මහනුවර මහ රෝහලෙන් තවත් විස්මිත වාර්තාවක්

 ඡායාරූපය:

මහනුවර මහ රෝහලෙන් තවත් විස්මිත වාර්තාවක්

කෙනෙකුට ජීවිත‍යේ වටිනාකම වැඩිපුර දැනෙනු ඇත්තේ තමා මරණයට සමීප වූ බව හැඟෙන මොහොතකදී විය හැකිය. ජීවිතයත් මරණයත් අතර සිටින රෝගියෙකුට ජීවිතය දීමට ගන්නා උත්සාහයකදී වෛද්‍යවරයකුට දැනෙන හැඟීම කෙබඳු විය හැකිද? වසර 15කට අධික කාලයක් බරපතල අක්මා රෝගයකින් පීඩා විඳිමින් අක්මාව සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වීමට ලක්ව සිටි අයෙකුට අක්මාවක් බද්ධ කිරීමෙන් යළි ජීවිතය ලබාදීමට හැකිවීම වෛද්‍යවරුන්ගේත් නවීන තාක්ෂණයේත් හාස්කමක් ලෙස සැලකිය හැකිය. එවැනි හාස්කමක් පිළිබඳ පුවතක් පසුගියදා මහනුවර මහ රෝහලෙන් වාර්තා විය. ඒ, එම රෝහලේ සිදුකළ පළමු අක්මා බද්ධය සාර්ථක වූ පුවතයි. මීට පෙර මහනුවර මහ රෝහල පළමු හදවත් බද්ධය සිදුකරමින් මෙරට වෛද්‍ය ක්ෂේත්‍රය තුළ තවත් ඉදිරි පියවරක් තැබූ අතර මෙම අක්මා බද්ධයද එලෙසම ඉතිහාසයට එක්වේ.

එම අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මයට මුහුණ දුන්නේ මහනුවර වත්තේගම ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි විශ්‍රාමික රජයේ සේවකයෙකි. දරුණු අක්මා රෝගයකින් පෙළෙමින් සිටි ඔහු ඒ වෙනුවෙන් වසර 15කට පමණ අධික කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටියේය. එහෙත් පසුගිය කාලයේදී ඔහුගේ අසනීප තත්ත්වය බරපතල වූ අතර අක්මාවක් බද්ධ කිරීමෙන් මිස ජීවිතය රැකගත නොහැකි තත්ත්වයකට පත්විය. සුදුසු අක්මාවක් ලැබුණහොත් අක්මාවක් බද්ධ කරගැනීමේ අපේක්ෂාවෙන් ඔහු මහනුවර මහ රෝහලට ඇතුල් වන්නේ ඒ අනුවය.

ජීවත්වීමේ භාග්‍යය තවදුරටත් ඔහු සතු බව පසක් කරමින් මීට දින කිහිපයකට පෙර මහනුවර මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකයේ වෛද්‍යවරුන්ට බලාපොරොත්තුවක සේයාවක් දැකගත හැකි විය. ඒ ඔහුට බද්ධ කිරීමට සුදුසු මට්ටමේ පවතින සජීවී අක්මාවක් පිළිබඳ තොරතුරු ලැබීමෙනි.

මහනුවර ප්‍රදේශයේ පදිංචි වී සිටි 37 හැවිරිදි සිවිල් ආරක්ෂක බලකායේ සේවයේ නියුතුව සිටි තරුණයකු රාජකාරිය නිමවා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී සිදුවූ අනතුරක් හේතුවෙන් සිරුර අභ්‍යන්තරයේ ඇතිවූ අධික රුධිර වහනයක් හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම නිසා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුල් කර තිබිණි. එහෙත් ඒ වන විටත් මොළයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වී සිටි එම තරුණයාගේ අක්මාව, වකුගඩු ආදිය තවත් අයෙකුට බද්ධ කිරීමට ඔහුගේ ඥාතීන් එකඟ වන්නේ තමාගේ ආදරණීයා මියගියත් ඔහුගේ අවයවයන්ගෙන් තවත් කිහිපදෙනකු ජීවිතය ලබනු දැක සැනසෙන්නට සිතාගෙනය. ඒ අනුව විසි වසරකට ආසන්න කාලයක් අක්මා රෝගයෙන් පීඩා විඳි රෝගියාට එම තරුණයාගේ අක්මාව බද්ධ කිරීමට තීරණය කෙරිණ.

අක්මා බද්ධයක් යනු සංකීර්ණ කාර්යයකි. ලොව පළමු වරට මිනිස් අක්මා බද්ධ කිරීම සිදු කර ඇත්තේ 1963 දී ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙන්වර් සහ කොලරාඩෝ ප්‍රාන්තයන්හි වෛද්‍ය තෝමස් ස්ටාල් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් වන අතර 1967 දී සිදුකළ අක්මා බද්ධයකින් පසු ප්‍රථම වරට රෝගියෙකු වසරක් ජීවත් වී ඇති බව වාර්තා වේ. නවීන තාක්ෂණයේ සහ වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ක්‍රම ක්‍රමයෙන් අක්මා බද්ධ කිරීමේ සැත්කම්ද ලොව පුරා ව්‍යාප්ත විය. මේ දක්වා මෙරට අක්මා බද්ධ කිරීම් සිදුවූයේ කොළඹ ජාතික රෝහලේ සහ රාගම ශික්ෂණ රෝහලේය. එහෙත් තම රෝහල තුළ තිබෙන සම්පත් උපයෝගී කරගෙන සංකීර්ණ සහ අවදානම් සහගත අක්මා බද්ධ කිරීමකට අත ගසන්නට මහනුවර මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකයේ විශේෂඥ සහ ශල්‍ය වෛද්‍යවරු තීරණය කළහ.

‘‘අපේ රෝහලේ සිදුකරන පළමු අක්මා බද්ධය වගේම අපි එය සිදුකරන්නේ සීමිත වූ සම්පත්වල උපකාරයෙන්. ඒ නිසා මෙම බද්ධ කිරීමේදී සංකූලතා ඇතිවීමේ ඉඩකඩ වැඩියි. ඒ වගේම මෙය සංකීර්ණ කාර්යයක්. ඒ කාරණා පිළිබඳව අපි අක්මා රෝගයෙන් පීඩා විඳි පුද්ගලයාගේ පවුලේ ඥාතීන්ට පැහැදිලි කර දුන්නා. ඔවුන් ඒ සඳහා එකඟතාවය පළ කළ පසු අපි සැත්කම සඳහා සූදානම් වුණා.

සැත්කම සිදුකිරීම අපි ආරම්භ කළේ එදා උදෑසන 10ට පමණ. පළමුව මොළය අකර්මණ්‍ය වී සිටි තරුණයාගේ වකුගඩු ඉවත් කළා. ඉන් එක් වකුගඩුවක් පේරාදෙණිය රෝහලේදී බද්ධ කළා. අනෙක් වකුගඩුව මහනුවර මහ රෝහලේදී බද්ධ කළා. ඉන්පසු අක්මාව ඉවත් කරගැනීමේ සැත්කම අවසන් වන විට පස්වරු 6 පමණ වුණා. ඒ සදහා විශේෂඥ සහ නිර්වින්දන වෛද්‍යවරු 8 දෙනෙක් ඇතුළුව වෛද්‍යවරු 25 ක් පමණ සහභාගි වුණා. රාත්‍රී 7 ට පමණ අපි අක්මාව බද්ධ කිරීමේ සැත්කම ආරම්භ කළා. අනුරාධපුර මහ රෝහලේ විකසන සැත්කම් හා බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය ජොයෙල් අරුණාචෙලම් මහතාවත් අපි මෙම කාර්යයට සම්බන්ධ කරගත්තා. රෝගියාට අක්මාව බද්ධ කර අවසන් වන විට පසුදා පාන්දර 2 පමණ වුණා. ඉන්පසු රෝගියා දින 10ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් වෛද්‍ය කණ්ඩායමේ නිරන්තර අධීක්ෂණය යටතේ පසුවුණා. මේ වන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවා. ඒ අනුව අපේ රෝහලේ සිදුකළ පළමු අක්මා බද්ධය සාර්ථක වූ බව කිව හැකියි. මෙම කාර්යය සඳහා සහභාගි වූ රෝහල් කණ්ඩායමේ සියලුදෙනාටම එහි ගෞරවය හිමිවනවා.‘‘

එම අපූර්වතම අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් මහනුවර මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකයේ සම්බන්ධීකාරක වෛද්‍ය අරුණ අබේසිංහ මහතා එසේ කීවේ ජීවිතයක් බේරාගැනීමට කණ්ඩායමක් ලෙස දායක වීමේ නිහතමානී ආඩම්බරයකිනි.

මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතාගේ සහයෝගය මත එම රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකයේ වකුගඩු රෝග හා ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ පී.කේ. හරිස්චන්ද්‍ර, අවයව බද්ධ කිරීම පිළිබද විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය චරිත් වීරසිංහ, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් කරුණාතිලක, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ස්නායු ශෛල්‍ය නිර්වින්දන විශේෂඥ වෛද්‍ය රවී වීරකෝන්, අනුරාධපුර මහ රෝහලේ විකසන සැත්කම් හා බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය ජොයෙල් අරුණාචලම්, මහනුවර මහ රෝහලේ අක්මා, අක්මා අන්ත්‍ර හා ආමාශ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදය කළුබෝවිල, ශෛල්‍යාගාර භාර ප්‍රධාන හෙද සොයුරිය ඩී. රණසිංහ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග හා ආමාශ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බන්දුල සමරසිංහ අවයව බද්ධ කිරීමේ ඒකකයේ සම්බන්ධීකාරක වෛද්‍ය අරුණ අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු මහනුවර හා පේරාදෙණිය මහ රෝහල්වල වෛද්‍යවරු, හෙද හා සියලු කාර්යය මණ්ඩල මේ සඳහා දායකත්වය ලබාදී තිබිණ.

මහනුවර මහ රෝහල අඩු පහසුකම් යටතේ විශිෂ්ට දස්කම් රැසක් වාර්තා කළ රෝහලක් බැවින් ඉදිරියේදී අක්මා බද්ධ කිරීමේ කාර්යය සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතාට උපදෙස්දී ඇති බව පැවසේ. ඒඅනුව මහනුවර මහ රෝහලේද ඉදිරියේදී අක්මා බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කිරීමට නියමිතය. එය අක්මා රෝගයෙන් පීඩා විඳින, ඒ වෙනුවෙන් සැත්කම් අපේක්ෂාවෙන් සිටින රෝගීන්ටත් ඔවුන්ගේ පවුල්වල උදවියටත් සුබ ආරංචියක් වනවාට සැක නැත. ඊට හේතුව මේ වන විට ඉතා විශාල මුදලක් වැය කර ඉන්දියාව, සිංගප්පුරුව වැනි රටවල්වලට ගොස් අක්මා බද්ධ කිරීමේ සැත්කම්වලට මුහුණ දී පැමිණි රෝගීන් පවා පසු විපරම් කාර්යය සඳහා මහනුවර මහ රෝහලට පැමිණෙන නිසාය. ඒ අනුව අඩු පහසුකම් යටතේ වුවත් ප්‍රථම අක්මා බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව සිදුකළ මහනුවර මහ රෝහලේ ජීවක කණ්ඩායම අත ගැසූ ජාතික කර්තව්‍යයට අනාගතයේදී අදටත් වඩා වැඩි වටිනාකමක් හිමිවනු ඇත.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා