අවුරුද්දට පෙර කොළඹ කලබල

 ඡායාරූපය:

අවුරුද්දට පෙර කොළඹ කලබල

බක්මහ  කාලය උදාව තිබේ. මේ සමයේ කොහාටත් කලින් ඊට සූදානම් වන වෙළෙඳ ප්‍රජාව අලුත්  අවුරුද්දට වැඩ ඇල්ලුවේ මීට මසකට පමණ පෙරය. ඒ සූදානම දැන් මහා පරිමාණ  තත්ත්වයටම දුර දිග ගොසිනි.මේ වනවිට වීදි ජනයාගෙන් පිරෙන්නට පටන් ගෙන තිබේ.  ගම්බදට වඩා නගරබද එවැනි දසුන් බහුලය. නගරබදය කී විට කාගේත් අවධානය කොළඹ  නගරයට යොමුවෙයි. කොළඹය කී විටත් කාටත් කොළඹ කොටුව සහ පිටකොටුව  අමතක කළ  නොහැකිය.
අපගේ මේ සූදානම කොළඹ ඇවිද ඒ උණුසුම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් දක්වන අදහස් විමසීමටය.
මල්වත්ත  වීදියෙන් අප ඒ ගමන ඇරඹුවෙමු.  ඒ ඔස්සේ ඇවිද යන විට ඉදිරියට හමු වුණු  වෙළෙදුන් සහ පාරිභෝගිකයින් හුඟ දෙනකු කීවේ මෙදා මේ වනතුරු නම් අවුරුද්දේ  එතරම් සරුවක් නැති බවකි. ඒ හුඟ දෙනකු ඔරලෝසු , ජංගම දුරකතන හා වෙනත් වෛවාරණ  උපකරණ අලෙවියේ නිරත වූවෝය. එහෙත් කවදත් පිටරටින් ගෙනෙන මොන මොනවා හෝ  භාණ්ඩයක් පදික වේදිකාවේ තබාගෙන විකුණා පණ ගැට ගසා ගන්නා බව කියූ ඊ.ජී සරත්  අපට වඩාත් ළෙන්ගතුව කොළඹ කොටුවේ මාවතේ ජීවිතය සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
ඔහු  කියා සිටියේ උපන්දා සිට පේව්මන්ට් වෙළෙඳ ජීවිතය හුරු පුරුදු තමන්ට දැන්  ඉස්සර තරම් වෙළෙඳාමක් නැති බවය. ඉස්සර පැයෙන් පිටකොටුවේ කළ වෙ‍ළෙදාම දැන්  දවසකින්වත් කළ නොහැකි බවත් සරත් කියයි.ඒ කෙසේ වුවත් පිටකොටුවෙන් භාණ්ඩ  මිලදී ගෙන ඒවායේ බර දරාගෙන නැවත නුගේගොඩ බලා යමින් සිටියදී අපට මුණ ගැසුනු  කේ.  උදයංගනී අපට විස්තර කීවේ පාරිභෝගිකයකු විදියට.
‘ මෙදා හුගක්  බඩුවල ගණන් වැඩියි. අපි ටිකක් හරි මිල අඩුවෙන් ගන්න බලාගෙනයි පිටකොටුවට  එන්නේ. මං මේ ආවේත් නුගේගොඩ ඉඳන්. ඒත් බලාපොරොත්තු තරම් මිලේ අඩුවක් නැහැ.ඒ  කොහොම වුණත් තරමක් වැඩි මිලට වුණත් බඩු ගත්තා.තියෙනවාට වඩා ගණන් අඩු කරන්න  බැහැ කියලා වෙළෙන්දන් කියනවා.බිස්නස්වත් වැඩිපුර තිබුණා නම් තව ටිකක්වත්  අඩු කරන්න තිබුණාලු.’
උදයංගනී අව් කූටකේ රත්වෙමින් අපට කියන්නේ එහෙම  කතාවක්. ඒත් ජනී ජනයාගෙන් පිරී ඉතිරෙන පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ  වෙළෙදාම්කරන එම්. රමීෂ් නම් කියන්නේ ඊට වෙනස් කතාවක්.
‘ මං කියන්නේ  මෙදා අවුරුද්ද හොඳයි. මේ වෙනකොටත් බිස්නස් නරක නැහැ. කොහොමටත් මිනිස්සු බඩු  ගන්න අවුරුදු අත ළගට එන තුරු බලා ඉන්නේ නෑ. අප්‍රේල් මුල් සතිය වෙද්දී බඩු  මුට්ටු ගන්නවා. දැන් මේ ඇවිත් ඉන්නේ ඒ පිරිස තමයි.’
රමීෂ්ට  අවුරුද්ද එසේ නමුත් කොළඹ දෙවැනි හරස් වීදියේම ෆයිරූස්ට නම් අවුරුද්දේ  වෙළෙඳාමේ තවම එතරම් ජයක් නැත.  පිටරටින් ගෙන්වන විවිධ භාණ්ඩ අලෙවි කරන ඔහු  ගොඩගසා තිබෙන භාණ්ඩ පෙන්වමින් කියන්නට වූයේ ඒවා බලන්නට එන පිරිසගෙන්  දහයකින් එක් අයකුවත් බඩු නොගන්නා බවකි. මේ නිසා තමන් සිටින්නේ අසතුටින්  බවත් ඹහු කියයි.
අප ෆයිරූස්ගේ ළග නැවතී සිටියදීම අප ළඟ නැවතී  විශේෂයෙන් මේ දිනවල පිටකොටුවෙන් ගමට ගෙන ගොස් විවිධ භාණ්ඩ විකුණන  තැනැත්තන්ගේ වගතුග හෙළිකළේ කාන්තාවකි. ඇය විනිප්‍රිඩා සමරවික්‍රමය.
‘අපි  කරන්නේ ගම්වලට කොළඹින් බඩු ගෙන ගිහින් විකුණන එක. ඒත් දැන් කොළඹ හුග  දෙනකුටත් බිස්නස් නැහැ. සාමාන්‍යයෙන් වෙනදා වෙන්නේ අවුරුදු කාලෙන් පස්සේ  කොළඹ මුදලාලිලා තව කඩයක් ගන්න සිතන එක. ඒත් දැන් වෙලා තියෙන්නේ අවුරුදු  කාලේ පහුවෙනකල් බලලා කඩේ වහලා දානවා කියන පිරිස වැඩිවෙලා තියෙන එක. මේ  තත්ත්වය හැමෝටම නෙවෙයි. සුළු පරිමාණ වෙළෙන්දාටයි වැඩිපුර බලපාලා තියෙන්නේ.  ඉතින් කොළඹ එහෙම එකේ අපිට කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ නිසා  මහා පරිමාන වෙළෙන්දායි මධ්‍ය පරිමාණ වෙ‍ළෙන්දායි ගැන විතරක් නෙවෙයි. කොළඹ  වැඩිපුරම වෙළෙඳාම් කරන අපි ගැන මීට වැඩියෙන් බලන්න කියලයි අපි කියන්නේ.  අපිට සහන ලැබෙන්නම ඕන. නැතිව ලොකු මිනහාට  විතරක් හම්බ කරගන්න ඉඩ ලැබීම හොඳ  දෙයක් නෙවෙයි. රෙදිපිළි වෙළෙඳාම පිළිබඳ එම පිරිස එසේ කියන විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය  භාණ්ඩ සම්බන්ධයෙන් අපට අදහස් දැක්වූ තොග වෙළෙඳුන් ගණනාවක්ම කියා සිටියේ  තමන් ගබඩාවල බඩු පුරවාගෙන සිටියත් තවමත් එතරම් හොඳ වෙළෙඳාමක් පෙනෙන්නට නැති  බවකි.
සුළු පරිමාණ පලතුරු වෙළෙන්දකු වන එස්. ඒ සෝමසිරි වෙළෙඳ  ජීවිතයේ හැටි අපට විස්තර කළේ එය ලාභ අලාභ දෙකම එකසේ දරාගත යුත්තක් බව  කියමිනි.වතාවක් අනවසරයෙන් පේව්මන්ට් එකේ වෙළෙඳාම් කළ වරදට අධිකරණයෙන් නියම  වූ රුපියල් හය දහසේ දඩය ගෙවාගත නොහැකිව තුන් මසක් සිර දඬුවම් විඳන්නට සිදු  වූ සැටි ඔහු සිහි කළේ උපේක්ෂා සහගතවය.
අවුරුද්දත් සමග ගිනි කෙළි  භාණ්ඩ ද තොග පිටින් නගරවලට පැමිණෙයි. කොළඹ එසේ ඒවා ගොඩ ගැසෙන ප්‍රධාන  ටවුමකි. එහෙත් මේ වනවිටත් කොළඹ ගෑස්පහ හන්දියේ පවා එතරම් සරුවට රතිඤ්ඤා  ඇතුළු ගිනි කෙළි අලෙවියක් නොකෙරේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම තොග  අලෙවි සැළක අලෙවි නිලධාරියෙකුවන කේ. ෂාරංග අපට කීවේ මේ වනවිටත් මීගමුවෙන්  සහ  මහනුවරින් කොළඹට ගිනි කෙළි භාණ්ඩ පැමිණ තිබෙන්නේ ඉතා අඩුවෙන් බවය. මේ  නිසා ගම්වලින් පැමිණ ඒවා තොග වශයෙන් ගෙන ගොස් අලෙවිකරන පිරිසත් බොහෝවිට මේ  වනවිට නැවත හිස් අතින් යන බවත් ඔහු කීය.
අවුරුදු කී සැණින් සිදාදියේ  ඇත්තන්ට වගේම ගංතුලානේ ඇත්තන්ටත් මතක් වෙන්නේ ඇඳුම් ය. අලුත් ඇඳුම් නැති  අලුත් අවුරුද්දක් නැති තරම් ය. පංති භේදයකින් තොරව අලුත් අවුරුද්දට කවුරු  කවුරුත් දත කන්නේ ඇඳුම් ගන්නට ය. දෙමාපියන් දූදරුවන් මේ හැමෝම තමන්ගේ  නෑදෑහිත මිත්‍රාදීන්ට අලුත් අවුරුදු තෑග්ග ලෙස දෙනු ලබන්නේ ඇඳුම් පැලඳුම්  ය. එම නිසාම අවුරුදු සමය ළංවත්ම ලංකාවේ රෙදිපිළි වෙළඳාම සරු සාර ලෙස සිදු  වෙයි. මේ උත්සව සමයේ අතට මුදලක්‌ රැගෙන පාරට බහින කොයි කවුරුත් වැඩිපුර  උනන්දු වන්නේ කන්නට බොන්නට දේවල් ගන්නටම නොව අඳින්නට රෙදි පෙරදි ටිකක්‌  අරගන්නටය.
රෙදිපිලි කියූ සැණින් කාටත් මතක් වන්නේ මහරගම පමුණුවය.  ලංකාවේ තොග හා සිල්ලර වශයෙන් රෙදිපිළි අලෙවිවන කේන්ද්‍රස්ථානය පමුණුව වන  නිසාම මෙකල පමුණුව යනු අතිශය කාර්ය බහුල නගරයකි. ඒ ගැන ද මදක් විපරම්  කරන්නට අප තීරණය කළෙමු.  
පමුණුවට යන මහරගම අවිස්සාවේල්ල  පාර අද්දර ළමා හා කාන්තා නිමි ඇඳුම් පදික වේදිකාවේ ලෑලිවල අතුරා අලෙවි  කරන්නෙ බහුතරයක් කාන්තාවන් ය. මේ අතරින් එක් කාන්තාවක් ෙදසට අප ෙග්  අවධානය යොමු වුණි. ඈ  නමින් කාන්ති වල්ගම. මීගොඩ ප්‍රදේශේ ඉඳන් හැමදාම උදේ පාන්දරින් තමන්ගේ  ව්‍යාපාරය ආරම්භ කරන ඈ හිතේ වෙර වීරියෙන් ජිවිතේ ගැට ගහන විත්තිය ඇගේ  කතාවෙන්ම වැටහුණි.
" මෙච්චර අව්වෙ ඉඳලා කෑගැහුවට අපිට මේ විකුණන  ඇඳුම්වලින් හම්බෙන්නෙ පුංචි ලාභයක් විතරයි. කෑල්ලකට රුපියල් 10-15 යි තමයි  තියාගන්නෙ. දවසෙ වියදම ඒකෙන් පිරිමහ ගන්න පුළුවන්. මේක සීසන් කාලේ නිසා  ටිකක් වැඩිපුර කට්ටිය ඇඳුම් ගන්න එනවා. ඒ වැඩිපුර සල්ලි ටිකත් යට කරලා  පහුවදාට අපි බලන්නේ වැඩියෙන් ඇඳුම් ටිකක් අරන් විකුණන්න තමයි. "  
අව්වට  කර වෙන දූවිල්ලට හුරු මේ මහපාරේ ජීවිතවලට සැබවින්ම අවුරුදු එන්නේ වැඩියෙන්  වෙළඳාම කරගත් දාටය. ඔවුන්ගේ දරු මල්ලන් අවුරුදු කන්නේ අම්මලා තාත්තලාගේ  අතේ මිටේ මුදල් ගැවසුණු දාටය.  
පමුණුව පාරේ මඳක් දුර යනවිටම  පදිකවේදිකාවේ එක් පසෙකින් ඇත්තේ තොරොම්බල් කඩ  කීපයකි. ඇඳුම් විසිතුරු කරන  උපාංග සියල්ලම පාහේ ඔවුන් සතු වේ. මෙදා අවුරුද්ද ගැන විපරම් කරන්නට ඉන් එක්  කඩයකට අප ගොඩවැදුණෙමු.  
"මෙදා අවුරුද්ද නම් හරිම පාඩුයි. බිස්නස්  හරිම අඩුයි.  අපිට බිස්නස් නැති වෙන්න හේතුව දැන් මිනිස්සු අතේ සල්ලි නැහැ.  අත්‍යාවශ්‍ය දේවල්වලට විතරයි එයාලා මුදල්‍ යොදවන්නෙ. කන්න බොන්න යන වියදම  වැඩියි. මිනිස්සුන්ට අඳින්න පළඳින්න සල්ලි නැහැ. "  
විසිතුරු  ආයිත්තම් කඩේ සිටිය පියසේන පතිරණ කියන්නෙ එහෙම කතාවක්. 1990 දශකයේ සිට  පමුනුවෙ තමන්ගෙ ව්‍යාපාරය කරන ඔහු පමුනුව ගැන හොඳ හැටි දන්න විත්තිය ඒ  කතාවෙන්ම වැටහිණ. පමුනුවෙ ආර්ථික උච්චාවචනය කාලාන්තරයක් තිස්සේ හුරුපුරුදු  ඔහු ලාභ පාඩු දරාගෙන සිටින්නේ තමා මෙන්ම පාරිභෝගිකයන් ද අසරණ බව දන්නා  නිසාවෙන් ය. ඒ නිසාම ඔවුන්ට අවුරුදු කියා වෙනසක් නැත.  
සීලවතී  මුණසිංහගේ ගම් පළාත හෝමාගම. ඇයව අපට හමුවන්නේ අලුත් අවුරුද්දට ඇඳුම්  පැළදුම් ගන්නටවිත් පමුණුවේ හරි හරියට රෙදිපිළි තෝරන අතරතුරය. සීලවතී එක්ක  මේ අලුත් අවුරුද්ද ගැන කතා කරන්න අප අමතක නොකළෙමු.  
" අවුරුද්දු  කියන්නේ ඉතින් අතේ සතේ නැති වෙන කාලයක්නේ. ඒත් හැමෝම ඉතින් කැමතියි කන්න  බොන්න නැතත් ලස්සනට අඳින්න. මම මේ මගේ ළමයින්ටයි නෑදෑයන්ටයි ඇඳුම් ගන්න  ආවා. හැබැයි බඩු නම් ලාභයි කියන්න බැහැ. ඉස්සර අපි රුපියල් 1000ක් අරන්  පමුණුවට ආවම ඇඳුම් කෑලි 10ක් විතර අරන් යනවා. ඒත් දැන් රුපියල් 1000න්  ඇඳුම් කෑලි දෙකක් විතරයි ගන්න පුළුවන් "  
සීලවතී කියා සිටින්නේ  එසේය. අවුරුද්දට ලක ලෑස්ති වන සීලවතී වැනි මධ්‍යම පාංතික කතුන් සියල්ලන්ටම  අවුරුද්ද කියන්නේ ඉහටත් උඩින් මුදල් වියදම් කරන කාලයකි. කන්න බොන්න නැතත්  ඔවුන් අවුරුද්දට ඇඳුම් පැළඳුම් ගෙන ලෑස්ති වෙති.  
සිංහල දෙමළ අලුත්  අවුරුද්ද කියන්නේ සංස්කෘතික උත්සවයක් බව සැබෑවකි. එනමුදු ඒ සංස්කෘතික  උත්සවයෙන් කීදෙනෙකු නම් තම ජීවිතය සරි කරන්නේ ද යන්න පැහැදිලිය. මගතොටේ  වෙළඳුන්ට අවුරුදු සරු වන්නේද ඔවුන්ගේ දරුවන් බඩකට පුරා කැවුම්, කිරිබත්  කන්නේ ද "සීසන් එක" සරු වුණොත් පමණි.  
දයාසේන ගුණසිංහයන් වරෙක මෙසේ  පැවසීය. "සූර්යයා මීන රාශියේ සිට මේස කීපයකට පමණක් පැමිණ ඇත". දයාසේන  ගුණසිංහයන් කියූ දේ සැබෑය. අතමිට සරු ඇත්තෝ අවුරුදු කති. නැත්තෝ දත නියවති.  කොළඹ කොටුවේ ද මහරගම පමුණුවේද අව් කූටකේ මේ දුඹුරු පාට මිනිසුන්ට ද  අවුරුදු එති, යති. නමුදු ඔවුහු සදා මහාපාරේ වෙළෙඳාම් කරති.

 

ඡායා [සිරිපාල හල්වල][නුවන් මහේෂ් ජයවික්‍රම][නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා

ජනප්‍රිය ලිපි