ලස්සන මුහුණකට ගෙදරදීම සත්කාර

 ඡායාරූපය:

ලස්සන මුහුණකට ගෙදරදීම සත්කාර

නවීන ලෝකයේ යුවතියන් සුන්දරත්වය ගැන දැඩි උනන්දුවක් දක්වනවා. ඒ නිසාම බොහෝ යුවතියන් මසකට වරක්වත් සැලෝන් එකකට ගොස් මුහුණට සත්කාරයක් විදිහට ක්ලීනප් එකක්, ෆේෂල් එකක් සිදුකර ගන්නවා. මාසයකට වතාවක් වුවත් ඒ විදිහට අමතර මුදලක් වැය නොකර තමන්ගේ රූපය ගෙදරදීම රැකගන්න සත්කාර කරන්න පුළුවන් නම් එය වඩාත් වැදගත්. සුන්දරත්වය ඇතිකර ගැනීමට පිරිසිදුකමත් වැදගත් නිසා දිනපතා තමන්ගේ පෞද්ගලික පිරිසිදු බව රැකගැනීමට උනන්දු වීමත් ඉතා වැදගත් බවත් මතක තබාගත යුතුයි. ඒ අතර ගෙදරදීම කරගත හැකි මෙවැනි සරල රූපලාවන්‍ය සත්කාරත් ඔබේ සුන්දරත්වයට වැදගත් වේවි.

මුහුණ පිරිසිදු කිරීම

උදෑසන අවදි වූ පසු සහ රාත්‍රී නින්දට යාමට පෙර තමන්ගේ සමේ ස්වාභාවයට ගැලපෙන ෆේස්වොශ් එකක් භාවිත කර මුහුණ හොඳින් පිරිසුදු කළ යුතුයි. විශේෂයෙන් කුරුලෑ සහිත සමක් ඇති කෙනෙක් නම් පිපිඤ්ඤා යුෂ, දෙහි යුෂ සහ රෝස වතුර සම ප්‍රමාණයෙන් ගෙන ආසාදිත ප්‍රදේශයේ තවරා විනාඩි දෙක තුනකට පසු මුහුණ සේදීම වඩාත් ප්‍රතිඵලදායකය. දිනකට එක් වරක් මේ ප්‍රතිකාරය ප්‍රමාණවත් වෙනවා.

· ගෙදරදීම ක්ලෙන්සර් එකක්

සතියකට වතාවක් ක්ලෙන්සර් කිරීම මඟින් සම උවමනාවට වඩා වියළී යාම වළක්වා ගන්න පුළුවන්.

කුරුලෑ ඇති තෙල් සහිත සමක් හිමි කෙනෙක්ට මෙවැනි ක්ලෙන්සර් එකක් සුදුසුයි. මී පැණි සහ ලෙමන් කියන්නෙ ස්වභාවික විෂ බීජ නාශකයි. ලෙමන් යුෂ තේ හැන්දකට මී පැණි තේ හැඳි දෙකක් එක්කර මුහු‍ණේ සහ බෙල්ලේ තුනීවට තවරා මිනිත්තු 5ක් පමණ තිබෙන්නට හැර මඳක් රස්නය ඇති ජලයෙන් සෝදා හරින්න. ඒ වගේම වියළි සමකට සුදුසුම ක්ලෙන්සර් එකක් තමයි යෝගට් කියන්නේ. සීනි රහිත යෝගට් මේස හැන්දකට රෝස වතුර තේ හැන්දක් එක් කර තුනීවට මුහුණෙ සහ බෙල්ලේ තවරා විනාඩි 5ක් පමණ තිබෙන්නට හැර සාමාන්‍ය වතුරෙන් මුහුණ සෝදන්න.

· ලේසියෙන් සාදාගත හැකි ස්ක්‍රබ් එකක්

වියළි සමක් ඇති යුවතියක් නම් ඉඳුණු කෙසෙල් ගෙඩියක් පොඩිකර එයට කුඩු කරගත් සීනි තේ හැන්දක් සහ මී පැණි තේ හැන්දක් එක් කර මුහුණේ ආලේප කර හෙමිහිට කවාකාරව ස්ක්‍රබ් කරන්න.

තෙල් සහිත සමක් ඇති යුවතියක් නම් කහපාට දොඩම් ලෙලි ගෙන කුඩු කරගත හැකි මට්ටමට පවනේ වේලා කුඩුකර ගන්න. දොඩම් කුඩු මේස හැන්දකට මී පැණි තේ හැන්දක් එක් අර මුහුණේ තවරා කවාකාරව ස්ක්‍රබ් කරන්න. විනාඩි දෙකකට වඩා ස්ක්‍රබ් කිරීම සුදුසු නෑ වගේම ඇස් වටා ස්ක්‍රබ් කිරීම සුදුසු නැති බවත් විශේෂයෙන් මතක තබාගන්න.

[දිනූෂි මනතුංග]

මාතෘකා