හිතන්න මල්ලී...

 ඡායාරූපය:

හිතන්න මල්ලී...

සෙංකඩගල අහස ආශිර්වාද කරන්න පටන් අරන්. අඳුර හන්තාන කෙළවරින් මතු වෙලා මුළු මහනුවර අහසම වෙළා ගනිද්දී ඒ පිණි මල් වැස්ස පොළව ආදරයෙන් සිඹිනවා. දවල් කාලයේ ශරීරය වගේම හිතත් තෙහෙට්ටු කළ හිරු වියනත්, වාහන තදබදය වගේම ඒ වාහන දුමාරයත් ඇර අනික් හැමදේම එහෙමමයි. කිරි මුහුද වටේ හැම ගහක් පුරාම නොයෙක් පාටින් පුංචි පුංචි විදුලි බුබුළු තාරුකා රටා මවනවා. ඒ රටාවත්, අන්ධකාරයත් මැද්දේ ගොඩක් දේ සැඟවිලා නේද...

එකම එක සුනඛයෙක් පාර මැද්දෙන්ම අරමුණක් නැතිව ඔහේ හැල්මේ දුවනවා. මට එක පාරටම මතක් උනේ අද දවල් කාලයේ දැක්ක දර්ශනයක්. නුවර එහා මෙහා යන සුනඛයන් තාවකාලිකව වෙනත් ප්‍රදේශයකට ගිහින් ඇරලවන කටයුත්තක් සිදු වුණා. ඒ නිසා මේ විදිහට එයා මෙහා ගිය කිසිම සුනඛයෙකුට ගැලවීමක් නැති උනත් මෙයාට පොඩි අවස්ථාවක් ලැබිලා, තමන්ගේ යාළුවන් කෙටි සංචාරයකට යද්දී පුරුදු වීදි දිගේ වෙනදා වගේම ඇවිදගෙන යන්න.

ඈතින් ඇහෙන බෙර වාදනය පෙරහුරු වාදනයක්. බෙර ශබ්දය එක්ක එක්කාසු වුණු හොරණෑ නාදය අපිට පණිවිඩයක් කියනවා. ඒ තමයි මුලු ලෝකයක් දන්න ඒ කලා මංගල්‍යය ආරම්භ වූ වග. කුඹල් පෙරහැර බලන්න හැමෝම උනන්දුයි. සීරුවට සෙනඟ දළඳා මාළිගාව දිහාවට ඇදෙනවා. වෙනදාට යාන්තමින් උරහිස ගැටුනොත් පුංචි හරි කේන්තියක් යන අයට කිසිම වගක් නැහැ. හැමෝම ඒ තරම් ම උනන්දුවකින්. දළදා පෙරහැරත් එක්ක එකට යා වුණු තවත් කොටසක් හැමදාමත් දකින්න පුළුවන්. එක දිගට නාද කරන නලා, එහා මෙහා සෙලවෙද්දී යාන්තමට ශබ්දයක් නැගෙන විශාල බැලුම් බෝල, එළිය විහිදුවන නේක සෙල්ලම් බඩු විකුණන මාමලා ඒ අයයි. ඒ හැමෝටම වඩා කවුරුත් හැමදා ම කැමති සාරවිට ගන්න. මේ හැම දෙයකින්ම පුංචි නංගිලා මල්ලිලා තරම් කළබල වෙන කිසිම කෙනෙක් නැහැ. ඒ කළබලය වැඩිහිටි අයගේ මුදල් පසුම්බියට නම් සුබ නැති වග කවුරුත් දන්නවා.

මේ මනුස්සයා ළමයි ඉස්සරහාම නලා පිඹින්න ආවානේ. දැන් ඉතින් නලාවක් අරන් දෙන්නම වෙනවා...

එහෙම කියුවත් අන්තිමට මොනවා හරි සෙල්ලම් බඩුවක් පොඩ්ඩන්ට අයිති වෙනවා. මේක දන්න නිසාම ද කොහෙද ඒ මාමලාත් පුංචි ඈයෝ ඉදිරියේ වැඩි වෙලාවක් රැඳිලා සෙල්ලම් බඩුවල ලස්සන පෙන්වනවා. ඒ හැම වාරයක් පාසාම දෙමාපියන්ගේ මුහුණු ටිකක් විතර වෙනස් වෙනවා.

අපිටත් වැඩියෙන් පෙරහැර බලන්න විදේශික අය උනන්දුයි. අපි කොතැනක හරි වාඩි වෙන්න කලින් ඒ තැන පිරිසිදුයි ද කියලා කීප වතාවක් හොඳට බලනවා. ඒත් ඔවුන් එහෙම නැති වග මම දැක්ක හැම විදේශිකයෙකුගෙන්ම පැහැදිලියි. ඉඩක් ලැබුණු තැනක සතුටින්, සැහැල්ලුවෙන් වාඩි වෙනවා. ඒ අයට සමහර වෙලාවට විමතියක් වෙන්න ඇති. අපේ රටේ නොයෙක් කලා අංගයන් එකම තැනකදී එයාලට දකින්න ලැබෙන එක එක අතකට විමතියක් තමයි.

මෙහෙම වාඩි වෙලා ඉන්න විදේශිකයින් පිරිසක් අසලින් පොඩි ඉඩක් තිබුණු නිසා අපිත් වාඩි උනා. ඒත් තාම පෙරහැර පටන් අරන් නැහැ. නොයෙක් දෙනා එහා මෙහා යන අතරේ එකට එකතු වෙලා පෙරහැර නරඹන්න ආපු අපේ සහොදරයින් පස් හය දෙනෙක් විතර අපි ළඟම වාඩි උනා. නොයෙක් විහිළු තහළු මැද්දේ ඡායාරූප මතක සටහන් විදිහට එකතු වෙද්දී ඔවුන් අතේ රැඳුණු නලා එක දිගට හඬ නගනවා. විදේශික හිතවතුන්ට මේ අයගේ හැසිරීම් තවත් සතුටක් වෙලා. තවත් ටික වෙලාවක් ගෙවෙද්දී ඔවුනුත් නලා පිඹිනවා හරි හරියට. මේ විදිහට කාලය විනාඩි දහයක් විතර ගෙවා දමන්න ඇති. මට අපූරු සංවාදයක් ඇහෙනවා. ඒ, අපේ සහෝදරයෙක් අර විදේශික මහත්මයෙක් එක්ක.

හන්ඩ්‍රඩ් රුපීස් ප්ලීස් ඒ අපේ අසල්වැසියාගේ ඉල්ලීමක්.

වට්... හන්ඩ්‍රඩ් රුපීස්.....

විදේශික මහත්මයා විමතියෙන් වගේ ආපහු අහනවා. ඒත් එක්කම අර සහෝදරයාගේ යාළුවාගෙන් අපූරු අවවාදයක් ලැබෙනවා.

මොකට ද ඉසුරුවෝ සීයක් ඉල්ලුවේ. පනහක් ඉල්ලුවා නන් මේ සුද්දා මෙලහකටත් ඒක උඹට දීලා. කොහේ ද උඹටත් තණ්හාව ගැහුවනේ...

මේ සංවාදය ඉදිරියට යද්දී අර සහෝදරයාගේ ඉල්ලීම ටිකක් සැර බාල වෙලා ඇහෙනවා. සොරි,සොරි සර්,ෆිෆ්ටි රුපීස් ඔන්ලි...

විදේශිකයා වාඩි වෙලා හිටිය තැනින් නැගිටලා වේගයෙන් කියන්න ගත්තා.

ඔයාලට ලැජ්ජා නැද්ද... මනි ඉල්ලන්න. මේ ලෙස තමුන්ලා මනි කලෙක්ට් කරනවා කියලා තමුන්ලාගේ පේරන්ට්ස්ලා දැන ගත්තෝත් මො..න.. ත...රා..ම් වොරි වෙයි ද...ෂී.... ෂී... ලැජ්ජායි...

අපූරු සංවාදයක් කෙළවර අපේ සහෝදරයින් දකින මානයකවත් නැහැ.

ටිකක් හිතන්න මල්ලී...

[චමත්ක කවීන් බණ්ඩාර]

මාතෘකා