වර්ජනය පිටුපස ඇති ‘කැත’ කතාව

 ඡායාරූපය:

වර්ජනය පිටුපස ඇති ‘කැත’ කතාව

වර්තමානය වන විට ‘වැඩවර්ජනය’ යන්න පොදු සමාජය විසින් ග්‍රහණය කර ගන්නේ තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට සාමාන්‍ය ජනතාව ඇපයට ගැනීමක් වශයෙනි. වත්මන් වැඩවර්ජන සමාන කළ හැක්කේ ත්‍රස්තවාදීන් විසින් සාමාන්‍ය ජනතාව ප්‍රාණ ඇපයට තබා ගැනීමටය. කොටින්ම වර්තමානයේ සිදුවන බොහොමයක් වැඩවර්ජන ප්‍රභාකරන් වන්නියේ සාමාන්‍ය ජනතාව මිනිස් පළිහක් වශයෙන් තබාගෙන සිටි අවස්ථාව දෙවැනි නොවේ.

අද ද මේ වැඩවර්ජන කරන්නට පෙළඹී සිටින නඩයම ඉටුකරන්නේ අහිංසක කම්කරුවන්ට හා ජනතාවට පීඩා ගෙන ඒමේ අවශ්‍යතාවමය. මේ ආකාරයෙන් ආණ්ඩුව අස්ථාවර කරමින් වැඩවර්ජන ක්‍රියාත්මක වන රටකට විදේශ ආයෝජකයන් එන්නේ නැත. ඒ වෙනුවට සමාජය තුළ නිරන්තරයෙන් රෝපණය වන්නේ අවිනිශ්චිතභාවය හා අස්ථාවරත්වයම පමණකි.

අද රට පුරා හතු පිපෙනා සේ සිදුවන වැඩවර්ජන මගින් පැහැදිලි වන්නේ යහපාලන ආණ්ඩුව විසින් බිහිකළ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අපයෝජනය කරමින් හිටපු පාලකයන් යළි බලයට ගෙන ඒම සඳහා සුළුතර අවස්ථාවාදී කල්ලියක් අඛණ්ඩව වෙහෙසෙමින් සිටින බවයි. මේ වැඩවර්ජන හේතුවෙන් 2017 වසරේදී පමණක් මිනිස් දින 1,04,327ක් ශ්‍රී ලංකාවට අහිමි වී ඇති බව වාර්තා විය. එය මිනිස් පැය වශයෙන් ගත් විට පැය 2,503,848 කි.

පෙර පැවැති පාලන සමය තුළ සිය වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා වර්ජන, පිකටින් උද්ඝෝෂණ ආදී වෘත්තීය ක්‍රියා මාර්ගවලට එළඹුණු වෘත්තීය සමිති නායකයන් දැඩි මර්දනයකට ලක්වුණු අවස්ථා කාටත් අමතක නැත. රතුපස්වලදී, හලාවතදී, කටුනායකදී මහජන උද්ඝෝෂණවලට වෙඩි තබා අමුඅමුවේ මිනිසුන් මරා දැමූ ඉතිහාසයක් අපට මතකය. ඒ ඉතිහාසය අමතක කරමින් එදා උද්ඝෝෂකයින්, වැඩවර්ජකයින් උණ්ඩයෙන් මර්දනය කරන්නට අවසර දුන් පාලකයන්ගේම අවශ්‍යතා වෙනුවෙන් අද උද්ඝෝෂකයින් හෝ වර්ජකයින් පෙනී සිටීම තරම් කණගාටුදායක තත්ත්වයක් තවත් නැත.

මේ අටුවා ටීකා ටිප්පණි හැම දෙයක්ම කීවේ පසුගියය දා පැවත්වුණු දුම්රිය සේවකයින්ගේ අතිදුර්ජන වැඩවර්ජනයේ යථාර්ය පැහැදිලි කිරීම වෙනුවෙනි.

2017 වසර තුලදී ශ්‍රී ලංකා දුම්රිය සේවයෙහි සමස්ත ආදායම පෙර වසරට සාපේක්ෂව 2.2% කින් (රුපියල් බිලියන 6.5 දක්වා) අඩු වී ඇත. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ සාමාන්‍ය මෙහෙයුම් කටයුතු වලට බාධා එල්ලවන ආකාරයට ශ්‍රී ලංකා දුම්රිය සේවයෙහි සේවකයින් විසින් ක්‍රියාත්මක කරන ලද අනපේක්ෂිත දුම්රිය වැඩවර්ජන දෙකක් ලෙස වාර්තා වේ. ශ්‍රී ලංකා දුම්රිය සේවයෙහි මෙහෙයුම් වියදම 2016 වර්ෂයේ රුපියල් බිලියන 13.4ක සිට 2017 වර්ෂයේ රුපියල් බිලියන 14.1ක් දක්වා 5.1% කින් ඉහළ ගොස් ඇත. ඒ දුම්රිය දෙපාර්තමේන්තුවේ ශේෂ පත්‍රයයි.

සාමාන්‍යයෙන් දුම්රිය පීලි පැනීම් වැනි අනතුරු සුලබ තත්ත්වයට මේවන විට පත්ව ඇති අතර රඹුක්කන හා පොල්ගහවෙල අතර පනලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරින් පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි දෙකක පමණ පාඩුවක් සිදුව ඇති බවට ගණන් බලා ඇත. ඒ දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වූ පාඩුව පමණි. එය දුම්රියේ ගමන් කළ මඟීන් ප්‍රමාණය, ඒ නිසා මඟහැරුණු දුම්රිය ගමන්වාර නිසා එහි ගමන්යාමට බලාපොරාත්තුවෙන් සිටි මඟීන්ගේ ප්‍රමාණය ආදිය සලකා බැලුවහොත් එය සමස්ත රාජ්‍ය සහ පුද්ගලික අංශයට සිදු වූ දැවැන්තම පාඩුවකි.

කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී අනුර ප්‍රේමරත්න මහතා පවසන්නේ 2017 වසරට සාපේක්ෂව 2018 වසර තුළදී දුම්රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බවත් 2018 ජුනි මස 04 වන දින වනවිට දුම්රිය අනතුරු නිසා පුද්ගලයින් 41 දෙනෙකු මියගොස් ඇති බවත්ය.

දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේ පසුගිය දා පැවති දුම්රිය රියදුරු නියාමක, ස්ථානාධිපති හා දුම්රිය පාලකවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 70ක්ට වඩා වැඩි පාඩුවක් සිදු වී ඇති බවය. එසේම වැඩ වර්ජන කාලය තුළ මගී ප්‍රවේශපත් නිකුත් නොකිරීම, භාණ්ඩ හා පාර්සල් ප්‍රවාහනය සිදු නොවීම, තැපැල් දුම්රිය ධාවනය නොවීම, මගී ආසන වෙන් කළ දේශීය හා විදේශීය මගීන් සඳහා මුදල් ගෙවීම හා වායු සමනය කළ ලංගම බස් රථ යෙදවීම නිසා මෙම පාඩුව සිදු වී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා දුම්රිය වැඩවර්ජන හතරක් වාර්තා වී ඇත. ඒ නියමිත පටිපාටියෙන් බැහැරව දුම්රිය සහයකයින් බඳවා ගන්නවා යැයි කියමින් 2017 දෙසැම්බර් 06 වැනිදා සිට දින 7 කකාලයක් පැවැත්වූ වැඩ වර්ජනය, දුම්රිය සේවයේ ශ්‍රේණි හතරකට පමණක් 12.1%කින් වැටුප් වැඩිකිරීම, 75%ක දිරි දීමනාවක් පවතින වැටුපට ලබා ගැනීම සහ දිනකට පැය අට බැගින් සතියට පැය 40 ක වැඩ සතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් 2018 මැයි 29 වෙනුවෙන් පැය හතලිස් අටක කාලයක් පැවැත්වූ වැඩ වර්ජනය, මරදානේ එල්ෆින්ස්ටන් රඟහල අසල ඇති ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ කතාබහකදී රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා දුම්රිය නිලධාරීන්ට බැනවැදුණ බව පවසමින් ඇති වූ සිද්ධියක් මුල්කර ගනිමින් 2018 ජූලි 26 වැනිදා පැවැත්වූ පැය දෙකක වැඩ වර්ජනය සහ 2018 අගෝස්තු 08 වැනිදා සිට දින හතරක් දුම්රිය රියැදුරන් ඇතුළු ශ්‍රේණි කිහිපයක වැටුප් වැඩිකිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව අනුමත නොකිරීම වෙනුවෙන් පැවැත්වූ වැඩ වර්ජනය වශයෙනි.

මේ වැඩවර්ජන නිසාවෙන් විධිමත් පෙරදැනුම් දීමකින් තොරව සවස 2ත් 3ත් අතර ඇරැඹි දුම්රිය වර්ජනය පිළිබඳ දැනුවත් වූ කාර්යාල සේවකයන් කෙටි නිවාඩු ලබාගැනීම හරහා සවස් කාලයේ කාර්යාල වැඩ කටයුතු අඩාල වීම, දුම්රිය ප්‍රවේශපත් අලෙවි නොවීම හරහා දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩු සිදු වීම, ප්‍රකෝප වූ මගීන් විසින් පහරදී කොටුව දුම්රිය ස්ථානයේ දේපළවලට හානි සිදුකිරීම, ඕල්කට් මාවත අවහිර කිරීම හරහා අවට මාර්ග රැසක දැඩි වාහන තද බදයක් ඇතිවූ අතර ජනතාවගේ ගමන් බිමන් බොහොමයක් ප්‍රමාද වීම මෙන්ම විශාල අමතර ඉන්ධන ප්‍රමාණයක් දහනය කිරීමට සිදුවීම, ඕල්කට් මාවතෙන් ගමන් ගන්නා බස් රථ විශාල ප්‍රමාණයකට දිනයට නියමිත ගමන්වාර ප්‍රමාණය ආවරණය කරගත නොහැකි වීම ආදී වශයෙන්, විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ අලාභ සිදු විය.

මේ දුම්රිය වර්ජනය ප්‍රතිචාර දක්වමින් රජය දුම්රිය දෙපාර්තමේන්තුවට සිය සේවය ලබාදීමට කැමති විශ්‍රාමික ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලකවරුන් සහ නියාමකවරුන්ට යළි සේවයට වාර්තා කරන ලෙස ඉල්ලීමක් කිරීම, වැඩ වර්ජනයෙන් අපහසුතාවයට පත්වූ, තම නිවෙස් බලා ගමන් කිරීමට දුම්රිය ස්ථාන වෙත පැමිණි රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන් ඇතුළු දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කිරීම, දුම්රිය මගීන්ට තම ප්‍රවේශ පත්‍ර හෝ වාර ප්‍රවේශ පත්‍ර භාවිතා කර ශ්‍රී ලංගම බස් රථවල නොමිලේ ගමන් කිරීමට රජය අවසර ලබා දීම, මාර්ග අවසරපත් (ර්‍ඔඋටෙ ඵෙර්මිට්) නොතකා ඕනෑම මාර්ගයක බස් රථ ධාවනය කිරීමට පෞද්ගලික බස් රථවලටද අවසර දීම, විශේෂ බස්රථ සේවා වෙනුවෙන් දැරීමට සිදු වන වියදම් රජය මගින් ලංගම බස්රථ වෙත ලබාදීමට ද කටයුතු කරනු ලැබ ඇත. අවශ්‍ය තරම් ලංගම බස්රථ යෙදවීම සහ පෞද්ගලික බස්රථවලට ඕනෑම මාර්ගයක මගී ප්‍රවාහන සේවා වල නිරතවීමට අවස්ථාව සලසා දීම ඉන් ප්‍රධාන වේ, උසස් පෙළ විභාගයට සහභාගී වන සිසුන් වෙනුවෙන් සිසුසැරිය බස් රථ සේවාව 2018.08.08 දින උදෑසන සිටම ක්‍රියාත්මකව වීම, පාසල් සේවය සඳහා යොදා තිබූ බස් රථ 750ක් සාමාන්‍ය මගී ප්‍රවාහනයට යෙදවීම, සියලුම ලංගම සේවක නිවාඩු අවලංගු කිරීම, උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 2018.08.08 උදෑසන පහේ සිට නොමිලේ බස් රථ සේවාවක් සැපයීම, යුද හමුදාව සහ නාවික හමුදාවේ මැදිහත්වීමෙන් විශේෂ බස් රථ බස් රථ 41ක් සේවයේ යෙදවීම වැනි විකල්ප ක්‍රියාමාර්ගවලට රජය යොමුවීම තුළින් ගැටළු කලමණාකරණය කර ගැනීමට හැකිවිය.

නමුත් එම වැඩවර්ජනය හුදෙක් දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක කල්ලියක වැඩපිළිවෙලක් බව පැහැදිළි විය. ගිය සතියේ ඇරැඹි දුම්රිය වර්ජනයේ ආර්ථික පාඩුව ගැන තවම කිසිවකුට නිශ්චිත අවබෝධයක් නැත. විශේෂයෙන් මේ වර්ජනය වැඩකරන ජනතාවටද, රටේ සිසු පරපුරටද අමිහිරි අත්දැකීමකි. සංචාරක කර්මාන්තයට ඉන් සිදුවූ පාඩුව ඉතා විශාලය. ගැටලුවට කුමන කාලයේ හෝ පිළියම් සෙව්වද එම කාලය ඇතුළත ජනයාට සිදුවන පීඩා නැවත සකස් කළ නොහැකිය. එය මානසික හෝ ශාරීරික වශයෙන් සිදුවේ. වර්ජකයන්ද හුදෙක් ලාභ පරමාර්ථ අනුව නොයා පොදු ජනතාව සහ ස්වකීය රටේ යහපත වෙනුවෙන් ක්‍රියාකළ යුතුය. අතීතයේ සිට ඔවුන් හඬ නැගූ හෙයින් දිනාගත් අයිතීන් බොහෝය. එයින් රටටම සෙතක් සැලසිණ. තවත් දිනා ගැනීමට අප හට බොහෝ දේ ඇති මුත් එය කිසිසේත් පෞද්ගලික අරමුණු මත පදනම් නොවී රටේ සහ මහජනතාවගේ යහපත උදෙසා කළ යුතුය. එය බඩට, මඩියට කෙසේවෙතත් රටට සුබ වනු ඇත.

[දිලංක ගුණතිලක]  ඡායා [මාලන් කරුණාරත්න]

මාතෘකා