රටම ඇන්දෙන හොර මැණික් ගල් ජාවාරම

 ඡායාරූපය:

රටම ඇන්දෙන හොර මැණික් ගල් ජාවාරම

ඔබට ජීවිතයේ බලාපොරොත්තු බොහොමයක් ඇතුවාට සැකයක් නැත. ඒ අතර එක මෙහොතින් කෝටිපතියෙකු වීමට අකමැති කිසිවෙකු සොයාගැනීමට නැති තරම්ය.
ඒ නිසාම දිනපතාම ලොතරැයි මිලට ගන්නා පිරිස් ද බොහොමයක් සිටිති.
මහපොළවේ වස්තූන් සොයන්නෝද ඒ අතර වෙති. මේ සියල්ලන්ගේම අරමුණ එකය. 
මේ රටේ හමුවන මැණික් පිළිබද ඔබ සමහර විට දන්නවා ඇති. නැතිනම් මේ ලිපියෙහි ඉදිරියට දිග හැරෙන තොරතුරුවලට අනුව ඔබේ මුදල් විනාශකර ගත් කෙනෙකු වන්නට පුලුවන.
ඔබ මැණික් ගැන නොදන්නා එහෙත් මුදල්-හදල් යහමින් ඇති සාධාරණ ව්‍යාපාරයක් කරන්නෙකු වන්නනට ද පුලුවන.
මහපොළවේ හමුවන අගනා මැණික් කැට සඳහා වටිනා මිලක් ලබාදෙන ව්‍යාපාරික දැන්වීම් ඔබේ දෙනෙතට හසුවී ඇතිවාට සැකයක් නැත.
මේ අනාවරණය ස්වාභාවික මැණික් වෙනුවට කෘතිම මැණික් වංචකිකව, මැණික් පිළිබඳ නොදන්නා පුද්ගලයින්ට අලෙවි කරන තවත්  මේ රටේ ක්‍රියාත්මක ජාවාරමක තොරතුරු ඔබ හමුවේ තබන්නටය.
විශ්වය බිහිවීම තෙක් දිවයන මේ මැණික් පිළිබඳ අතීතය ඉතා දිගුය.
ව්‍යාජ මැණික් හා ස්වාභාවික මැණික් 
මිනිසුන් මේවාට අධික මිලක් ගෙවන්නේ ඇයිදැයි විමසීමට ලක්කළ යුතුය. ඒ සඳහා මැණික් පිළිබද වසර 40 පමණ අත්දැකීම් ඇති මහනුවර වෙසෙන මැණික් ව්‍යාපාරික සරත් ලෝරන්ස් මහතා සමඟ කතාබහ කළෙමු. 
‘‘වසර බිළියන ගණනකට පෙර විශ්වය බිහිවන අවස්ථාවේ ඇතිවන රසායනික විපර්යාසය හේතුවෙන් මැණික් මහපොළොවේ නිර්මාණය වන්නේ. පොළොව අභ්‍යන්තරයේ ඇතිවු රසායනික විපර්යාසය හේතුවෙන් රසායනික මූලද්‍රව වල එකතුව හේතුවන් (අධික උණුසුම් තත්ත්වය) විවිධ වර්ණ සහිතව ඒවා බිහිවුණා.’’
මහපොළොවෙන් හමුවීමත් මැණික් සඳහා ඉහළ මිලක් පැවතීම හේතුවෙන් මැණික්වලින් ඉක්මනින් මුදල් සෙවීමට බෙහෝ පිරිස් පෙළඹෙති.
ස්වාභාවික මැණික් පොළොවෙන් හමුවෙද්දි කෘත්‍රිම මැණික් යනු කවරේද යන්න ද මෙහිදි විමසීම වටී.
‘‘මැණික් සඳහා මූලාරම්භක අවස්ථාවේ පැවැති උෂ්ණත්වය හා රසායනික සංයෝග යොදා විශාල පර්යේෂණාගාර තුළ කෘතිම මැණික් නිපදවනවා.
මේවායේ විද්‍යාගාර පරික්ෂණවලදී මැණික් ගලක පවතින සියලු ගුණාංග පවතිනවා. නමුත් මේ ගල් කෝටි ගණන් වටින්නේ නෑ. විශාල මුදලක් නැති කෙනෙකුට මේවා අදින්න පුලුවන් ’’
සරත් ලෝරන්ස් මහතාගේ මෙම අනාවරණය හමුවේ අපට පසක්වන කරුණු කිහිපයකි.
ව්‍යාජ මැණික්ගල් වලට හසුවී අමාරුවේ වැටුණ දිවයිනේ බොහෝ පිරිසක් ලෝරනස් මහතා හමුවේ කියන ලද තොරතුරු මෙන්ම මැණික් පිළිබඳ ඒ මහතා සතුව පවතින දැනුමද ඔබ වෙනුවෙන් අප මෙහිලා සටහන් කරන්නේ මෙවැනි කූඨ වංචාකරුවන්ගෙන් ඔබ ආරක්ෂාවීම පිණිසය.
ලෝකයේ විවිධ රටවල රසායනාගාරවල කෘත්‍රිම මැණික් සකසන්නේ කුමන අරමුණක් සඳහාද යන්න පිළිබදව ද අපි ලෝරන්ස් මහතාගෙන් විමසුවෙමු.
‘‘මැණික් හටගැනීමට අවශ්‍ය අධික උෂ්ණත්වය විද්‍යාගාරයක් තුළ ඇතිකරලා මැණිකක තිබෙන මූලද්‍රව්‍ය පිටතින් එක්කර ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් යටතේ තමයි කෘත්‍රිම මැණික් නිපදවෙන්නේ. මෙහි අරමුණ විවිධයි. අධික මිලක් යටත් වටිනා මැණිකක් පළඳින්නට අකමැති අය මේ කෘතිම මැණික් පළදිනවා.
ඒවගේම විවිධ යන්ත්‍ර සූත්‍රවල නිතර ගෙවීමට ලක්වන සිවුම් කොටස් සඳහාත්, ඉලෙක්ට්‍රෝනික මතක ගබඩාවන් සඳහාත් මේ කෘතිමව නිපද වන මැණික් ලෝකයේ දියුණු රටවල් යොදා ගන්නවා.
මේවා මිලෙන් ඉතා අඩු වටිනාකමක් සහිත මැණික් ගල් විශේෂයි.’’
ලංකාව වැනි තුන්වන ලෝකයේ රටකට විදවලින් භාණ්ඩ ගෙන්වීමේ දී පවතින නීතිරීතිවලදී මෙවැනි මැණික් ගල් මෙරටට රැගෙන ඒමට බාධාවක් නැත. මැණික් පිළිබද උනන්දුවක් දක්වන බොහෝ දෙනා මේවා පැලඳීම සඳහා අඩුමුදලට ගනිති. 
ඇතැම් ප්‍රදර්ශනාගාර වල වටිනා මැණික් ආරක්ෂා කරගැනීමේ උපක්‍රමයක් ලෙසත් මේ මැණික් වර්ග ප්‍රදර්ශනය සඳහා තබා ඇත.
ලංකාවේ මැණික් පිළිබද අල්පමාත්‍රයක් පවා නොදන්නා එහෙත් වෙනත් ව්‍යාපාරවලින් මුදල් හම්බකරගත් ව්‍යාපාරිකයින්ගේ මුදල් පසුම්බියට තට්ටු වන මේ කෘත්‍රිම මැණික් ගල් ජාවාරම පිළිබඳව මෙතැන් සිට දිග හැරෙන්නේ මෙතෙක් ඔබ නොඇසු  කතාවකි.
‘‘මේ ජාවාරම්කරුවන් සිදුකරන්නේ ගොඩක් වෙලාවට හිතවතුන් හරහා පණිවිඩ යැවීම. ඒ කියන්නේ මැණික් පිළිබඳ නොදන්නා ඔබට ඒ පිළිබඳ ආසාවක් ඇතිකර උනන්දු කිරීම මේ කටයුත්තේ පළමු පියවරයි.
නිධානයකින් ගත් මැණික් ගල් එහෙම නැත්නම් පතලකින් පැන්නූ ගල් ආදී ප්‍රයෝග මේ ක්‍රියාවලියේ දී ඔවුහු යොදාගනිති.
අපි ළඟට ආවා ඇඹිලිපිටිය පැත්තේ ව්‍යාපාරික මහත්මයෙක්, ලේන්සුවක ඔතාගෙන ගෙනාපු මේ මැණික් ගල අපි අතටවත් ගත්තේ නැතිව මේ ගල හදපු එකක් කියලා කීවා. නමුත් ඒ මුදලාලි පිළිගත්තේ නෑ. ඔහු නිතරම කියපු කතාවක් තමයි. මහත්තයෝ මමයි නිදානේ කූඤ්ඤේ ගැලෙව්වේ කියලා.’’
මෙහිදී සොරුන් විසින්ම ගලක සකසන ලද කුහරයක් තුළ කෘත්‍රිම මැණික් තැන්පත් කරන අතර, දින ගණනක් වැඩ කළ බවත්, සිදුර සිරකර ඇති ඇබය ගැලවීමට ව්‍යාපාරිකයාට අවස්ථාව දෙන්නේ නිධානය ගැනීමේ දී වංචාවක් කිසිදු අයුරකින් නොවන බවත් ඇඟවීමටය.
නිල්, රතු ආදී විවිධ වර්ණ වලින් යුතු විශාල මැණික් ගල් කුහරයේ දිලිසෙන විටත් මේ වංචනිකයන් පවසන්නේ ‘‘ මහත්තයා අපි අහවල් පැත්තේ පතලක් කළා. මේ ගලක් කෝටි ගාණක් වටිනවා. අපිට එච්චර එපා අපි ඇවිත් දැන් දවස් ගානක් වෙනවා අපිට ලක්ෂ දහයක් දෙන්න. මහත්තයා මේවා අරන් යන්න, අපි එනකම් මොකුත් කරන්න එපා. වස් දොස් ඇරලා මේවා විකුණමු’’ වැනි වදන් හමුවේ ව්‍යාපාරිකයා සතු මුදල් ඔවුන් අත තැබෙන්නේ නිරායාසයෙනි.
තමන් කිසිදා නොදන්නා කෝටි ගණනක් ඉතා පහසුවෙන් තමන් අතට ලැබෙන මේ මැණික් වෙළඳාමේ අග මුල නොදන්නා බොහෝ පිරිසක් වංචනිකයින්ට අසුවී සුසුම්ලන පිරිස් අතරට එක් වෙති.
මැණික් පිළිබද මූලික හෝ අවබෝධයක් නොමැති පුද්ගලයෙකු හරහා මේ මැණික් වෙළඳාම සිදුකරන්නේ ඇයි දැයි යන්න ඔබ සිතිය යුතුය.
‘‘මැණික් වෙළඳාම සම්බන්ධයෙන් අපේ රටේ  ඕනතරම් ස්ථාන තියෙනවා. රූපවාහිනී දැන්වීම් දාලා නියම මිල ගෙවනවා කියලා කියද්දිත් ඔබ වැනි මැණික් පිළිබද නොදන්නා පුද්ගලයෙකු සොයා එන්නේ ඇයි දැයි ඔබටම බුද්ධියෙන් විමසිය හැකිය.
සාමාන්‍යයෙන් කුමන තරාතිරමක වුවද මැණිකක් අලෙවි කිරීමට හා මුදල් ලබාගැනීමට  ඕනෑතරම් අපේ රටේ අවස්ථාව තිබෙනවා.
මේ වංචාකරුන් පවසන තවත් කරුණක් තමයි තැනකට අරන් යන්න ඇති බය වගේම නිධානයකින් ගත්තා කියන කාරණා. මෙහිදි ඔබගේ අවධානය විශේෂයෙන් යොමුකළ යුතු කාරණාව තමයි නිධානයකින් ලබාගත් මැණිකක එය නිධානයකින් ගත් වට සලකුණු කිසිවක් නෑ.
අපගේ වසර තිහකට අධික අත්දැකීම්වලින් තහවුරු වන කරුණක් තමයි කිසිදු අවස්ථාවක නිවැරදි මැණික් ගලක් නිධානයකින් හමු නොවීම.’’
බොහෝ වෙලාවට වර්තමානයේ මැණික්වල සිදුවන වර්ගීකරණය එහෙම නැත්නම් නිල් රතු ආදී ගල් වර්ග හා දෝස පළුදු රහිත වශයෙන් පුරාතනයේ මැණික් වර්ග නොකිරීමත්, වසර ගණනාවකදී මහපොළව මත නිදන් ලෙස මෙවැනි මැණික් තැන්පත් කළා දැයි අනුමාන කළද සියවස් ගණනාවක දි විවිධ පාරිසරික වෙනස්කම් හමුවේ එවැන්නක් හමුවිය හැකි ද යන්න දෙවතාවක් සිතිය යුතු කරුණක් වන නිසාවෙනි.
විශාල ලෙස ලාබ ලැබිය හැකි මාධ්‍යයක් ලෙස  මැණික් හැඳින්වුවද මැණික් හදුනා ගැනීමේදී ‍විවිධ ශිල්ප ක්‍රම භාවිතා කළ යුතුය. ඒ සඳහා වෘත්තීය පලපුරුද්දක් සේම වසර ගණනාවක අත්දැකීම් අවශ්‍යවේ.
අපට එසේ සඳහන් කරන්නට සිදුව ඇත්තේ මැණික් ව්‍යාපාරික ලෝකයේ බොහෝ දැනුම ඇති පුද්ගලයන් පවා මේ කෘත්‍රිම මැණික්වලට හසුවූ වාර අනන්ත නිසාය.
පතල්වලින් මුවන මැණික් යැයි පවසා ප්‍රධාන නගර ආශ්‍රිත බැංකු අසල මේ ව්‍යාජ මැණික් අලවිකිරීමේ ජාවාරම ක්‍රියාත්මක වන වට ද අපට තොරතුරු ලැබී තිබේ.
මේ සඳහා සොරුන් විසින් කාන්තාවන් හසුකරගත් අවස්ථා බොහොමයක් පසුගිය සමයේ වාර්තා විය.
බැංකු අසල ගැවසෙමින් පතලින් ගත් ගල ස්වාමිපුරුෂයාට හොරෙන් විකුණන්නට ගෙනා බවත් ‘‘ මහත්තයා බීලා මේවා නැතිකරනවා ඒකයි මේ විකුණන්නේ මේක අරන් ඔය කරේ තියන මාලේ දෙන්න’’ වැනි දෑ පවසමින් කාන්තාවන්ම මේ ගනුදෙනුව සඳහා යොදා ගැනීම තවත් විශේෂත්වයකි.
මෙවැනි වචනවලට හසුවී සිය මුදල් හා ආභරණ හොරුන්ට පුජා කළ බොහෝ පිරිසක් නම්ගම් පවා හෙළි නොකර සමාජ අපවාදයන්ට බියෙන් කල්ගෙවන අවස්ථා කොතෙකුත් අපට වාර්තා වී තිබේ.
සරත් ලෝරන්ස් මහතා මෙලෙස සිය අත්දැකීම් එකිනෙක දිගහරිද්දි මෑත කාලයේ කෘත්‍රිම මැණික් ගලක් උපයෝගී කරගනිමින් බුදු පිළිමයක් සකසා උතුරු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු රවටා ලක්ෂ පනහක් ලබාගෙන ඇති බව ද සඳහන් කළේය.
ව්‍යාපාරිකයා සතු අධි සුඛෝපභෝගී රථයක් විකුණා අදාළ බුදු පිළිමය ලබාගෙන ඇති බවත් සිය වෙළද සැලේදී එම ව්‍යාපාරිකයාට සත්‍ය අවබෝධකර දීමට හැකිවු බව ද ඔහු කියා සිටියේය.
සිය ජීවිත කාලය පුරා දාඩිය මහන්සියෙන් උපයා ගත් මුදලක් නිකරුණේ මෙන්ම අනවබෝධයෙන විවිධ පුද්ගලයන්ට මැණික් මිලට ගැනීමට නොයොදවන ලෙසත් අවශ්‍ය නම් මැණික් සම්බන්ධයෙන් මනා දැනුමක් සහිත පුද්ගලයන්ගෙන් ඒ සම්බන්ධයෙන් පරික්ෂාකර තීරණ ගතයුතු බවත් ලෝරන්ස් මහතා පවසයි.

 

සටහන හා ඡායා - නාඋල සමුහ

මාතෘකා