විසි වසරක් තිස්සේ හුස්ම ගත්තේ පෙරහැරේ නටලා

 ඡායාරූපය:

විසි වසරක් තිස්සේ හුස්ම ගත්තේ පෙරහැරේ නටලා


‘කලාකරුවා තවමත් අපූරු මැවුම්කරුවකු වශයෙන් සමාජයේ ගරු බුහුමන් ලබයි. එහෙත් එක රැයකින්, එක උළෙලකින් අනුන්ගේ දීප්තියෙන් බැබළෙන  බොහෝ තරු තරම් සමාජ ඇගයීමක් ජීවිතයම කලාවට කැපකළ කලාකරුවාට සමාජයෙන් ලැබෙන්නේ ද යන්න නම් විවාදයට තුඩු දී ඇත්තකි.
රතු පලස්, ශීත කාමර වෛවර්ණ විදුලි ආලෝක ධාරා තුළ පමණක් නොවේ මහ මඟ, රඵ පොළොව මත සැතපුම් ගණන් ඇවිද යමින් පණ සේ පේවී රකින පාරම්පරික  කලාව වෙනුවෙන් ඇප කැපවී සිටිනා කලාකරුවන් තවමත් ශ්‍රී ලංකාවේ හිඟ නොවේ.
විශේෂයෙන්  පෙරහැර සංස්කෘතිය තුළ අපට හමුවන විවිධ ශිල්පීන් සමාජයේ සැම විටම ඇගයීමට ලක් වෙන්නේ දැයි බොහෝ විද්වතුන් නඟන පැනයකි. ඒ කෙසේ වෙතත් මේ සූදානම එසේ නිතර දෙවේලේ ජනමාධ්‍යයෙන් නොදකින කලාකරුවකු සමඟ කතාබහකටයි.
හැන්දෑකරේ සිට අලුයම තෙක් පෙරහැරවල නැටුම් වැයුම් දැක්වීම ඔවුන්ගේ රක්ෂාවයි. එහෙත් එය හුදු රැකියාවකින් එපිටට දිවෙන්නේ ලාංකේය පෙරහැර සම්ප්‍රදායේද මුදුන් මල්කඩ ලෙස පිළිගැනෙන මහනුවර ශ්‍රී දළදා මාලිගයේ නැටුම් කණ්ඩායම් අතුරින් වැඩිම වාර ගණනක් හොඳම නර්තන කණ්ඩායම ලෙස ඇගැයීමට ලක්ව ඇත්තේ අද අපේ කතානායකයා නායකත්වය දරන පන්තේරු නැටුම් සහ එම වාදන කණ්ඩායම වීම නිසාය. එවන් විකුම් පෑ ඔහු  කිහිප වතාවක්ම ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ බව සිහි කරන්නේ ආඩම්බරයෙන්.
ඉඳින් මේ ලෑස්තිය ශ්‍රී දළදා මහ පෙරහැරට නැතිවම බැරි හපුගොඩ පරම්පරාව මුල් කරගෙන ඒ පරපුරේ වර්තමාන නියමුවාණන් සමඟින් අපූරු පෙරහැර චාරිකාවක යෙදීමටය. එහි සුවිශේෂය වනු ඇත්තේ එක් මහ පෙරහැරක් නොව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මහ පෙරහැර රැසක පන්තේරු නැටුම් සහ වාදන ඉදිරිපත් කළ අත්දැකීම් ගොන්නක් ඔහු සතු වීමය. එවන් ඔහු පාලිත හපුගොඩය. අපි දැන් ඔහු ගෙවා පැමිණි දුර ගමන් මඟේ මතක කඩඉම්, අඩි සළකුණු  දෙසට කර පොවමු. ඒ හරහා දැන් අප ඉදිරියේ ජීවමාන මේ සම්මානනීය පන්තේරු නැටුම් හා බෙර වාදන  ශිල්පියාගේ මතක ගබඩාවට පිවිසෙමු.
පාලිත ඔබේ ළමා කාලයෙන්ම කතාබහ අරඹමු
මම හපුගොඩ පරම්පරාවේ කියලා එක පාරටම මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ නැටුම් නටන්නවත් වාදන ඉදිරිපත් කරන්නවත් ලැබුණේ නැහැ. මුලින්ම මං කළේ අප්පච්චිගෙ පස්සෙන් වැටිලා නැටුම් වැයුම්වලට අත් උදව් දුන් එක. ඉන් පස්සේ යාන්තමට කලායතනයට කර පොවා ගත් මට මුලින්ම කරන්න ලැබුණේ තාලෙට  තාලම්පට වාදනය කිරීම. ඒ කාලේ මං හිටියේ ඉස්කෝලේ බාලාංශ පන්තියේ. පාසල් වැඩවලට බාධා නොවෙන්න නැටුම් ඉගෙන ගන්නයි වාදන පුරුදු වෙන්නයි මට අම්මා අප්පච්චිගෙන් බාධාවක් තිබුණේ නැහැ. මවුපිය දෙදෙනාම කලා පරම්පරාවලින් පැවතුණු නිසා කොහොමටත්  ඒ කාලේ අපේ ගෙදර  එකම රස ගුලාවක්.
ඔබේ අප්පච්චි ඇතුළු හපුගොඩ පරපුරේ වගතුග සිහි කළොත්?
මගේ අප්පච්චි ජී. පී පියසේන. මගේ පියාගේ පියා හපුගොඩ පුංචිනා ගුරුන්නාන්සේ. ජේ. ඩී හපුගොඩ කියන්නේත් අපේ පරම්පරාවට අයිති අදටත් ජනප්‍රිය ගුරුවරයෙක්.
පියාගේ හවුහරණ හැරෙන්නට ඔබ තවත් පාරම්පරික නැටුම් ගුරුවරුන්ගෙන් නැටුම් ඉගෙන ගෙන තිබෙන බවටත් ආරංචියි
ඔව්. මං මාතලේ ලැහැඹ නැටුම් පරම්පරාවේ ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන තිබෙනවා. ඊ. එම්. ජී සිරිපාල ඒ පරපුරේ නම ගිය ගුරුන්නාන්සේ කෙනෙක්. අයි. ජී. සිරිසෝම, සයිමන් ගුරුන්නාන්සේලා  වුණත් එහෙමමයි. මං ඒ වගේ ගුරුවරු ගණනාවක් ළඟට ගිහින් නර්තනය, වාදනය දෙකම හැදෑරුවා. අදටත් මං ඉගෙන ගෙන හමාර නැහැ. හැම  මොහොතේම මං කලාව ඉගෙන ගනිමින් ඉන්නේ.
ඒත් ඔබ කලාවත් පාසල් අධ්‍යාපනයත් දෙකම සමබරව පවත්වා ගැනීමට උත්සාහ කළ කෙනෙක්?
එහෙම කීවාට වරදක් නැතිවෙයි. ඒ අඹතැන්න ප්‍රාථමික විද්‍යාලයෙන් අකුරු කළ මං ඉන් පස්සේ මහනුවර පුෂ්පදාන විද්‍යාලයටත් එතැනින් පස්සේ උසස් පෙළ හදාරන්නට කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයටත් ඇතුළත්ව ගත කළ දිගු කාලය නිසයි. ඒ හැම පියවරකින්ම මා ලද ජයග්‍රහණ පිළිබඳ අද මට සතුටුයි.
ඔය කාලෙදී ඔබ සමස්ත ලංකා මට්ටමින් කලාව අතින් පෙන්වූ හපන්කම් තිබෙන බවත් අසන්නට ලැබෙනවා
මට රාජ්‍ය නැටුම් කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් ලැබුණේ උසස් පෙළට සූදානම් වන කාලයේ. සමස්ත ලංකා බෙර වාදන තරඟවලදී මඟුල් බෙර වාදනයෙන් මම ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. ඒත් උසස් පෙළ නිසා මං ඒ කටයුතු අතපසු කරගත්තේ නැහැ. උසස් පෙළින් සාර්ථක වුණා වගේම මගේ ආසාව තිබුණු කලා ලෝකයේ ගමනත් මං බාධක මැදින් යෙදුණා.
හොඳයි අපි දැන් එතැනින් ඔබේ කණ්ඩායම දෙසට හැරෙමු
ඇත්තෙන්ම ඔවුන් අප කණ්ඩායමක් විදියට ලැබූ සෑම දිනුමකම කොටස්කරුවන්. ඒ ගමනේ එකා වගේ නිරතව සිටින අපේ පිරිසේ නර්තන ශිල්පීන් විසි දෙනයි. ඊට වාදන ශිල්පීන් දස දෙනකුත් ඇතුළත්. ඒ සියල්ලන්ම  පරම්පරාවෙන්ම කලාවට සම්බන්ධයි.
තල්ගහගොඩ, උඩුවෙල, ඇළඔඩුව, වේගිරිය අද මා සමඟ මහනුවර ඇසළ මහ පෙරහැරේ විශේෂාංග ඉදිරිපත් කරන පාරම්පරික ශිල්පීන් ඇතුළුවන පරම්පරා කිහිපයක් පමණයි.
ඔබේ නැටුම් කණ්ඩායම එක්තරා සමාන වයස් පරතරයක පසුවන පිරිසක් බව පෙනෙන්නට තිබෙනවා
ඒක ඇත්ත. සම්ප්‍රදායක් විදියට ළාබාලම ශිල්පීන්වත් වයෝවෘද්ධම ශිල්පීන්වත් නෙවෙයි, ඒ අතරමැද වයස් සීමාවල ශිල්පීන් තමයි බොහෝ දුරට මහා පෙරහැරවල නැටුම්, වැයුම් කරන්නේ. බොහෝ දුරට ඔවුන් වයස අවුරුදු තිහත් පනහත් අතර පසුවෙන්නේ. ඩබ්ලිව්. ජී විමලසේන අපේ කණ්ඩායමේ සිටින ප්‍රවීණතම බෙර වාදකයෙක්. ශ්‍රී දළදා පෙරහැරට එකතුවන කලා ශිල්පියකුට ජීවිතයට එක්වරක් පමණක් පිදෙන ජනාධිපති අති විශිෂ්ට සම්මානයෙන් ඔහු පසුගිය වසරේ පිදුම් ලැබුවා. සුනිල් ප්‍රේමරත්න, රුවන් මාරසිංහ, අනිල් තල්ගහගොඩ, ආනන්ද සිරිසේන  ශ්‍රී  දළදා පෙරහැරට එකතුවන  අපේ  සාමාජිකයන් අතරින් කිහිප දෙනෙක්.
පෙරහැරේ ඔබේ භූමිකාව පිළිබඳත් යමක් කිව්වොත්?
පන්තේරු නැටුම ශිල්පියාට බොහොම වැදගත්. වෙස් බඳින්න කලින් නර්තන ශිල්පීන් පන්තේරු නැටුම හුරුවීම නිතර දකින්න ලැබෙනවා. නැටුමේ මුල් පෙරහුරුව පන්තේරු නැටුම කීවාට වරදක් නැහැ.
ඔබ ශ්‍රී ලංකාවේ බොහෝ පෙරහැරවලටත් එක්වන ශිල්පියෙක්. ඒ ගමන් බිමන්වලදී ලද අත්දැකීම් බොහොම ඇති
නැතිව නෙවෙයි. දෙවිනුවර විෂ්ණු දේවාලයේ මහ පෙරහැර, මිහින්තලේ , මහියංගනය පෙරහැරවලට අපි නර්තන කණ්ඩායමක් විදියට එකතු වෙනවා. ඒත් අපේ විශේෂයක් තිබෙනවා. අපිට ඒ කොයි තැනදීත් කතා කරන්නේ ශ්‍රී දළදා මාලිගාවේ පන්තේරු නැටුම් කණ්ඩායම කියලායි.
ඉතින් ඒ ගෞරවය ආරක්ෂා කරගෙන තමයි අපි අපේ කලාව ඉදිරිපත් කරන්නේ. හොඳ විනයක් ඇති පිරිසක් තමයි අපට හුඟ දෙනකුගේ ආදරය, ගෞරවය ලැබී තිබෙන්නේ. ඕනෑම පෙරහැර මංගල්‍යයක් ආරම්භ වීමට පැයකට කලින් අපේ කණ්ඩායම ඒ කටයුත්ත වෙනුවෙන් සූදානම්වයි සිටින්නේ.
ඉතින් විසි එක් අවුරුද්දක් ඉක්මවන මගේ  පෙරහැර ජීවිතේ අපූරු අත්දැකීම් නැතිවාත් නෙවෙයි. ඒ අතරින් හුඟක් ඒවා අලි කුලප්පු වීම් සමඟ බැඳුණු ඒවා. ශ්‍රී දළදා පෙරහැරේදීත් වෙනත් පෙරහැරවලදීත් වුණු ඒ වගේ සිද්ධි හුඟකදී මං තනිවූ බව නම් මට හොඳට මතකයි. අලි කුලප්පුව අතරවාරයේ පෙරහැරේ එක ළඟම නැටුම් නට නටා හිටිය ශිල්පීන් පවා වාදන භාණ්ඩ පවා අතෑරලා දාලා පණ බයේ පැන දිවූ අවස්ථා බොහොමයි.
නූතන සමාජයේ කලාවෙන් විතරක් යැපීම අපහසුයි නේද? කොහොමද ඔබ ඒ පැනයට මුහුණ දෙන්නේ?
එතැනදී අපට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේවරයාගෙන් ලැබෙන අතහිත කියා නිම කළ නොහැකි තරම්. පෙරහැර සමයේ පමණක් නෙවෙයි. හැමදාටම ඔහු අපේ දුක සැප සොයා බලනවා. විශේෂයෙන් පෙරහැර සමය කිට්ටුවනවිට සියලු ශිල්පීන්ට අවශ්‍ය කරන සියලු දෙය සපයා දීමට පුරෝගාමී වෙන්නේ ඔහුයි.
ඉතින් මහ  පෙරහැර සමය ගෙවුණාම ඉතිරි කාලයේ මං විවාහ මංගල උත්සව, විදෙස් ශිල්පීන් වෙනුවෙන් දක්වන සංදර්ශනවලට එහෙම සහභාගී වෙනවා.
ඒ ඔබේ ධෛර්යය. ඒත් ඔබේ පසුපසින් පැමිණෙන පරපුර මේ අභියෝගවලට කෙසේ මුහුණ දෙයිද?
කලාවේ බොහෝ පැතිවලදී ඊළඟ පරම්පරාව සම්බන්ධයෙන් ගැටලුකාරී බව ඇත්ත. ඒත් ශ්‍රී දළදා මාලිගාවේ මහ පෙරහැරේ ශිල්පීන් සම්බන්ධයෙන් නම් ඒක එහෙම නෙවෙයි. කලායතන මට්මටින් වුණත් අලුත් පරපුර පෙරහැරේ විශේෂාංග ඉදිරිපත් කරන්න තිබෙන්නේ පුදුමාකාර උනන්දුවක්. ඔවුන්ට ඕනෑ කරන දැනුම, සම්පත්, ගුරුහරුකම් සියල්ලම දළදා මාලිගයේ පිහිටුවා තිබෙන විශේෂ විද්‍යාපීඨය මගින් ලබා ගන්න පුළුවනි.