රට වටේ වෙලාව කියන ඔරලෝසු කණු

 ඡායාරූපය:

රට වටේ වෙලාව කියන ඔරලෝසු කණු

කාලය රත්තරංවලට සමාන බව අතීතයේ සිට මිනිසා දැන සිටියේය. ගෙවී යන එක් නිමේෂයක් හෝ නැවත ලබා ගැනීමට නොහැකි නිසා මිනිසා හැකි සෑම අවස්ථාවකද තම කාලය අරපරිස්සමින් පරිහරණය කරයි. ඒ නිසාම මිනිසා කාලය ගණනය කළ හැකි උපකරණ නිපදවන්නට විවිධ උත්සාහ ගත්ෙත්ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔරලෝසුව බිහි වූ අතර වර්තමානය වන විට ජංගම දුරකථනය හරහා වේලාව පහසුවෙන් දැන ගැනීමට හැකි වී ඇත. අතීතයේ ජනතාවට එවන් තාක්ෂණයක් නොමැති වූ නිසා සහ කෝට් සාක්කුවේ දාන ඔරලෝසු පාවිච්චි කළ ප්‍රභූ පන්තියේ අයගෙන් වෙලාව අහන්නත් නොහැකි වූ නිසා රට පුරා ඔරලෝසු කණු ඉදිවන්නට විය.   
යටත්විජිත යුගයේ සිට ලංකාවේ ඔරලෝසු කණු ඉදිවන්නට වූ අතර මෑතකදී ඔරලෝසු කණු ඉදිකෙරූ පුද්ගලයෙකු ලෙස හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා හැඳින්විය හැකිය. ජනාධිපති ප්‍රේමදාස මහතා රට පුරා නගරවල ඔරලෝසු කණු ඉදිකළත් ඔහුට නැගුණ චෝදනාවක් වූයේ නිසි සැලසුමක් නොමැතිව ඒවා ඉදිකළ බවයි. ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු එළැඹි දෙවැනි වසර තුළම එතුමා සෑදවූ ඔරලෝසු කණුවලින් 75% ක වෙලාව නැවතිණි. එම ඔරලෝසු සවි කළ සමාගම්ද ඔරලෝසු නඩත්තු කළේ නැති අතර ගිලූණු නැව් මෙන් මේ කණු ද අදවන විට පරිසරයේ ජීවත්වන සතුන්ගේ ජනාවාස බවට පත්ව තිබේ. එහෙත් මේ ඔරලෝසු කණු සමඟ බැඳුණ රසවත් කතා කිහිපයක් පවරී. දැනට ලංකාවේ තිබෙන පැරණිම ඔරලෝසු කණු ලෙස යාපනය, කුරුණෑගල, කොළඹ කොටුව, රත්නපුර, ගාල්ල කොටුව, මාතර කොටුව, මහනුවර සහ බදුල්ල යන නගරවල ඉදිකළ ඔරෙලෝසු කණු හඳුන්වන්න පුළුවන්. මේ ඒ පැරණි ඔරලෝසු කණු ගැන පවතින රසවත් කථා කිහිපයකි. 
 


කොළඹ කොටුවේ හයිබ්රිඩ් ඔරලෝසු කණුව
කොළඹ කොටුව ජනාධිපති මන්දරය අසල පිහිටා ඇති ඔරලෝසු කණුව ඔරලෝසුවක් සවිකරන ලද එකම ප්‍රදීපාගාරයයි. මේ ප්‍රදීපාගාරය අද වෙනකොට අක්‍රිය වුනත් අදටත් ඔරලෝසු කණුවක් විදිහට ප්‍රයෝජනයට ගනු ලබයි. මෙය ලංකාවේ ඉදිකරන ලද මුල්ම ප්‍රදීපාගාරය ලෙස සලකන අතර කොළඹ සිට පිට පළාත්වලට ප්‍රධාන මාර්ගවල දුර මැනීමද මෙතැන සිට වෙයි.   
1860 වසරේදී මුලින්ම ඔරලෝසු කණුවක් ලෙස මෙම කුළුණ ඉදිකර ඇති අතර 1865 දී ඊට ප්‍රදීපාගාර ලාම්පුවක් මෙහි සවි කර තිබේ. නමුත් මේකට ඔරලෝසුවක් සවිකර ඇත්තේ 1913 වසරේදීය.   


යාපනේ ඔරලෝසු කණුව
යාපනේ ඔරලෝසු කණුවට වසර 135ක ඉතිහාසයක් පවතින අතර 1875 ලංකාවට පැමිණි වේල්සයේ කුමාරයා වූ ඇල්බර්ට් කුමාරයාට තෑග්ගක් දීමට එකතු කරන ලද සල්ලිවලින් ඉතිරි වූ මුදලින් මේ ඔරලෝසු කණුව ඉදිකර තිබේ. වේල්ස් කුමාරයාගේ ලංකා සංචාරය වෙනුවෙන් පැවැත්වෙන පිළිගැනීමේ උත්සවයට රුපියල් 10,000.00 ක ආධාර මුදලක් එකතු කර ඇති අතර වේල්ස් කුමාරයාට තෑගි කළ රිදී මංජුසාවක් සහ ආභාරණ කට්ටලයට වැය වූයේ රුපියල් 4000 කි. පසුව ඉතිරි වූ රුපියල් 6000 මුදලින් වේල්ස් කුමාරයගේ ලංකා සංචාරය සිහිවීම පිණිස ඔරලෝසු කණුවක් හැදීමට 1880 ජුලි 1 වෙනිදා යාපනය කච්චේරියේ පැවති සාකච්ඡුාවකදී තිරණය වී තිබේ. මෙහි ආකෘතිය නිර්මාණය කර ඇත්තේ රජයේ නිර්මාණ ශිල්පියෙකු වූ ජේ. ජී. ස්මිදර් මහතාය.  


මාතර ලන්දේසි ඔරලෝසු කණුව
මාතර කොටුපවුර මැද තියෙන ඔරලෝසු කණුව ලංන්දේසින් විසින් 1765 දී ඉදිකර තිබේ. සමචතුරශ්‍රාකාර ලෙසින් ඉහළ එසවුණ මාතර ඔරලෝසු කණුව මීටර් 12 ක් පමණ උස වන අතර මෙහි ඉදිකිරීම් ලක්ෂණ අනුව ඉංග්‍රීසි පාලන සමයේදී ඉදිකරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙහි රෝම ඉලක්කම් යොදන ලද ඔරලෝසු 4 ක් දිසා 4 ට වන්නට සවි කර ඇත. ඔරලෝසුවලට ඉහළින් නැවත ආරක්කු යොදන ලද අලංකාර කොටසක් ද ඉන් පසුව නැවත ගරාදි වැටක් වැනි කොටසක් ද දක්නට ලැබේ.   


රත්නපුරේ ඔරලෝසු කණුව
රත්නපුරය නගරය මැද පිහිටුවා තිබෙන රත්නපුරය ඔරලෝසු කණුව තවත් පැරණිතම ඔරලෝසු කණුවක් ලෙස හැඳින්විය හැක. මෙහි ඉතිහාසය 1920 මුල් ගණන් දක්වා දිවේ. දේශීය යුධ අනුුස්මරණ කමිටුව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් යටතේ මේ ඔරලෝසු කණුව ඉදිකර ඇත. ඒ සඳහා සුදුසු ආකෘතියක් තෝරා ගැනීමට, තරඟයක්ද පවත්වා තිබේ. මෙහි ජයග්‍රාහකයාට ත්‍යාගය වශයෙන් රුපියල් 300 ක මුදලක් පිරිනමා ඇත. මේ සඳහා ඔරලෝසු නිර්මාණ ආකෘති 10 ක් ඉදිරිපත් වී තිබේ.   


ගාලු කොටුවේ ඔරලෝසු කණුව
දකුණු පළාතේ ගාලූ කොටුව කොටු බැම්මෙහි පිහිටුවා තිබෙන ඔරලෝසු කණුව ඉදිකර ඇත්තේ ගාලූ කොටුව ඉදිකර  වසර ගණනාවකට පසුවය. 19 වන සියවසේ ගාල්ලේ ජනප්‍රසාදය දිනාගත් ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙකු වූ පීටර් ඩැනියෙල්ස් ඇන්ටනීස් මහතාගේ සේවාකාලය අවසන්ව සමුගන්න අවස්ථාවේ ඔහුට උපහාරයක් ලෙස මේ ඔරලෝසු කණුව ඉදිකර තිබේ. ගාල්ලේ නාගරික ජනතාවගේ මුදලින් ඔරලෝසු කණුව හදන්න සැළසුම් කළත් එය ඔහුට කරන අපහාසයක් සිතා වාසල මහමුදලි කළුහත් සැම්සන් ද ආබ්‍රේව් විජය ගුණරත්න රාජපක්ෂ මහතා තමන්ගේ පෞද්ගලික ධනයෙන් රුපියල් තුන්දහස් පන්සීයක් වැය කර මේ ඔරලෝසු කණුව ඉදිකර ඇති අතර එය වෛද්‍ය පීටර් ඩැනියෙල් ඇන්ටනීස් මහතා අතින් 1883 වසරේදී විවෘත විය.  


බදුල්ලට ගිය සුද්දාට වෙලාව කිව්ව ඔරලෝසු කණුව
බදුල්ල ඔරලෝසු කණුව යටත් විජිත සමයේ ඉදිකරපු පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකකි. එහි මූලික හැඩය හතරැස් ස්වරූපයක් ගනී. එහි වහලය යටත් විජිත සමයේ වාස්තු විද්‍යාත්මක ශෛලියට නිර්මාණය කර ඇති අතර එය 1932 දී ඉදිකළ බවට එහි දැක්වෙන පුවරුවක සටහන් වේ. වතු වගාවත් සමග කාර්යබහුල නගරයක් වූ බදුල්ලේ ජනතාවට වේලාව බලා ගැනීමට පහසු ලෙස මෙය ඉදිකර තිබේ.මහනුවර ඔරලෝසු කණුව මහනුවර නගරයේ දළදා වීදිය, එස්. එබ්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ හිරගෙදර යන මාවත් එක්කරන අන්තර්මාරුව මැද ඇති ඔරලෝසු කණුව 1950 වසරේ දී ඉදිකර තිබේ. මෙය ඉදකිරීමට හේතුවූයේ 1947 දී කඩුගන්නාවේ සිදුවූ හදිසි අනතුරකින් මියගිය හාජි මොහොමඩ් ඉස්මයිල් නම් පුද්ගලයාගේ පුතා සිහිවීමටය. මේ සඳහා ඉඩම මිලදී ගෙන තිබෙන්නේ මහනුවර නගර සභාවෙනි. එවකට ලංකාවේ අගමැති වූ ඩී. එස් සේනානායක මහතා අතින් මේ ඔරලෝසු කණුව විවෘත විය.  


ලෝක යුද්දේ මතක් කරන කුරුණෑගල ඔරලෝසු කණුව
පළමුවෙනි ලෝක යුද්දෙදි මියගිය වයඹ පළාතේ භටයන් සහ ඉංග්‍රීසි භටයින් සිහිපත් කිරීමට කුරුණෑගල ඔරලෝසු කණුව ඉදිවිය. මෙහි පළමු ලෝක යුද්ධයේදී මියගිය භටයින් 11 දෙනෙකු ගේ නම් සඳහන් වී ඇති අතර ඒ නම් 11 අතර ශ්‍රී ලාංකික සෙබළුන් තුන්දෙනෙකුගේ නම් පවතී. මේ නම් සමග සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින් ”ක‍්‍රි.ව. 1914 - 1918 මහ යුද්ධයේදී අධිරාජ්‍ය උදෙසා වයඹ පළාත වෙනුවෙන් ගොස් ජීවිත දානය කළ වීර පුරුෂයන් සිහිවීම පිණිසයි.” යනුවෙන් සඳහන් කර තිබේ. මෙය යුද ස්මාරකයක් ලෙසත් වැදගත් කමක් උසුලන අතර කොළඹ තියෙන යුධ ස්මාරකයකට වැඩිය මේ ඔරලෝසු කණුව පැරණිය.   


කොළඹ නගරය මැද පිහිටි ඔරලෝසු කණුව
කොළඹ නගරය මැද ඛාන් ඔරලෝසු කණුව, ඉන්දියාවේ බොම්බෙයි හි ජීවත් වූ ඛාන් පවුල විසින් මෙරට ඉදිකරන ලද අතර  පිටකොටුව වෙළඳපළ පිවිසුම ආසන්නයේ මෙය පිහිටා තිබේ. මෙය ඛාන් ඔරලෝසු කණුව ලෙස හඳුන්වති. 20 වන සියවසේ මුල් සමයේදී, ෆ්රම්ජී භිඛාජි ඛාන් ගේ 45 වන අනුස්මරණය වෙනුවෙන් ඔහුගේ පුතුන් විසින් ඉදි කර තිබේ.   


පිළියන්දල ඔරලෝසු කණුව
පිළියන්දල ඔරලෝසු කණුව ශ්‍රී ලංකාවේ උසම ඔරලෝසු කණුව වන අතර උස අඩි 78කි. එහි වට ප්‍රමාණය අඩි 16ක් වසර 60 කට වැඩි කාලයක් වැඩකරමින් තිබෙන ඔරලෝසු කණුවක් ලෙස හැඳින්විය හැකිය.මොරටුව පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි මහතා කළ ඉල්ලීමකට පිළියන්දල වෑවල විසූ දානපති ඞී. එස්. ඩබ්ලිව්. සමරකෝන් මහතාගේ පෞද්ගලික ධනයෙන් තම මවුපියන් සිහිවීම පිණිස ඉදිකර තිබේ. 1953 අප්‍රේල් 30 වැනි දින මෙහි සියලූ වැඩ අවසන් ඇති බව එහි ලේඛණයේ සඳහන් වේ.  

මාතෘකා

ජනප්‍රිය ලිපි