඇතුන් කොන්ක්‍රීට් මාලිගා බහුල මිනිස් වාසයේ ජීවත් කරවීම සම්බන්ධයෙන් විවිධ මතවාද කලෙක සිටම පවතී.

එහෙත් ඒ සම්බන්ධයෙන් එළිපිට කතා කරන හීලෑ අලින්ගේ අයිතිකරුවන් ශ්‍රී ලංකාවේ බොහෝ අඩුය. ඇතැම් ජඩ දේශපාලනඥයන්ගේ ආශිර්වාදයත් හිමි වූ බව කියන අලි රොෂාන්ලා පමණක් නොව ඇතැම් චීවරධාරින් පවා කුප්‍රකට අලි ඇතුන් ජාවාරමට නමගිය මේ යුගයේ, රටේ හීලෑ අලි ඇතුන්ගේ වගතුග විමසා දැන ගැනීමට සංවේදී සහ බුද්ධිමත් කෙනකු සොයා ගැනීමද තරමක් අපහසු කාරියක් වනු ඇත.

රැස අපේ මේ සූදානම ඒ දුෂ්කර කාර්යයට පිවිසීමටය. එහිදී අප සොයා ගියේ අද ශ්‍රී ලංකාවේ ජනප්‍රියම හස්ති රාජයා ලෙසින් කවුරුත් අවිවාදයෙන් පිළිගනු ඇතැයි සිතිය හැකි හීලෑ ඇතුගේ අයිතිකරුය. ඒ හස්තියා වෙනත් කිසිවකු නොව නැදුන්ගමුවේ රාජා හස්තියාය. රාජා හස්තියා දින ගණනාවක් තිස්සේ දුරු කතර ගෙවාගෙන ශ්‍රී දළදා මාලිගයට පිවිසියේද පෙරයිදාය. ඒ උද්දාමයෙන් රටම ඇළලී සිටියදී හීලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් කෙළින් කතාබහකට සූදානමින් දැන් අප ඉදිරිපිට සිටින්නේ පාරම්පරික වෛද්‍ය හර්ෂ ධර්මවිජයයි. ඔහු ජීවිත කාලය තුළ කැපවී ඇති දැඩි කළ එකම හස්ති රාජයා නැදුන්ගමුවේ රාජා පමණක් වීමද විශේෂයකි.

වෛද්‍යතුමනි, අපි මේ කතාබහ දම්වැල් මාංචු සහ හෙණ්ඩුව ළඟින්ම අරඹමු?

හුඟ දෙනෙක් ඒ දිහෑ බලන්නේ වපරැසින්. ඒත් එහෙම බලන පිරිසත් ගෙදරක හුරතලයට හදන බලු පැටවාටත් දම්වැළක් දමන්නේ නැතිද? ඉතින් එහෙම නම් කිලෝග්‍රෑම් පන්දහස ඉක්මවන අලියකුට නැතිනම් ඇතකුට කිලෝ තිහක් බරැති දම්වැළක් ගෙලට දැම්මාම ඒක මහා බරක්ය කීම පිළිබඳවත් කෙනකුට දෙවරක් සිතා බලන්නට සිදුවේවි. ඒක එහෙම වෙන්නේම පොදු මහජන ආරක්ෂාවට කියලා අලුතෙන් මතක් කරදීමත් අනවශ්‍ය දෙයක් වෙයි.

ඒත් මහා ජනතාවක් එක් රොක් වුණු නාගරික වටපිටාවක කැලය හුරු අලි ඇතුන් පිරිවරාගෙන පෙරහැරක් කරද්දී විශේෂයෙන් මිනිසුන්ගේ ආරක්ෂාවනේ සිතන්නේ. ඒ නිසානේ අලි ඇතුන්ට විලංගු දමන්නේ. හෙණ්ඩුවත් එහෙම තමයි, ඒක අතේ තිබුණු පළියට ඇත් ගොව්වා ඉන් සතාට නිතරම වධ දෙන්නේ නැහැ. ඒත් මිනිසුන්ගේම නොමනාකමක් නැතිනම් වෙනත් වැළැක්විය නොහැකි කාරණයක් නිසා අලි ඇතුන් පෙරහැරේදී කුලප්පු වුණොතින් ඒ සතුන්ව අතින් පයින් මෙල්ල කරන්න පුළුවන් කාටද? ඉතින් මේක හරියට පොලීසිය සහ සන්නද්ධ හමුදා ගිනි අවි අත දරනවා වගේ තමයි. ඒ අය ඒවා පාවිච්චි කරන්නේත් බැරිම තැනදීනේ.

ඒ වුණාට අලි ඇතුන් ගෙවල්වල තියාගෙන හදද්දී ඒ සතුන්ගේ සෞඛ්‍යයට හොඳ මඳි කියලා සමහරු කියන්නේ?

ඇත්ත නොදන්නා පිරිස එහෙම කියනවා ඇති. ඒත් ඇත්තටම ඒ සතුන්ට ආදරෙන් කරුණාවෙන් සළකන අයට ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කර පෙන්වන්න පුළුවන් වේවි. ඔය කාරණේ ලොරිවලින් පෙරහැරවලට ගෙන යන, ඉවක් බවක් නැතිව පැණි රසම ගිලින්නට ඉඩ හරින සමහර පන්සල්වල හැදෙන සතුන්ට නම් ඇත්ත වෙන්න පුළුවන්.ඒ බවට පහුගිය කාලයේ කොළඹ සමහර මහ පන්සල්වලිනුත් උදාහරණ ලැබුණානේ.

එහෙම නම් මොකක්ද ඇත්ත?

කැලේ හැදෙන අලි ඇතුන් අවුරුදු අසූවක් ජීවත් වෙන්නේ කලාතුරකින් කීවොත් වැරදි නැහැ. ඒත් බලන්න, නිදහස පුළුවන් තරම් දීලා, ඒ සතාගේ සෞඛ්‍යය ගැන සොයා බලලා, එක එක්කෙනාට ඕන විදියට පැණි රස ටොන් ගණන් ගිල්ලන්න ඉඩ නොදී ආහාර පාන පාලනයක් ඇතිව අලි ඇතුන් හදන කෙනකුට ඒ සතා කැලේ ජීවත් වෙනවාට වඩා වැඩි කලක් ජීවත් කරවන්න පුළුවනි. අද සමහර අලි සංරක්ෂණ ස්ථානවලට ගිහින් බලන්න, එක එක සතා කැත කරගෙන ඒවා ඒ එකිනෙකා පාගාගෙන ඒ ගොඩේම ලඟින සමහර සතුන්ගේ කුණු අතුල්ලා දමා හොඳින් නහවන්නවත් කෙනෙක් ඒ හුඟක් තැන්වල නැහැ. එත් අපේ රටෙ වැඩිපුර ආදායම් උපයා ගන්නා මාර්ගයක් වී තිබෙන්නේ සංචාරකයන්ට එම සතුන් පෙන්වීම බවත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

ඒ වගේම ඔබ පයින් යන අලි විශේෂ කර දැක්වූවා?

ඔව්. නැදුන්ගමුවේ රාජා ළඟින්ම පටන් ගත්තොත් දැන් එයාට වයස අවුරුදු හැට පහක්. කවමදාකවත් වාහනයක ගමන් බිමන් නොගිය එයා පයින්මයි පෙරහැරවලට ගියේ. ඒ යන ගමන අතරේදී රාජා ඇස ගැසෙන දිය පහරවල බැස නා ගන්නවා. හිතුණොත් ඒ වතුරේම වරු ගණන් නිදියනවා. මඟ දිගට වැඩුණු බෝ අතු, නා අතු එහෙම මුකුත් අසනීප ගතියක් දැනුණොත් කනවා. මයියොක්කා කොළ, කෙසෙල් අතුවල එහෙම රස බලනවා. ඉතින් කැලෑවේ තරම්ම නැතිවාට උපරිම නිදහසක් මං ඒ සතාට දෙනවා. අපේ ගෙදර වුණත් ගහක් යට තමයි ඇතා වැඩිපුරම ඉන්නේ. ඒ මිසෙක ටකරන් මඩු අලි ගාල්වල නෙවෙයි. ඉතින් එහෙව් සතෙක් අනෙක් සතුන්ට වඩා වැඩි කාලයක් සැපෙන් සනීපෙන් ඉඳීම පුදුමයක්ද?

ඒත් ඔබ පාරම්පරික වෛද්‍යවරයෙක් නිසා ඔහොම කියනවා කියලා හැඟීමක් වෙනත් හීලෑ අලි ඇතුන් ඇති කරන්නකුට ඇති වෙන්න පුළුවන් නේද?

එහෙම විශේෂයක් නැහැ. අනෙක පණු රෝගයක් වගේ දෙයකට මිසෙක මං නදුන්ගමුවේ රාජාට විශේෂ ඖෂධ හදලාත් නැහැ. කොහොම වුණත් දැනට මුළු ලංකාවේම ඉන්නේ හීලෑ අලි සිය ගණනයිනේ. රටේ ඉන්න මුළු අලි ඇතුන් ගණනත් හත්දහස් ගණනක් කියලයි ගණන් බලා තියෙන්නේ. ඉතින් හීලෑ අලි ඇතුන් හදන බොහෝ පිරිස් අතරත් නිතර අදහස් හුවමාරු වෙනවා. ඒ එක් සතකුට අසනීපයක් හැඳුණත් අපි එකතුවෙලා සාකච්ඡා කරලා හොඳම වෙදකම තමයි කරන්නේ. අලි ඇතුන් ලෙඩවී මැරෙන්න අපි ඉඩ තියන්නේ නැහැ.

අපි මෙතැනින් කතාව වෙනස් කරමු, සුද්දා කඩුගන්නාවේ ගල විද්ද තැනට යමු?

මගේ මතකයේ හැටියට ඒ 2012 අවුරුද්ද. ඒ වතාවේ තමයි නදුන්ගමුවේ රාජා මුලින්ම කළුවර බිං ගෙයක් යටින් යන අත්දැකීම වින්ඳේ. මමත් එවේලේ එතැන සිටියා. මුලින් නම් ඇතා බයවුණා. මගේ හිතටත් බයක් දැණුනා. මං ගුහාව ඇතුළට කර පෙව්වා. ඇතාගේ උසට වඩා ටිකක් ඉඩ එතැන තියෙනවා කියලා මට පෙණුනා. ඒ නිසා එවේලේ එතැනට මාධ්‍යයෙන් ඇවිත් හිටිය ලේක් හවුසියේ සුදම් ගුණසිංහගේ ඉල්ලීමට විරුද්ධ වෙන්න ලොකු හේතුවක් මට තිබුණේ නෑ.

ඇත් ගොව්වා රාජාට යන්න අණ කළා. තරමක් තිගැස්මක් ඇතිව වුණත් ඇතා ඒ ගල යටින් ගියා. ඒ රාජා කරුවළට තිබුණු බය අත්හැරිය මුල්ම වතාව. ඉන් පස්සේ එයා ඕන තිත්ත කරුවළක් යටින් යනවා. මේ සිද්ධියෙන් පස්සේ විවිධ රූපවාහිනී නාළිකාවලිනුත් ඒ ඉල්ලීමම ආවා. අදටත් රාජා බයක් නැතිව කඩුගන්නාවේ ගල යටින් යන අවස්ථාව ආවරණය කරන්න ජනමාධ්‍ය එනවා.

මහනුවර ඇසළ පෙරහැර ඉතිහාසයේ නදුන්ගමුවේ රාජා තැබූ මං සළකුණු දිහාටත් හැරුණොත්?

හා පුරා කියලා නදුන්ගමුවේ රාජා කියන නම ශ්‍රී දළදා පෙරහැර ඉතිහාසයට එකතු වුණේ 2005 අවුරුද්දේ. ඒ වතාවේ රාජා කරඬුව වැඩම කළේ නැහැ. පෙරහැරේ පෙරමුණේ ගමන් කළේ. කලින් කරඬුව වැඩම කළ රාජා හස්තියාට බැන්ඳ බඳ පටි නදුන්ගමුවේ රාජාට මඳි වුණා නිසයි එහෙම වුණේ. ඒත් ඉන් පස්සේ එක දිගට නොකඩවා අවුරුදු එකොළහක්, 2016 වනතුරුම ශ්‍රී දළදා කරඬුව වැඩම කෙරුවේ නදුන්ගමුවේ ඇතාගේ කරපිටින්. මේ අවුරුද්දේ දහතුන් වැනි වතාවටයි

අපේ ඇතා රන්දෝලි පෙරහැරට එකතු වෙන්නේ.

නැදුන්ගමුවේ ඉඳන් මහනුවරට ඇතා ඇවිද යන දින ගණනාවත් හරිම වැඩ සිදුවෙන කාලයක් නේද?

ඒක එහෙම තමයි. පා ගමනින්ම මෙදා පාරත් රාජා ගෙදරින් ගියේ පුරාණ වත් පිළිවෙත් ඉටුකරලා. ඒ ගමනට පිටත්වන එයාට මහා සංඝරත්නය පිරිත් සජ්ජායනය කර සෙත් පතනවා. පිරිත් නූල් බැඳ ආශිර්වාද කරනවා. ඇතා හුරුපුරුදු ගොඩගෙදර දිය වළෙන් නාගෙන පිරිසුදු වීගෙනයි ඒ ගමන පිටත් වෙන්නේ. එතැන ඉඳන් එයා පසුපසින් වෙනමම ජල බවුසරයක් ගමන් ගන්නවා.

ඒ දැනට ඇතාට ලබා දීලා තියෙන හමුදා ආරක්ෂාවට අමතරව. දිනපතා අතරමඟ විහාරස්ථාන ඇතුළු කිහිප තැනක විවේක ගන්නා ඇතා පසුදින නැවත ගමන් අරඹන්නේත් දිය නා පිරිසුදු වීගෙන. ඒත් දැන් ඉස්සර තරම් ජල මූලාශ්‍ර පිරිසුදු නැති නිසා හුඟක් දිය පහරවලට ඇතාව යවන්නේ නැහැ. හස්තියා නවතින හැම තැනකින්ම නැවත ගමන අරඹද්දී සෙත් පිරිත් කියලා සෙත් පැතීම සංඝරත්නයෙන් සිදු කෙරෙනවා.

මඟ දිගට නදුන්ගමුවේ ඇතා ගමන් කරද්දී සමහරු එයාට වන්දනා කරනවා. බස්වල ගමන් ගන්නා සමහරුත් අසුන්වලින් නැඟිට ආචාර කිරීමත් සාමාන්‍ය දෙයක්. හුඟ දෙනෙක් පලතුරු වර්ග ඇතුට දෙන්න හදනවා. ඒත් අපි ඒවා බොහෝ දුරට සීමා කරන්නේ එයාගේ සෞඛ්‍ය ගැන හිතලා.

ඒ ඇතුගේ අපි දකින විශේෂතා, නැදුන්ගමුවේ ඇතුට ආවේණික ලක්ෂණත් තියෙනවා නේද?

අපේ ඇතා බුද්ධ චීවරයට පුදුම ගෞරවයක් දක්වනවා. චීවරයට වන්දනා කරනවා. මහනුවරට යන ගමනේ ගැටඹේ පූජා භූමියට වන්දනා කිරීමත් රාජා නිතරම කරන දෙයක්.අනෙක මෙයා කවමදාකවත් ජීවිත හානියක් සිදු කර නැහැ. මේ වනවිට එයා ඇත් ගොව්වන් කීපදෙනකු ඇසුරේම හැඳුණානේ. ගැටගසා සිටියාම තරමක් කේන්ති යන ඇතා ලෙහා දැමුවාම එහෙම නැහැ. තව දෙයක් තියෙනවා.

පෙරහැරේ යන වෙලාවට නැට්ටුවෝ එහෙම අපේ ඇතාගේ ඇඟේ නිතර වදිනවා. ඒත් ඒ කිසිම වෙලාවකට ඇතා කේන්ති ගන්නේ නැහැ. පෙරහැරට ඇතා එකතු වෙන්නේ පුදුම භක්තියකින්. ඒත් පෙරහැරේ නොයන වෙලාවක කවුරුහරි ඕනෑ නැති විදියට හැපුණොත් එහෙම ඇතා ඒ අයට පොඩි පාරක් ගහලා දඩුවමක් දුන් අවස්ථා තියෙනවා.

ඔබ දැන් අවුරුදු හතළියකට වඩා වැඩි කාලයක් නැදුන්ගමුවේ රාජා බලා කියා ගන්නවා, ඉදිරිය ගැන මොකද හිතන්නේ?

මට වෛද්‍යවරයකු වුණු පියාගෙන් තමයි නැදුන්ගමුවේ රාජාගේ භාරකාරත්වය පැවරුණේ. එයා දවසින් දවස ප්‍රසිද්ධ වුණත් මං කවමදාවත් එයාගේ කීර්තියෙන් බැබළෙන්න ගිය කෙනෙක් නෙවෙයි. මට වෙන වැඩක් තියෙනවා. ඒ අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය රැක ගැනීම. අනෙක මං කාගෙන්වත් කවමදාවත් කිසිම දෙයක් ඉල්ලන්න ගිය අලි හිමියෙකුත් නෙවෙයි.

අවුරුදු විසි පහේදී විතර අපේ ගෙදරට පැමිණි රාජා එක්ක වැඩුණු පවුලේ එකම පිරිමි දරුවා මමයි. ඉතින් මං ජනමාධ්‍යයට රාජාගේ වගතුග හුඟක් කියලා තියෙනවා. දැන් ඒවා ජනතාවත් දන්නවා.

කොහොම නමුත් අපි කැපවීමෙන් දරුවෙකු වගේ රාජාව බලා ගන්නේ. ඒක ජාතික වගකීමක් විදියට අපි සලකනවා. ඉතින් කවදහරි රාජාගෙන් පස්සේ කාලෙක වුණත් අපි කාගෙන්වත් කිසි දෙයක් ඉල්ලන්න යන්නේ මොකටද? අපෙන් වුණු මෙහෙවරක් තියෙනවා කියලා බලධාරින්ට හිතුණොත්, ඒ වග සිහි කරලා ශ්‍රී දළදා පෙරහැරට එකතුවෙන හස්තියෙකු පිළිබඳ යෝජනාවක් ලැබුණොත් එදාට ඒ පිළිබඳ සළකා බලනවා.

[නුවන් මහේෂ් ජයවික්‍රම]

ඡායා [සුදම් ගුණසිංහ]