වැඩිපුරම මැරුම්කන්නෙ අහිංසකයෝ

දෙවැනි ජාත්‍යන්තර  නියුකල් ග්ලෑන්ඩ් සමුළුව ඡායාරූපය:
.දෙවැනි ජාත්‍යන්තර නියුකල් ග්ලෑන්ඩ් සමුළුව

වැඩිපුරම මැරුම්කන්නෙ අහිංසකයෝ

ඔහු ශ්‍රී ලංකාවේ සිිටින පෙරළිකාරී මිනිසෙකි. විද්‍යාඥයෙකි; පර්යේෂකයෙකි; සර්පයන් හා මකුළුවන් යනාදී බොහෝ සතුන් පිළිබඳ ආචීර්ණ කල්පික මිථ්‍යා මත පුපුරුවා හළ බුද්ධිමතෙකි; උරගයන් සම්බන්ධයෙන් අපට සිටින ප්‍රාමාණික විශේෂඥයා ඔහුය. ශාස්ත්‍රිය ග්‍රන්ථ හා ලිපි 400කට වඩා ලියූ ලේඛකයෙකි; සුප්‍රසිද්ධ මැජික් ශිල්පියෙකි.

ෙම් සෑම බදාදාවකම දිගහැෙරන ඔහුෙග් ජීවිත කතාවයි.

මම උදේම වෙන වැඩක් කරන්න හිතාගෙන හිටියේ දරුවෝ. ඒත් දැන් ඉතින් ඔයා එන නිසා මම වැඩේට ලෑස්ති වෙන්නම්.”

ඔහුගේ ඇමතුමෙන් පසු මම තකහනියක් ගම්පොළ යෑම සඳහා සූදානම් වුණෙමි. රැස සංවත්සරය වෙනුවෙන් අපි සූදානම් කරන විශේෂ වැඩසටහනක් හේතුවෙන් කාලය ඉතිරිව තිබුණේ සීමිතවය. මේ වන විට මේ කතාබහ ඔහුගේ කාලසටහනෙහි එක් විශේෂ කාර්යයක් වී තිබේ. එනිසාම ලියුම්කාරිනියටද ඒ පිළිබඳ ඇත්තේ වගකීම්සහගත හැඟීමකි.

“සර්ප දෂ්ඨනය ගැන සහ විෂකුරු සර්පයන් ගැන ශ්‍රී ලංකාවේ අලුත් අවදිවීමක් ඇති වෙන්නේ 1983 ඔක්තෝබර් මාසයේදී. ඒ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සර්ප දෂ්ඨන විශේෂඥ කමිටුවක් පත් කිරීමත් එක්ක. වෛද්‍ය සභාවේ විශේෂඥ කමිටු රාශියක් තියෙනවා; පිළිකා, දියවැඩියා ආදී වශයෙන්. ඒ කාලේ මේක අලුත් එකක් වුණා. ඒකේ පළමුවැනි සභාපති වුණේ ඩෙනිස් ඇලෝසියස්. එයා තාම ජීවතුන් අතර ඉන්නවා. දැන් ඉන්නේ මහාචාර්ය සෑම් කුලරත්න සහ මහාචාර්ය කෝලිත සෙල්වහේවා. ආරම්භයේ ඉඳලම මම ඒ කමිටුවේ සාමාජිකයෙක්. අපි එදා ඉඳලා අද වෙනකම් සර්ප දෂ්ටනය සහ වෙදකම පිළිබඳ මාර්ගෝපදේශන සංග්‍රහයක් හැම රෝහලකටම යවනවා; මුද්‍රිත සහ ඊමේල් විදියට. 1983දි සිලෝන් මෙඩිකල් ජර්නල් කියලා සඟරාවක් ලංකාවේ වෛද්‍ය සභාවෙන් පළ කරනවා. ඒකේ 28 වැනි වෙළුමේ සම්පූර්ණයෙන්ම තිබුණේ සර්ප දෂ්ටනය හා වෙදකම ගැන විශේෂ විශේෂඥයන් 16ක් ලියපු ලිපි.”

ඔහු සර්ප දෂ්ටනය ගැන දිග කතාවකට මුල පුරයි. මම යන්තම් සාලයේ පුටුවක ඈඳි ගත්තා පමණය. මහන්සි නිවා ගැනීමට විවේකයක් නොදී රසම රස සීනි සම්බල් බනිස් හා තේ පෝච්චියක් ස්ටූලයක් උඩ තියෙද්දී ඔහු මට විස්තරයක් කියයි.

“තේ බීලා ඉමු නේද?”

ජෙනිෆර් මහත්මිය අසද්දී මට සිනා පහළ වූයේ ඉබේටමය. මගේ අවශ්‍යතාව ඈ තේරුම් ගෙන තිබේ. තේ බොන අතරතුර ඔහු විශේෂඥ කමිටු තුනක් පිළිබඳ මා සමඟ පැවසීය. පොළොං විශේෂඥ කමිටුව (Viper Specialist Group) ආරම්භ කර ඇත්තේ ලෝක සංරක්ෂණ සංගමයෙන් (IUCN) ය. එහි ලංකාව නියෝජනය කරන විශේෂඥයන් වන්නේ ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වා මහතා සහ මහාචාර්ය කුලරත්න මහතා පමණි.

“මේ කමිටුවේ පළමුවෙන්ම සාමාජිකත්වය ලැබුණේ මට. පොළඟුන් වෙනුවෙන් ගොඩක් වැඩ කරපු අයට තමයි සාමාජිකත්වය ලැබෙන්නේ. ලංකාවට ලෝකයේ අවධානයක් ලැබුණා ඒ නිසා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සර්ප දෂ්ටනය පිළිබඳ පළමු විශේෂඥ කමිටුව තිබුණේ 1980දි ජපානයේ. ඒකට ලංකාවෙන් ගියෙත් මම විතරයි. මගේ දේශන දෙකක් තිබුණා.

“මූදු සර්ප විශේෂඥ කමිටුවත් (Sea Snake Specialist Group) ඒ වගේම එකක් තමයි. මුළු ලෝකෙන්ම ඉන්නේ විශේෂඥයන් 20ක් වගේ. ලංකාවෙන් ඉන්නේ රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය කනිෂ්ක උකුවෙල සහ මම විතරයි. මේ විශේෂඥ කමිටුවේ හුඟක් පෙරළිකාර සොයාගැනීම් තියෙනවා. අපි මේ පර්යේෂණවලින් කලින් හොයා නොගත් දෙයක් හොයාගත්තා. වාලක්කඩියා කියන්නේ ඉතාම විෂ සතෙක්. මූදු සර්පයෙක් කාලා මැරෙනවනම් සියයට 90ක් විතර මැරෙන්නේ මේ සතාගේ දෂ්ටන නිසා. ධීවර රස්සාවේ යෙදිලා ඉද්දි තමයි වැඩිපුර මේක වෙන්නේ. මුලින්ම මේක හොයාගත්තේ මහාචාර්ය ඇලිස්ටර් රීඩ්. මැලේසියාවේ පදිංචි වෙලා ඉන්න අතරේ තමයි එයා මේවා හොයාගත්තේ.

“මේ සර්පයා ඉන්නේ ලංකාවේ ඉඳලා ඔස්ට්‍රේලියාවට යනකම් මුහුදු තීරයේ. ලංකාවෙ නම් පුත්තලමේ ඉඳලා හලාවත කිට්ටුවට යනකම් මුහුදු තීරයේ මෙයාලා හමුවෙනවා. ගොඩබිම කිට්ටුව හිටියට එයාලා ගොඩබිමට එන්නෙ නැහැ; ගොඩ ඇවිදින්න බැහැ. යටිපැත්තේ කොරළ අඩුවෙන් තියෙන්නේ. මේ මූදු සර්පයා දෂ්ට කළාට බෙහෙත් නැහැ.”

ඔහු පැවසුවේ මෙම සර්ප දෂ්ටනයට ඖෂධ ඇත්තේ ඔස්ට්‍රේලියාවේ පමණක් බවයි.

“ඔස්ට්‍රේලියාවේ හදන ප්‍රතිවිෂවලට විෂ ගේන්නේ මැලේසියාවේ ඉන්න වාලක්කඩියන්ගෙන්. ඒත් එයාලට වැරදුණු තැනක් තිබුණා. මායි කනිෂ්කයි ලංකාවේ ඉඳලා ඔස්ට්‍රේලියාවට යනකම් මේ සර්පයන්ගේ ජාන පරික්ෂාවක් කළා. මේ ජාන පරික්ෂණයෙන් පස්සේ අපිට අපූරු දෙයක් අහුවුණා. ඒ තමයි ලංකාවේ ඉඳන් මැලේසියාවට යනකම් ඉන්නේ එක සතෙක්; මැලේසියාවේ ඉඳන් ඔස්ට්‍රේලියාවට යනකම් ඉන්නේ එක සතෙක්. ඒත් හැමෝම හිතාගෙන හිටියේ එකම වර්ගයක් නිසා ඉන්නේ එකම සතෙක් කියලා. ප්‍රතිවිෂ හදන අය සර්ප විෂ ගෙන්නවගත්තේ මැලේසියාවෙන් විතරයි. එතකොට ප්‍රතිවිෂ හැදුණෙත් එක වර්ගෙකට විතරයි කියන එක එයාලා දැනගෙන හිටියේ නැහැ. මට විශේෂ ආරාධිත දේශනයක් කරන්න ආරාධනා කළා මෙල්බන්වල. මම ඒකෙදි කිවුවා; ප්‍රතිවිෂ තියෙන්නේ මැලේසියාවේ ජීවත්වෙන සර්පයගේ විෂට මිසක් ඔස්ට්‍රේලියාවේ විෂට නෙවෙයි කියලා. එයාලා පුදුම විදියට මේ සොයාගැනීම ගැන සතුටු වුණා. මේ පර්යේෂණය කළේ කේට් සැන්ඩර්ස් කියන විශේෂඥවරියක්, කණිෂ්ක සහ මම. විශේෂයෙන් කියන්න ඕන කනිෂ්ක තමයි මේකට මූලිකත්වය අරගෙන වැඩ කළේ.”

තවත් පෙරළිකාර විශේෂඥ කමිටුවක් හිටියා. එයාලට කිව්වේ නියුකල් ග්ලෑන්ඩ් ස්පෙෂලිස්ට් ග්රූප් (Nucal Gland Specialist Group) කියලා. මේ විශේෂඥ කමිටුව ලෝකයේම විශේෂඥයෝ විසි දෙනෙක් එකතුවෙලා හදලා තියෙන්නේ. මේකේ සර්ප විශේෂ 13ක් ගැන පර්යේෂණ කරනවා. පිට දිගේ විෂ ග්‍රන්ථි තියෙන මෙවැනි සර්පයෝ ලෝකෙටම ඉන්නේ 13යි. මේ විෂ ග්‍රන්ථි ඔළුවේ ඉඳලා වලිගය අගට යනකම් පිට කොන්දත් එක්ක ලස්සන මුතු ඇට වගේ තියෙනවා. ලංකාවෙත් මේ වගේ විෂ ග්‍රන්ථි තියෙන සර්ප විශේෂ දෙකක් ඉන්නවා. ඒ පළාබරියා සහ නිහලුවා. පළාබරියගේ විෂ හෘද වස්තුව ක්ෂණිකව නවත්වන්න තරම් ප්‍රබලයි. නියලුවගෙන් නම් සර්ප දෂ්ටනයක් වෙන්නේ හරිම අඩුවෙන්. එක හේතුවක් වෙන්නේ එයා වැඩිපුර වැසි වනාන්තරවල ජීවත්වන එක. ඒ වගේම එයාලා හදිසියේ තිගැස්සුණත් විකන්නේ නැහැ.”

මෙම සතුන්ගේ විෂ ග්‍රන්ථිවලට විෂ එකතුවෙන්නේ ගෙම්බන්ගෙන් බව ඇන්ස්ලම් මහතා පැවසුවේය. නියුකල් ග්ලෑන්ඩ් පළමු ජාත්‍යන්තර සමුළුවේ ජපානයේ පවත්වා ඇති අතර දෙවැනි ජාත්‍යන්තර සම්මේලනය පවත්වා ඇත්තේ 2015 පෙබරවාරි 14 සිට 17 දක්වා ලංකාවේ මීගමුවේය.

“‘ස්නේක් මිමික්‍රි’ (Snake mimcry) කියන්නේ මොකක්ද කියලා දන්නවද?”

“නැහැ ඩොක්ටර්...”

“මිමික්‍රි කියන්නේ හඳුනාගැනීමේදී වරදවා වටහා ගත හැකි සර්පයන් කියන අදහස. මේ සර්ප විශේෂ පෙනුමෙන් එක සමානයි. අපේ ලංකාවේ ඉන්න උග්‍ර විෂ සර්පයන්ට පෙනුමෙන් සමාන නිර්විෂ සර්පයන් ඉන්නවා. උන් වැඩිහරියක් ඉන්නේ ගෙවල් ළඟ. ඉතින් මිනිස්සු දැකපු ගමන් කරන්නේ එයාලව මරලා දාන එක.”

ඔහු එවැනි සර්ප විශේෂ කිහිපයක් පිළිබඳ පැවසුවේ ඡායාරූප පෙන්වමිනි. කෙතරම් සර්පයන් නොදැනුවත්කම නිසා අප මරා දමා ඇත්දැයි තිගැස්මක් මට මෙන්ම ඔබටද මේ ඡායාරූප දැකීමෙන් සිතට එනවා නිසැකය.

“මුදු කරවලා (Bungarus ceylonicus) සහ දාර රදනකයා (Lycodon carinatus) කියන දෙන්නම එක වගේ. එක වගේ කියන්නේ හැමදේම එක වගේ. ආහාර අනුභව කරන විදිය පවා සමානයි. දෙන්නම එළියට බහින්නේ රෑට.

“කරවලා කියන්නේ උග්‍ර විෂ සහිත සතෙක් කියලා අපි දන්නවනේ. තෙල් කරවලා (Common krait) සහ අළු රදනකයා (Lycodon aulicus) කියන්නෙත් මේ වගේ පැටලෙන වර්ග දෙකක්. ලංකාවේ හැම පැත්තෙම අළු රදනකයා හමුවෙනවා. තෙල් කරවලා වගේම තනි කළුපාට අළු රදනකයෝ ඉන්නවා. සාමාන්‍ය අයට අමාරුයි මෙයාලව හඳුනගන්න.”

මැරුණු සර්පයෙක් ඔළුවෙන් නොඅල්ලන්න යැයි ගමේගොඩේ මිනිසුන්ගේ කතාවෙහි ඇත්තේ පූර්ණ සත්‍යයකි. එය ඔහු පවසද්දී මට පුදුම සිතුණි.

“මැරුණු සර්පයෙක් ඔළුවෙන් අල්ලන්න එපා කියන කතාවනම් මිථ්‍යාවක් නෙවෙයි. මම ඒකට නිදසුන් කිහිපයක්ම දන්නවා. එක ගොවියෙක් නියරක් ළඟ හිටපු පොළඟෙක්ව මරලා තියෙනවා. පොරවෙන් ගැහුවම බෙල්ලෙන් ඔළුව වෙන් වුණා. ඉතින් ගොවියා එතනට ගිහින්. ඒ ඔළුව විතරක් එයාගේ කකුල හපලා තිබුණා. ‘ඩෙඩ් ස්නේක් ඉස් අ ගුඩ් ස්නේක්’ කියලා ඉංග්‍රීසි කියමනක් තියෙනවා. ඒත් මම ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද මැරුණු සර්පයෙක් වුණත් හදිසියෙන් විකන්න පුළුවන්.

“සර්පයෙක් ගෙදරක ඉඳලා මැරුවොත් ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ මරපු සර්පයා වලිගෙන් උස්සලා මේසයක් උඩ තියලා පිටපැත්තේ තියෙන කොරපොතු පේළිය බලන එක. ඒක පියවි ඇහෙන් පේන වෙනසක්. පිටපැත්තේ තියෙන කොරපොතු දෙපැත්තේ තියෙන කොරපොතුවලට වඩා දෙගුණයකට වැඩිය ලොකුයි, ෂඩස්‍රාකාරයි නම් උග්‍ර විෂ කරවලෙක්. එහෙම නැත්නම් අලු රදනකයෙක්.”

මෙලෙස පටලවා ගන්නා තවත් සර්පයන් දෙදෙනකු ලෙස තිත් පොළඟා (Bungarus ceylonicus) සහ පිඹුරා (Daboia russelii) සිටින බව ඔහු පැවසුවේ ඡායාරූප කිහිපයක් මට පෙන්වමිනි. මීට අවුරුදු 30කට පෙර ඇන්ස්ලම් මහතාගේ යහළුවන් දෙදෙනකු පිඹුරකු (Daboia russelii) යැයි සිතා විශාල පොළඟකු අල්ලා පොළොන් දෂ්ටනය කර මිය ගොස් තිබේ.

“වැලි පිඹුරා (Hypnale hypnale) සහ තිත් පොළඟා වරදවා වටහාගන්න සර්පයන් දෙදෙනෙක්. මට මතකයි කොළඹ තියන වැදගත්ම විද්‍යා ආයතනයක උග්‍ර විෂ තිත් පොළඟා කියලා බෝතලේකට දාලා තිබුණේ වැලි පිඹුරෙක්ව. මම තමයි කිව්වේ මේ ඉන්නේ තිත් පොළඟෙක් කියලා. තිත් පොළඟාගේ ඔලුවේ ඉඳලා වලිගයට යනකම් පිට උඩ කන්නාඩි පේළියක් වගේ තියෙනවා. ඒක තමයි පළමුවැනි ලක්ෂණය. ඔළුව ත්‍රිකෝණාකරයි. ඔළුව උඩ ඉංග්‍රීසි වී අකුරක් තියෙනවා. උඩ තියෙන ලප පේළියෙන් තමයි එයාලව හොයාගන්න පහසු.

“වැලි පොළඟා (Echis carinatus), රෑන් මාපිලා (Trimeresurus trigonocephalus) කියන දෙන්නවත් මේ විදියටම මිනිස්සු පටලවා ගන්නවා. වැලි පොළොන් දෂ්ටනය ගැන මායි තව කිහිපදෙනකුයි පර්යේෂණ කළා. මේකෙදි අහුවුණා වැලි පොළොන් දෂ්ටනයක් කියලා රෑන් මාපිලාව මරලා ගෙනත් තිබුණු අවස්ථා තිබුණු බව. නමුත් එයාලා රෝගියව තියාගෙන ඉඳලා තියෙන්නේ වැලි පොළඟෙක් කෑවා කියලා.”

“එතකොට එයාලට වැරදි ප්‍රතිකාර කරන්නේ නැද්ද රෝහල්වලින්?”

“නැහැ. ලේ වමනය, ලේ මුත්‍රා යෑම වගේම රෝගියාගේ ලේ කැටිගැහෙන්නේ නැත්නම් විතරයි ප්‍රතිකාර දෙන්නේ. සාමාන්‍යයෙන් විනාඩි 20ක් විතර තියෙද්දි ටියුබ් එකක ලේ කැටි ගැහෙනවා. පොළඟෙක් කෑවොත් ඒ කාපු මුඛය කුරුසයක් විදියට කපලා ලේ යවන්න කියලා ඉස්සර කිවුවා. ඒත් දැන් කියන්නේ එහෙම කරන්න එපා කියලා. වැලි පොළඟගේ කුරුසයක් වගේ ලකුණක් ඔලුවේ තියෙනවා. රෑන් මාපිලාගෙත් එහෙම ලකුණක් තියෙනවා. ඒක කුරුසයක් වගේ නෙවෙයි. ඒක ගොවියන්ට හොයාගන්න බෑ. මේ සත්තු ගුලිගැහිලා ඉන්නේ. දෙන්නම එකම විදියට කිපෙනවා; පැන පැන විකනවා. වැලි පොළඟට කටවචනෙට මම කියන්නේ ‘ගිනිපූස්’ කියලා. රෑන් මාපිලත් ඒ වගේම විකනවා. ඒත් විෂ නැහැ.”

ඔහු සතුන්ට දාන නම් හරි අපූරුය. අපි පූසන් සුරතල් කරද්දී ඔහු සුරතල් කරන්නේ වැලි පොළඟුන්ය. ඔහුගේ තවත් කතාබහක් එක්ක ලබන සතියේ හමුවෙමු.

සටහන [නදී මාණික්කගේ]

ඡායා [ඇන්ස්ලම් ද සිල්වා]

[පණ්ඩුකද සිල්වා]

News Order: 
4
මාතෘකා