අශ්වයන්ට නායකයෙක් ඇති මිනිසුන්ට නායකයෙක් නැති දූපත

 ඡායාරූපය:

අශ්වයන්ට නායකයෙක් ඇති මිනිසුන්ට නායකයෙක් නැති දූපත

පැයක ගමනක්. නමුත්, කොතරම්ද කියා නිනව්වක් නැති උඩක සිට පහළට පැද්දෙමින් ආ යුතු ගමනක්. ඒ ධීවර බෝට්ටුවක් මගිනි. මෑතකින් කිහිප දෙනෙකු ඔක්කාරය කරන හඬත් එක්ක යාපනයේ සිට ක්‍රිකට් තරඟවලටත් විවිධ ගමනුත් යනෙන  මිනිසුනුත් 'ඩෙල්ෆ්ට්' බලන්නට යන දේශීය විදේශීය සංචාරකයිනුත් පිරී හිඳින බෝට්ටුවකි. ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය ලේකම්වරයාත් රාජකාරියට යන්නේ හැමෝම ගමන් ගන්නා මේ ධීවර බෝට්ටුවෙනි. ඒ ගැන මිනිසුන්ට ඇත්තේ රටේ ප්‍රධානියා මහජන ප්‍රවාහන සේවයක ගමන් රාජකාරියට යනවා වැනි හැඟීමකි. දවසකට තුන්වරක් යෙදෙන බෝට්ටු ගමන් වාර කෙරෙන් මේ සියලු ගමන් යෑම ඒම ප්‍රාදේශීය ලේකම්වරයාටත් අනිවාර්යය.

ඩෙල්ෆ්ට් යන්න පටන් ගනිද්දී තියෙන ආස්වාදය, බෝට්ටුවට ගොඩ වී පැයකට පසුව නම් කිසිසේත්මක නොදැනේ. මගී ප්‍රවාහනයට සුළු වශයෙන් සම්බන්ධ වුවද කිසිදා අමතක නොවන අත්දැකීමක් මගීන්ට ලබා දෙන්නට ඩෙල්ෆ්ට් යන මේ බෝට්ටු තුන සමත්ය.

දෙමළ ආරක් ගන්නා යාපනයේ දූපත් අතරේ ලන්දේසි නමක් භාවිත වන එකම දූපත වන්නේ ඩෙල්ෆ්ට්ය. ඩෙල්ෆ්ට් යනු ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ප්‍රාදේශීය සභා, පළාත් සභාවලට අයත් වන තවත් එක් ප්‍රාදේශීය සභාවකි. නමුත්, ලන්දේසි පාලනයේ තිබූ ආණ්ඩුකාරත්වයේ නටබුන් සමග ඩෙල්ෆ්ට් තවමත් එදා මෙන්ම පවතින්නේය. සැබවින්ම ඩෙල්ෆ්ට් තවත් එක් රටක් වාගේ ය. මහ මුහුද වට කොට ගත් ඩෙල්ෆ්ට් වැසියන් ෆ්ති මහා මාර්ග, සාප්පු හෝ බස් රථ යනාදී දේවල් නොමැත. බයිසිකලය ඔවුන්ගේ පොදු ප්‍රවාහන සේවය වන තරමටම දූපතේ එහා මෙහා යනෙන ත්‍රීවීලර් කිහිපයද ඒ පොදු ගණයටම අයත් වන්නේය.

නාවික හමුදාව දූපතේ ප්‍රධාන රැකවලුන් සිටින බව ඩෙල්ෆ්ට් වෙත යන ඕනෑම අයකුට පැහැදිලිව පෙනෙන්නට ඇති දෙයකි. 90 දශකයේදී ඩෙල්ෆ්ට්හි සේවය කළ ක්ෂේවියර් එස්. තනිනායගම් පියතුමාණන්ගේ ප්‍රතිමාවක් ඩෙල්ෆ්ට් වෙත ඇතුළු වන සීමාවේ මුලටම දකින්නට ලැබේ.

'ඩෙල්ෆ්ට්' දෙමළෙන් 'නෙඩුන්තිව්' යැයි හැඳින්වෙන්නේය. නමුත්, සිය මව් බාෂව දෙමළ කොට ගත් සියල්ලන් පවා එය හඳුන්වන්නේ 'ඩෙල්ෆ්ට්' යන ලන්දේසි නාමයෙනි. 1658දී එවකට යාපනය පාලනය කළ පෘතුගීසීන්ගෙන් ඩෙල්ෆ්ට් භූමිය ජය ගත් ලන්දේසීහු දේශපාලනය සමගින් සිය සංස්කෘතියේ මූල බීජය වන ආගම එහි ව්‍යාප්ත කළහ. එනම්, ඩෙල්ෆ්ට් වැසියන් තවමත් සිටින්නේ දෙවියන් වහන්සේගේ වාක්‍යයට අනුගතවය. කතෝලික දේවස්ථාන 08ක් මේ කුඩා දූපතේ පිහිටා ඇත. හින්දු භක්තිකයින් මෙහි සිටින්නේ අතලොස්සකටත් අඩුවෙනි. පෘතුගීසීන්ගේ ආක්‍රමණයට පෙර බෞද්ධයින් සිටි බවට අන ඉපැරණි සාක්ෂි වන බෞද්ධ විහාරස්ථානයක නටබුන් හැරෙන්නට ඉන් අනතුරුව බෞද්ධාගමිකයින් ඩෙල්ෆ්ති සිටි බවට කිසිදු සාක්ෂියක් නොමැත.  

ඩෙල්ෆ්ට් දූපත වසර දහස් ගණනකට පෙර මහ මුහුදට යට වී තිබූ බව දුටු සැණින් සහතික කළ හැකි සාක්ෂි දූපතේ වෙරළාසන්නයේ දැකිය හැකිය. අරාබිකරයේ වෙළෙන්දන් ආ ගිය ස්ථානයක් වන ඩෙල්ෆ්ට් දූපතේ කොණක පිහිටි 'බයෝබාබ්' ගස් කිහිපය ඔවුන් විසින් පැළ කර සෙවණට පමණක් නොව වාසස්ථාන සඳහාද භාවිත කළ බව ඩෙල්ෆ්ට් හි සංචාරක මග පෙන්වන්නෝ පවසති. බයෝබාබ් යනු නැගෙනහිර අප්‍රිකාවේ ශාකයකි. ඩෙල්ෆ්ට් දූපතට ආ ගිය අරාබිකරයේ වෙළෙන්දන් විසින් බයෝබාබ් සිටවනු ලැබ ඇත්තේ ලවණ මිශ්‍ර කාෂ්ඨක බිමේ සෙවණ වෙනුවෙනි. මහත කඳ ඇතුළත විශාල ඉඩකඩක් පිහිටි බයෝබාබ් එක් ශාකයකින් සැලකිය යුතු ප්‍රදේශයකට සෙවණ සැපයෙන්නේය. වර්තමානයේදී එම ශාකයෙන් වැඩක් ඇත්තේ ඉහළට නැග හෝ ගස් බෙණය ඇතුළේ හිඳ ඡායාරූප ගන්නා ඩෙල්ෆ්ට් වෙත එන සංචාරකයින්ටය. මුහුදු සුළඟේ ලුණු රස දැනෙන මානයේ බයෝබාබ් සෙවණේ වැදගත්කම අරාබි වෙළඳුන්ට කෙතරම් වැදගත් වූයේද යන්න අනුමාන කළ හැක්කේ ඩෙල්ෆ්ට් කොදෙව්වේම හිඳ එකී ශාකය සෙවණේ හෝ ගස් බෙනයට ඇතුළු වන්නකුටම පමණි.

'හිරිගල්.. හිරිගල්.. හිරිගල්..'

ඩෙල්ෆ්ට් වෙත යන කවියන්ට නම් දුටු පමණින් එසේ කියවෙනු නො අනුමානය. කැළුම් නවරත්න කවියා ඩෙල්ෆ්ට් වෙත ගිය සැණින් එසේ කවි මිමිනුවේය. වර්ග කිලෝ මීටර් 50ක පමණ භූමියක් පිරෙන්නට ඩෙල්ෆ්ට්හි සෑම අහුමුල්ලක්ම යා වී ඇත්තේ හිරිගලෙනි. හිරි ගල් තාප්ප, හිරි ගල් වැටි, හිරි ගල් කෝවිල්, හිරි ගල් වතු යනාදිය නිමවන්නට ගඩොල්, බ්ලොක් ගල් උවමනා වී නැත. සිමෙන්ති කර්මාන්තයට කිව නොහැකි තරමේ රුකුලක් විය හැකි හිරිගල් ඕනාතරම් එහි තිබෙන්නේ ය. බැලූ බැලූ අත තාප්ප සාදා ඇත්තේ හිරිගලෙනි. අශ්වයින් දිව යන එන මායිම් සාදා ඇත්තේද හිරිගලෙනි.

ඩෙල්ෆ්ට් වැසියන්ට ප්‍රධාන ජීවනෝපායක් හෝ ගොවිතැනක් කරගන්නට බිමක් නැත. රස්සා කරන්නට කර්මාන්තපුර නැත. යන හැමතැනකම රජයේ හෝ දේවස්ථානවලට අයත් තැනක් නැතිනම් නාවික හමුදාවට අනුබද්ධ කුඩා කටයුත්තක්, ත්‍රීවීල් එළවීම, කුඩාවට කරන ධීවර රස්සාව, තල් ගස් ඉරා පරාල සෑදීම, රා නිපදවීම වැනි සුළු වශයෙන් හුරු වූ රස්සාවල් ඔවුන්ට ඇත්තේය. රාජකාරීමය වැඩක් කෙරෙන තැනක් හැරෙන්නට ඩෙල්ෆ්ට් හි පිළිවෙළකට ඇති නිවාස දැකිය ඇත්තේ ඉතා අඩුවෙනි. කිරි කර්මාන්තයක ලකුණක්වත් එහි නැතත් අරාබිකරයෙන් ආ පුරුද්දට වාගේ බොහෝ දෙනෙක් ඩෙල්ෆ්ට් හි හරකුන් ඇති කරන්නෝය. ධීවර රස්සාව දූපතේ බොහෝ දෙනකුගේ වෘත්තියට වඩා ජීවිකාව වී තිබේ. විධිමත් පරිදි රක්ෂාවක් කරගැනීමේ අවස්ථාව ඩෙල්ෆ්ට් වැසියන්ට නැත. ඉන්දීය ධීවරයින් ලංකාවේ ඩෙල්ෆ්ට් මුහුදද අත්හැර නොමැති බව එහි ත්‍රීවීල් රස්සාවේ නිරත ජෙරොම්ස් පැවසීය. නමුත්, ඩෙල්ෆ්ට් වැසියන් යාපනයෙන් ද්‍රස්ය. ධීවරයින් එකිනෙකා සිය ගැටලු වෙනුවෙන් එක්කාසු වන්නේ ඉතා අඩුවෙනි.

ඩෙල්ෆ්ට් ධීවරයින් සියල්ලෝම මාදැල් ආශ්‍රයෙන් ධීවර කටයුතු කරන සාම්ප්‍රදායික ධීවරයෝ වෙති. මාදැල් පිළිබඳ අධ්‍යයන කරන ඕනෑම අයකුට 'ඩෙල්ෆ්ට්' හොඳ ස්ථානයක් වන්නේය.

1500කට ආසන්න පවුල් සංඛ්‍යාවක් සිටින ඩෙල්ෆ්ට්හි පාසල් තිබෙන්නේ 08කි. ඉන් උසස් පෙළ දක්වා විෂයන් ඉගැන්වෙන්නේ පාසල් තුනකය. පාසල් කෙරෙන් විධිමත් අධ්‍යාපනයක් අවශ්‍ය නැති බව බොහෝ දෙනකු සිතන හෙයින් වැඩිදුර ඉගෙනීමේ අවශ්‍යතාවෙන් තොරව දරුවන් මූලික ඉගෙනුම් කරන බව ඩෙල්ෆ්ට්හි සංචාරක මග පෙන්වන්නකු හා නිදහස් මාධ්‍යවේදියකු වන දර්ශන් නඩරාජා කීය.

දර්ශන් අමුතු තාලේ තරුණයෙකි. උසස් පෙළ සමත් ඔහු හොඳට ඇඳ පැළඳ ඉංග්‍රීසිද පැහැදිලිව කතා කරමින් සිය රාජකාරිය සිදු කරන්නේය. රජයේ ඉංග්‍රීසි ජාතික පුවත්පතක ප්‍රාදේශීය වාර්තාකරුවකු වශයෙන් කටයුතු කරනවාට අමතරව දර්ශන් ත්‍රීවීලරයේ සංචාරකයින් එහා මෙහා ගෙන යමින් සිය නිජබිමේ ඇති සෞන්දර්ය හා ඉතිහාසය පහදන්නට උත්සාහ දරන්නේ ය.

ඕනෑම පාලනයක් පවත්වාගෙන යාමට බලය අවැසි වන්නේය. බලය පවත්වා ගන්නට නීති අවැසි වන්නේය. එදා ලන්දේසි පාලයින් නීතිය පසිඳලූ නඩු ශාලාවේ අද නටබුන් පමණක් ඉතිරිය. ප්‍රධාන නඩු ශාලාවේ සිටි ආණ්ඩුකාරවරුන්, එහා මෙහා ගිය මෙහෙකරුවන්, පණිවිඩකරුවන්, ලන්දේසි රෝහලේ ප්‍රතිකාර ගත් ලන්දේසී ජාතිකයින් දෑස් ඉදිරියේ මවන්නට තරම් මේ නටබුන් ප්‍රමාණවත්ය. ලන්දේසි උසාවියේ දිරාපත් වන පදනම එහි ඇසූ නඩු ගැන අදටත් අපට වටහා දෙන්නේය.

ආණ්ඩුකාර රිජ්ක්ලොෆ් වැන් ගෝන්ස් විසින් එවකට 17වැනි සියවසේදී අත්‍යාවශ්‍ය ලන්දේසි නගරයක් බවට 'ඩෙල්ෆ්ට්' නම් කිරීමෙන් අනතුරුව මෙම ස්ථානයේ හිඳිමින් සිය ආණ්ඩුකාරත්වය පවත්වාගෙන යන්නට ඇත. ලන්දේසීන්ගේ පණිවිඩ දුරට යවන්නටත් තවත් තැනකින් ගෙන්වා ගන්නටත් කටයුතු කළ ලන්දේසි නඩු ශාලාව අසල පිහිටි පරවි කූඩුවත් තවත් ආකර්ෂණීය නශ්ටාවශේෂයකි.

ඩෙල්ෆ්ට් දූපතේ ළිං නොමැත. ඒ වෙනුවට ඩෙල්ෆ්ට් වැසියෝ බිමේ නොගැඹුරු වතුර වළවල් හාරා පානීය ජලය ලබා ගනිති. එවකට එම වළවල් කෙරෙන් ඔවුන් දිය ගත්තේ තල් අතුවලින් සාදා ගත් කෝප්පවලිනි.

ඉන්දියාවට කිලෝ මීටර් 41ක දුරකින් පිහිටි ඩෙල්ෆ්ට් දූපතට තිබෙන්නේ එක් රෝහලක් පමණි. සමස්ත දූපතටම විදුලිය ලබා දෙන ජනක යන්ත්‍ර තිබෙන්නේද එකකි. ඩීසල් කෙරෙන් එම ජනක යන්ත්‍රය ක්‍රියාත්මක වන්නේය. 1500ක් වූ පවුල් ගණනක ජීවිතය දිවෙන්නේ මේ ජනක යන්ත්‍රයත් රෝහලත් අතරේය. කෑම, බීම, රස්සා වැනි ප්‍රශ්න ඩෙල්ෆ්ට් වැසියන්ගේ දෛනික ගැටලු වන්නේය.

ලෝක ප්‍රසිද්ධ ඩෙල්ෆ්ට් කැලෑ අශ්වයින් බොහෝ තැන්වල රංචු ගැහී ඉඳීම ඩෙල්ෆ්ට් වැසියන්ට වැසියන්ට සාමාන්‍ය දෙයකි. ලන්දේසි සමයේදී භාවිතයට ගෙන ආ මෙම අශ්වයින්ගේ මුතුන් මිත්තන් ආණ්ඩුකාරත්වය අතහැර ලන්දේසි ස්වාමිවරුන් පිටව යෑමේදී ඩෙල්ෆ්ට් හි අතැර දමා ගොස් තිබිණි. ඉන් පසුවය රංචු වශයෙන් නිදහස් ජීවිතයකට හුරු වූ අශ්ව පරපුරක් ඩෙල්ෆ්ට් හි ව්‍යාප්ත වූයේ. ඩෙල්ෆ්ට් හි තවමත් රාජකාරී අශ්වයින් සිටින අතර මේ අශ්වයින්ගේ රංචුගැසීම එපමණටම රසවත් වන්නේය.

එක් අශ්ව රංචුවකට එක් නායක‍ෙයක් සිටින්නේය. තණකොළ වැඩියෙන් ගැවසෙන විශාල පිට්ටනිවල සැරිසරන අශ්වයෝ කාණ්ඩ ගැසී රස්තියාදු වෙති. හැම රංචුවකටම සාමාජිකයින් පහ හෝ හය ඉක්මවා සාමාජිකයින් සිටින අතර මේ සියල්ල දෙස නායකයා අවධානයෙන් සිටින්නේය. වෙනත් රංචුවක කවුරුන් හෝ සිය කාණ්ඩයට ළං වන්නේ නම් එතැනින් ඉවත්ව යාම අශ්ව කාණ්ඩවල ලක්ෂණය බව ඩෙල්ෆ්ට් සංචාරක මගපෙන්වන්නකු වන ඇන්තනී පැවසීය. මේ අශ්වයින් ඇතැමකුට අයිතිකරුවන් සිටින අතර ඔවුන්ට ලාඩං ගසා තිබේ. සත්ත්ව හිංසාව පිළිබඳ තතු ඩෙල්ෆ්ට් දූපතේ මිනිසුන්ට ආගන්තුක අත්දැකීමක් යැයි එයින් උගත හැකිය.

ලන්දේසීන් ඉතිරි කර ගිය අශ්වයින්, ගොඩනැගිලි නටබුන්, ආගම් හා දෙවියන් හැරෙන්නට ඩෙල්ෆ්ට් වැසියන් වටා හිඳින්නේ මහා සාගරය පමණි. දේශපාලඥයින් පේන මානයක නැත. යාපනයේ නාගරිකයින් කොළඹ එන්නා සේ ඩෙල්ෆ්ට් වැසියෝ බෝට්ටුවෙන් යාපනයට යන්නෝය. ජනගහනය අඩු වීම හෝ සාගරයෙන් වෙන් වූ දූපතක් වීම සංවර්ධනයෙන් ඔවුන් වියුක්ත කර තැබුවේද යන්න ඩෙල්ෆ්ට් වෙත යන ගවේෂකයකු තුළ මතු වන ගැටලුවකි.

හිරිගල් පොළොවේ මතු වූ තවත් එක් හිරිගලක් දේව හාස්කමකැයි හඳුන්වමින් ඒ වෙත භාර - හාර වීමට ඩෙල්ෆ්ට් වැසියෝ පුරුදුව සිටින්නෝය. ආදම්ගේ පාදයක් එහි තිබෙන බව පෙන්වන ඩෙල්ෆ්ට් සංචාරක මග පෙන්වන්නෝ අශ්වගාල් නටබුන් වෙමින් යද්දී ඒවා පෙන්වමින් සිය ජීවිකාව ප්‍රශ්නාර්ථයක් කරගෙන සිටිති.

ලන්දේසි ආණ්ඩුකාරයින් ගියාට පසුව ඩෙල්ෆ්ට් දූපත පාලකයින් කී දෙනෙකු පාලනය කළාදැයි අපි නොබලමු. නමුත්, වසර සිය ගණනක් ඩෙල්ෆ්ට් පාලනය ලාංකිකයින් යටතේ පවතින බව විශ්වාසය. වර්තාමනයේ ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභා පාලනය තිබෙන්නේ ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊපීඩීපීය වේ.

නමුත්, ඩෙල්ෆ්ට් පාලනය කරන්නේ 1640 පටන් 1796 දක්වා ඩෙල්ෆ්ට් දූපත පාලනය කරමින් හිඳ අතැර ගිය ලන්දේසීන් බව පමණක් තවමත් පෙනෙන්නට ඇත. ඒ ලන්දේසීන්ගෙන් අනතුරුව ජනාතාවට පාලකයකු සිටියේද යන්න පිළිබඳව සලකුණක් ඩෙල්ෆ්ට් හි දකින්නට නොමැති වීම හේතුවෙනි. බැලූ බැල්මට පෙනෙන ඩෙල්ෆ්ට් වැසියන්ගේ දුක්ඛිත වාතාවරණය හේතුවෙනි.

සටහන සහ ඡායා [ශිවන්ති ප්‍රනාන්දු]

මාතෘකා