අලි කුලප්පු වුණාම මිනිස්සු අලින්ගෙන් ඈතට දුවනවා අපි අලි ගාවට දුවනවා

 ඡායාරූපය:

අලි කුලප්පු වුණාම මිනිස්සු අලින්ගෙන් ඈතට දුවනවා අපි අලි ගාවට දුවනවා

මහාචාර්ය අශෝක දංගොල්ල

පෙරහැරක් නරඹන්නට දෙනෝදහක් ජනයා එති. ඒ අතරට එක්වන ප්‍රභූන්ද රැසකි.මැති අමැතිවරු ආදින් ද ඒ අතර එමට සිටිය හැකිය. කෙසේ වුවත් ඒ කොයි කවුරු පෙරහැරට නොපැමිණියද ඒ කටයුත්ත නවතින්නේ නැත.එහෙත් වර්තමානයේ මහ පෙරහැරකට නැතුවම බැරි ශ්‍රී ලාංකේය මහාචාර්යවරයෙක් සිටී.ශ්‍රී ලාංකිකයන්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන ශ්‍රී දළදා මාලිගයේ පෙරහැර මංගල්‍යයේදී ඔහු නැතුවම බැරි අයෙකි.

ඉන් නොනවතින මේ අපූරු මහාචාර්යවරයාගේ විශේෂතා ගොන්නකි. ඒ දශක ගණනාවක සිටම දළදා පෙරහැරට සහභාගි වූ ඔහුට තවම නිවී හැනහිල්ලේ එකම පෙරහැරක්වත් දැකබලා ගන්නට ඉඩ නොලැබීමය.ඊට හේතුව පෙරහැර නරඹන ලක්ෂ ගණනක්වන මහජනතාවගේ ආරක්ෂාව පිණිස වන භාරදූර කටයුත්තක හෙතෙම නිරතව සිටීමය.

එහෙත් බොහෝ දෙනෙක් මේ තැනැත්තාගේ රුවවත් නොදකිති. ඒ ඔහුගේ රාජකාරි සියල්ලම පාහේ පෙරහැරේ දර්ශන පරාසයෙන් එපිටට වන්නට සිදුවන නිසා වන්නට පුළුවන.මේ හැරෙන්නට අද අපේ කතානායකවරයා සබැඳි තවත් සුවිශේෂයක් වන්නේ, පෙරහැර ලැසි ගමනින් ඉදිරියට ඇදෙන විට නොව, එහි අලි කලබලයක් වන විට එතෙක් තිරය පිටුපස සිටි මේ අමුත්තා සැනින් ඉදිරියට ඒමය. එවිට භය බිරාන්තව ඒ මේ අත දුවන බොහෝ දෙනකුට විරුද්ධ දිශාවට දිව යන ඔහු ඒ කලබලකාරී අලි ඇතුන් දෙසට දිව යෑම කෙතෙකුත් දැකිය හැක්කකි.

ඉන් නොනවතින ඔහුගේ වගතුග ඔස්සේ මින් පෙර පය නොගැසූ චාරිකාවක නිරත වන්නටයි මේ සූදානම. ඒ වෙනින් කවුරුවත් නොව අලි ඇතුන්ගේ සුව සහනය වෙනුවෙන් ජීවිතයම කැප කළ මහාචාර්ය අශෝක දංගොල්ලය. නම කියූ සැනින් බොහෝ දෙනකු හඳුනන හෙතෙම පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය පශු වෛද්‍ය පීඨයට අනුබද්ධිත ශික්ෂණ රෝහලේ පීඨාධිපතිවරයාද වේ. ඔහු දැන් අප ඉදිරිපිටය.

ඉතින් වෛද්‍යතුමා අපි මේ කතාබහ ඔබේ ළමා කාලයෙන් අරඹමු

මගේ ගම අවිස්සාවේල්ලේ කොස්ගම.පවුල් පරිසරයෙන් පශු වෛද්‍ය වෘත්තියට සම්බන්ධ කෙනකු නම් නැහැ.කුඩා කාලයේ ඉඳන් එහෙම කෙනකු වෙනවාය කියලා අපේක්ෂාවකුත් මට තිබුණේ නැහැ.කොහොම වුණත් පාසල් කාලයේ ඉඳලා එදිනෙදා පාසල් වැඩ හරියට කරන පුරුද්දක් මට තිබුණා.ඉතින් ඒ ගමනේ උසස් පෙළ කඩඉම පසුකරලා මං නැවතුණේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්.

එතැන ඔබේ ජීවිතයට සුවිශේෂයි

(හිනැහෙයි) ඇත්ත. සාමාන්‍යයෙන් අවුරුදු කිහිපයකින් උපාධි හදාරා එතැනින් පිට වෙන්න ඕන. ඒත් මට එහෙම නෙවෙයි, එදා ඉලන්දාරියෙක් විදියට එතැනට පය ගැසූ මම අද මහලු වියේදීත් ඒ පිය ගැටපෙළ නඟිනවා. ඒක ජීවිත කාලයක් තුළදී කෙනකුට අහම්බෙන් ලැබෙන අවස්ථාවක්. මං ඒ වරම ලැබූ කෙනෙක් කියලා නිහතමානී සතුටක් මට තියෙනවා.

ඔබ ඒ මඟ දිගේ පියවරෙන් පියවර පැමිණි කෙනෙක්?

ඔව්. මං පශු වෛද්‍ය විෂයය උගන්වන ගුරුවරයෙක් විදියට සහාය කථිකාචාර්යවරයකු විදියටයි මුලින්ම සේවයට බැඳුණේ.පස්සේ කථිකාචාර්යවරයෙක් , ආචාර්යවරයෙක් විදියට ඒ මඟේ කඩඉම් පසු කළ මම අද එහි මහාචාර්යවරයෙක්.

ඉතින් ඔබේ රැකියාව ඒකාකාරීය කියලා ඔබට සිතෙන්නේ නැතිද?

කොහෙත්ම නැහැ. මං එහෙම කියන්නේ හේතු ඇතිව. නිකමට සිතන්න, මට ලෙඩ බලන්න ලැබෙන්නේම විවිධාකාර සතුන්නේ. අද අලියෙක්, හෙට රිලවෙක්, අනිද්දා මට මුවෙකුගේ ලෙඩ දුක් සුව කරන්නට භාර වෙන්න පුළුවන්. ඉතින් ඒ විවිධත්වයම මට ආලෝකයක්. ඒ එළිය දිගේ මම අදවනවිට දශක ගණනාවක් ඉතිහාසයක් පසුකොට පැමිණ සිටිනවා.

 මොනවාද ඒ මඟ දිහෑ ආපස්සට හැරී බැලුවාම සිතෙන්නේ?

සතුටුයි. ඒ මිසෙක කිසිම කණගාටුවට කරුණක් මට නැහැ.මට මේ වෘත්තිය නිසා ධනය, කීර්තිය, ප්‍රශංසාව, ජීවන විවිධත්වය සියල්ලම ලැබුණා.ඉතින් මං තව මොනවා ප්‍රාර්ථනා කරන්නද?

ඔබට පුද්ගලිකව එසේ වුවත් රටක් විදියට අප සිටින තැන සම්බන්ධයෙන් සතුටු වෙන්න පුළුවන්ද?

ඇත්ත. අපේ රටේ හුඟ දෙනෙක් කතා කරනවා මිසෙක වැඩ කරද්දී බොහෝ විට මැලිකමක් පෙන්වන්නේ.ඉතින් එහෙම පස්සට වෙලා ඉඳීමේ පුරුද්දක් මට නැහැ.ඉතින් මං සමහර කටයුතුවලට ඉදිරිපත් වෙලා තියෙනවා පමණක් නෙවෙයි. ඒ පටන් ගත්ත වැඩේ කෙළවරක් වනතුරු නොකඩවා කරගෙන යාමත් මගේ පුරුද්දක්.මේ දිනවල මං ඒ වගේ භාරදූර කටයුත්තකට අත ගහලා තියෙනවා. උඩවලව ප්‍රදේශයේදී පැවැත්වූ ඇතින්නකගේ මරණයකදී ඇයගේ කුස තුළින් හඳුනාගත් පණු විශේෂයක් නිසයි මට ඒ පෙලඹීම ඇති කළේ.

මොකක්ද ඒ?

ශ්‍රී ලංකාවෙන් මුල්වරට තමයි අලි ඇතුන් සම්බන්ධයෙන් ඒ පණු රෝග තත්ත්වය හඳුනා ගත්තේ. තණ බිස්සේ වැඩෙන ඇසට නොපෙනෙන තරමේ ඒ කුඩා පණුවා අලි ඇතුන්ගේ කුසට ඇතුළු වී එම සතුන් කෘශ වනතුරුම ලේ උරා බොනවා. මේ ගැටලුව රටේ ව්‍යාප්ත වෙන්න කලින් මැඩ පැවැත්වීමේ කටයුතුවල මේ දිනවල අපේ පශු වෛද්‍යවරු නිරතව සිටිනවා.

එහෙම නොවුණොත් ශ්‍රී දළදා පෙරහැරට විතරක් නෙවෙයි. ඒ මුළු මහත් සත්ත්ව සංහතියටම මේ කාරණය දරුණුවට බලපාවි.තවම මේ පණු රෝගයට අදාළව ලංකාවේ ඖෂධ ලියාපදංචි කර වත් නැහැ.තව දෙයක් තිබෙනවා. අලි ඇතුන්ට දවසකට වුවමනා තරම් ව්‍යායාම දෙන්නම ඕන.සාමාන්‍යයෙන් දවසකට හැතැප්ම පහක්වත් ලංකාවේ අලි ඇතුන් ඇවිදිනවා.

පෙරහැරේ හෙමින් ඇවිද ගියාට ඒ ව්‍යායාම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අලි ඇතුන් ලෙඩ නොවන්නට ඔවුන්ට ව්‍යායාම් ලබා දෙන්න ඕන. මම මේ දිනවල රත්නපුර සමන් දේවාලයේදී එහෙම ව්‍යායාම් අවශ්‍ය අලියකුට ප්‍රතිකාර ලබා දෙනවා. මද කිපුණාම අලියෙක් වඩා ශක්තිමත්ය කියන කාරණය වැරදි බව මේ වනවිට පර්යේෂණාත්මකව සොයාගෙන තිබෙනවා. ඒ කාලයට අලින් තුළින් ඇතිවන හෝමෝනයක් නිසයි මේ ගතිය ඇති වෙන්නේ.

හොඳයි, අපි දැන් කතාකරන්නේ දළදා පෙරහර හා ඔබ පිළිබඳ

එතැනදී මට පැවරෙන කටයුතු බොහොමයි. එක අතකට මනුස්සයකුගේ වෛද්‍ය පරික්ෂණ වගේ තමයි. අලි ඇතුන් වුණත් පෙරහැරට එකතුවෙන්න සුදුසු සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනවාද කියලා අපි සොයා බලනවා.මුත්‍රා පරීක්ෂණ, ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සේරම කරලා ඒ සතා පෙරහැරේ ගමන් කරන්න සුදුසුද කියලා නිවැරදිව තහවුරු කර ගැනීමෙන් පසුවයි අලි ඇතුන් පෙරහැර මංගල්‍යයට සූදානම් කරවන්නේ.

එහෙම නම් හුඟ දෙනෙක් අතින් ඒ සතුන් සම්බන්ධව සිදු කෙරෙන වැරදි එහෙමත් ඇති?

ඇත්තෙන්ම. සමහර ඇත් ගොව්වන් අතිනුත් ඒ වගේ වැරදි වෙනවා. හුඟක් අලි ඇතුන් දළදා පෙරහැරට විතරක් එකතු වෙන අය නෙවෙයි. ඔවුන් රට පුරා පෙරහැරවලට රැගෙන යන බව සමහරුන්ට නිතර අමතක වෙනවා.එහෙම පෙරහැරෙන් පෙරහැරට යන අලි ඇතුන්ගේ නිදිමත ගතිය මිනිසුන්ට කොහොමටවත් හොඳ දෙයක් නෙවෙයි. විශේෂයෙන් පෙරහැර මංගල්‍යවල අවසන් භාගය වනවිට අලි ඇතුන් නිදිමතේ සිටිය හැකියි.

එවිට ඔවුන්ට වෙනදාට වඩා ඉක්මණින් කේන්ති යාමේ ඉඩ කඩ වැඩියි.සමහරු ලේසර් කිරණ පවා අලින්ගේ ඇස්වලට අල්ලනවානේ.ඒ විතරක් නෙවෙයි, අලි ඇතුන්ට වැඩිපුර නොදිය යුතු ආහාර පාන තිබෙනවා. කිරිබත් එහෙම දෙයක්. ඒවා ඕනෑවට වඩා කෑමට ගත් අලියෙක් මෑතකදීත් මරණයට පත් වුණා.තව දෙයක් කියන්නම ඕන. ශ්‍රී ලංකාවේ වාර්ෂික පෙරහැර මංගල්‍ය මුලින්ම ඇරඹෙන්නේ මහනුවරින් නෙවෙයි. දෙවිනුවරින්. ඉතින් ඒ පෙරහැර නිමා කළ අලි ඇතුන් එතැනින් මහනුවරට එන්නේ. ඉතින් ඔවුන් විඩාවෙන් පසුවිය හැකි බව අප සැළකිල්ලට ගත යුතුයි.

මතක් කරමුකෝ, පෙරහැර ජීවිතේ අමතක නොවන සිදුවීම් ටිකකුත්?

විවිධාකාර අත්දැකීම් තිබෙනවා. අලි ඇතුන්ගේ නම් ගම් වුණත් විශේෂයිනේ. තායි රාජ, ඉන්ද්‍ර රාජ, කළු ඇතා වගේ නම් ඒ අතර තියෙනවා. ඔවුන් අතරේ ජීවත්වන අප ලද අත්දැකීම් සමහරක් විනෝදජනකයි.සාමාන්‍යයෙන් එක් පෙරහැර සමයක් තුළ පෙරහැර රැසක් තිබෙනවා.

ශ්‍රී දළදා පෙරහැර තුළ කුඩා පෙරහැර විසි පහකටත් වැඩියි. බිය උපදවනසුලු අත්දැකීම් ද නැතිවා නෙවෙයි.මේ කොයි දේටත් පශු වෛද්‍යවරුන් විදියට අපි සූදානමින් සිටිය යුතුයි. මෑතකදී දළදා පෙරහැර අතරතුරදී මිනිහෙක් පිට උඩ ඉඳිද්දීම අලියෙක් කුලප්පු වුණා. එවිට ඒ ළඟ පාත සිටි සියල්ලන්ම පැන දිව්වා.මා ඇතුළු කණ්ඩායම අලියා සිටි දෙසට දිව ගියා.

ඉඳින් අපව ගණනකට නොගත් අලියා ඒ මේ අත දිව යමින් කලබල කළා. අපිත් අත නෑරම අලියා ලුහුබැන්දා. අන්තිමේදී මොකද දන්නවාද වුණේ? අලියාටම එපා වෙලා කුලප්පුව නවතා දැම්මා.යාන්තම් එතැනින් ඒ සෙල්ලම හමාර වුණා.මම ඒ වගේ කතා ගොන්නක් එකතු කරලා පොත් පිංචකුත් එළි දක්වා තිබෙනවා.

හුරතලයට පුංචි කාලේ ඉඳලා ගෘහාශ්‍රිතව හදන අලි ලොකු වෙද්දී ප්‍රචණ්ඩ වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. මේ දිනවල මම කෑගල්ලේ වළව්වක හැදුණු අලියකුත් ඒ සතා එක්කම වයස අවුරුදු විසි පහක් වෙනතුරුත් හැඳුණු තරුණියකත් සම්බන්ධවත් අධ්‍යයනයක් කරනවා.ඉදිරියටත් හැකි උපරිම කාලයක් ශ්‍රී දළදා පෙරහැර වගේම අනෙත් පෙරහැරවලටත් දායකත්වය දීමයි මගේ අපේක්ෂාව.