මහර බන්ධනාගාරයේ පැළ සිටුවීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි

 ඡායාරූපය:

මහර බන්ධනාගාරයේ පැළ සිටුවීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි

මහර බන්ධනාගාර භූමිය තුළ පැළ 1000ක් සිටුවීමේ ව්‍යාපෘතියක් පසුගියදා (10) ආරම්භ කෙරුණු අතර අවුරුදු තුනක් මෙම පැළ රැකබලා ගැනීම සඳහා බන්ධනාගාර නේවාසික රැඳවියන්ට බාරදීම සිදුකෙරිණ.

ටයර් හවුස් ආයතනය විසින් මෙම ව්‍යාපෘතියට ප්‍රධාන අනුග්‍රහය ලබාදුන් අතර මනුසත් දෙරණ ව්‍යාපෘතිය යටතේ මෙම පැළ පිළිබඳ සොයා බැලීම මාස තුනකට වරක් සිදුකිරීමට නියමිතය.

ටයර් හවුස් සමූහ ව්‍යාපාරයේ සභාපති ලෙස්ලි ෆොන්සේකා සහ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් ෆොන්ෙස්කා යන මහත්වරු විසින් ආරාධිත අමුත්තන් වන මහාචාර්ය සුනිල් ආරියරත්න, බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් සේවා හා බුද්ධි ආරක්ෂණ) එස්. එම්. ටී. එන්. උපුල්දෙනිය, මහර බන්ධනාගාර අධිකාරි ජේ. සී. වීරසිංහ යන මහත්වරුන්ට පැළ ලබාදීම එහිදී සිදුවිණි.

ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් මහර බන්ධනාගාර අධිකාරි ජේ.සී. වීරසිංහ මහතා මෙසේ පැවසීය.

"මහර බන්ධනාගාර භූමියේ විශාලත්වය අක්කර 52ක්. මෙහි 2000කට වැඩි පිරිසකගෙන් පිටවන කාබන්ඩයොක්සයිඩ් සඳහා ඊට සමානව මිහිකතට යම් මට්ටමකටවත් අපිට ඔක්සිජන් නිපදවීමට දායකත්වය ලබාදීමට මෙමඟින් අවස්ථාවක් උදාවෙනවා. අපි මේ පැළ 1000 බන්ධනාගාර රැඳවියන්ට බාරදීලා අවම වශයෙන් අවුරුදු තුනක්වත් ඔවුන් යටතේ රැකබලා ගැනීම සිදුකරනවා. එමඟින් අපි ඔවුන්ව ගසකට ආදරේ කරන්නේ කොහොමද? ඒවා රැකබලාගන්ෙන් කොහොමද? කියන දේ වගේම ඉන් විනයත් පුරුදු පුහුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔවුන් මෙයින් පිටව යන දවසක ගහටකොළට ආදරය කරන පිරිසක් බවට පත්වෙනවා දැකීම අපේ අරමුණයි."

[ගයාන් සංජය]

ඡායාරූප බන්ධනාගාර නියාමක [ගයාන් ගුණතිලක]

News Order: 
3
මාතෘකා