පොත්වලින් කොලොම්බියාව වෙනස් කළ කුණු එකතු කරන්නා

 ඡායාරූපය:

පොත්වලින් කොලොම්බියාව වෙනස් කළ කුණු එකතු කරන්නා

කො‍ෙලාම්බියාවේ අගනුවර බොගොටෝවල වීදියක දුප්පත් පවුලක පිරිමි දරුවෙකුට 4 වසරෙදිම එයාගෙ පාසැල් ගමන නවත්තන්න සිද්ධවුණා. මොකද ඒ තරමටම ඒ පවුල අගහිඟකම්වලින් පිරිලා තිබුණේ. කොල්ලගෙ ඉස්කෝල ගමන නවත්වපු එක ගැන කොල්ලට වඩා ඇඬුවෙ අම්මා. ඇය ඇඬුවේ හැමෝටම රහසින්. එදා ඒ කොල්ලගෙ පාසැල් ගමන නවත්වපු රාත්‍රියේ ඈ කොල්ලා ළඟින් ඇලවුණා. හිස අතගාමින් ඇය දන්නා ලස්සනම කතන්දරය ඔහුට කියන්නට වුණා.
ඇය පටන්ගත්තේ හෝමර්ගේ ඔඩිසියස් නවකතාවෙන් ගත් වීර චරිතයකින්. මෙහෙම දිනපතා රාත්‍රියට ඇය කොල්ලට කතාන්දර කියා දීමට පටන් ගත්තා. ජෝසේ ඇල්බර්ටෝ ගුටියේරස් හැදුණේ වැඩු‍ෙණ් මෙවැනි ආදරණීය අම්මෙක් ළඟ.
ඇල්බර්ටෝගේ ප්‍රථම රැකියාව ලැබුණේ බොගෝටා නගරයේ කුණු ලොරියකයි. ඔහු එහි රියදුරා වුණා. දවසක් එක් කුණු ගොඩක නවකතා පොතක් දුටු ඇල්බර්ටෝ, ලොරියෙන් බැස ඇවිත් පොත හොඳින් පිසදා එහි පිටකවරය බැලුවා. පිටකවරයේ 'ඇනා කැරනිනා' යනුවෙනුත් ඊට පහතින් 'ලියෝ ටෝල්ස්ටෝයි' යනුවෙනුත් සටහන් වී තිබුණා. ඔහුට අම්මා ටෝල්ස්ටෝයිගේ කතාන්දර කීවා මතකයි. ඔහු පොත ගෙදර ගෙනාවා.
බොගෝටා නගරයේ කුණු එකතුකරන්නෙක් මහා පුස්තකාලයක් ගොඩ නැගීමේ ප්‍රථම පියවර පටන් ගත්තේ එලෙසයි. ඇල්බර්ටෝ ඉන්පසුව කුණු එකතුකරන්න තෝරාගත්තේ ධනවතුන් ජීවත් වන පාරවල්. ඔවුන්ගේ නිවෙස් අසල කුණු ගොඩවල්වල නිරතුරුව පොත් තිබුණා. ඔහු මේ සියලු පොත් ගෙදර ගෙනැවිත් කියවා බිරිඳ අතට දුන්නා. ඇයද ඒවා කියවා අවසාන වී ගමේ ඉගෙනගන්නා දුප්පත් දරුවන් අතට මේ පොත් පත්කරන පුරුද්දක් ඔවුන්ට තිබිණා. දිනක් ඔහු බිරිඳගෙන් මෙසේ ඇසුවා.
"අපි පුස්තකාලයක් හදමුද?"
ඇය මෙසේ කීවා."මම ඔයාට කියන්නයි හිටියෙ"
අනතුරුව ඔවුන් තම නිවසේ බිම් මහල පුස්තකාලයක් සදහා වෙන් කළා. එහි දිනපතා කුණු ගොඩවල්වලින් ගෙනෙන පොත් රාක්ක ගසා පිළිවෙළකට ඇතිරුවා. පුස්තකාලයට නමක් යෙදුවා.
"වචන යනු බලයයි"
දැන් පාසැල් කාලයෙන් පසු දුප්පත් දරුවෝ පැමිණ හවස් වනතුරු ජෝසේගේ 'වචන යනු බලයයි' කියන පුස්තකාලයේ කියවමින් සිටින බව බොගෝටාවේ බොහෝ යහපත් මිනිස්සුන්ට ආරංචි වුණා. ඔවුන් ඉන්පසු ජෝසේගේ පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීමට පටන් ගත්තා. මේ වනවිට ඔහුගේ පුස්තකාලයේ පොත් එකතුව පනස්දහසකට ආසන්නයි. කො‍ෙලාම්බියාව වසර 40 ක් තිස්සේ සිවිල් යුද්ධවලින් පිරී ඉතිරුණු රටක්. එහි ප්‍රධාන පාර්ශ්වකරුවා කො‍ෙලාම්බියානු 'FARC' ගරිල්ලා සංවිධානයයි. දැන් ඔවුන් රටේ සාමය පතා අවි බිම තබා තියෙන්නේ. 'FARC' ගරිල්ලා භටයන් පොත්වලට මහත් සේ ඇලුම් කරනවා. දැන් නිතර ජෝසේගේ ගෙදර මේ ගරිල්ලාවරු පොත් කියවනවා දකින්න පුළුවන්.
සන්නද්ධ ගැටුම්වලින් පිරුණු රාජ්‍යයක පොත් කියන්නෙ සාමයේ මාවතක් කියලා ජෝසේ ඇල්බර්ටෝ ගුටියරස් කියනවා. වඩාත් ආකර්ශනීය සිදුවීම වෙන්නේ 'කුණු එකතුකරන්නාගේ පුස්තකාලයට' ලෝකයේ නොබෙල් ත්‍යාගලාභී ගත්කතුවරුන් 13 දෙනෙක් ඔවුන්ගේ අත්සනින් යුතුව සියලු පොත් එවීමත් තවත් අවශේෂ ලේඛකයන්ගේ පොත් මිටිගණන් එවීමත්.
ඒ අතරින් කොලොමිබියාවේ ගාර්ෂියා මාර්කේස් සහ පීරුහි මාරියෝ වාර්ගේස් ලෝසා පෙරමුණේ ඉන්නවා. ඔවුන් අතදිග හැර මේ පුස්තකාලයට මුදල් පරිත්‍යාග කරලා තියෙනවා. ගුටියේරස් මෙහෙම පොත් සහ මුදල් ලැබුණ කියල නිකන් හිටියද? නෑ! එයාට අවශ්‍ය වුණා කොලොම්බියාවේ අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළ දත්ත වෙනස් කරන්න. ඒ කියන්නෙ කොලොම්බියාවෙ උසස් අධ්‍යාපනය ලබන දරුවන් 10 දෙනෙකුගෙන් 04 දෙනෙක් තමයි විශ්වවිද්‍යාලවලට යන්නේ. මේ දහයට හතර අනුපාතය අඩුම තරමින් දහයට පහක්වත් කරන්න පුළුවන් නම් කියන දේ ගුටියරස් හැම මොහොතකම හිතුවා.
කුණු එකතුකරල හැදුව කුණු ප්‍රතිචක්‍රීයකරණ කරන මධ්‍යස්ථානයෙන් ලැබෙන සියලු මුදල් එකතු කරල ඔහු කොලොමිබියාවේ දුප්පත් නගරවල පුස්තකාල 450ක් හැදුවා. විශ්වාස කරනවද...? ඔහුට ඒත් මදි. ඒ නිසා එයා කොලොමිබියාවේ දුර බැහැර පළාත්වල දරුවන්ට කියවන්න පුස්තකාල ජංගම සේවයකුත් ආරම්භ කළා.
මේ සේරටම ඔවුන්ට ඩොලර් මිලියන 800 කටත් වඩා ගිහින් තියෙනවා. ජෝසේ ඇල්බර්ටෝ මාධ්‍ය සාකච්ඡාවකදි මෙහෙම කියනවා.
"මිනිහෙකුට පුළුවන්නම් කුඩා දරුවෙකුට කියවන්න පොතක් අරන් දෙන්න, ලෝකෙට මීට වඩා ලස්සන මිනිස්සු බිහිවෙයි."
එහෙම කියලා මේ මනුස්සයා මෙහෙමත් කියනව "ලෝකයට අවශ්‍ය බලාපොරොත්තුවක සංකේතයක්. මම කියන්නෙ බොහෝ සම්පත් හිඟ ප්‍රදේශවලට මිනිස්සුන්ට දෙන්න ඕන පොත්. ඒවා එයාල කියවන්න පටන් ගත්තොත් මට සහතිකයි, මේ ග්‍රහලෝකය අනාගතයෙදි පාලනය වෙන්නෙ "ආදරයෙන්" විතරමයි.
ඔහු කියනවා'' මගේ අම්ම මං පුංචි කාලෙදි කියල දුන්න හෝමර්ගෙ ඔඩිසියස් නවකතාවෙ ඔඩිසියස්ගෙ බිරිඳ පෙනිලෝපා ඉතාකා රාජ්‍යය යුද්ධයකට යන්න නොදී, ඒක ලේ විලක් වෙන්න නොදී බේරගත්ත හැටි!. මටත් ඕන එහෙම කො‍ෙලාම්බියාවක්" "ඔබ යම් යහපත් අරමුණක් හඹා යන්නේ නම් ලෝකය ඔබ වටා ඒ අරමුණ දිනා දීමට පෙළගැසෙනු ඇත." මේ ලෝකයේ එහෙම පැත්තකුත් තියනවා.

[උපාලි ජයසිංහ]

මාතෘකා