ත්‍රිවිධ රත්නයට කරන අපහාස

 ඡායාරූපය:

ත්‍රිවිධ රත්නයට කරන අපහාස

අප රටෙහි දිනපතා සහ සතිපතා පවත්වන ධර්මදේශනාත් පින්කමුත් සිය දහස් ගණනක් වුවත්, හැම ගමක් පාසාම වාගේ පන්සලක් ඇතත්, අනුශාසක භික්ෂු පක්ෂය තිස්දහසකට අධික වුවත්, චරිත ශුද්ධිය අතින් නම් සැලකිය යුතු කිසිත් දියුණුවක් ඇති බැව් නොපෙනේ. යළි අපේ මේ ධර්මද්වීපය අපරාධ අතින් ජනානුපාතය අනුව නම් ලෝකයේ තුන්වැනි හතරවැනි තත්ත්වයට වැටී තිබේ. මෙහි රහස කුමක්ද? මෙයට හේතුව කුමක්ද?  
මෙහි වරද එක පක්ෂයකට පමණක් පැවරීම සුදුසු නොවේ. ගිහි පැවිදි දෙපක්ෂයම එකතු වී ආගමික කටයුතු පිළිවෙල කණපිට පෙරළාගෙන ක්‍රියා කරති. ධර්මය බුදුරජාණන් වහන්සේ අදහස් කළ දෙය පිණිස නොව, තම තමන්ගේ පුද්ගලික අදහස් පිණිස යොදති. මිනිසුන් දුසිරිතෙන් මුදා, සුසිරිතට යොමුකොට ධර්මය පුරුදු කරවීමේ පරමාර්ථයෙන් පටන් ගැනෙන ධර්ම දේශනාපළවල් කීයක් ඇත්ද? පන්සලක බණ පිළිවෙලක් පටන්ගත් විට, ඒ ගැන ආරංචි අසන මිනිස්සු ඒ බණ පිළිවෙලේ අදහස මොකදැ? යි ප්‍රශ්න කරති. මේ ප්‍රශ්නය ඉදිරිපත් වන්නේම අපේ වැඩපිළිවෙල නොපිට පෙරළාගෙන තිබෙන බැවිනි. බණ පිළිවෙලේ අදහස ගුණධර්මයයි. එය එකම අදහසයි. එහි දෙවෙනි අදහසක් නැත. නමුත් අද ධර්මදේශනාව ප්‍රතිපත්තිය පිණිස නොව වෙන අයුතු දෙය පිණිස යොදන බැවින් යට කී ප්‍රශ්නය පැන නඟියි.  
ධර්මදේශනා පන්තියක් සම්බන්ධයෙන් මුද්‍රණය කරන ලද සමහර දැන්වීම් පත්‍රයක මුලින් ඒ බණ පිළිවෙල පටන් ගන්නා ලද්දේ විහාරයක්, පන්සලක්, පොත්ගුලක් නැත්නම් බෝ කොටුවක් හෝ දාගැබක් ගොඩනැගීමට ආධාර ගැනීමේ අදහසින් බැව් සඳහන් වෙයි. මෙය කෙතරම් කනගාටුදායක, අන්තරායකර වැරදීමක්ද? බුදුරජාණන් වහන්සේගේ ජීවිතය වැනි ප්‍රතිපත්තිය පිණිසම සොයන ලද ධර්මය, උන්වහන්සේගේ පයේ දූවිලි වැනි ආමිසය පිණිස යෙදීම කොතරම් ඛේදජනකද? බණ ඇසීමටය කියා එබඳු තැනකට එන්නවුන්ගේ ගුණධර්මය ගැන කිසිත් බලාපොරොත්තුවක් නැත. මේ සම්මාදම ගැනීමට, මුදල් සැපයීමට බණ කීම උපායක් කරගෙන තිබෙන බැවින්, ධර්මදේශනාව යයි නම් කරන ලද ඒ ව්‍යාජ ක්‍රියාව කෙළවර වනතුරු කාලය ගෙවා, දේශනාව අතරේදී නැතහොත් අන්තයේදී සම්මාදම් දී මිනිස්සු ආපසු එති. මෙහි තවත් අශෝබන දර්ශනයක් නම් භික්ෂූන් වහන්සේ ධර්මදේශනාව කෙළවර කොට මිනිසුන්ගෙන් සම්මාදම් ගන්නා තුරු සහ අද ධර්ම පූජාවයි වරදවා නම් කරන ලද කුළිය ගෙවනතුරුත් වාඩි වී බලා හිඳීමයි.  
සම්මාදම් ගැනීමටය කියා මිනිසුන් ගෙන්විය නොහැකි බැවින් බුදුරජාණන් වහන්සේගේ නෛර්යාණික ධර්මය ඒ පිණිස දඩමීමා කර ගනිති. අහෝ, කොතරම් සංවේදජනකද? මෙහිදී ප්‍රශ්නයක් පැන නඟී. මේ මුදල් සැපයීමත් ශාසනයේ දියුණුව පිණිසම නොවේද? යනුයි. ශාසනය නම් විහාර පන්සල් නොව සුචරිතයයි, ප්‍රතිපත්තියයි. ප්‍රතිපත්තිය මුදලට ගත නොහැක. බොහෝ අය ශාසනය වරදවා තේරුම්ගෙන සිටිති. අනුරාධපුරයේ මහා විහාරය වැනි විහාර දහසකටවත්, රුවන්වැලි මහ දාගැබ වැනි ශ්‍රේෂ්ඨ දාගැබ් දහසකටවත් බුද්ධ ශාසනය එක මොහොතක් රැකගත නොහැක. දඹදිව තිබුණු දහස් ගණන් විශාල ගොඩනැගිලි ශාසනය රැකගැන්මෙහි පොහොසත් වූවෝද? ශාසනය හුණු බදාම ගොඩවල් වැනි නොවටිනා දෙයක් නොවේ. ශාසනය නම් ශීලයයි, සමාධියයි, ප්‍රඥාවයි. සම්මාදම් කරගත් මුදලින් මේවා ගත හැකිද? විහාර පන්සල් කොපමණ තිබුණත්, ඒ හේතුවෙන් ශාසනයේ දියුණුවක් නැත. එකම විහාරයක් හෝ පන්සලක් නැතත්, යම් දිනක මනුෂ්‍යයා තුළ ගුණධර්මයෝ වෙත්නම්, එදා ශාසනය ජීවමානව පවතියි.  
මේ කීම නිසා විහාර පන්සල් සම්පූර්ණයෙන්ම නුවුවමනායයි වරදවා තේරුම් නොගත යුතුයි. එයින් එක්තරා ප්‍රමාණයක ප්‍රයෝජනයක් තිබේ. එය සීමාව ඉක්මවා ශ්‍රේෂ්ඨ දෙයක් හැටියට වටහා නොගත යුතුයි. කොයි විදියකින් නමුත් අපට විහාර පන්සල් වුවමනා නම්, ඒ සුළු අදහස ගැන අප විසින් බුදුරජාණන් වහන්සේගේ නෛර්යාණික ධර්මය කිලුටු කළ යුතු නොවේ. ධර්මයට කිලුටක් නොවන පරිදි අප විසින් ඒවා පිළියෙල කරගත යුතුයි. සුළු දෙයක් වෙනුවෙන් උසස්, උතුම් දෙයක් කිලුටු කිරීම බරපතල අඥානකමකි. එක්තරා බේබද්දෙක් මීයන් ඇල්වීමට තැනූ උගුලේ කෙළවරක බරට ලෝහ පිළිමයක් තබා මීයෙකු ඇල්වීය. ඔහුගේ හීන අදහස ඉටු වූ බැව් නම් ඇත්තකි. නමුත් එය හරිද? අපේ වැඩපිළිවෙල බොහෝ කරුණුවලින් මීට සමානය. සල්පිලක බඩු විකුණා ගැනීමට හෝ ගොඩනැගිල්ලකට ගඩොල් ගැනීමට නැතහොත් පන්සලේ හුණුගෑමට වුවමනා වූ විට බුදුරජාණන් වහන්සේගේ ධර්මය එයට උපායක් කරගිනිති. ඔවුන්ගේ බලාපොරොත්තුවද හරියයි. නමුත් ඔවුන්ට වරදින තැන ඔවුහුම නොදනිති.  
බොහෝ තැන්වල බණ අසන අතරේදී කැරෙන සම්මාදම ගැන සිතා බලනු. මිනිසුන් මහත් ශ්‍රද්ධාවෙන්, සිත එකඟකොට බණ අසන විට, එක්කෙනෙක් හෝ කීපදෙනෙක් සම්මාදම් වට්ටිත් රැගෙන බිම වාඩිවී හිඳින මිනිසුන් පාගමින්, කලබල කරමින්, මිනිසුන් අතර අවතාර මෙන් හැසිරෙන්නට පටන් ගිනිති. මුළු පිරිසම කලබල වේ. දේශකයන් වහන්සේගේ දේශනා විලාසයද චලනය වේ. බුදුරජාණන් වහන්සේ අනන්ත කාලයක් මහත් කරුණාවෙන් දුක්විඳ අපට නිවන් දීමේ පරමාර්ථයෙන්ම දේශනා කළ උතුම් ධර්මයට වඩා සතයක් උතුම් වූ හැටි!
බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුදල් සැපයීමේ මාර්ගයක් කරගැනීම භයානක පාපයකි. බණ කියන අතරේදී ධර්මය නොසලකා සම්මාදම් කිරීම බුදුරජාණන් වහන්සෙගේ වචනයට පයින් ගැසීමකි. එනිසා බණ අසන අතරේදී ගෙනෙන සම්මාදම් වට්ටියට ශ්‍රද්ධාවත් කිසිවකු විසින් ඇහුම්කන් නොදිය යුතුයි. බණට නොසලකා සම්මාදම් වට්ටියට සැලකීම ධර්මයට කරන අපහාසයකි.  
දැනට පවත්නා වැඩපිළිවෙල නිසා දුප්පත් ශ්‍රද්ධාවතකුට බණ අසන්නට යාම අපහසු වැඩකි. අතේ සල්ලි නැතිව අද බණ අහන්නටවත් යන්ට බැරියයි කියනවා නොයෙක් විට අසන්නට ලැබේ. අපේ වැඩපිළිවෙල නිසා සිදුවී තිබෙන දෙය මදිද?
අද අපේ සිද්ධස්ථාන නාඩගම්පළවල් වැනිය. සිද්ධස්ථානයක පැවතිය යුතු විවේකය, ශාන්ත ගතිය හෝ තැන්පත්කම ඒ තැන්වල නැත. මුදල් සම්මාදම් කරගැනීමට ලැබතොත් කොතරම් නොහොබිනා විහිළුවක් වුවත් කම් නැත. දැන් පින්කම් යන්නෙන් අදහස් කරනු ලබන්නේ මුදලයි. ගත වූ දිනයට වඩා අද රුපියල් දහයක් වැඩිපුර ලැබිණි. නම් එදාට වඩා අද පින්කම වාසියයි කියති. මෙහිදී පින්කම යයි අදහස් කරනු ලබන්නේ මුදල් මිස අනෙකක් නොවෙයි. විහාර මලුවක බෙර ගසමින් නැටීම හෝ පිනුම් ගැසීම මොනතරම් විහිළුවක්ද? ඇතැම් විහාරවල මේ විහිළු කරන්නෝ මත්පැන් බීගත් මිනිසුන්ය. කුඩා ළමයින් පවා බණ ආරාධනා වශයෙන් චූර්ණිකාවක් කීම මොන තරම් විහිළුවක් දැයි සිතා බලනු මැනවි. මල්වට්ටි වෙන්දේසි තවත් අශෝභන ක්‍රියාවකි. මේ විහිළු කරන, විහාර පන්සල්වලට නොයන්නට බෞද්ධයන් සිතට ගත යුතුයි.  
විහාරයක් දෙස බලනු. එහි සෑම තැනම තථාගතයන් වහන්සේට අපහාස වන පරිදි මුදල් පැහැරගැනීමට යොදා තිබෙන උගුල්ය. බද්ධපර්යංකයෙන් වැඩහිඳින පිළිමය ඉදිරියේ පින් පෙට්ටියයි වරදවා නම් කරන ලද පෙට්ටියක් තිබේ. හරියටම බුදුරජාණන් වහන්සේ මුදල් සම්මාදම් කරන්නට හැඩ ගැහී වාඩි වී හුන්නෙකැයි අලුතෙන් අවුත් බලන්නෙකුට වැටහේ. තවත් තැනක, මුදල් දැමීමට තර්ජනය කරන්නාක් මෙන් අතක්ද ඔසවා ගත් සිටිපිළිමයක් ඉදිරියේ පෙට්ටියකි. සමහර විහාරයක පෙට්ටි හතරක් පහකටත් වැඩිය. කොතරම් නින්දාවක්ද? මේ සියල්ල උන්වහන්සේගේ ශ්‍රාවකයන් විසින් තම තමන්ගේ පුද්ගලික බලාපොරොත්තු නිසා ධර්මය කණපිට පෙරළා ගෙන ත්‍රිවිධ රත්නයට කරනු ලබන නින්දාය.  
සම්මාදම් වුවමනා නම්, විහාරයට කොහෙත්ම සම්බන්ධ නැති ලෙස, වෙනම තැනක වෙනම කාමරයක පෙට්ටියක් තැබිය යුතුයි. සම්මාදම් කොහෙත්ම වුවමනා නැතැයි කිසිවිටෙක නොසිතිය යුතුයි. සිද්ධස්ථානයන්හි කටයුතුවලට මුදල් වුවමනාය. නමුත් ඒ මුදල් සැපයීම බුදුරජාණන් වහන්සේට නින්දා නොවන ලෙස, ධර්මය කිලුටු නොවන ලෙස කළ යුතුයි. බණ අසන්නට යයි රවටා මිනිසුන් ගෙන්වාගෙන ප්‍රයෝගයෙන් මුදල් සැපයීම පාපයකි. මුදල් සැපයීමට වෙන නොයෙක් මාර්ගයෝ වෙති. බණ කීම්වලට කලවම් නොකොට ඒ වෙනුවෙන් යොදාගත් විශේෂ දිනක, විශේෂ තැනකදී සල්පිල් පැවැත්විය යුතුයි. සම්මාදම් පත්‍ර ගසා විකිණිය යුතුයි. සමාගම් ඇතිකොට සාමාජික මුදල් අය කළ යුතුයි. ධර්මය නොවිකුණා ශාසනය නොකෙලසා, ඕනෑ කෙනෙක්ට විහාර පන්සල් ගොඩනැගීමට මුදල් සෙවිය හැකි පාරවල් බොහෝය. සිද්ධස්ථානයකට ඇතුළු වූ පසු සතයක් ගැනවත් සිතන්නට අවකාශ නොතැබීම ආගමේ වටිනාකම, පවිත්‍රකම රැකීමකි.  විහාරය තුළ තිබෙන පෙට්ටිවලට මුදල් නොදැමීමට මතක තබාගත යුතුයි.  
  මේ කරුණු ගැන නුවණින් සිතා බැලිය යුතුයි. කල්පනා කළ යුතුයි. මුලින් කෙරුණු නමුත් දිගටම වැරදි කරගෙන යාම තද මෝඩකමකි. අද මේ කරන අශාසනික, අධාර්මික, සත්‍යාවබෝධයට බාධක වූ, හීන වූ, අනාර්ය වූ වැඩපිළිවෙල නැතිකර දමන්නට ගිහි පැවිදි දෙපක්ෂයම වහා ක්‍රියා කළ යුතුයි.  
(සත්‍යෝද්‍ය කෘතියෙනි) 

 


පූජ්‍ය වල්පොල ශ්‍රී රාහුල නාහිමි