බලධාරීන්ට නොපෙනුණු පොතානේගම

 ඡායාරූපය:

බලධාරීන්ට නොපෙනුණු පොතානේගම

මේ දිස්ත්‍රික් දෙමායිමයි. මා පය ගසා සිටින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු මායිමටය. තවත් කිලෝමීටරයක් පමණ ගිය තැන්හි රැස්වෙහෙර මහ කැලෙන් ඔබ්බට අනුරාධපුර දිස්ත්‍රික් මායිම මුණගැසේ. ලෝපතළ රැස්වෙහෙර රාජමහා විහාර බිමට යාව ඇති “පොතානේගම” ගම්මානය දිස්ත්‍රික් දෙමායිම සලකුණු කරයි. ගම මැදින් විහාරස්ථානය දක්වා ඇති මාර්ගය කාපට් අතුරා ඇතත් එය හරිහමන් ලෙස සිදුවී නැති බව පෙනෙයි. ඉකුත් වසරකට හමාරකට මත්තෙන් කොන්ත්‍රාත්කරු පාරේ වැඩ අතරමඟ අතහැර දමා ගිය බව සිදත් ජානක පැවසුවේය. ඔහු පොතානේගම ගමේ අහුමුලු හොඳින් දත් අයෙකි. කම්කටොලු සපිරි මේ ජීවන වටපිටාව වයස ඉක්මවන වියපත් බවක් ඔහුගේ මුහුණට ගෙන දී ඇත.

“ගම මැදින් රැස්වෙහෙර පන්සලට යනකම් තියෙන පාර කාපට් කෙරුවත් ඒකත් බාගෙට කරලා තියෙන්නේ. කොන්ත්‍රාත්කාරයෝ පාර දෙපැත්තේ ගෙවල්වලට එන්ඩ බෝක්කු දැම්මේ නෑ. පාර හරහා බෝක්කු දාපු සමහර තැන් එහෙම්මම අතඇරලා දාලා තියෙන්නේ.”

සිදත් කීවේය. 1988 වර්ෂයේදී උදාකළ ගම්මානයක් බවට පත්ව ඇති පොතානේගමේ ඉතිහාසය සියවස් ගණනාවක් ඈතට දිවයන්නක් බවට අනුමාන කළ හැකිය. කාපට් පාරේ සිට රුක්ගොමු අතරින් බැලූ විට වැව් කිහිපයක්ම දිස්වේ. කලකින් වට වැස්සේ තරම මේ වැව් කොටුවලින් සිතාගත හැකිය. කිරි හරක් දක්කන සිදත් ගමේ වැව් ගැන හොඳින්ම දනියි.

“ගමේ වැව් හතරක් පහක් තිබ්බට මේ වෙද්දි ඔක්කොම වැව් ගොඩවෙලා තියෙන්නේ. පහුගිය දවස්වල වැටිච්ච වැස්සට වැව් පිරිලා තියෙනවා. ඒත් නිකරුණේ වානෙන් එළියට වතුර ගලාගෙන යනවා. තව මාසයක් හමාරක් යනකොට ආයෙත් මේ වැව් ඔක්කොම අඩියටම හිඳෙනවා. වතුර අල්ලලා තියෙන්නේ යන්තම් අඩි දෙක තුනයි. ඒ තරම් මේවා ගොඩවෙලා තියෙන්නේ. සමහර වැව්වල වාන, සොරොව්ව එහෙමත් හොඳ නෑ. යන්තම් මහ කන්නෙට විතරයි මේ වැව්වලින් කුඹුරු කරන්ඩ වෙන්නේ. ඒකත් සමහර කාලෙට නෑ. ඒත් අපට කාගෙන්වත් පිහිටක් නෑ.”

සිදත් පැවසූ ලෙසම ගම තුළ පිහිටි වැව් කිහිපයක්ම රොන්මඩ පිරී, අහිතකර ජලජ ශාක බෝවී, ගොඩවී ඇති හෙයින් වැස්සට එකතුවෙන ජලය අපතේ ගලායන අයුරු දැකගත හැකිය. ඒ අපතේ යෑම වැළැක්වීමට මේ ගැමියන්ට හයියක් නැත. වැස්ස කෙරෙහි වූ විශ්වාසයෙන් කෙරෙන හේන් සහ කුඹුරු ගොවිතැන පොතානේගම ලොකුම ආදායම් මාර්ගයයි. වැව් පිටිවල, කැලෑ රොදවල දිගේලි කළ කිරි හරකෙක්, දෙන්නෙක් ගැමියන්ගේ අතට අමතර ආදායමක් උපයා දෙයි. පොතානේගම එක්තරා අන්දමක හුදෙකලා ගමකි. ගමට තනි රකිනුයේ ගම වටකර ඇති රූස්ස කැලයයි. ගැමියන් කියන හැටියට මේ රැස්වෙහෙර කැලේ නැත්තේ කොටි පමණකි.

අලි රංචු සමඟ ගෙනයන සටන දැන් ඔවුන්ගේ දෛනික දින චර්යාවේ අනිවාර්ය පංගුවක් වී ඇති සෙයකි. ගම් මායිමෙන් අලිවැටක් ඉදිකොට ඇතත් එහි අවිධිමත් බව සහ නිසි නඩත්තුවක් නැත. වගාබිම් අසානාසි කරන සද්දන්ත අලි නිවාස වෙත කඩා වදිති. ගම්මුන්ට ලැබෙන්නේ මරණ බිය පමණකි. රාත්‍රියේ අලි මුර කරන ගැමියන්ට දිවා කල රිළව්, වඳුරන්, ඉත්තෑවන්, මොනරු ආදීන්ගේ කරදරද අඩුවක් නැත. කුමාර සේමසිංහ අපට මේ ගැන පැහැදිලි කළේය.

රැස්වෙහෙර බුදු පිළිමය

“අලි කරදරේ තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. කරපු ගොවිතැන බේරගන්ඩ පැල් උඩට වෙලා රෑ එළිවෙනකම් නිදිමරනවා. ඒත් පොඩ්ඩ බැරිවෙනකොට ඔක්කොම ඉවරයි. අලි වැටක් ගහලා තිබ්බට ඒකේ හරිහමන් නඩත්තුවක් නෑ. අනිත් එක වැට ගහලා තියෙන ක්‍රමේ නිසා සිද්ධ වෙලා තියෙන්නේ අලි කැලේට කොටුවෙන එක නෙවෙයි; ගමට කොටුවෙන එක. අලි වැටක් ගහන්ඩ ඕනෑ ගම රැකෙන විදිහටනේ. ඒත් මෙතැන වෙලා තියෙන්නේ වෙන දෙයක්. ඒ මදිවට රිළව්, වඳුරෝ, මොනරු, වල් ඌරෝ, ඉත්තෑවෝ මහන්සි වෙලා කරන ගොවිතැන් විනාශ කරනවා. එක ප්‍රශ්නයක් නෙවෙයි ගම්වල ජීවත්වෙන අපිට තියෙන්නේ. ඒත් ඒවා ගැන හොයලා බලන්ඩ කෙනෙක් නැති එක තමයි ලොකුම කනගාටුව.”

මහවැලියෙන් කියා ගමට ලැබී ඇති එකම සම්පත සේ ගැමියන් පෙන්වන ප්‍රජාශාලා ගොඩනැඟිල්ලද නිසි නඩත්තුවක් නොවීමෙන් මුළුමනින්ම විනාශ වෙමින් තිබේ. එය 1980 වර්ෂයේ මුල්ගල තබා ඉදිකරන ලද්දකි. මෙහි වසර කිහිපයකට මත්තෙන් පවත්වාගෙන ගිය මධ්‍යම බෙහෙත් ශාලාව වැසී යෑම ගමට පමණක් නොව රැස්වෙහෙර පන්සලටද ඉමහත් පාඩුවකි.

මේ හේතුවෙන් කිලෝමීටර් විස්සකට වැඩි දුරක් ගෙවමින් ගල්නෑවට, මීගලෑවට හෝ ගල්ගමුවට ප්‍රතිකාර ලබාගැනීම සඳහා යෑමට ගැමියන්ට සිදුව ඇත. ගමේ පෙර පාසල් ගුරුවරියක වන සුනීතා මාරසිංහ මහත්මිය නිස්කාරණයේ සිදුවන විනාශය ගැන කරුණු කීවාය.

“ගමට සම්පතකට කියලා තිබුණු ප්‍රජාශාලාව නඩත්තුවක් නැති හින්දා නිකන්ම විනාශ වෙලා යනවා. කාලෙකට කලින් ඔතන බෙහෙත් දෙන ඩිස්පැන්සැරියක් දාලා තිබ්බා. ඒකත් වැහිලා දැන් අවුරුදු කිහිපයක් වුණා. පන්සල එහා පැත්තේ තියෙන නිසා එතැනට එන මිනිස්සුන්ට පවා ඩිස්පැන්සැරියෙන් ලොකු පිහිටක් වුණා. දැන් කිලෝමීටර් විස්ස, විසිපහ ගෙවාගෙන අපිට බෙහෙත් ගන්ඩ යන්ඩ වෙලා තියෙන්නේ. රෑකට එහෙම යන්ඩ බෑ අලි. මෙතැන ගොඩනැඟිලි කිහිපයක්ම තියෙනවා. උයාගෙන කන්ඩ කුස්සියක් පවා තියෙනවා. මේක අලුත්වැඩියා කරලා ගමට ප්‍රයෝජනවත් දේකට යොදවන්ඩ කියලා අපි ඉල්ලන්නේ. දරුවන්ට වෘත්තිය පුහුණුවක් දෙන තැනක් පටන් ගන්ඩ වුණත් මෙතැන හොඳයි.”

රැස්වෙහෙර පන්සලට වන්දනාකරුවන් එන කාලෙට නෙලුම් මල් ටිකක්, දිවුල්, අඹ, පේර, මාදං වැනි පලතුරක් විකුණා කීයක් හෝ උපයා ගැනීමේ අවස්ථාව ගැමියන්ට උදාවේ. එහෙත් එය එතරම් සරු වෙළෙඳාමක් නොවන්නේ පොහොය දිනයකට හැරුණු විට සති අන්තයේ හෝ එතරම් පිරිසක් මෙහි නොඑන බැවිණි. වෙසක්, පොසොන් සමයේ ජනයාගෙන් පිරීයන මේ බිම ඉන් බැහැර බොහෝ දින එකම පාළු පෙතකි. අලි මඟ අවුරන්නේය යන කටකතාද මෙහි පැමිණෙන පිරිස අඩුවීමට හේතුවී තිබේ. අලි සිටින බව සැබෑවක් මුත් දවසේ පැය විසිහතරම මඟ අවුරන සිරිතක් උන්ගේ නැත. බඩඉරිඟු වෙළෙඳාම මෙහි සමහර ගැමියකුට හාල්, තුනපහ ගැනීමට උදවු වේ. ගල්ගමුවේ සිට රැස්වෙහෙර පන්සල තෙක් දවසට දෙවතාවක් දෙගම්මැදි යා කරමින් ලංගම බසයක් මේ මඟ ගෙවයි. එයද සමහර දවසකට එක් ගමන් වාරයකට සීමාවෙයි.

ප්‍රජාශාලා ගොඩනැඟිල්ල

සරත් සේමසිංහ මේ දෝමනස්ස සපිරි බිමෙහි හොඳින් පදම් වූ අයෙකි. අලි ගම වටලන වෙලාවල් ගැන ඔහුට ඇති අත්දැකීම් විස්තර කළේය.

“උදේ හත අට වෙනකම් කොහොමත් මේ හැමතැනකම වගේ අලි ඉන්නවා. ඇත්තටම අලි වැට තියෙන එකෙන් ප්‍රයෝජනයක් තියෙනවද කියලා වෙලාවකට හිතෙනවා. උන්ට තරම් මොළයක් අපිට නෑ. මහා රූස්ස අතු කඩන් ඇවිල්ලා දාලා උන් වැටෙන් පනිනවා. හවස හය හත වෙනකොට කැලෙන් එළියට එන සත්තු එක්ක සමහරදාට එළිවෙනකම් යුද්ධේ තමයි; නින්දක් නෑ. දරුවෝ ඉස්කෝලේ යන දවස්වලට තියෙන බය කියලා වැඩක් නෑ. පායන කාලෙට නම් ඉන්ඩ තැනක් නෑ; උන් වැව්වලට එනවා වතුර බොන්ඩ. පොල් ගහක් නම් ලොකු කරගන්ඩම දෙන්නෑ.”

මෙහි සිට කිලෝමීටර් දහයක් පමණ ඔබ්බෙන් කලා වැවට අභිමුඛව අවුකන විහාරස්ථානය පිහිටා තිබේ. රැස්වෙහෙර අවධානයට ලක්වන්නේ අවුකන ප්‍රතිමාවට සමාන වන සේ මෙහි නිමවා ඇති බුද්ධ ප්‍රතිමාව හේතුවෙනි. අඩි 39කුත් අඟල් 04ක් උසට පිහිටන සේ නිමවා ඇති ප්‍රතිමාව අවුකන ප්‍රතිමාවට සාපේක්ෂව අඟල් 06ක් උස් වන සේ නිමවා ඇත.

වැහි කාලෙට යටපත් වී පායන කාලෙට මතුවෙන ගැමියන්ගේ දුක් අඳෝනාවක් ගැන සිදත් පැවසුවේය. හරක් දිගේලි කිරීමද පහුකරමින් ඔහු අප සමඟ ඒ තොරතුරු බෙදා ගත්තේය.

“පන්සල කිට්ටුව පාර දෙපැත්තේ තියෙන ගෙවල්වලට වතුර දෙන්ඩ පරණ ළිඳකින් පොඩි වතුර ව්‍යාපෘතියක් පටන් අරන් තියෙනවා. ඒකේ වතුර බොන්ඩ බෑ කිවුලයි. පායන කාලෙට ඒ ළිඳත් හිඳෙනවා. දැන් නෙවෙයි ඒ කාලෙටයි මෙහේ එන්ඩ ඕනෑ. දැන් දැදුරු ඔය ව්‍යාපෘතියෙන් ගම්වලට පානීය ජලය දෙන්න යනවා කියලා කියනවා. අපිටත් එහෙම සහනයක් වෙනවා නම් ලොකු දෙයක්.”

ඉඩෝරයේදී නෑමට, සනීපාරක්ෂක කටයුතු සහ අනෙකුත් ඉවුම් පිහුම් අවශ්‍යතා සඳහා ජලය සොයා සැතපුම් කිහිපයක් දුර යන්නට සිදත්ලාට සිදුවේ. සැතපුම් දහයක් පමණ එපිටින් පිහිටි ඉහළ කත්නෝරුව මහ වැව ඒ කාලයේදී ඔවුන්ට පිහිට වේ.

ගම මැද අතුරු පාරවල්වල තත්ත්වයද අනෙකුත් ගැටලුවලට සමානය. සමහර පාරක බොර වතුර පිරුණු වළවල්වල ගැඹුර ගැන සිදත් මට කරුණු කියයි. පවුල් 180ක හයසිය පනහකට වැඩි පිරිසක් මෙම දුෂ්කරතා සමඟ පොතානේගමට වී ජීවන හුස්ම අල්ලයි. ඔවුන්ගේ සැබෑ ගැටලු පිළිබඳ ගමට එන රාජ්‍ය නිලධාරීන් හෝ ඉච්ඡා බසින් ගැමියන් සනසන සමහර ජනතා නියෝජිතයන්ට තවමත් හැකිවී නැති බව නම් ඉඳුරාම පැවසිය හැකිය.

තඹුත්තේගම විශේෂ [ඩබ්ලිව්. ප්‍රදීප්]

News Order: 
6
මාතෘකා