දේශපාලන ‘ප්‍රොජෙක්ට්’ නොකර වෙන්නේ මොකක්ද කියලා ඇවිත් බලන්න : යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි

 ඡායාරූපය:

දේශපාලන ‘ප්‍රොජෙක්ට්’ නොකර වෙන්නේ මොකක්ද කියලා ඇවිත් බලන්න : යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි

යුද්ධය නිමා වී වසර දහයකට ආසන්න වෙමින් පවතින වකවානුවක නැවත නැවතත් යාපනය ඇතුළු උතුරුකරය සම්බන්ධයෙන් විවිධ කතා මතුවෙමින් පවතියි. විවිධ විවේචන මතු වෙමින් පවතියි. ඔහු යාපනයේ ආරක්ෂක සේනා ආඥාපතිවරයාය. සියල්ලන්ට වඩා යාපනය පිළිබඳ ඇත්ත දන්නේ ඔහුය. එම නිසා මේ වන විට මතු වී ඇති විවිධ කතා සහ විවේචන සම්බන්ධයෙන් ඇත්ත දැනගැනීමට අපි යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි සමඟ සාකච්ඡාවක නිරත වූයෙමු.

කලින් හිටපු ආඥාපතිවරයා තමයි දැන් හමුදාපතිවරයා. ඔහු උතුරේ ගෙන ගිය වැඩපිළිවෙළ සහ මේ වන විට ඔබ ආරම්භ කළ වැඩපිළිවෙළ ගැන සඳහන් කළොත්?

හිටපු ආඥාපතිතුමා යටතේ වැඩකටයුතු රාශියක් සිද්ධ කෙරුණා. එතුමාගේ වකවානුවේ කරපු ලොකුම ව්‍යාපෘතිය තමයි අවතැන් කඳවුරුවල ඉන්න ජනතාවට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය. ඒක ආරම්භ කළේ වත්මන් හමුදාපතිතුමන්ගේ සංකල්පයක් මත. ඒක දිගටම මගේ මැදිහත්වීමෙන් සිදු කරගෙන යනවා. ඊට අමතරව අපි ව්‍යාපෘති රාශියක් ආරම්භ කරලා තියෙනවා උතුරුකරයේ ජනතාව වෙනුවෙන්. ඒ අතරින් ප්‍රධාන ව්‍යාපෘතියක් තමයි උතුරේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩපිළිවෙළ. හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ පවුල්වල දරුවන්ද එයට අන්තර්ගතයි. එහි විශේෂත්වය තමයි එම ශිෂ්‍යත්ව ලබාදෙන්නේ දකුණේ ජනතාව. අපි සම්බන්ධීකරණ කාර්යය සිද්ධ කරනවා. පසුගිය වසර තුළ අපි එසේ ශිෂ්‍යත්ව 450ක් පමණ ලබාදීලා තියෙනවා. ඒ වගේම තමයි අපේ තවත් ව්‍යාපෘතියක් හැටියට පාසල් දරුවන්ට බයිසිකල් ලබාදීම හඳුන්වන්න පුළුවන්. මොකද උතුරේ දරුවන් පාසල් යන්නේ බයිසිකල්වල. ඒ පහසුකම් නැති දරුවන්ට අවශ්‍ය පහසුකම් අපි ලබාදෙනවා. ඒ වගේම අපි උතුරේ පොල් ගස් ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. මේ වෙද්දි පැළ 25,000ක් සිටුවලා තියෙනවා.

උතුර කියන්නේ අතිශය සංවේදී මිනිසුන් ජීවත් වෙන කලාපයක්. ඒ මිනිසුන් සමඟ ගනුදෙනු කරද්දි යුද හමුදාව වැඩි වශයෙන් අවදානය යොමු කරන්නේ කවර කාරණා ගැනද?

වසර තිහක යුද්ධයක් පැවතුණු ප්‍රදේශයක් මේක. යුද්ධය පැවතුණු වකවානුවේ යමක් කමක් තිබුණු ජනතාව විදේශගත වුණා. මෙහෙ ඉතුරු වුණේ කිසිම දෙයක් කරගන්න බැරි අන්ත අසරණ දුප්පත් මිනිස්සු. එයාලට 'ඊළම' ගැනවත් වෙනම රටක් ගැනවත් කිසිම අදහසක් නැහැ. එයාලට ඕනේ එදිනෙදා කීයක් හරි හම්බ කරගෙන ජීවත් වෙන්න විතරයි. ඒ වගේම මේ මිනිස්සු අවුරුදු ගාණක් දැක්කේ ඉතාම බිහිසුණු දේවල්. මේ වගේ මිනිස්සු එක්ක කටයුතු කරද්දි ඔවුන්ට මනුෂ්‍යත්වයෙන් සලකන එක තමයි හමුදාව මූලික වශයෙන් කරන්නේ. ඒ වගේම ඔවුන්ගේ අතීතය අමතක කරලා ඔවුන්ට සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්න අපි වග බලා ගන්නවා. අපි හැම සොල්දාදුවෙක්ම දැනුවත් කරලා තියෙන්නේ මේ මිනිස්සුන්ට කරුණාවෙන් දයාවෙන් සලකන්න, කතා කරන්න කියලා.

එසේ කටයුතු කරද්දි භාෂාව මූලික ප්‍රශ්නයක් වෙනවා. ඒ භාෂා ප්‍රශ්නය මඟහැරගෙන කටයුතු කරන්නේ කොහොමද?

ඇත්තටම භාෂා ප්‍රශ්නයක් උතුරේ වැසියන් එක්ක කටයුතු කරද්දි යුද හමුදාවට එනවා. ඒත් අපේ දෙමළ භාෂාව කතා කරන සොල්දාදුවන් සහ නිලධාරීන් රාශියක් ඉන්නවා. ඔවුන්ගේ සහය අපිට ලැබෙනවා. ඊට අමතරව දෙමළ භාෂා පාඨමාලා අපි පවත්වාගෙන යනවා. ඒ හැමදේටම වඩා අපිට තව එක භාෂාවක් තියෙනවා. ඒකෙන් තමයි අපි ඔවුන්ට ආමන්ත්‍රණය කරන්නේ. ලෝකේ ඕනෙම කෙනෙකුට කතා කරන්න පුළුවන් භාෂාවක් තමයි කරුණාව කියන්නේ. අපි ඔවුන් එක්ක කතා කරන්නේ ඒ භාෂාවෙන්. ඒ නිසා ඒ ප්‍රශ්නය සියයට අනූනවයක්ම මඟහැරිලා තියෙනවා.

පුනරුත්ථාපනය වුණ උතුරේ වැසියන් යළි සමාජයට ගෙන යන වැඩපිළිවෙළ සඳහා හමුදාවේ දායකත්වය කෙබඳුද?

පුනරුත්ථාපනය වුණු වැසියන්ට නැවත සමාජයට යාමේදී ප්‍රශ්න ගණනාවක් මතු වෙනවා. ඒ අතරින් ප්‍රධානම ප්‍රශ්නේ වෙන්නේ‍ සමාජයෙන් ඒ අයව ප්‍රතික්ෂේප කරන එක. ඒකට හේතුව යාපනයේ තාමත් කුල ප්‍රශ්නය තියෙනවා. ඒ වගේම මේ මිනිසුන්ට ඊළඟට තියෙන්නේ ජීවත් වීමේ ප්‍රශ්නය. ජීවත් වෙන්න සුදුසු රැකියා ප්‍රශ්නය. ඒ සඳහා අපිට සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ දායකත්වයත් ලැබෙනවා. උතුරේ ඉදිකිරීම් ආදී විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා අපි ඔවුන්ගේ දායකත්වය ලබාගන්නවා. ඒ හරහා ඔවුන් සමාජයට ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වෙලා තියෙනවා. ඔවුන්ට රැකියා අවස්ථා ලබාදීම තමයි ප්‍රධාන වශයෙන් අපි කරන්නේ.

විපක්ෂය ආදී විවිධ දේශපාලන කණ්ඩායම් විසින් උතුර සම්බන්ධයෙන් විවිධාකාර විවේචන මේ වන විට එල්ල කරනවා. උතුරේ සැබෑ තත්ත්වය දන්නේ හමුදාව. ඒ ගැන දන්න අයට වඩා දේශපාලකයෝ ඒ ගැන අර්ථකථන දෙනවා කියලා හිතෙන්නේ නැද්ද?

ඒ අය එක එක කතා කියනවා. එහෙම කියන්නේ දේශපාලන අරමුණු ඉටුකර ගන්න. ඒත් යථාර්ථය ඒකෙ නෙමෙයි. මෙහෙ ඇවිත්ම බලන්න ඕනේ යථාර්ථය මොකද්ද කියලා. මේ වෙද්දි උතුරේ ඉතාමත් සාමකාමී තත්ත්වයක් පවතින්නේ. මහජනතාව සහ යුද හමුදාව ඉතා සහයෝගයෙන් වැඩකටයුතු කරගෙන යනවා. උතුරේ දේශපාලකයෝ සුළු පිරිසක් ඉන්නවා හමුදාව විවේචනය කරන. ඒ අයගේ දේශපාලනය සහ විවේචන අපිට අදාළ නැහැ. උතුරේ ප්‍රශ්නය තියෙන්නේ දේශපාලකයින් අතර මිසක් හමුදාව සහ මහජනතාව අතර නෙමෙයි.

දකුණේ වගේම උතුරෙත් විවිධ කල්ලි මතු වෙලා තියෙනවා. ඒවා මර්දනය කරන්න හමුදාව දායක වෙන්නේ නැද්ද?

උතුරේ වැසියන්ගේ නීතිය හා සාමය රකින වගකීම භාර වෙන්නේ පොලීසියට. ඒ තත්ත්වය පොලීසියට පාලනය කරගන්න බැරි වුණොත් ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ඉන්නවා. ඔවුන්ටත් ඒක අපහසු වුණොත් පමණයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ අවසරයෙන් යුද හමුදා මූලස්ථානයේ දැනුම්දීම මත යුද හමුදාව ඒ සඳහා මැදිහත් වෙන්නේ. දකුණ හා උතුර සංසන්දනය කළොත් දකුණේ සිදුවන ස්ත්‍රී දූෂණ, අපරාධ ආදී සමාජ විරෝධී ක්‍රියා උතුරේ ඉතාම අඩු ප්‍රතිශතයක් තියෙන්නේ.

දකුණෙ පාතාල සාමාජිකයන් හැටියට හඳුනා ගැනෙන්නේ වැඩිහිටියන්. ඒත් උතුරේ "ආවා" කල්ලිවල ඉන්නේ ළාබාල තරුණයන්. එයට හේතුව මොකක්ද?

හේතුව මෙහෙ ගොඩක් මිනිස්සුගේ පවුල්වල සාමාජිකයන් ජීවත් වෙන්නේ පිටරට. ආවා කල්ලියේ සියයට අනූනවයක්ම ඉන්නේ අවුරුදු 24ට අඩු පුද්ගලයන්. ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විදේශයන්වල සිට ඔවුන්ට මුදල් එවනවා. ඒ නිසා ඒ අයට කල්ලි හැදෙනවා ඇරුණුකොට කරන්න කිසිම වැඩක් නැහැ. ඔවුන් අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒ වගේම ඔවුන් දකුණු ඉන්දියානු චිත්‍රපටි බලනවා. ඒ නිසා ඔවුන්ගේ මනස විකෘති වෙලා තියෙන්නේ. ඔවුන් ඒවාගේ පවතින දේවල් සැබෑ ලෝකෙත් කරන්න උත්සහා කරනවා. මේ නිසා තමයි ඒ කල්ලි බිහිවෙලා තියෙන්නේ. ඒ තත්ත්වය සියයට අනූවක්ම පොලීසිය විසින් මර්දනය කරලා තියෙන්නේ. නීතියේ යම් යම් අඩුපාඩු නිසා සමහර අවස්ථාවලදී ඔවුන් පාලනය කරගන්න නොහැකි වෙලා තියෙනවා. උදාහරණයක් ලෙස ඒ සාමාජිකයින් රිමාන්ඩ් එකෙන් එළියට ආවට පස්සේ නැවත ඒ කටයුතුවල නිරත වෙන ප්‍රවණතාවක් තියෙනවා.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා