ලස්සන වෙන්න මී පැණි

 ඡායාරූපය:

ලස්සන වෙන්න මී පැණි

කිසිදා කල් ඉකුත් නොවන මී පැණි ඈත අතීතයේ සිටම රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිතා කර ඇති බවට ඕනෑ තරම් සාධක තිබෙනවා. විශේෂයෙන්ම රාජකීයයන්ගේ රුව වඩවා ගැනීමට මී පැණි අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස තිබුණ බවයි එම සාක්ෂිවලින් කියැවෙන්නේ. ස්වාභාවික ක්ලෙන්සර් එකක් වන මී පැණි සමේ මැරුණ සෛල හොඳින් ඉවත් කර දිදුලන සහ පැහැපත් සමක් උරුම කර ගැනීමට උපකාරී වනවා.

මේ රූපලාවණ්‍ය කටයුතු සඳහා

මී පැණි යොදාගත හැකි ආකාර කිහිපයක්.

 සතියකට වරක් හෝ දෙවරක් මී පැණි යොදා ඔබේ මුහුණ සෝදන්න. සිනිඳු සහ ලප කැළැල්වලින් තොර සමක් ලබා ගැනීමට ඔබට හැකිවේවි.

 මී පැණි සහ තක්කාලි යොදාගෙන ඝණ මිශ්‍රණයක් සකස් කරගන්න. ඒ මිශ්‍රණය ඔබේ සම මත මිනිත්තු 15 – 20 පමණ කාලයක් තබා ගෙන සිට ඉන්පසු සෝදා හරින්න. ඔබේ සමට අවශ්‍ය තෙතමනය ලැබී පැහැදිලි සමක් උරුම කර ගැනීමට හැකිවේවි.

 කිසිවක් මිශ්‍ර නොකරන ලද පිරිසිදු මී පැණි ඔබේ මුහුණේ ආලේප කර විනාඩි 10කට පමණ පසු මඳ රස්නය සහිත ජලයෙන් සෝදා හරින්න. ඔබේ සමට අවශ්‍ය තෙතමනය ලබා ගැනීමට හැකිවේවි.

 රාත්‍රියේ නින්දට යාමට පෙර මුහුණේ මී පැණි ස්වල්පයක් ආලේප කරන්න. සම එල්ලා වැටීම සහ වයස්ගත වීම පාලනය කර ගැනීමට ඔබට හැකියාව ලැබේවි.

 මී පැණි කෝප්ප භාගයකට රෝස වතුර හැඳි තුනක් පමණ දමා මිශ්‍ර කරගන්න. එය මුහුණේ ආලේප කර විනාඩි 15ක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න. දිදුලන සමක් උරුම කරගැනීමට හැකිවේවි. මී පැණි සහ යෝගට් මිශ්‍රකර මුහුණේ ආලේප කිරීම විශ්මයජනක ප්‍රතිඵල ලබාගත හැකි බව පැවසෙනවා. ඒ සඳහා මී පැණි සහ යෝගට් මිශ්‍රණයක් සාදාගෙන මුහුණේ ආලේප කර මඳ වෙලාවක් මුහුණ මත තිබෙන්නට හැර සිසිල් ජලයෙන් සෝදා හැරීමෙන් මුහුණේ රැළි වැටීම් වළක්වාගත හැකියි.

සම සඳහා පමණක් නොව නිරෝගී කේශ කලාපයක් ලබා ගැනීමටත් මී පැණි භාවිතා කළ හැකිය.

 හිස කෙස් සේදූ පසු කන්ඩිෂනර් එකක් ලෙස හිසකෙස් මත මී පැණි ආලේප කර සෝදා හරින්න. සිනිඳු හා දිදුලන කෙස් කළඹක් ලබාගත හැකිය.

 මී පැණි සහ ඔලිව් තෙල් මිශ්‍රණයක් සාදා ගන්න. එය හිස කෙස් මත අතුරා පැයක් පමණ කාලයකට පසු සෝදා හරින්න. එයින් හිස කෙස් සවිමත් වේවි.

ස්වභාවික රුව රහස් කෘතිය ඇසුරිනි

[යශෝදා ඉන්දීවරී]

මාතෘකා