ගැමුණු යුගයේ සිට පැවත එන අසුරනාද පරපුරේ විසල් මිනිස්සු

 ඡායාරූපය:

ගැමුණු යුගයේ සිට පැවත එන අසුරනාද පරපුරේ විසල් මිනිස්සු

ලංකාවේ පාරම්පරික නර්තන ශිල්පීන් අතර 'අසුරනාද පරම්පරාව' ඉහළින්ම වැජඹෙන්නෙකි. වයස අවුරුදු 41ක් වයසැති අපේ කතා නායකයා අවුරුදු 30ක් පුරා මාළිගාවේ දළදා පෙරහැරට සහභාගි වෙයි. සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන අසුරනාද පනික්කියලාගේ සුජිත් ආනන්ද වර්ණසූරිය මහතා අද ඇසළ පෙරහැරට 'රැස පෙළහර' තුළින් අප සමඟ එකතුවිය.

ඔබ පාරම්පරික තම්මැට්ටම් වාදකයෙක්. පරම්පරා උරුමය ගැන සඳහන් කළොත්?

මගේ කිරි අත්තා ඒ. ටී. සේසුන්දරා ගුරුතුමා. ඔහු උපන්නේ 1912 වර්ෂයේ. කිරි අත්තට හැමෝම කීවේ ‘කළු කොල්ලා’ ගුරුතුමා කියලා. කිරි අත්තා උගන්වපු අවසාන ගෝලයා මම. රිදීගම රිදී විහාරයට නින්දගම් පිදීමේදී දුටුගැමුණු රජතුමාගේ අණ පරිදි ලෝකඩ තම්මැට්ටම් වාදනය කළේ අපේ පරම්පරාව.

ඔබේ පියා තම්මැට්ටම් කලාවේ කෙළ පැමිණි ශූරයෙක්. ඔහු පිළිබඳ ඔබේ මතකය මොන වගේද?

මගේ තාත්තා විශ්වකලා කීර්ති, නර්තන හා වාද්‍යකලා විශාරද, කලා විභූෂණ, ජනාධිපති සම්මානලාභී අසුරනාද පනික්කියලාගේ අසුරනාද ගුරුතුමා. මගේ තාත්තා තමයි දළදා පෙරහැරට මුලින්ම තම්මැට්ටම් කණ්ඩායමක් අරන් ආවේ. ඒ දෑල බණ්ඩාර දියවඩන නිළමේතුමාගේ ආරාධනාවෙන්. තාත්තා තමයි මට හැම ශිල්පයක්ම දුන්නේ. ඔහු මට මේ කණ්ඩායම භාර දුන්නේ විශාල බලාපොරොත්තුවකින්.

ඔබ දළදා පෙරහැරට සම්බන්ධ වෙන්නේ කොයි කාල වකවානුවේදිද?

මම 1988 ඉඳන් දළදා පෙරහැරට සම්බන්ධ වෙනවා. මම තම්මැට්ටම් ගැහුවා. ගැට බෙර වාදනය කළා. නෛඅඩි නැටුවා. වෙස් නැටුවා. ඒත් මම මුල්තැන ගත්තේ තම්මැට්ටම් වාදනය වෙනුවෙන්. දෑල බණ්ඩාර නිළමෙ තමයි දළදා මාළිගාවේ කලාව ඉදිරියට අරන් ආවේ. නිශ්චිත තම්මැට්ටම් කණ්ඩායමක් හදන අදහස මුළින්ම එන්නේ එතුමට.

අසුරනාද පරපුරේ ඉන්නේ පාරම්පරික තම්මැට්ටම් ශිල්පීන්. පෙරහැරේ තම්මැට්ටම් කණ්ඩායමට බඳවාගැනීම් කිරීමේදී පරම්පරා උරුමය සලකනවද?

ඔව්. ඉස්සරනම් පරම්පරාවෙන් පිට අය බඳවා ගැනීමක් කළේම නැහැ. ඒත් මේ වෙද්දි අති දක්ෂයන්ට අපේ කණ්ඩායමේ ඉඩ තියෙනවා. මගේ සහෝදරයෝ තිදෙනෙක් වගේම මගේ පරම්පරා උරුමය ඇති කිහිපදෙනෙක් ඉන්නවා. ඒ වගේම අපේ කලායතනයේ දරුවනුත් ඉන්නවා. දක්ෂකම නැත්නම් පරම්පරා උරුමය තිබිලා වැඩක් නැහැ.

තම්මැට්ටම් ශිල්පියෙක් වෙන්න කෙනෙක්ට මොනතරම් පුහුණුවීමක් අවශ්‍යද?

තම්මැට්ටමක් මිලදී ගැනීමට හැකියාව ලැබුණු තරමින් හෝ නිසි ඇඳුම් පැළඳුම් සකස් කරගත් පමණින් තම්මැට්ටම් ශිල්පියෙක් වෙන්නේ නැහැ. මාස තුනෙන් තම්මැට්ටම් වාදනය පුහුණු කරන ආයතන බිහිවෙලා තිබුණට, ඒ ආයතනවලින් ශිල්පියෝ බිහිවෙන්නේ නැහැ. නියම ක්‍රමවේදයට අනුව පුහුණුවෙන්න නම් අවුරුදු තුන හතරක්වත් යනවා. මම තාමත් ඉගෙනගන්නවා. එහෙම බලද්දි පරිපූර්ණ තම්මැට්ටම් ශිල්පියෙක් වෙන්න මැරෙනකම් කෙනෙක්ට බැහැ.

තම්මැටම් වාදනය ඉගෙනීම අපහසුයි කියන දේද ඔබ අදහස් කරන්නේ?

ඒකට හේතුවක් තියෙනවා. තම්මැට්ටම තමයි වාදනය කරන්න අපහසුම වාදන භාණ්ඩය. මොකද බෙර හෝ වෙනත් කිසියම් භාණ්ඩයක් අතින් වාදනය කරලා හඬ පාලනය කරන්න පුලුවන්. ඒත් තම්මැට්ටමේ හඬ පාලනය කරන්නේ කඩිප්පුවලින්. අතයි, තම්මැට්ටමේ සමයි සම්බන්ධ කරන එකම භාණ්ඩය වෙන්නේ කඩිප්පු. ඒකට හොඳ සතතාභ්‍යාසයක් තියෙන්න ඕන. ඒ වගේම හොඳ පුහුණුවක් තියෙන්න ඕන. බෙර වාදනයට හුරු නුහුරු කියලා දෙයක් තියනවා. ඒත් තම්මැට්ටම්වලට හුරු නුහුරු කියලා දෙකක් තියෙන්න බැහැ. දෑතම හුරුවිය යුතුයි.

තම්මැට්ටම් නිර්මාණය කර ගැනීම ඔබේ පරම්පරාවට විශේෂිත වූ ක්‍රමවේදයක් පවතින බව ඔබ පැවසුවා. අපි කැමතියි ඒ ගැන දැනගන්න.

අපේ පරම්පරාවේ දරුවෙක් ඉපදුනාම අදටත් ඇහැළ ගහක් හෝ කොහොඹ ගහක් සිටුවීම කරනවා. ඒ දරුවව සිහිපත් වීම වෙනුවෙන්. ඉන් පස්සේ දරුවා කළඑළි බහිද්දි මේ ගහ හොඳට වැඩිලා. ගහේ කඳ කපලා අරන් තම්මැට්ටම් බඳ හදාගන්නවා. ඉන් පස්සේ මල්පැල් සිටුවලා, දෙවියන්ට වැඳ නමස්කාර කරලා, බුදුන් සිහිකරලා තමයි ඉතිරි වැඩ ටික රකින්නේ. ඒක පූජාවක් වගේ. ඒ නිසා හදන හැම තම්මැට්ටමක්ම අපිට අති විශේෂයි. හරක් හම්, ගෝන හම්වලින් තමයි බොහෝ විට වරපටි, වෙනිවර හදාගන්නේ.

සම්පූර්ණ තම්මැට්ටමක් හදන්න කොච්චර කාලයක් ගතවෙනවද?

බොහෝ විට තුන් මාසයක්වත් ගතවෙනවා. වරපටි, වෙනිවර, කුන්දිරම් වළල්ල සියල්ල හදාගත්තත් හම හොඳට වේලන්න ඕන. ඒ වගේම ගොළු හඬ, බොල් හඬ ඉවත්කරලා නියම හඬ ලබා ගන්න නම් ඒ කාලය පුරාම තම්මැට්ටම සකස්කිරීම කරන්න ඕන. තම්මැට්ටමේ කඩිප්පු හදාගන්න ගන්ෙන් කිරිඳිවැල්. කිරිඳිවැල්වල කළු කිරිඳි සහ සුදු කිරිඳි කියලා වර්ග දෙකක් තියෙනවා. ඒ දෙකෙන් කළු කිරිඳි කියන වර්ගය තමයි කඩිප්පු හදන්න ගන්නේ.

වෙනත් උත්සව අවස්ථාවල හෝ පෙරහැරවල්වල තම්මැට්ටම් ශිල්පීන් දැක්කත් මේ වගේ කණ්ඩායමක් දකින්න නැහැ. ඇයි ඒ?

තම්මැට්ටම් ශිල්පීන් හැම පෙරහැරකම ඉන්නවා. හේවිසි කණ්ඩායම්, නැටුම් කණ්ඩායම්වල පවා. ඒත් කණ්ඩායමක් විදියට තමමැට්ටම් වාදනය සිදුකරන්නේ නුවර පෙරහැරේ පමණයි. ඒක දෑල බණ්ඩාර නිළමෙතුමාගේ අදහසක්. අපි ඒ දේ වෙනත් පෙරහැරවල්වල සිදු නොකරන්නෙත් මේ ශිල්පයට තියෙන ගෞරවයක් විදියට. ඒ වගේම දළදා පෙරහැරට ගෙනියන එකම තම්මැට්ටමක්වත් වෙනත් කිසිඳු අවස්ථාවකට යොදාගන්නේ නැහැ. මේක පූජාවක්.

කිරි අත්තා, තාත්තා භාවිතා කරපු තම්මැට්ටම් මේ වෙද්දි භාවිතා කළ හැකි මට්ටමේ තියෙනවද?

ඔව්. ඒ කාලේ භාවිතා කරපු තම්මැට්ටම් අපි අලුත්වැඩියා කරගෙන අදටත් පෙරහැරට අරන් යනවා. ඒත් මම මහගෙදර අසුරනාද පරම්පරාවේ කිරි අත්තලගේ ඉඳලා මගේ තාත්තා භාවිතා කරපු හැම භාණ්ඩයක්ම කෞතුකාගාරයක් හදලා තැන්පත් කරලා තියනවා.

තම්මැට්ටම් වාදනය ශබ්ද පූජාවක් ලෙස කරන වාදනයක්. මේ පිළිබඳ සමාජයේ මිනිසුන් අතර නිසි අවබෝධයක් නැහැ නේද?

මිනිස්සු හිතන්නේ බුදුන්ට පුජාවල් කරන්නේ මල් පහන් පත්තු කරලා, ගාථා කියලා පමණක් බව. ඒත් බුදුන්ට කරන උපහාරයක් විදියට ශබ්ද ෙයන් බුදුන් වර්ණනා කරමින් තමයි අපි තම්මැට්ටම් වාදනය සිදු කරන්නේ. කොහොඹායක් කංකාරි, දෙවොල්මඩුවලට තම්මැට්ටම් ගහන්නේ දෙවියන් වෙනුවෙන්. ඒත් බුදුරජාණන් වහන්සේට කරන උපහාරය තමයි මේ දළදා පෙරහැරට කරන තම්මැට්ටම් වාදනය.

“ඉන්ද්‍ර දිගට හිමියු අමර භගවතො හට වන්දිතා”

මේ වෙද්දි නිශ්චිත ඇඳුමක් තම්මැට්ටම් වාදනයට සකස්වෙලා තියෙනවා නේද?

තම්මැටම් වාදනයට ශාස්ත්‍රීය ඇඳුමක් තියෙන්න අවශ්‍යයි. අපේ තාත්තගේ කාලෙ ඉඳලා සහභාගිවෙන සියලුම දෙනා එකම විදියට ඇන්දා.

ඔබේ පරම්පරාවේ තම්මැට්ටම් වාදනයට අනන්‍ය වූ විශේෂතා කිහිපයක් ඇති බව නොරහසක්? ඒ ගැනත් සඳහන් කරමු.

අසුරනාද පරම්පරාවේ අපි විතරයි තම්මැට්ටම් ඉනේ බැඳගෙන කැරකෙන්නේ. ඒක ලේසි පාසු දෙයක් නෙවෙයි. ඒකත් අපි කරන්නේ දළදා හාමුදුරුවන්ට පමණයි. වෙන කිසිම උත්සව අවස්ථාවක අපි ඒ දේ කරන්නේ නැහැ.

ඔබේ දරුවන් පෙරහැරට සම්බන්ධ කරගෙන තියෙනවද මේ වෙද්දි?

නැහැ. මගේ ලොකු පුතා මහීෂ පින්සර වර්ණසූරිය. තවමත් තම්මැට්ටම් ඉගෙනගන්නවා. නිසි පුහුණුවක් නැතිව මම මගේ දරුවෙක්වත් පෙරහැරට යවන්නේ නැහැ. අපි මේ දේ කරන්නේ මුදලට නෙවෙයි. ශිල්පයයි රැකෙන්න අවශ්‍ය. අපේ මුතුන් මිත්තන් කළෙත් ඒ දේ. පොඩි පුතා සදෙව් රන්සර වර්ණසුරිය. දුව හිමාෂි හර්ෂණී. ඒ අයත් තම්මැට්ටම් වාදනය ඉගෙනගන්නවා. මගේ අම්මා විමලා අසුරනාද මතක් කරන්නම ඕන. එතුමිය තාත්ත ඉන්න කාලෙ තාත්තගේ ශක්තිය වුණා. දැන් මං වෙනුවෙන් ඉන්නවා. නිරෝෂණි දමයන්ති කුමාරි මගේ බිරිඳත් මට මේ වෙනුවෙන් සහයෝගය දෙනවා.

ඔබට මේ වෙද්දි ලැබී තියෙන සම්මාන ගැන කතා කළොත්?

මට ජනාධිපති සම්මාන දහනවයක් ලැබිලා තියෙනවා. ඒ අතර නැගී එන තම්මැට්ටම් වාදකයා, හොඳම තම්මැට්ටම් වාදකයා, දක්ෂතම තම්මැට්ටම් වාදකයා, කුසලතා පූර්ණ තම්මැට්ටම් වාදකයා, විශිෂ්ටතම තම්මැට්ටම් වාදකයා, අතිවිශිෂ්ටම තම්මැට්ටම් වාදකයා යන සම්මාන ලැබිලා තියෙනවා. මට දැනට ලැබිලා නැත්තේ වයෝවෘද්ධ තම්මැට්ටම් ශිල්පියට හිමි සම්මානය පමණයි.

දළදා පෙරහැරට සම්බන්ධ වීම කලාතුරකින් කෙනෙක්ට ලැබෙන අවස්ථාවක්. ඔබට ඒ පිළිබඳව ඇති හැඟීම කොයිවගේද?

මට ඒකට වචන නැහැ. තම්මැට්ටමක් ඉනේ බැඳගෙක දවස් දහයක් නටන එක අභියෝගයක්. ඒත් අපිට ඉහෙන් බහින රෝගයක් ඇතිවෙන්නේ නැහැ. ඒ දවස් දහයටම. ඒ විතරක් නෙවෙයි. මුළු අවුරුද්දෙම අපි දළදා හැමුදුරුවො වෙනුවෙන් හිතෙන් පවා පේ වෙන මිනිස්සු. පෙරහැරේ නටන එක තරම් ආඩම්බරයක් අපිට තව නැහැ.

[නදී මාණික්කගේ]