මහා කළු සිංහලයා රට එක්සේසත් ක‍ළේත් රබාන අතට අරගෙන

 ඡායාරූපය:

මහා කළු සිංහලයා රට එක්සේසත් ක‍ළේත් රබාන අතට අරගෙන

ආරියපාල විජේමාන්න

දහ අට කුලයෙන් ලෝකෙන්ම ඉන්නෙ අපි විතරයි

දියවඩන නිලමේ කිට්ටුවෙන්ම යන්නෙ අපි

කවදාවත් ශිල්පය සල්ලිවලට විකුණලා නෑ

මිනිස්සු ඇස්පිය නොහෙලා බලනවා

ශ්‍රී දළදා පෙරහැර අසිරිය ළං ළංව එයි. ඒ කර්තව්‍යය උදෙසා නැඳුන්ගමුවේ හස්තිරාජයා අලි ගාලෙන් පෙරෙයිදා දින සෙංකඩගලපුර බලා පා ගමනින් පිටත් වූයේ සම්ප්‍රදායික සිරිත් විරිත්වලට අනුව සුවඳ පැනින් ස්නානය කර සුවඳ මල් මාලා පැළඳ රජකු මෙනි. ඒ උද්දාමයෙන් ඇළලී සිටින මේ ජාතික මහා මංගල්‍යයේ වගතුග අතරේ මහනුවර සහ ඒ අවට ඇත්තන්ගේ බොහෝ වගතුග අප පසුගිය සති කිහිපය පුරා ඇමිණුවෙමු.

ඉදින් අද මේ සූදානම, නැඳුන්ගමුවේ හස්තියා මෙන් සෙංකඩගල පුරයට වෙනත් දුර බැහැර ගම් දනව්වල සිට සම්ප්‍රාප්ත වී ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය හැඩකරනා තවත් සාම්ප්‍රදායික කලා පරපුරක් හඳුනා ගැනීමටය.

ඔවුන් කෙරෙන් ඉස්මතුව පෙනෙනා විශේෂතා රැසකි. ශ්‍රී දළදා පෙරහැර මංගල්‍ය පමණක් නොව, දිවයින පුරා සිද්ධස්ථාන බොහොමයකටම පෙරහැර කාලයට ඔවුන් නැතුවම බැරිය.

ඒ බව දන්නා මේ කලාකරුවන් අඹු දරුවන්ගෙන් වෙන්වී දින ගණනාවක් ගෙවමින් ඒ පෙරහැර මෙහෙවර ඉටු කරන්නේ හද පිරි සතුටිනි. එසේම දේව කාරියක් කරනා තරම් භක්තියකිනි.එවන් ඔවුන් සොයා අප පසුගියදා පිය මැන්නේ කළු ගං මිටියාවතටය. ඒ රබන් කරකවා, ඒ තාලයටම කවි විරිඳු ගයා ඊට නොදෙවෙනි නැටුමකින් පෙරහැර මංගල්‍යයේ සිරි අසිරි දෙගුණ තෙගුණ කරනා විජේමාන්න පරපුර සොයාගෙන රයිගම් කෝරළයේ කෙසෙල් හේනාව ගම් පියසටය.

අප ගෙමිදුලේ වැට කඩුලු පනින විටම සිනාමුසු මුහුණින් පැමිණ අප පිළිගත්තේ අපේ අද කතානායකයාමය. විජේමාන්න අත් රබන් කරකවන්නන්ගේ කලායතනයේ මුල් ගුරුවරයා ඔහුය. ගැමි ඌරුව ඉස්මතු කරමින් ඉහවහා යන තරමේ ආගන්තුක සත්කාර පිළිගැන්වූ ආරියශීල විජේමාන්න ගුරුන්නාන්සේ දැන් ආලින්දයේ සිට අප සමඟ දොඩමළු වීමට සූදානමිනි. අපි දැන් හැරෙමු ඔහු දිහාවට.

ගුරුන්නාන්සේ, දැන් වියපත් ඔබෙන් තරමක වෙහෙස සහ තෙහෙට්ටු ගතියක් අපට පෙනෙනවා. ඒත් අප මුලින්ම ඔබ කැඳවාගෙන යන්නේ ඒ දෙසට නෙවෙයි. සුරල් වයන රබාන නැටුමට, ගැයුමට සහ ඉන් එපිටට යමින් කරකැවීමටත් තුඩු දුන් යටගියාවට?

ඒකට රජකාලේ ඉතිහාසයේ ඉඳලා එන්ඩෝනි. අහලා තියෙනවාද වළගම්බා රජ්ජුරුවෝ ගැන. ඒ ඇත්තා සටනින් පරදිලා සතුරන් පන්නාගෙන එද්දී වන ගත වෙන්ඩ පැනලා ගියානේ. ආන්න ඒ යන ගමන අතරමැදදීයි රජ්ජුරුවන්ට අත් රබන් නාද හා පුරා කියලා ඇහිලා තියෙන්නේ. ඒ කලබල වෙලාවේ වුණත් රජ්ජුරුවෝ රබන් නාදයට වහ වැටුණා. අන්තිමේ සතුරු උවදුරු තරමක් තුරල් වුණාට පස්සේ ආයුබෝවන්ඩ, වළගම්බා රජු රට අල්ලන සටන පටන් අරන් තිබුණේත් මේන්න මේ රබානෙන් තමයි. අන්තිමේදී රජතුමා එදා රටක් එක්සේසත් කළේ මේන්න මේ රබානෙන්.

ඒ කොහොමද?

අහගන්ඩකෝ එහෙනම්. රජ්ජුරුවෝ අතට අරන් තිබුණේත් අත් රබානක්. ඒකත් අතට අරන් රජ්ජුරුවෝ ගමින් ගමට යමින් ගායනා, වාදන කරමිනුයි මේ රට ගලවා ගන්න ඉදිරියට එන්නයි කියලා ජනතාව අවදි කලේ. එහෙව් වස්තුවක් මේක. ඒ වුණාට අද සමහරු නම් අත් රබානත් හිඟමනට යොදා ගෙන.

ඒක නම් වේදනාවට කරුණක් නේද? ඉතින් එහෙම කරන අයට දැන ගන්නත් එක්කලා කියමුකෝ බලන්න අත් රබානේ පැටිකිරිය තව ටිකක්?

මිහිඳු මහ රහතන් වහන්සේයි සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේයි ලක්දිවට වැඩම කරද්දී ඉන්දියාවේ ඉඳන් කුල දහ අටක පිරිස් ඇවිත් තියෙනවානේ. ආන්න ඒ පිරිස අතරින් තමයි ලංකාවට මේ ශිල්පය ඇවිත් තියෙන්නේ.ඒත් අද වෙනවිට ඉන්දියාවේවත් මේ ශිල්පය නැහැ. ඉතිරිවෙලා තියෙන්නේ ලංකාවේ විතරයි.දන්නා තරමින් නුවර අපි වගේම මේ ශිල්පය පවත්වාගෙන යන තව පාරම්පරික පිරිසක් ඉන්නවා. කොටින්ම කිව්වොත් හරි සාත්තරේ කරන ශිල්පීන් විදියට අදටත් අපි හාස්කමක් කරන්නේ. එහෙම නැතිනම්, අඩි හය හතක් උඩට වීසිකරන රබාන එක ඇඟිල්ලකින් බිම ඉඳන් රඳා ගන්න කොයි ජගතාටද පුළුවන්. මේක දෙයියෝ සිහිකරලා පේවිලා බොහොම භක්තියෙන් හොඳ පුහුණුවක් ඇතිවයි අපි කරන්නේ.

හරි සාත්තරේ දන්නා කෙනාට මේ එකම එක රබානෙන් නැටුම, වැයුම විතරක් නෙවෙයි ඒකෙන්ම නැටුමත් ඉදිරිපත් කළ හැකියි. සංගීතයේ ඇරඹුමේම එක පැත්තක් තමයි අත් රබානේ තියෙන්නේ. ඉතිහාසයේ ආතත, විතත, විතතාතත ආදී වශයෙන් කියලා පංච තූර්ය නාදයෙන් පටන් ගත්තු සංගීතය තමයි පස්සේ එක එක විපරීත දේවල් එකතු වුණත් අදටත් පැවතෙන්නේ.

ඔයවගේ දේවල් කරන සමහරු මන්තර, ගුරුකම්වලින් එහෙමත් වැඩ කරනවා කියලා මතයක් පොදු ජනතාව අතර තියෙනවා?

අපොයි නැහැ. අනෙක පාරම්පරික ශිල්පීන් විදියට අපි කවදාවත් කෙනකුට අවැඩක් වන දෙයක් කරලා නැහැ. අපිට ඒවා කැප නෑ. ඒත් බොහොම සත් භාවයෙන් යුතුව සරස්වතී දැහැන් වගේ දේවල් අපි කියන්නේත් පොදුවේ ජනතා සුබසිද්ධිය අරමුණු කරගෙනමයි. අපි නොපෙනෙන බලවේගවලින් වැඩ ගන්නවා නම් ඒ හිත හොඳින්,

ඒ කිව්වේ?

අපි මිනිස්සු විදියට ප්‍රතිපත්ති ගරුකව, සිල් රැකගෙන ජීවත් වෙනවා නම් දෙවියෝ අපි ළඟට එනවා. ඒ බව අපි තදින්ම විශ්වාස කරනවා. එච්චරයි. මං අවුරුදු අටේදියි ශ්‍රී දළදා පෙරහැරේ මුලින්ම රබන් කරකවන්න එකතු වුණේ. දැන් මට වයස අවුරුදු හැත්තෑ අටක්. එතෙක් මෙතෙක් දළදා පෙරහැර ඉතිහාසයේ කාගෙන්වත් දොස් නෑසු පරම්පරාවක් අපි. එදා ඉඳන්ම මේ ශිල්පයට බැඳුණු චාරිත්‍ර අපි අකුරටම රකිනවා.

ඔබ අපි කියා හැඳින්වූ ඔබේ පරපුර පිළිබඳත් විස්තර කළොත්?

මං දන්නා තරමින් මගේ පියා, පියාගේ පියා ආදී වශයෙන් පරම්පරා පහකටත් වඩා වැඩියෙන් මහනුවර ශ්‍රී දළදා පෙරහැරට එකතු වෙච්ච අය. මගේ තාත්තා දොන් ආර්නෝල්ඩ් විජේමාන්න, ආතා සිල්වෙස්ටර් විජේමාන්න, මුත්තා බ්‍රම්පි විජේමාන්න, දොන් පේද්‍රික් විජේමාන්න මගේ කිරිකිත්තෙක්.

ඒ කොයි කවුරුත් පුරාණ චාරිත්‍රවලට අනුව සුබ නැකැත් බලලා තමයි, රබන් ලෙළවන්න ගන්නා වේවැල්, පුවක් කෝටු, කටු පොල් ලී එහෙමත් කපා ගන්නේ. එතැන ඉඳන් සුබ නැකැතින්මයි අපි පෙරහැර චාරිත්‍රයට සම්බන්ධ හැම දෙයක්ම කරන්නේ. අවුරුද්දකට රටපුරා තියෙන පෙරහැර පනහකට විතර අපේ කණ්ඩායම් යනවා. දැන් වයසත් එක්ක ඇතිවෙලා තියෙන අමාරුකම් නිසා රබන් කැරකුවේ නැතුවාට මමත් තවම මහනුවර පෙරහැරට එකතු වෙනවාමයි.

එතකොට කොහොමද රබාන සකස් කර ගන්නේ?

හික්කඩුව පැත්තේ රබන් හදන කට්ටිය ලවා සාදවා ගන්නවා.දැන් නම් ඒ කර්මාන්තය කරන කට්ටිය ඒ පැත්තේත් හරි අඩුයි. පාරම්පරික රබන් අපි ළඟ තිබෙනවා. දැනුත් මා ළඟ තියෙනවා අවුරුදු පන්සීයක් පරණ රබන් දෙකක්.

ඔබ මේ ශිල්පය ඕනෑම කෙනකුට උගන්වනවාද ?

කාන්තාවන්ට උගන්වන්නේ නැහැ. දැන් කාලේ නම් කාන්තාවන්ට වෙස් බඳිනවා. ඒත් ඒක අපේ පාරම්පරික චාරිත්‍රවලට එකඟ නැහැ. අනෙක මං කවදාවත් මුදලට මේ ශිල්පය උගන්වා නැහැ. තව දෙයක් තියෙනවා, අපි දහ දෙනකුට මේ සාස්තරේ ඉගැන්නුවොත් ඒක පිහිටන්නේ තුන් හතර දෙනකුට විතරයි. ඒ හැටි.

දැනටත් මං දහ දොළොස් දෙනකුටම උගන්වමින් ඉන්නේ. ඒ හැරෙන්න මගේ පුත්තු හතර දෙනාම මේ ශිල්පය හොඳින් ඉගෙන ගත් අය. ඒත් ඒ කට්ටියට ජීවත් වෙන්න පෙරහැරවලට ගිහින් ලැබෙන දේ මදි. ඒ නිසා වෙන වෙන රස්සාවල් කරන ගමන් රබන් කරකවන්නේ. ඒ කොහොම වුණත් ඒ හැමෝම මහනුවර දළදා පෙරහැරට නම් අනිවාර්යයෙන්ම එනවා.

දැන් අපි තවදුරටත් කතාකරමු ශ්‍රී දළදා පෙරහැරේ වගතුග?

අපේ කණ්ඩායමේ තිස් දෙනෙක් විතර ඉන්නවා. ඉතින් අපි පෙරහැරට ගියාම පෙරහැර අතට ගන්නවා කිව්වොත් වැරදි නැහැ. ඇයි ඉතින් කවුරුත් ඇහි පිය නොගහා අපි දිහෑ බලා ඉන්නවානේ. අපි ගමන් ගන්නේත් දියවඩන නිළමේතුමාට කිට්ටුවෙන්.මගේ කණ්ඩායමේ දැන් අවුරුදු අටක් වයස මගේ මුණුබුරකුත් ඉන්නවා.

අද හුඟ දෙනෙක් ඇඟිලිවලට විලි දාගෙනයි රබන් කරකවන්නේ. රබන් ගස්වලත් ඒ විදියමයි තියෙන්නේ. ඉතින් රබන්වලටත් විලි තියෙනවා. ශිල්පියාත් ඇඟිල්ලට විල්ලක් දාගෙනයි ඉන්නේ. ඒක අපහසු නැහැ.හැබැයි ඇඟිලිවලට විලි නොදා රබන් කරකවන එක තමයි වැඩේ. අපි ශ්‍රී දළදා පෙරහැරේදි කරන්නේ ආන්න ඒ අමාරු කටයුත්ත. සුදු සැහැල්ලු ඇඳුමක් අඳින අපි නුවර ශ්‍රී දළදා පෙරහැරේදී නම් තරමක් වෙනස් පාටක ඇඳුමකින් හැඩ වෙනවා.අපේ පරම්පරාව පෙරහැරට දුන් දායකත්වය සලකා ජනාධිපතිවරුන් ඇතුළු රාජ්‍ය නායකයන්ගෙන් පවා තෑගි බෝග අපට ලැබුණා.

ගුරුන්නාන්සේ, මේ ශිල්පයේ අනාගතය කොහොම වෙයි කියලාද හිතන්නේ?

අද වගේම මේ ශිල්පය ඉදිරියටත් පවතිනවා. මේවා නැතිවෙන දේවල් නෙවෙයි. අද හතු පිපෙනවා වගේ එන එක එක දේවල් වගේ නෙවෙයි අක් මුල් තිබෙන මේවා එදා වගේම අදටත් පවතිනවා.ඉදිරියටත් එහෙම වෙයි. ඒත් වේදනාවක් තියෙනවා. අද එක රැයින් ජනප්‍රියවෙලා ප්‍රසංගවල සින්දු දෙක තුනක් කියලා බැහැලා යන ගායකයාත් රුපියල් පනස් දාහක් උපයද්දී අපේ ශිල්පීන් වෙන වෙන රැකියාවල් කරමින් මේ කලාව ඉදිරියට ගෙන යනවා.

[නුවන් මහේෂ් ජයවික්‍රම]

මාතෘකා