සේල්’ කූඨ උපක්‍රමයක් විතරයි-පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න

 ඡායාරූපය:

සේල්’ කූඨ උපක්‍රමයක් විතරයි-පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න

මේ උත්සව සමයේ වෙළඳ භාණ්ඩ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගවලින්ම මේ කතාව පටන්ගමු?
පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් පාරිභෝගික සේවා අධිකාරිය මේ උත්සව සමයේත් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙන්නෙ. මාර්තු 12 වෙනිදා සිට අප්‍රේල් 12 දක්වා එම විශේෂ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා.   

මොකක්ද ඒ විශේෂ වැඩපිළිවෙල?
මේ අවුරුදු කාලෙ තමයි වෙළෙඳ ව්‍යාපාරිකයන් පාරිභෝගිකයන්ව වැඩියෙන් නොමග යවන්නේ. විවිධ කූඨ උපක්‍රම ඔවුන් ඒවාට භාවිතා කරනවා. පාරිභෝගික සේවා අධිකාරිය විසින් මාර්තු 12 සිට අප්‍රේල් 12 දක්වා සියලුම වෙළඳසැල් පරික්ෂාවට ලක් කරනවා. පාරිභෝගික සේවා අධිකාරියෙන් භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් නියම කර ඇති ප්‍රමිතීන්වලින් තොරව භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් වටලලා ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.   

මේ උත්සව සමයේ ව්‍යාපාරිකයන් අනුගමනය කරන කූඨ උපක්‍රම මොනවා ද?
වෙළඳභාණ්ඩ අතරින් ව්‍යාපාරිකයන් බහුතරයක් ආහාරපාන තමයි කූඨ උපක්‍රම යොදා කෙසේ හෝ අලෙවි කරන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන් ගුණාත්මකත්වයෙන් හීන, පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරනවා. කල් ඉකුත් වීමේ දිනය වෙනස් කර ආහාර අලෙවි කරනවා. වියලි ආහාරවලට වෙනත් ආදේශකයන් කලවම් කරනවා. පානීය ජල බෝතල්, සිසිල් බීම වගේ දැන් මගීන්ට අත්‍යාවශ්‍ය දේවල්වල ප්‍රමිතිය හීන නිෂ්පාදන අලෙවි කරනවා. ඒ වගේම ඇඳුම් පැලඳුම් ගැනත් මේකෙදි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. පාරිභෝහිකයන් රවට්ටන්න නොයෙකුත් උප්පරවැට්ටි ව්‍යාපාරිකයන් ක්‍රියාත්මක කරනවා. ප්‍රමිතියෙන් තොරව නිම කළ ඇඳුම් නියම කළ මුදලට වඩා වැඩි මුදලකට අළෙවි කරන්න උත්සාහා කරනවා. ඇඳුම් පැළඳුම් විතරක් නෙමෙයි විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ වගේ වැඩි මුදලක් යොදවා ගන්න භාණ්ඩ වගකීම් සහතිකවලින් තොරව අලෙවි කරනවා. මේ සියල්ල ගැනම අපි වැටලීම් කරමින් පවතිනවා. මේ වන විට අපි ලංකාවේ සියලුම භාණ්ඩ ගබඩා පරික්ෂාවට කල් කරලා අවසන්. ඒ වගේම ආර්ථික මධ්‍යස්ථාන, අවුරුදු පොළවල් ආදී වශයෙන් මහා පරිමාණයෙන් භාණ්ඩ අලෙවි වන ස්ථානත් පදික වේදිකාවේ වෙළඳසැල් ද අපි පරික්ෂාවට ලක් කරමින් පවතිනවා.   

මේ වනවිට වෙළඳසැල් වැටලීම්වල තත්ත්වය ගැන කිව්වොත්?
පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් මාර්තු 12 වෙනිදා සිට අප්‍රේල් 6 වනදා දක්වා වන විට ස්ථාන 3000ක් පරීක්ෂා කරලා ඒ අතරින් ස්ථානවලින් ස්ථාන 1997ක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් පනවා ඇති නීති උල්ලාංඝනය කරමින් භාණ්ඩ අලෙවි කරලා තියෙනවා.   

නීති උල්ලාංඝනය කරමින් භාණ්ඩ අලෙවි කළ ඒ ව්‍යාපාරිකයන් සඳහා ගත් ක්‍රියාමාර්ග මොනවා ද?
ඒ වෙළඳ ව්‍යාපාරිකයන්ව අපි උසාවියට ඉදිරිපත් කරනවා. එතනින් පසුව ඔවුන් සඳහා ගන්න නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ උසාවිය. ඒ 1997 දෙනාගෙන් 1100 දෙනෙකුට දැනට නඩු පවරලා තියෙනවා. ඉතිරි පිරිසටත් හැකි ඉක්මණින් නඩු පවරන්න බලාපොරොත්තු වෙනවා.   

ඒ වෙළඳ ව්‍යාපාරිකයන් උල්ලාංඝනය කළ නීති මොනවා ද?
දැනට වැටලීම්වලින් අනාවරණය කරගත්ත තොරතුරු අනුව ඒ ව්‍යාපාරිකයන්ගෙන් වැඩිදෙනෙක් ගුණාත්මකභාවයෙන් තොරව ප්‍රමිතිය හීන ආහාර ද්‍රව්‍ය අලෙවි කරපු අය. ඒ වගේම භාණ්ඩ පාලන මිලට වඩා වැඩි මිලකින් අලෙවි කළ අයත් ඒ අතර ඉන්නවා.   

මේ උත්සව සමයේ භාණ්ඩවලට පාලන මිලක් නියම කරලා තියෙනවා ද?
ඔව්. පාරිභෝගික සේවා අධිකාරිය විසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරලා තියනවා. ඒ මිලට වඩා වැඩියෙන් එම භාණ්ඩ අලෙවි කරන වෙළඳ ව්‍යාපාරිකයන්ට අපි නඩු පවරනවා.   

පාරිභෝගික සේවා අධිකාරිය විසින් පාලන මිලක් නියම කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ මොනවා ද?
සාමාන්‍යයෙන් පාලන මිලක් නියම කරන්නේ නිතර මිල ඉහල පහල යන භාණ්ඩවලට. වියලි ආහාර, පොල්තෙල්, සහල්, ධාන්‍ය වර්ග වගේ මිල උච්චාවචනය වෙන භාණ්ඩ සඳහා තමයි පාලන මිලක් නිකුත් කරන්නේ.   

වෙළඳපලෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයන් සැලකිලිමත් විය යුතු කරුණු මොනවා ද?
වෙළඳ ව්‍යාපාරිකයන් කූඨ උපක්‍රම යොදලා කෙසේ හෝ භාණ්ඩ විකුණන්න තැත් කරනවා. ඒත් පාරිභෝගිකයන් දැනගන්නත් ඕනේ ඒ උපක්‍රමවලට හසු නොවී භාණ්ඩ මිලදී ගන්න. ආහාර තෝරා ගැනීමේදී ගුණාත්මකත්වයෙන් ඉහල ආහාර තෝරාගන්න වගේම ආහාරවල ගුණාත්මකත්වය පරික්ෂා කරන ක්‍රම ගැන පාරිභෝගිකයන්ගේ දැනුවත්භාවය වැදගත්. ඒ වගේම සැකසූ ආහාර මිලදී ගැනීමේදී කල් ඉකුත් වූ දිනය පරික්ෂා කිරීමටත් පාරිභෝගිකයන් වගබලා ගන්න ඕනේ. විශේෂයෙන් ආහාරවල පාලන මිල සම්බන්ධයෙන් පාරිභෝගිකයන් සතුව යම් දැනුමක් තිබීම අත්‍යාවශ්‍යයි. ඒ වගේම ඇඳුම් පැලඳුම්, විදුලි උපකරණ මිලට ගැනීමේදී ඒවායේ ප්‍රමිතිය පරික්ෂාවලට ලක් කරලා ඒවා නිසියාකාරයෙන් භාවිතා කිරීමට හැකි දැයි පරික්ෂා කරලයි ගන්න ඕනේ. ඒ වගේම මම පාරිභෝගිකයන්ට කියන්න කැමතියි දොරකඩට ඇවිත් භාණ්ඩ අලෙවි කරන අයගෙන් භාණ්ඩ ගැනීමේදී වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඔවුන්ගෙන් බහුතරයක්ම අලෙවි කරන්නේ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ. ඒ වගේම දැන් ජංගම රථවලත් ආහාරපාන වගේම වෙනත් භාණ්ඩත් අලෙවි කරනවා. ඒවායින් භාණ්ඩ මිලදී ගැනීමේදීද වැඩි සැලකිල්ලක් දක්වන්න කියලා මම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.   

උත්සව සමයත් එක්ක බැඳුණු හැමෝටම හුරු පුරුදු වචනයක් තමයි " සේල් " කියන්නෙ. මේ "සේල්" කියන එක ඇතුළේ තියන ඇත්තම කතාව මොකක්ද?
මුළු අවුරුද්ද පුරාම විකුණුවත් විකිනෙන්නෙ නැති භාණ්ඩ කියලා කොටසක් වර්ග කරන්න පුළුවන්. ඒ භාණ්ඩ අතර බහුතරයක් ප්‍රමිතියෙන් තොරයි. ඒවා අලෙවි කිරීමට නුසුදුසුයි. ඒ භාණ්ඩ නීතියේ හැටියට ඒ භාණ්ඩ ඉවත් කරන්න ඕනේ. ඒත් ඒ භාණ්ඩ සියල්ලම ව්‍යාපාරිකයන් උත්සව සමයේදී "සේල්" කියලා අඩු මිලට අලෙවි කරනවා. මේවාට පාරිභෝගිකයන් අනන්තවත් රැවටෙනවා. විශේෂයෙන් මේ සේල්වලට වැඩියෙන් යන්නේ කාන්තා පාර්ශවය.   

මේ සම්බන්ධයෙන් වැටලීම් කරලා තියෙනවා ද?
ඔව්. වැටලීම්වලදී මේ "සේල්" වලටත් ගිහින් අපේ නිලධාරීන් පරික්ෂා කරනවා. ඒ භාණ්ඩ ප්‍රමිතියෙන් තොරයි. නමුත් ඉතා අවම මිලකට ඒ භාණ්ඩ විකුණනවා නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්නේ නැහැ. නමුත් ප්‍රමිතියෙන් තොරව ඉහල මිලක් නියම කරලා භාණ්ඩ විකුණන වෙළඳසැල් හිමියන්ට අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්නවා.   

වෙළඳ ව්‍යාපාරිකයන්ගේ කූඨ උපක්‍රම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද?
යම් කිසි වෙළඳසැලක් එසේ පාරිභෝගික සේවා අධිකරියෙන් පනවා ඇති නීති උල්ලාංඝනය කරමින් භාණ්ඩ අලෙවි කරනවා නම් පාරිභෝගිකයන්ට පුළුවන් ඒ සම්බන්ධයෙන් අපිට පැමිණිලි කරන්න. ලංකාව පුරාම අපේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල තියෙනවා. ඒ දුරකතන අංකවලට පැමිණිලි කරන්න පුළුවන්. එහෙම නැත්නම් පාරිභෝගික සේවා අධිකාරියේ 1977 දුරකතන අංකයටද 01177554811, 01177554812 , 01177554813 යන අංකවලට කතා කරලා පැමිණිලි කරන්න පුළුවන්.   

අවසාන වශයෙන් වෙළඳ ව්‍යාපාරිකයන්ටත් ඔබට කියන්න දෙයක් ඇති?
සියලුම පාරිභෝගිකයන් වෙළෙන්ඳන් නොවුණට සියලුම වෙළෙන්දන් පාරිභෝගිකයන් කියන එක මතක තියාගෙන කටයුතු කරන්න කියලා මම සියලුම වෙළෙඳ ව්‍යාපාරිකයන්ට කියන්න කැමතියි. ඒ වගේම සදාචාරාත්මකව තම වෙළඳ ව්‍යාපාර කරගෙන් යන්න කියලා මම ඔවුන්ට අවධාරණය කරන්න කැමතියි.  

මාතෘකා

ජනප්‍රිය ලිපි