දනහිස ළඟට වතුර පිරෙද්දිත් මම පෙරහැරේ නැටුවා

 ඡායාරූපය:

දනහිස ළඟට වතුර පිරෙද්දිත් මම පෙරහැරේ නැටුවා

දළදා පෙරහැරේ පීටර් සුරසේන නාමය ඉදිරියට රැගෙන යන සුසන්ත සුරසේන

“ඒ මං බෙරයක් තරම්වත් උස නැති කාලේ. අප්පච්චි පස්සෙන් එයාගේ වෙස් පෙට්ටි ඔසවාගෙන මල්ලීත් මමත් ගාටන්නේ හරි ආසාවෙන්. මහනුවර අරුක්වෙල අපේ ගමේ වෙල් දෙණි අතරින් ගල් මුල් උඩින් පැන පැන අපි ශ්‍රී දළදා මාලිගාව ගියේ අරුණැල්ලත් දෝත දරාගෙන.

අපිට පුංචි පැටව් විදියට ඒ කාලේදීත් අප්පච්චිව පෙණුනේ හන්තාන කන්දටත් වඩා ටිකක් උස මිනිසෙක් විදියට.එච්චරටම පෞරුෂයක් තිබිච්ච ඒ අපූරු මනුස්සයා පාන්දරින්ම දළදා මාලිගාවට ඇරලවන අපි ආපිට හැරී ගෙදර එන්නේ නම් ටිකක් සුනංගුවෙලා.

ගුරු දෙවිවරු

වෙස් ඇඳුම් කට්ටලයෙන් අඩුවක් නැතිව සැරසිලා මහා රජෙක් වගේ අප්පච්චි දළදා මාලිගාවේ පත්තිරිප්පුවට පය ගසනතුරු අපි ඒ කාලේ හිටියේ පුදුම නොඉවසිල්ලකින්. වෙස් කට්ටලයෙන් හැඩවෙලා, අදටත් ශ්‍රී දළදා පෙරහැරේ වෙස් නැටුමට නමගිය සුරඹා ගුරුන්නාන්සේ, මුද්දනාවේ සුනිල්, ආර්. ජී ප්‍රේමදාස, අයි. ජී සිරිසෝම,එරමුදුගොල්ලේ ගුරුන්නාන්සේ, තිත්තපජ්වල ප්‍රේමචන්ද්‍ර නම් අපට සිහි නොකරම බැහැ.

එතැනින් අද පරම්පරාව දිහාට හැරුණු විට අපට චිත්‍රසේන වේරපිටිය, සංජීව වේරපිටිය, ක්‍රිෂාන්ත ඉහළවෙළ ගුරුන්නාන්සේලා වගේම නිත්තවෙල පරපුර ඉදිරියට ගෙන යන සුමනවීර සහ සමරවීර ගුරුන්නාන්සේලා දෙපළ ආදීන් කරන කැපවීම් එමටයි. ඇඳුම් පැළඳුම් සකස් කර ගැනීමේ පටන්ම ඒ පේවීම පාරම්පරික ශිල්පීන්ගෙන් කැපී පෙණුනු දෙයක්. ඔවුන් දේවාභරණ විදියටයි නැටුම් ආයිත්තම් සැළකුවේ.

සිරිත් විරිත්

ඒ අතින්, වෙස් නැටුම් ශිල්පියා සැරසෙන යාර නවයක් දිග, හිඟල (නිසල් සඟල) හරියටම ඇන්ද ශිල්පියෙක් විදියට මගේ පියා, පීටර් සුරසේන ප්‍රසිද්ධයි. නිත්තවෙල ගුණයා, හීන් බබා ධර්මසිරි ආදීන් රැකගත් ඒ ඇඳුම් පැළඳුම් සම්බන්ධ සිරිත් රැක ගත යුතු බව අප්පච්චි නිතර සිහි කළා.ඒත් අද එහෙමද කියලා හිතෙද්දී කණගාටුවකුත් සිතට ඇති වෙනවා. ඔට්ටුද, මිනිත්තුවෙන් ඇඳගෙන පෙන්වන්නද කියලා විමසන වෙස් නැටුම් ශිලපීන්ව පවා අද රට තොටේදී අපට හමු වෙනවා. වෙස් ඇඳුමින් සැරසීම හෝරා එකහමාරක් තිස්සේ සිදුකරන බොහොම ගෞරවනීය දෙයක්. හිඟලේ පන්සිය හැටක් පෙති විඳහා ලනු කියලයි ඒ සම්බන්ධ පත පොතේ කියැවෙන්නේ. එතරම්ම සියුම් පෙතිවලට ප්‍රවීණ වෙස් නැටුම් ශිල්පියාට ඔහුගේ හඟල වෙන් කරන්න පුළුවන්.

අද වෙනස

එදා වෙස් පෙට්ටි සාදන කටයුත්ත පවා ශිල්පීන් කළේ සුදුසු නැකතක් බලලායි. ඒත් වර්තමානයේ මුදල මුල් කරගෙන එකම දවසේ හත් අට තැනක වුණත් වෙස් නැටුම් නටන්නට මැලි නොවෙන සමහරු දකින්න පුළුවන්. ඒ ඇතැමුන් අද වෙනවිට වෙස් ඇඳුමින්ම බයිසිකල්වල එල්ලිලා මඟ තොට යනෙන දකින අපට නම් ඇතිවෙන්නේ ජුගුප්සාජනක හැඟීමක්.

නැටුම් අච්චාරු

ඇතමුන් අද වෙස් නැටුමත් එකතු කරන් නැටුම් අච්චාරු හදාගෙන. ඒවා බලද්දී මේ මොන මොන නැටුම්ද කියලා හොයා ගන්න අමාරුයි. ඒ වගේම අද වෙස් බඳින සමහරු ඒ කටයුත්ත කරන්නේ තාවකාලික අරමුණුවලට. ඒ මිසෙක පෙරහැරේ නටන්නම නෙවෙයි.ඒත් වෙස් නැටුම් ශිල්පියෙක් නම් පෙරහැරේ නටන්න ඕනෑ.

ගමෙන් නගරෙට

එහෙම සාම්ප්‍රදායික නැටුම් කලාවලට ඇති තැන අද නැතිවෙලා.වෙස් බඳින උත්සවයකට සම්ප්‍රදායේ විදියට වෙස් පෙට්ටි හැටක් විතර හදා ගන්නත් ඕන. ඒක තරමක් අපහසු කටයුත්තක්. මේ වගේම නර්තනය ජීවිකාව විදියට කරන්න අපහසු සමහර වෙස් නැටුම් පරම්පරාවල පිරිස් වෙනත් රැකියාවලට යොමුවෙලා. සමහරු ගම් පළාත් අත් හැරලා නගරවලට ගිහිල්ලා.වෙස් නැටුම් කණ්ඩායමකට සාමාන්‍ය යෙන් නැටුම් ශිල්පීන් විසි දෙනකු පමණ ඇතුළත්. ඒ හැරෙන්නට බෙර වාදන ශිල්පීන් දොළොස් දෙනකු පමණ ඊට ඇතුළත් වෙනවා.

නිත්තවෙල පරම්පරාව

එවන් වෙස් නැටුම් ශිල්පයේ මහ ගෙදර විදියට අපට නිත්තවෙල පරම්පරාවේ කලායතනය හඳුන්වා දෙන්න පුළුවන්. අද වෙනවිටත් ඒ කලායතනය සමරවීර ගුරුතුමා දුක් කම්කටුලු මැද පවත්වාගෙන යනවා. ඒත් එහි අබලන් වහලය පිළිසකර කරගන්න ඒ ගුරුන්නාන්සේට අවුරුදු ගණනක්ම බලා ඉන්න සිදුවුණා. රටේ නායකයන්ටත් ඔහු ඒ කරුණ දන්වා උදව් ඉල්ලා තිබුණා. ඒත් අන්තිමේදී ඒ ගුරුන්නාන්සේට අදාළ කටයුත්ත කරගන්න වුණේ කොළඹින් ගෙන්වූ නාට්‍ය කණ්ඩායමක් ලවා නාට්‍යයක් පෙන්වා උපයා ගත් රුපියල් ලක්ෂ හතරකින්. ඒ අතින් බලද්දී මීට වඩා අපේ සාම්ප්‍රදායික කලා රැක ගන්න බලධාරින්ගෙන් අතහිත අපට ඕනෑ කරන බවත් නොකියාම බැහැ.

අප්පච්චිගේ නැටිලි

ඉතින් ආයෙමත් එතැනින් වෙස් නැටුම් දිහාට හැරුණොත්, අපේ අප්පච්චි දළදා පෙරහැරේ නටන්නට පටන් අරන් තියෙන්නේ අවුරුදු අටේ ඉඳන්.එතැනින් පටන් ගත්ත නර්තන ජීවිතෙන් අප්පච්චි විශ්‍රාම ගත්තේ අවුරුදු හැත්තෑ අටකින්.එතෙක් ජීවිතේ අප්පච්චි ඇතුළු අපේ පරම්පරාවේ සියල්ලන් එක්වෙච්ච එකම පෙරහැර තමයි, ශ්‍රී දළදා පෙරහැර.ඒ මෙහෙවර ඉදිරියටත් අමුණුගම, තල්ගහගොඩ පරම්පරා වෙනුවෙන් ඉදිරියට ගෙන යාමට තමයි මමත් මගේ සොහොයුරා ජානක සුරසේනත් කැපවී සිටින්නේ.අපේ මවු පරපුරත් ප්‍රසිද්ධ බලි පරම්පරාවක්. මාතලේ තැඹිලිදෙණියේ තමයි ඒ අය.

පරම්පරා දෙක

එච්චරටම අපේ ජීවිතේට බද්ධ වෙච්ච දළදා පෙරහැරට උරුමකම් කිව්ව පරම්පරා දෙකකින් තමයි අපේ සුරසේන පරපුර පැවතෙන්නේ. මගේ පියතුමා පීටර් සුරසේන. ඔහු එක්දහස් නවසිය ගණන්වල දළදා පෙරහැරට වෙස් නැටුම් එක් වෙච්ච කාලේ ඉඳන් පැවතුණු සම්ප්‍රදාය අකුරටම පිළිපැදි කෙනෙක්.ඒ අතින් ගත්විට සුප්‍රකට වෙස් නැටුම් පරම්පරා බොහොමයි.මාලගම්මන, නිත්තවෙල, අමුණුගම, තල්ගහගොඩ, ඒ මුල්ම වෙස් නැටුම් පරම්පරා කිහිපයක්.

තුන්වන පරපුර

අපෙන් පසුවත් මේ කලාව රැකෙන්න ඕන කියලා අපි ආසාවෙන් පෙරමඟ බලා සිටිනවා. ඒ පැතුම් මල් ඵල දල්වන්න මගේ සොහොයුරාගේ සිඟිත් පුතු එක්වේවිය කියලා හැඟීමකුත් අපට තියෙනවා. ඒ කුඩා පුතු අදටත් තාලම්පට වාදනය කරමින් දළදා පෙරහැරට එකතු වෙනවා. ඒ අතරේ මගේ සොහොයුරා ඔහු සතු පාරම්පරික දැනුම දෙනෝදාහක් දූ දරුවන්ට ඔහුගේ කලායතනය හරහා බෙදා දෙමින් සිටිනවා.

පෙළගැස්ම

වෙස් නැටුම් කණ්ඩායම් කිහිපයක්ම ශ්‍රී දළදා පෙරහැරට එක් වෙනවා. ඉන් කණ්ඩායම් දෙකක් සර්වඥ ධාතු කරඬුව වඩම්මවන ඇතු පිටුපසට වන්නටත් අනෙත් කණ්ඩායම් දෙක දියවඩන නිළමේතුමාගේ ඉදිරිපසට වන්නටත් තමයි නර්තනයේ යෙදෙන්නේ. මින් ඇතු ඉදිරිපිටට නැටුමට පෙළ ගැසෙන වෙස් නැටුම් පරම්පරා දෙකට අයිති වෙන්නේ ඉහළවෙළ සහ මාලගම්මන පරම්පරාවලට අයත් ශිල්පීන්. අනෙත් ප්‍රධාන වෙස් නැටුම් පරම්පරා දෙකේ ශිල්පීන් දියවඩන නිළමේතුමාගේ දෙපසින් නර්තන ඉදිරිපත් කරනවා. ඉන් නිළමේතුමාගේ වම්පසට වන්නට ස්ථානගතවන පරම්පරා අතර අමුණුගම, තල්ගහගොඩ පරම්පරාවල ශිල්පීන් සිටිනවා.

ඒ දළදා පෙරහැරේ වෙස් කණ්ඩායම් පෙළ ගැස්මේ වගතුග.

ආවතේව පූජා

මේ හැරෙන්නට පෙරහැරට කලින් වෙස් නැටුම් ශිල්පීන් නොවැරදීම සිදු කරනා කටයුතු තිබෙනවා. අප්පච්චි ඒ වතාවත් හරියටම ඉටුකළ කෙනෙක්.පෙරහැර ආරම්භ කරන්න කලින් අප්පච්චි වෙස් පෙට්ටියට පඬුරු ගැටගසා බාරහාර වෙනවා.ඒ සියලු ශිල්පීන්ට දළදා පෙරහැරේ පැවරෙන රාජකාරි සාර්ථකව නිම කරන්නට ඉඩ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන.ඒ විදියටවන බාරහාර අප්පච්චි දළදා පෙරහැර නිම වුණු ගමන්ම ඉටු කරද්දී අපිත් පුංචි එවුන් විදියට එයාට ඒ කටයුතුවලට උදව් පදව් කරනවා.

ජීවිත අත්දැකීම්

ඉතින් ඔහොමයි වෙස් නැටුම් ශිල්පී පරපුරක් විදියට අපේ ජීවිතේ. මේ නැටුම් රැකියාවක්වත් ආසාවට කරන දෙයක්වත් නෙවෙයි, අපේ ජීවිතේ තරමටම බද්ධ වෙන්න බලපෑ තවත් කාරණයක් තමයි පුංචි කාලේ ඉඳන් අප ලැබූ අත්දැකීම්. ඉස්සර දළදා පෙරහැර කාලෙට කොළඹින් පවා පණීභාරත ඇතුළු ශිල්පීන් පැමිණෙනවා. ඒ හැමෝම පෙරහැර කාලෙට අපේ ගෙවල්වල තමයි නවතින්නේ.

ආලින්දයේ රස කතා

එහෙම පළපුරුදු ශිල්පීන් එකට එකතු වුණු අපේ ගෙදර ආලින්දය හරිම රස ගුලාවක්.ඒ අය පෙරහැර ඉතිහාසය කියනවා. පෙරහැර අතරතුර වෙච්චි අමතක නොවන සිදුවීම් හෙළි කරනවා. ඒ විදියට අප්පච්චි අපිට එක්දහස් නවසිය පනස් හයේ අලි කුලප්පුව වෙලාවේ වෙනත් ශිල්පීන්ගෙන් අසා දැනගත් වගතුග එහෙම කියලා තියෙනවා.

එයා අපට හිනා වෙවී කීවේ ඒ වෙලාවේ වෙස් නැටුම් ශිල්පීනුත් දුවලා දුවලා ගිහින් නැවතිලා තිබුනේ මහනුවර අලි මුඩුක්කුවේ කියලා. ඒ වගේම අඩුපාඩු දුෂ්කරතා මැද ඒ කිසිවකට නොසැළී පෙරහැරේ රාජකාරි කරන විදියත් කියා සිටිනවා. මේ සියල්ලෙන් ඒ කාලේ ඉඳලාම අපේ හිතේ ඇතිවෙච්ච දෙයක් වුනේ කවදා කොහොම හරි පෙරහැරේ නර්තනයට එකතු වෙනවා කියන එක. ඒ වෙනුවෙන් අපි කැපවුණා.දැන් මේ අත්විඳින්න ලැබිලා තියෙන්නේ ඒ කැපකිරීමේ ප්‍රතිඵල.

ඒත් මුදලින් හෝ වස්තු සම්භාරයෙන් ඒවා මනින්න අපි කවදාවත් පෙළඹෙන්නේ නැහැ. අනෙක කරන කටයුත්ත හරියට ධාර්මිකව කරන කොයි කාටත් ඒ යහපත් ක්‍රියාවේ ආශිර්වාදයෙන් සුබසිද්ධිය සැලසෙන බව අපි තදින් විශ්වාස කරන දෙයක්.ඇත්තටම දළදා මාලිගාවේ මහ පෙරහැර දහය අවසන් වෙද්දී අපිත් අවුරුදු දහයකින් අලුත් වෙනවා කියන කාරණය අපි කාලයක් තිස්සේ අත් දකින දෙයක්.

අනෝරාවේත් රාජකාරී

ඔය මං වැඩිහිටියන්ගෙන් අසා දැනගත් අත්දැකීම්. අප්පච්චිගේ පෙරහැර ජීවිතේ එයාට එහෙම අලි කුලප්පුවීම් අත් දකින්නට ලැබිලා නැහැ.එතැනින් මගේ අවුරුදු විසි අටක මෙතෙක් ජීවිතේ දිහාට හැරී බැලුවොතින් ලොකුම අමතක නොවන මතක නැහැ. ඒ වුණත් දෙදහස වර්ෂයේදී මහ වැස්සේ දණහිස උසට වැහි වතුර පිරෙද්දීත් පෙරහැර රාජකාරිය අකුරටම කෙරුව විදිය නම් මට අමතක වෙන්නේ නැහැ.

පදිංචිය ජපානයේ

අද මම ජපානයේ පදිංචිව සිටිනවා. මම ඒ රටට වෙස් නැටුම් ඉගැන්වීමේ නිරතව සිටිනවා.ඒත් මොන වැඩේ තිබුණත් හැම දළදා පෙරහැර සමයකම මම නොවැරදීම ලංකාවට එනවා. ඇවිත් ඒ කටයුතු හමාර කරලා මිසෙක මම ආපිට සකුරා මල් පිපෙන රටට යන්නේ නැහැ.ඒ රටේ තරුණ පරපුරත් වෙස් නැටුමට හුඟක් උනන්දුයි. අඩුවෙන්ම දකින්නට ලැබෙන නැටුමක් විදියට ඒ අය වෙස් නැටුම හඳුන්වනවා. ඉතින් මට මගේ අප්පච්චි තරම් වෙස් නැටුම් කලාවට සේවයක් කරන්න බැරිවෙයි. ඒත් හැකි උපරිමයෙන් ඊට සේවයක් කිරීමයි මගේ අපේක්ෂාව.”

සුසන්ත සුරසේන

[නුවන් මහේෂ් ජයවික්‍රම]