පාට පාට මිනිස්සු වන්දනාවේ එන රන් දෙවොල මඩු දේවස්ථානය

 ඡායාරූපය:

පාට පාට මිනිස්සු වන්දනාවේ එන රන් දෙවොල මඩු දේවස්ථානය

වසර ගණනාවක් තිස්සේ මෙරට කිතුනු බැතිමතුන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍රවී තිබෙන පුද බිමක් හා බෞද්ධ, හින්දු බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වන සුවිශේෂ ආගමික ස්ථානයක් වන මන්නාරම් දිස්ත්‍රික්කයේ පිහිටි මඩු සිද්ධස්ථානය ජාතික සංහිඳියාවේත් පොදු ආධ්‍යත්මයේත් තෝතැන්නක් බඳුය.

එම අපූර්වත්වය තවත් ආශ්චර්යයට පත්කරමින් මඩු දේවස්ථානය පූජා භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කොට සංවර්ධනය කිරීම සඳහා පසුගියදා(31දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. සෑම වසරකම අෙගා්ස්තු 15 වැනි දින මහත් හරසරින් පවත්වනු ලබන මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය දොරකඩ තිබියදී සිදුවූ එය මඩු මෑණියන්ට ගෞරව කරන සියලුම කිතුනු බැතිමතුන්ට තුටු පුවතක් වනවාට සැකයක් නැත.

කොළඹ මන්නාරම් මාර්ගයේ මැදවච්චිය පසුකර ගමන් ගන්නා විට හමුවන මඩුපාර හන්දියේ සිට කිලෝමීටර් 11 ක් පමණ යන විට මඩු මාතාවන්ට කැප කළ මඩු දේවස්ථානය හමුවේ. මඩු දේවස්ථානය කැපකොට ඇත්තේ මරද මඬු මෑණියෝ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෑණියන් ලෙස කිතුනුවන් අතර මහත් භක්තියට පාත්‍රව සිටින කන්‍ය මරිය තුමිය වෙනුවෙනි.

මඩු දේවස්ථානයේ ඉතිහාසය පෘතුගීසි සමය දක්වා දිවයයි. මඩු දේවස්ථානයේ තැන්පත් කර තිබෙන ආශ්චර්යවත් මඩු මාතා ප්‍රතිමාව මුලින්ම තිබී ඇත්තේ වත්මන් මඩු දේවස්ථානයට නුදුරුව මන්නාරමේ මාන්තෙයි තොටෙහි පිහිටි කතෝලික දේවස්ථානයකය. මාන්තෙයි පුරාණ නැව් තොටක්ව තිබුණ ද පෘතුගීසි සමය වනවිට එහි පෘතුගීසි බළකොටුවක් ඉදිකොට තිබිණු බවද පුරාණ පොතපතෙහි සඳහන් වේ.

එසේ වුවද ලංකාවේ මුහුදුබඩ ලන්දේසින්ගේ ආක්‍රමණයට හසුව පෘතුගීසි පාලනයෙන් ගිලිහුණු පසු කතෝලික බැතිමතුන්ට හා දේවස්ථානවලට ලන්දේසීන්ගේ තාඩන පීඩන එල්ල වී තිබේ. එම තර්ජන උග්‍රවීමෙන් පසු දේවමාතා පිළිරුව හා තමන්ගේ ජීවිත ද ආරක්ෂා කරගන්නට අවශ්‍ය බැවින් මාන්තෙයි සිටි කතෝලික පියතුමන් සමඟ විසි දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සිංහල රජුගේ පාලන ප්‍රදේශය කරා යන්නට පිටත්ව ඇත්තේ මඩුමාතා පිළිරුව ද වඩම්මාගෙනය.

එම පිරිස ලන්දේසීන්ට හසුනොවනු පිණිස කැලෑ මාර්ගවලින් වනසතුන්ගෙන් බේරී නුවර රාජධානියට යන අතරතුර එක්තරා වනගත ප්‍රදේශයක වැවක් අද්දර නතර වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එහි සිංහල රජුට අයත් බදු එකතු කරන මධ්‍යස්ථානයක්ද විය.

බදු නිලධාරියාගේ උදව් ඇතිව ඔවුහු එම ගමේ කුඩා පැලක දේවමාතා පිළිරුව වඩා හිඳුවා ගෙන එහි පදිංචි වූහ. එම ගම හඳුන්වා ඇත්තේ මරද මඩු නමිනි. මරද මඩු යනු කුඹුක් වැව යන අරුත ගෙන දෙන්නකි. එම කණ්ඩායමට නායකත්වය දී ඇත්තේ පෘතුගීසි සෙන්පතියකුගේ දියණියකැයි කියන හෙලේනා නම් වූ පෘතුගීසි තරුණියකි.

 මඩු ගම්මානයේ දී හෙලේනා තරුණිය එකී බදු නිලධාරියා සමඟ විවාහ වීමෙන් පසු සෙසු පිරිසද වනය හෙළිකොට නව ගම්මානයක් තනාගනිමින් එහි නැවතී ඇත. ඉන් අනතුරුව හෙලේනා සිය සැමියා ඇතුළු සෙසු පිරිස සමග එක්ව කුඩා ස්ථිර ගොඩනැඟිල්ලක් සාදා මඩු මාතා පිළිරුව එහි වඩා හිඳුවා එම දේවස්ථානය මරිය මාතා නමින් කැපකොට තිබේ. මඩු දේවස්ථානයේ හෙවත් මඩු පල්ලියේ ආරම්භය එය බව පැවසේ.

ක්‍රම ක්‍රමයෙන් ජනතාව අතර ප්‍රචලිත වූ එම මඩු දේවස්ථානය සඳහා මන්නාරම විනිශ්චයාසනයේ ලේකම් මොයිස් මහතා විසින් 1823 දී මැටියෙන් තරමක විශාල මැදුරක් තැනවීය. ඉන්දියාවේ ගෝවේ නගරයේ සිට ධර්මදූත කටයුතු වෙනුවෙන් මෙරටට පැමිණ ජුසේවාස් පියතුමාද මඩු දේවස්ථානය වන්දනා කළ බව පැවසේ. වත්මන් මඩු දේවස්ථානය වර්ෂ 1872 දී තනා නිමකළ එකකි.

එය සෑදවීමට මුල් වූයේ 1868 දී අගරදගුරු තනතුරට පත් බොන්වින් නමැති පියතුමෙකි. නයි, පොළොන් ආදී විසකුරු සර්පයන් සේම රුදුරු වග, වලස්, කොටි, සිංහයන් ගහන වනපෙතක දිවි ගෙවමින් මඩු මාතාවන් ඇදහූ බැතිමතුන්ගේ විශ්වාසය සපල කරමින් මඩු මාතා දෙව්මැදුර ක්‍රම ක්‍රමයෙන් විකාශනය වන්නට විය. 1868 වසරේදී නිර්මල මරිය නිකාය පාලනයට භාරවූ මඩු පුදබිමේ ප්‍රථම මංගලෝත්සවය පවත්වා ඇත්තේ 1870 වසරේ ජුලි 02 වැනිදාය.

විවිධ කාලවකවානුවලදී විවිධ පියවරු යටතේ වැඩි දියණු කරන ලද වත්මන් මරද මඩු මාතා සිද්ධස්ථානය ආසිරි ගන්වන ලද්දේ 1944 වසරේ ජුනි මස 25 වැනිදාය. මෙහිදී ඉපැරණි දැව මුවා අල්තාරය ඉවත්කොට අලංකාර කිරිගරුඩ අල්තාරයක් සවිකර දේවස්ථානය අභිෂේක කරන ලදි. එමෙන්ම දසදහස් වන්දනාකරුවන්ට එකවර දේව වන්දනා පිළිවෙත්වලට සහභාගි විය හැකි පරිද්දෙන් අද පවතින අඩි 160ක වට ප්‍රමාණයක් ඇති අලංකාර මණ්ඩපයද ඉදිකරන ලදි.

ඊට අමතරව වන්දනා ස්ථානයේ සීමාවන් සලකුණු කරමින් සිද්ධස්ථානයට ඇතුළුවන ස්ථානයේ ලංකා අප ස්වාමිදූගේ ප්‍රතිමාවද, කල්වාරියද, පාතිමාවේ ස්වාමිදුගේ ප්‍රතිමාවද, ක්‍රිස්තු රජාණන්වහන්සේගේ ප්‍රතිමාවද ස්ථාපනය ෙකරිණ.

1948දී ඔබ්ලේට් නිර්මල මරිය නිකායික පියවරු ලක්දිවට පැමිණ වසර 100 ක් පිරිම නිමිත්තෙන් මඩු දේවස්ථානයට අයත් අප ස්වාමිදුගේ අසිරිමත් ප්‍රතිමාව යාපනය රදගුරු වසමේ සෑම මිසමක් කරා රැගෙන ගිය අතර ඒ සදහා විශේෂිත වු වැඩසටහන්ද සංවිධානය කර තිබුණි. දින 50ක් ගත වූ එම චාරිකාවේදී එක් එක් මීසම්වලට ප්‍රතිමාව ඉමහත් ජයතෝසවයෙන් වැඩම කළ අතර, එම සංචාරයේදී රැගෙන ගිය කුරුසිය අදත් දේවස්ථානයේ වම්පස ස්ථාපිත කර ඇත.

එම සංචාරය බොහෝ දෙනෙකු තුළ නවෝදයක් ඇති කිරීමටද සමත් වූ අතර මඩු මාතා කිතුගොස වඩාත් පතල විය. මඩු මාතාවන්ගේ පිළිසරණ පතා මඩු දේවස්ථානය කරා පැමිණෙන වන්දනාකරුවන්ට එතුමියගේ පිළිසරණය නොමඳව ලැබෙන බව ද වඩ වඩාත් ප්‍රචලිත වන්නට විය.

එකල අලින් වලසුන් වැනි වනසතුන්ගෙන් ගහණ මෙම වනගත ප්‍රදේශය හරහා යන එන වෙළෙන්දන් සහ මගියන් තමන්ට සිදුවුණු උවදුරුවලදී මඩු මාතාවගේ පිහිට යැදීමෙන් පසු ඒවා දුරුවූ බවටත් රෝග පීඩාදියට මුහුණු දුන් අය ඒ ඒ වෙනුවෙන් මඩු මාතාවන්ට කන්නලව් කිරීමෙන් සුවය ලැබූ බවත් ප්‍රචලිත විය. අද මෙන්ම එදාද මෙම ප්‍රදේශයේ ස්වාභාවයෙන්ම ජල හිඟයක් පැවතියත් පැමිණෙන සියල්ලන්ටම ඇති තරම් ජලය ලබාදෙනවා සේම රෑක්ෂ වෘක්ෂයන්ගෙන් ගහන මහා වනපෙතක් වුවත් කිසිවකුට කුහුඹුකුගෙන් තරම් කරදරයක්වත් සිදුවූ බවක් වාර්තා නොවීමද ආශ්චර්වත්ය.

එම නිසාම මඩු මංගල්‍යයට සහභාගි වීමට දිවයිනේ නන් දෙසින් පැමිණෙන බැතිමතුන් දුප්පත් පොහොසත් භේදයකින් තොරව පුදබිමේ ගස්ගල් යට කූඩාරම් ගසාගෙන ජල පෝලිමේ, වැසිකිලි පෝලිමේ එකම පවුලක සොයුරු සොයුරියන් මෙන් සාමයෙන් සංයමයෙන් බැඳී සිටීමද මෙම පුදබිමේ තිබෙන ශාන්ත භාවයට නිදර්ශනයකි.

මඩුමංගල්‍යය උතුරේ හා දකුණේ, සාමයේ සංකේතයක් යැයි කිවහොත් නිවැරැදිය. මඩු පූජා භූමිය තුළදී සිංහල, දෙමළ, මුස්ලිම්,කතෝලික,බෞද්ධ සියලුදෙනාම සහෝදර සහෝදරියන් ලෙස භක්තියෙන් හා සමඟියෙන් වෙලී කටයුතු කළ අයුරු අතීතයේදීත් වර්තමානයේදීත් දැකිය හැකිය. රටට යම් විපතක්, කරදරයක් සිදුවූ විට බැතිමත්හු මඩුමාතාවන්ට බාරහාර වීමටද අමතක නොකරති. 2001 වසරේදී රටට තිර සාමය උදාවේවා යැයි පතමින් මඩු මාතා පිළිරුව දකුණට වැඩම කරවීය.

එලෙස අනුරාධපුරය,හලාවත,කොළඹ,කුරුණෑගල සහ මහනුවර යන රදගුරු පදවි කීපයකටම වැඩමකළ මඩුමාතා පිළිරුවට රටපුරා බැතිමතුන්ගේ නොමඳ හරසර ලැබිණි. 1948, 1974, 2001, 2008 යන වර්ෂවලදී මඩු මාතා ප්‍රතිමාව සිව්වරක් තස්ත්‍රවාදී පැහැර ගැනීම්වලට ලක්වූ මඩු මාතා ප්‍රතිමාව යළි අත්පත් කරගනිමින් 2008 වසරේදී යුද හමුදාව විසින් මඩු දේවස්ථානය මුළුමනින්ම ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගනු ලැබිණි.

ඒ අනුව 2008 වසරේ ජුලි මස 21 වැනිදා මඩු මාතා ප්‍රතිමාව ආරක්ෂිතව යළිත් සිද්ධස්ථානය කරා වඩමනු ලැබූ අතර 2009 සිට යළිත් ප්‍රසිද්ධ වන්දනා පුදබිමක් බවට පත්වීමේ භාග්‍යය මඩු සිද්ධස්ථානට හිමිවිය. පුදබිමේ රූක්ෂ වෘක්ෂවල අදටත් තස්ත්‍ර ප්‍රහාරවලට ලක්වූ ලකුණු දැකගැනීමට සහ මූනිස්සම් හමුවේ.

මඩු මංගල්‍යෙයේ අසිරිය සිහිපත් කිරීමේදී දැනට වසර විස්සකට තිහකට පෙර පැවතියා වූ මංගල්‍යයේ ලක්ෂණ, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර, පානීය ජලය ලබදන ක්‍රම, ස්නානය සඳහා ජලය ලබාදෙන ක්‍රම, මංමාවත් පමණක් නොව දේවස්ථාන ගොඩැනැගිල්ලේ ඉදිරිපස සහ එළිමහනද එදා එහි පැවති පූජනීයත්වය බිඳක්වත් වෙනස් නොකර පවත්වාගෙන යාමට පාලන පියතුමන්ලා කටයුතු කර තිබීම ප්‍රසංශනීය ය.

අද දක්වා එහි පාව්චිචි කරනු ලබන ශබ්ද විකාශන යන්ත්‍ර, වයන වාදන, ගයන ගීතිකා, යදින යැදුම් සහ දේශනා ද පැරණි ශෛලියේ ඒවාමය. මඩු කඳවුර දක්වා මංමාවත් දියුණු වී නවීකරණය වී තිබීම නිසා ගමනාගමනය පහසු වී තිබීම වන්දනාකරුවන්ට මඩු වන්දනාවට පහසුවක් සලසා දී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම ප්‍රදේශය පූජා භූමියක් කොට ප්‍රකාශයට පත්කිරීම තුළින් ඉදිරියේදී මඩු සිද්ධස්ථානය වන්දනා කරන බැතිමතුන්ට පහසුකම් රැසක් සැලසෙනු ඇත.

මඩු මෑණියන්ගේ ආශ්චර්යවත් බව මෙන්ම මඩු දේවස්ථානය අවට භූමියේ ඇති පැළෑටිවල ඖෂධීය ගුණය සහ භූමියේ ඇති පස්වල තිබෙන ආශ්චර්යවත් බව ද බැතිමතුන් අතර ඉතා ප්‍රචලිතය. සුවකළ නොහැකි ඇතැම් රෝගවලට ප්‍රතිකාර කිරීමට සඳහා දේවස්ථාන භූමිය අවට ඇති පැළෑටි ලබාගැනීමටත් නව නිවාස, ගොඩනැගිලි ඉදිකරන අවස්ථාවේ පාදමට දැමීම සඳහා එම විශේස පස් වර්ගයෙන් ස්වල්පයක් හෝ රැගෙන යාමටත් බැතිමත්හු අමතක නොකරති. එමෙන්ම එම පස්වලින් සර්ප විෂ නැසීමට ප්‍රතිකාර කළ හැකි බවත් එම පස් අතුල නිවසකට සර්පයන් පැමිණීම සිදුනොවන බවත් ඇතැම් බැතිමතුන්ගේ විශ්වාසයයයි.

මඩු වන්දනාවේ යන බැතිමතුන්ට මඩුපාරේ සිට කිලෝමීටර් 9ක් පමණ දුරින් පිහිටි කත්තර පරපුඩ්ඩන් ග්‍රාමයේ ඉදිකර ඇති කැලෑ පල්ලිය නමින් හඳුන්වන දෙව්මැදුරට යාමටද අමතක නොකරති. එම දෙව්මැදුරේ ස්ථාපිත කර ඇති යුද්ධයේදී කිසිම වෙඩි පහරකට හසුනොවී නිරුපද්‍රතිව පවතින හාස්කම් සහිත ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාවද දහස් ගණන් බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වේ.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා