පෙරහැරේ නටන්න වාසනාව තියෙන්න ඕන

 ඡායාරූපය:

පෙරහැරේ නටන්න වාසනාව තියෙන්න ඕන

වීරසිංහ මුදියන්සේලාගේ දයානන්ද

පෙරහැර කාලයට නුවරට එක්රැස් වන දහසකුත් මිනිසුන්ගේ නෙත් සිත් නිරන්තරයෙන්ම නතරවන්නේ නර්තන කණ්ඩායම් අසලය. හේවිසිවලින් පසු, සාම්ප්‍රදායික නර්තන කණ්ඩායම් අතුරෙන් මූලිකත්වය ගනු ලබන බුලත් පදය නර්තනය හා පොල්මල් නැටුම නර්තනය භාර කණ්ඩායම් ප්‍රධානීහු අද ඇසළ පෙරහරට, රැස පෙළහරින් හමුවෙති. කොහොඹා යක්කම නම් ශාන්තිකර්මය උඩරට නර්තන ඉතිහාසයේ ආරම්භය ලෙස පොතපතේ සඳහන් වේ. එක්තරා අවස්ථාවක පණ්ඩුවාස දේව රජතුමාට ඇති වූ දිවි දෝසයක් නිමා කිරීම සඳහා ආරම්භ කළ මෙය දළදා පෙරහැරේද ආරම්භක සාම්ප්‍රදායික නර්තනාංග ලෙස දැකගත හැකිය.

වීරසිංහ මුදියන්සේලාගේ දයානන්ද නම් ඔහු වසර ගණනාවක් ගම්පොළ ජිනරාජ මහා විදයාලයේ දරුවන්ට නර්තනය ඉගැන්වූ ආචාර්යවරයාය. දළදා පෙරහැරේ ශාස්ත්‍රීය නර්තනාංගයක් වූ පොල්මල් නැටුමෙහි කණ්ඩායම් නායකයා ඔහුය. මේ රැස සමග ඔහු අදහස් බෙදාගත් අවස්ථාවයි.

පොල්මල් නැටුම අයත් වන්නෙත් කොහොඹයක්කංකාරි ශාන්තිකර්මයට නේද? මේක පෙරහැරකට ගේන එක මොන වගේ අභියෝගයක්ද?

මම පාරම්පරික නැට්ටුවෙක් නෙවෙයි. ඒත් අවුරුදු තිහක් තිස්සේ මම දරුවන්ට නර්තනය උගන්වන නිසා මම මේ අභියෝගයට බිය වුණේ නැහැ. පොල්මල් නැටුම මම නිර්මාණය කළේ පෙරහැරට ගැළපෙන නිර්මාණාත්මක කාරණා එකතුකරලා. ඒ නර්තනයේ සාම්ප්‍රදායිකත්වය ආරක්ෂා වෙන විදියටත්, ප්‍රාසාංගික බව රැකෙන විදියටත් හැකි උපරිම අයුරින් මම මේක කරලා තියෙනවා.

බුලත් පදය වැනි අනෙත් සාම්ප්‍රදායික නර්තනාංගවලින් පොල්මල් නැටුම වෙනස් වෙන්නේ කොහොමද?

කොහොඹාකංකාරියේ මල්හත්පදය කියන ශාස්ත්‍රීය නර්තනාංගයේ එක් කොටසක් විදියට පොල්මල් නැටුම හඳුන්වන්න පුළුවන්. බුලත්පදය හා කොතලපදයට ගායනය සම්බන්ධ වෙන්නේ නැහැ. ඒත් පොල්මල් පදයට ගායනය සම්බන්ධ වෙනවා. ඒ වගේම අපි කොහොඹාකංකාරියේ නැති සමහර අංග එකතු කරලා තියෙනවා. නර්තනයට සහභාගිවන අයම ගායනයත් සිදුකරනවා.

වෙනත් අංග ඇතුළත් කිරීමෙන් මුල් නර්තනයට හානියක් වෙන්නේ නැද්ද?

නැහැ. බොහෝ විට කොහොඹාකංකාරියේ පොල්මල් උඩ දාන්නේ සීමිත අවස්ථාවක පමණයි. ඒත් පෙරහැරට අපි බොහෝ විට ඒ අංගය වැඩි වශයෙන් භාවිතා කරනවා. ප්‍රාසාංගිකත්වය වෙනුවෙන්. ඒත් ඒක අමුතුවෙන් එක් කළ දෙයක් නොවෙයි. ඒ වගේම සාම්ප්‍රදායික කංකාරියෙදි යක්දෙස්සෝ නටන්නේ දෙපේළියට. ඒත් අපි පේළි හතරකට රංග රටා කිහිපයක් ඇතුළත් කරලා නර්තනය නිර්මාණය කරලා තියෙනවා.

පොල්මල් නර්තනයෙන් සහ එහි කවිවලින් අදහස් කරන නිශ්චිත අර්ථයක් තියෙනවද?

පොල්මල් නර්තනයෙන් සශ්‍රීකත්වයට ආරාධනයක් සිදුකරන්නේ.

 

“පතිනි දෙවියන් වඩින්නට ආයුබෝවා

නාත දෙවියන් පිහිටවන්නට ආයුබෝවා

දළදා සමිඳන් වඩින්නට ආයුබෝවා

සියලු දෙවියන් වඩින්නට ආයුබෝවා”

 

ඔබ පොල්මල් විදියට භාවිතා කරන්නේ ප්ලාස්ටික් පොල්මල්. ශාන්තිකර්මවල භාවිතා කරන්නේ ස්වාභාවික පොල්මල් නේද?

අපිත් මුලදි ස්වාභාවික පොල්මල් භාවිතා කළා. ඒත් ඒක අපරාධයක් වෙනවා. පොල්මල හිසට, දෙවුරට,නළලට ගහගන්නවා. හැම දවසකම අලුත් පොල්මලක් ඕන. ශිල්පීන් 20ක් ඉන්නවා. එහෙම බලද්දි ඒක අපරාධයක්. ඒ නිසා අපි ප්ලාස්ටික් පොල්මල් භාවිතා කරනවා. මම හිතන්නනෙ නැහැ ඒකෙත් නර්තනයට හෝ එහි අලංකාරයට කුඩා හෝ බලපෑමක් වෙනවා ඇති කියලා.

ඔබ දශක තුනක් තිස්සේ දරුවන්ට නර්තනය උගන්වන බව පැවසුවා. ඔබට දළදා මාළිගාවට සම්බන්ධවෙන්න ලැබෙන්නේ කොහොමද?

දළදා මාළිගාවට මට සම්බන්ධවෙන්න ලැබෙන්නේ 2008 වර්ෂයේ පටන්. මුලින්ම පතුරු නර්තනයට, ඉන්පස්සේ චාමර සහ සවරං නරතනාංගවලට. 2010 වර්ෂයේ අපි නර්තන කණ්ඩායම් හතරක් ගම්පොළ ජිනරාජ මහා විද්‍යාලයේ (මම උගන්වන පාසල) දරුවන් යොදාගෙන නිර්මාණය කරනවා. මේකට මූලිකත්වය අරන් කටයුතු කළේ දියවඩන නිළමේතුමා, ජේෂ්ඨ කථිකාචාර්ය ගුණසේන රාජපක්ෂ මහතා, හිටපු ලේකම් තරංග චන්ද්‍රසේන මහතා තමයි මට මේ හැමදේම කරන්න හයිය දුන්නේ.

පොල්මල් පදයට ශිල්පීන් කී දෙනෙක්ට සහභාගි වීමේ අවස්ථාව හිමිවෙනවද?

දැනට අපි බෙර වාදන ශිල්පීන් 12 දෙනෙක්, නර්තන ශිල්පීන් 16 දෙනෙක්, තාලම්පටකරුවන් සිව් දෙනෙක් සහභාගි වෙනවා. එමෙන්ම මේ නර්තනාංගය උඩරට සම්ප්‍රදායට අයත් නිසා ගැටබෙරය හා තම්මැට්ටම භාවිතා කරනවා.

මේ වගේ අවස්ථාවක් ලැබීම පිළිබඳ සහ ඔබේ තරුණ දරුවන්ට පෙරහැරේ අවස්ථාවක් ලබා දීමට හැකියාවක් ලැබීම පිළිබඳ ඔබට ඇත්තේ මොන වගේ හැඟීමක්ද?

මේ කණ්ඩායමේ සියලුම ශිල්පීන් තරුණයි, මම හැරුණම. මට දැන් වයස අවුරුදු 52ක්. ඒත් ඒ ඇඳුම ඇඟට දාගත්තම මට දැනෙන්නේ මම තරුණයි කියලා. අපි පටන්ගන්න තැන ඉඳලා පෙරහැර ගෙවදින තුරුම නටනවා. ඒත් මහන්සි දැනෙන්නේ නැහැ. අපට මේ ලැබිලා තියෙන අවස්ථාව පෙර පිනක්. වාසනාවක්. පෙරහැරේ නටන එක හිතට ගේන්නේ ආඩම්බරකමක්.


අපි ෙපරහැර එනතුරු බලා ඉන්න මිනිස්සු

නලින් ප්‍රසාද් ජයසේකර

වයස 31ක් වූ ජී. පී. නලින් ප්‍රසාද් ජයසේකර මහතා බුලත්පදය, කොතලපදය හා පතුරු නැටුම් යන නර්තන ත්‍රිත්වයේ නියමුවාය.

ඔබ කියන විදියට ඔබ සාම්ප්‍රදායික නැට්ටුවෙක් නෙවෙයි. දළදා පෙරහැරට සම්බන්ධ වෙන්නෙ කොහොමද?

1998 තමයි මම මුලින්ම පෙරහැරට සම්බන්ධ වෙන්නේ. ඒ නෛඅඩි නර්තන ශිල්පියෙක් විදියට. ඉන්පස්සේ නිළමෙතුමාට ඕන වුණා මාළිගාවේ ස්ථිර නැටුම් කණ්ඩායමක් පටන් ගන්න. එවකට සංස්කෘතික නිළධාරි ලෙස කටයුතු කළ තරංග චන්ද්‍රසේකර මහතා සහ ජේෂ්ඨ කථිකාචාර්ය ගුණසේන රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරලා 2010දි ඒ නැටුම් කණ්ඩායම පටන් ගත්තා. මම සංස්කෘතික නිළධාරී ජයම්පති වැද්දාගල මහතාත් මේ වෙලාවෙදි මතක් කරනවා. ඒ කාලෙ නැටුම් කණ්ඩායම්වලට සාමාජිකයො තෝරගත්තේ මහනුවර ප්‍රසිද්ධ පාසල්වලින්.

මේ වෙද්දි නර්තන කණ්ඩායමේ ආරම්භක සාමාජිකයන් සියලුම දෙනා ඉන්නවද?

ආරම්භක සාමාජිකයන් බොහෝ දෙනා තවමත් ඉන්නවා. මේ වෙද්දි කණ්ඩායමේ සාමාජිකයන් 120ක් ඉන්නවා. කලින් කණ්ඩායම් දෙකයි තිබුණේ, දැන් 03ක් වෙලා තියෙනවා. අපේ නර්තන කණ්ඩායමට මේ වෙද්දි බුලත් පදය, කොතල පදය හා පතුරු නැටුම් කියන නර්තනාංග තුනම ඇතුළත්. ඒ වගේම නර්තන ශිල්පීන් 90ක් සහ වාදන ශිල්පීන් 30ක් ඇතුළත්.

ඒ කියන්නේ පෙරහැරට බුලත් පදය නටන්න ගන්නේ 2010 දි. එහෙම නේද?

මුලින්ම මම නටන්නේ කොතල පදය. ඉන්පස්සේ තමයි බුලත් පදය නටන්න ගත්තේ. දියවඩන නිළමෙතුමා මගේ දක්ෂකම් දැකලා මේක දිගටම කරගෙන යන්න මට භාර දුන්නා. අද මම බුලත් පදයයි, කොතල පදයයි දෙකේම පුහුණුවීම් කරන්නේ මම. ඉන්පස්සේ කණ්ඩායමේ භාරකාරත්වය එක්ක පුහුණුවීම් කරන්න ගත්තා. ඒ සඳහා චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ නර්තනාචාර්ය නිමේෂ් සුමනරත්න මහත්මයා මට එදා ඉඳන් අද වෙනකම් උදව් කරනවා.

මේ නර්තනාංගයන්ට භාවිතා කරන වාද්‍ය භාණ්ඩ එකිනෙකට වෙනස් නේද?

ඔව්. බුලත් පදයට සහ කොතල පදයට ගැට බෙරය සහ තාලම්පට භාවිතා කරනවා. ඒත් පතුරු නැටුම ඊට වඩා වෙනස්. පතුරු නැටුමට ගැටබෙරය, තාලම්පට, තම්මැට්ටම, දවුල සහ බටනළා භාවිතා කරනවා.

ඔබේ කණ්ඩායම සහ ඔබ සම්මානයන්ට පාත්‍ර වෙනවා. ඒ පිළිබඳ ඔබට ඇත්තේ මොන වගේ හැඟීමක්ද?

ඒ ගැන මට තියෙන්නේ නිහතමානී ආඩම්බරකමක්. 2010 ඉඳන් 2018 වනතුරු අපේ කණ්ඩායම ජනාධිපති සම්මානයට පාත්‍ර වෙනවා. අපි දළදා මාළිගාවේ තියෙන නර්තන කණ්ඩායම්වලින් හොඳම ප්‍රාසාංගික නර්තන කණ්ඩායම ලෙස දිගටම සම්මාන ලබා ගත්තා. ඒ වගේම මම දක්ෂතම, හොඳම, නැගී එන සහ තරුණ නර්තන ශිල්පියාට හිමි සම්මාන ලබාගෙන තියෙනවා.

පාරම්පරික ශිල්පීන්ට පමණක් ඉඩ ප්‍රස්තාව හිමිවුණු දළදා පෙරහැරේ සාමාන්‍ය නර්තන ශිල්පීන්ට අවස්ථාව ලැබීම ලොකු දෙයක් නේද?

ඇත්තටම ඔව්. ඉස්සර අපි ගත්තේ මහනුවර පාසල්වල ඉන්න දක්ෂතම ළමයි. මේ වෙද්දි නුවරට අමතරව ගම්පහ, කෑගල්ල වගේ ප්‍රදේශවල දක්ෂ ළමුන් සම්මුඛ පරික්ෂණවලින් කණ්ඩායමට තෝරගැනීමක් කරනවා. ඒ වගේම හැම අවුරුද්දකම අලුත් ශිෂ්‍යයො බඳවගන්න අපි කටයුතු කරනවා.

බුලත් පදය කියන්නේ උඩරට කොහොඹාකංකාරි ශාන්තිකර්මයෙන් පැවත එන නර්තනාංගයක්. ඒත් ඔබ නටන්නේ වෙස් ඇඳුමෙන් නෙවෙයි. එයට හේතුවක් තියෙනවද?

බුලත්පදය කියන්නේ කොතලපදය, මල්පදය, පොල්පදය, සළුපදය, යහම්මුට්ටි පදය, දුම්මල පදය, බුලත් පදය කියන හත්පද පෙළපාලියේ කොටසක්. අපි මේ නටන්නේ පෙරහැරකට. එය වර්ණවත් සහ නිර්මාණාත්මක විදියට පෙරහැරට උචිත ලෙස ප්‍රායෝගිකව ඉදිරිපත් කරනවා. ඒකෙදි කංකාරියෙ නැටුමට වඩා වෙනස් වෙනවා. ඒ නිසා වෙස් ඇඳුම භාවිතා කරන්නේ නැහැ. මේක නිර්මාණාත්මක ඇඳුමක්.

බුලත් පදයෙන් අර්ථවත් කරන්නේ කුමක්ද?

බුලත් අතක් සහ සුදු පිරුවටයක් මෙහි ප්‍රධාන රංග වස්ත්‍රාභරණය වෙනවා. දෙවියන්ට, බුදුන්ට හා පෙරහැර බලන අයට ආරාධනා කිරීමක් තමයි මේකෙදි වෙන්නේ. කොතල පදයෙන් කරන්නේ පැන් කෙණ්ඩියක්, පුවක් මල් කිනිත්තක් ඇසුරින් කහ දියර ඉසලා භූමිය පිරිසිදු කිරීමක් අර්ථවත් කරන එක.

සාමාන්‍යයෙන් පෙරහැරට නටන්න කලින් මාස කීයක් පුහුණුවීම්වල යෙදෙනවද?

දළදා මාළිගාවේ පාරම්පරික නැට්ටුවන්ගේ ළමයි අපේ කණ්ඩායම්වල ඉන්නේ අඩුවෙන්. ඒ නිසා විවිධ රංග වින්‍යාසයන් ඇති දරුවන් අපි වෙන වෙනම දක්ෂතා හඳුනා ගෙන එකම රංගන තලයකට ගේනවා. ඒකට අපි එක දිගට මාස දෙකක් පමණ පුහුණුවීම් කරනවා.

සාමාන්‍යයෙන් කෙනෙකුට හිමි නොවන අවස්ථාවක් දළදා පෙරහැරක නටන එක. ඔබට ඒ පිළිබඳව තියෙන්නේ මොන විදියේ හැඟීමක්ද?

අපි එක අවුරුද්දක පෙරහැර නටලා ඊළඟ අවුරුද්දෙ පෙරහැර එනකම් ඉන්නේ පුදුම නොඉවසිල්ලකින්. මේක දළදා හාමුදුරුවන්ට කරන පූජෝපාහාරයක් මිසක් අපි මුදල් බලාගෙන කරන දෙයක් නෙවෙයි. ඒ වගේම මේ පූජෝපාහාරය අපට කිසිම රෝගයක්, පීඩාවක් නොමැතිව මුළු වර්ෂය පුරාම ජීවත්වෙන්න අවශ්‍ය හයිය දෙනවා.

මාතෘකා