‘හතේ අපේ පොත’ සහ ලිංගික අධ්‍යාපනය

 ඡායාරූපය:

‘හතේ අපේ පොත’ සහ ලිංගික අධ්‍යාපනය

නව යොවුන් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ පියවරක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් හඳුන්වා දෙන ලද පොත් බෙදා හැරීම නැවැත්වීමේ තීන්දුව ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. ඇතැම් ආගමික පාර්ශ්වවලට ලිංගික අධ්‍යාපනය වහකදුරු වී ඇති බව පෙනිණ. එහෙත් සෞඛ්‍ය අධ්‍යයන අංශ, ප්‍රබුද්ධ යතිවරුන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් මෙය සාධනීය කටයුත්තක් ලෙස කරුණු දැක්වූහ. මීට කලකට පෙර ලිංගික අධ්‍යාපනයක් ලබාදීමේ යෝජනාව පළාත් සභාවලින් පරාජයට පත් කරනු ලැබීය. එමෙන්ම සෞඛ්‍ය පෙළපොත්වල ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ ඇති පාඩම් මඟහරිමින් ඇතැම් ගුරුවරුන් ඉගෙනුම් ක්‍රියාවලිය දියත් කරන බවටද චෝදනා පවතියි. ලිංගිකත්වය පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති නිසා ඇති වන විවිධ ගැටලු සමාජගත ප්‍රශ්න බවට පත්ව තිබෙන රටක මිථ්‍යාව මත යැපෙන ගොඩවෙද්දුන්ට ඉහළ සමාජ පිළිගැනීමක්‍ද ලැබී තිබේ. ළමා අපයෝජනය සම්බන්ධයෙන් චෝදනා ඇති ඇතැම් පාර්ශ්ව ලිංගික අධ්‍යාපනයට එරෙහිව අවි එසවීම පසුබිමෙහි මනෝවිද්‍යාත්මක පදනමක් ඇත. අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි බුද්ධිමතුන් ලිංගික අධ්‍යාපනයක අවශ්‍යතාව අවධාරණය කර ඇත්තේ දිගු කලක පටන්ය. ප්‍රමාද වී හෝ ඒ පිළිබඳ පොතක් සම්පාදනය වීම සාධනීය තත්ත්වයකි. මෙහිදී වැදගත් වන්නේ එයට මුල් වූයේ කවුද යන්න නොව, එහි ඇති අදාළත්වයයි. යොවුන් විද්‍යාර්ථියකු අතින් ලියැවෙන මෙම ලිපිය ඒ පිළිබඳ කතිකාවතෙහිම දිගුවකි.

ඔබත් සමාජ මාධ්‍ය භාවිත කරන කෙනෙක්ද? එහෙනම් 'හතේ අපේ පොත' කියන නම ඔබට හුරුපුරුදු ඇති. මෑතකදී සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කතා වුණ දෙයක් තමයි 'හතේ අපේ පොත'. පාසල්වල කුඩා ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබාදෙන්න ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ම නිකුත් කරපු ඒ පොත සමාජය සැලකුවේ කුණුහරුප පත්තරයක් ගානට. Sex කියන්නේ ලංකාවට ටිකක් දුරින් තියෙන වචනයක්.

ඒ වචනය සම්බන්ධ වුණ ඕනෑම දෙයක් කපාහරින්න ඇප කැප වී ඉන්න ලාංකේය සමාජය 'හතේ අපේ පොතත්' ප්‍රතික්ෂේප කළේ කිසිවක් ගැන හිතන්නේ නැතුවමයි. සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්, ආගමික පූජකවරුන්, සමහර විට වෛද්‍යවරුන් පවා බොහෝම දැඩි විදිහට ඒ පොත ප්‍රතික්ෂේප කළා. ඒ ප්‍රතික්ෂේප කිරීමේ රැල්ලේ ප්‍රතිඵලය වුණේ ඒ පොත පාසල්වලින් තහනම් කිරීම.

මොකක්ද මේ 'හතේ අපේ පොත' කියන්නේ? ඒ පොත පටන් ගන්නේ මෙහෙම කොටසකින්.

" නව යොවුන් වියට ආපු ගැහැනු, පිරිමි හැමෝගේම වර්ධනය වේගයෙන් සිදු වෙන්න පටන් ගන්නවා. ගැහැනු ළමයින්ගේ මේ වෙනස්කම් ටිකක් ඉක්මනින් පටන් අරන් කලින් ඉවර වෙනවා.

හැබැයි පිරිමි ළමයින්ගේ ටිකක් පහු වෙලා තමයි පටන් ගන්නේ. ඔයාලගේ උස, බර වැඩි වෙන්න හේතු වෙන්නේ මාංසපේෂි සහ අස්ථිවල ප්‍රමාණය විශාල වෙන එකයි. ගැහැනු ළමයින්ගේ සම යට තෙල් තට්ටුවක් තැන්පත් වෙන නිසා සම සුමුදු වෙලා ශරීරය ලස්සන වෙනවා. "

- ‘හතේ අපේ පොත’ (පිටුව - 04) -

ලිංගිකත්වය එහෙම නැත්නම් නව යොවුන් විය කියන්නේ තවදුරටත් හංගමින්, කුතුහලයක් නිර්මාණය කළ යුත්තක් නෙවෙයි. 7 වසර කියන්නේ ළමයකුගේ ශරීරය අලුත් වෙනසකට හැඩගැහෙන කාලයක්. ඒවගේම 7 වසර කියන්නේ අලුත් වෙනස ගැන දැනුම මදිකම නිසා බොහෝම හිරිහැරයට පත්වෙන වයසක්. ළමා අපචාර, අපයෝජන, මත්ද්‍රව්‍ය වගේ දේවල්වලට යොමු වීම පටන්ගන්න කාලයක් විදිහටත් 7 වසර හඳුන්වන්න පුළුවන්. ‘හතේ අපේ පොතත්’ නිර්මාණය කර තිබෙන්නේ එහෙම දේවල් පිළිබඳව ළමුන් දැනුවත් කිරීමේ අරමුණක් ඇතුව. විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, අධ්‍යාපන බලධාරීන්, මානසික වෛද්‍යවරුන් වගේ උගත් පිරිසක් එකතු වෙලා නිර්මාණය කරපු මේ පොතට මූලිකත්වය දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ම තමයි. ඒත් එක් එක් බලපෑම් මැද අන්තිමේදී සිද්ධ වුණේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින්ම ඒ පොත තහනම් කිරීම.

Sex කියන වචන සම්බන්ධ හැමදේම නවත්වන්න දතකන ලංකාවේ සමාජය Sexual Harassment කියන දේ නවත්වන්න ඒ උත්සාහයෙන් සියයට එකක්වත් ගන්නේ නැති වීම කොයිතරම් නම් විහිළුවක්ද?

ශ්‍රී ලංකාවේ පොලිස් කාර්යසාධන වාර්තාවලට අනුව 2018 අවුරුද්දෙ ස්ත්‍රී දූෂණ යටතේ පමණක් ළමා ලිංගික හිංසන පැමිණිලි 3344ක් වාර්තා වෙනවා. බරපතල ලිංගික අපයෝජනය හා කාමුක සංසර්ගය සඳහා ස්ත්‍රී සැපයීම යටතේ පැමිණිලි 696ක් වාර්තා වෙනවා. අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම සහ තවත් අයට වෙ‍ෙළඳාම යටතේ පැමිණිලි 32ක් වාර්තා වෙනවා. ඊට අමතරව ළමුන්ට එරෙහි ස්ත්‍රී දූෂණ අපරාධ 1518ක් වාර්තා වෙනවා. එයින් වයස 16ට අඩු ළමයාගේ කැමැත්ත ඇතිව සිදු වූ දූෂණ සිද්ධීන් ගණන 1199ක්. එම වයසේ ළමයාගේ කැමැත්ත නොමැතිව වූ සිද්ධීන් ගණන 248ක්. අවුරුදු 16ත් 18ත් අතර ස්ත්‍රී දූෂණ ගණන 71ක්.

2018 අවුරුද්දේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ලැබුණ පැමිණිලිත් බලමු. ළමා ලිංගික හිරිහැර හෙවත් Sexual Harassment යටතේ ඊට පැමිණිලි 555ක් වාර්තා වෙනවා. ළමුන්ට සිදු වූ බරපතල ලිංගික අපයෝජන හෙවත් Grave Sexual Abuse පිළිබඳ පැමිණිලි 375ක් වාර්තා වෙනවා. ළමා ලිංගික දූෂණය හෙවත් Rape යටතේ පැමිණිලි 311ක් වාර්තා වෙනවා.

පොලිස් කාර්යසාධන වාර්තාවල ගැහැනු දරුවන්ට පමණක් සිදු වන ලිංගික දූෂණ 1518ක් වාර්තා වෙනවා.

ඉහත වාක්‍යයේ සඳහන් වාර්තාවට ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ හෙවත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අවුරුදු 16 හෝ ඊට අඩු ගැහැනු දරුවන් අපයෝජනයට ලක් කිරීම පිළිබඳ පැමිණිලි 1447ක් ඇතුළත් වෙනවා. වාර්තා වූ අපරාධ මේ තරම් නම් වාර්තා නොවූ අපරාධ කොයිතරම් නම් ඇතිද?

මේ කී සියලු කාරණා සඳහන් කළේ එක්තරා නිගමනයකට එන්නයි. අපට මේ හැම දේටම හේතූන් එක ගොන්නකට ගන්න පුළුවන් නම් ඒ හැමදේටම පොදු හේතුව ළමයින් සතුව අපචාර, අපයෝජන, ලිංගික ආදී කරුණු අරබයා සාමාන්‍ය දැනීමක්වත් නැති වීමයි.

ඉපදුණු දවසේ ඉඳන්ම අප සමාජය විසින් පුද්ගලයින් කෑලිවලට බෙදනවා. ඒ බෙදීම් පටන් ගන්නේ අපි 1 වසරට ආ ගමන්මයි. අලුතෙන් ඉස්කෝලෙට ළමයින් ඇතුළත් කරගත් ගමන් ගුරුතුමියන් කරන්නේ කෙල්ලෝ - කොල්ලෝ විදිහට ළමයින් බෙදන එක. සමහර විට ඒ පුංචි එවුන් එක ළඟ හිටියොත් ලිංගික අපරාධයක් වෙයි කියලා ගුරුවරියන් හිතනවා ඇති. කොහොම හරි මේ නිසා ළමයින් තමන්ගේ විරුද්ධ ලිංගිකයාව හඳුනගන්නේ එක ළඟ වාඩි වෙන්නවත් හොඳ නැති අමුතු ජීවියෙක් විදිහට. ගැහැනු - පිරිමි ගැන කුතුහලය හිත ඇතුළේ එකතු වෙන එක පටන් ගන්නේ ඔතනින්. එතනින් එහා ගෑනු ළමයකුට පිරිමි ළමයෙකු කියන්නේත්, පිරිමි ළමයෙකුට ගෑනු ළමයෙකු කියන්නේත් මැජික් එකක්. බාහිර ලක්ෂණ වගේම අභ්‍යන්තරයෙන් වෙන ඔසප් වීම, ස්වයංවින්දනය, යොවුන් වියට පත්වීම වගේ උනුන් අතර වෙන සාමාන්‍ය දේවල් වුණත් මැජික් එකක් විදිහටයි ඒ ළමයින් අතර සැරිසරන්නේ. පොඩ්ඩක් සොයා බැලුවොත් ළමා අපචාර කියන දේට ඕන පසුබිම හදලා දෙන්නෙත් 1 වසරේ ගුරුතුමියම තමයි.

ළමයා ටික ටික ලොකු වෙද්දී, 1, 2 වසරවල ගුරුතුමියගෙන් වෙන් වෙලා සමාජයට එද්දී ඔය බෙදන වැඩේ මහා පරිමාණයෙන් කරන්න උදවු කරන්න අලුත් කෙනෙක් ළමයින්ට හම්බවෙනවා. පිරිමි ඉස්කෝල, ගෑනු ඉස්කෝල කියන ඉස්කෝල වර්ග දෙක කරන්නෙත් එක වසරේ ගුරුතුමිය කරපු දේම තමයි. ඉතිං අර මැජික් සිතිවිල්ලේ අවුරුදු 13ක් ඉගෙනගන්න ළමයෙකු සමාජයට එන්නෙත් ඒ සිතිවිල්ල ඔළුවේ හිරකරගෙනමයි.

‘හතේ අපේ පොත’ නිර්මාණය වුණේ ඔය කියන අනතුර නවත්වාගැනීමේ අරමුණින් කියලා මේ ලිපියේ කලිනුත් සඳහන් වුණා. ඒත් අවාසනාවට ආචීර්ණකල්පිත බලධාරීන් නිසා වුණේ ලංකාවේ ළමයින්ට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීම නැවතුණු එක.

විධිමත් ලිංගික අධ්‍යාපනය කියන දේ කොයි විදිහට නැවැත්තුවත් අවිධිමත් ලිංගික අධ්‍යාපනය තවමත් ක්‍රියාත්මක වෙනවා. විධිමත් ක්‍රමය තහනම් කිරීමේ භයානකම ප්‍රතිඵලය තමයි ඒ. විවිධ අසභ්‍ය ලිංගික වෙබ් අඩවි, අසභ්‍ය පොත්පත්, නුසුදුසු මිනිස්සු වගේ දේවල්වලින් ළමයින් ඒ අවිධිමත් අධ්‍යාපනය ලබාගන්නවා. ඒත් ඒ ලැබෙන අධ්‍යාපනයෙන් එළියට එන්නේ හොඳ පුද්ගලයෙකු නම් නෙවෙයි. ඒ, ලිංගික පීඩනයක් පිට කරන්න බලාගෙන ඉන්න කෙනෙක්.

ලිංගික අධ්‍යාපනය කියන්නේ කුණුහරුපයක් කියලා හිතන රටක අපචාර, අපයෝජන, ඔසප් වීම්, ගැබිනි වීම්වලදී වෙන අපහසුතා ඇති වෙන්නේ ඇයි? මේ ප්‍රශ්නයට එකම උත්තරය 'විධිමත් ලිංගික අධ්‍යාපනය'. ඒත් ඒකට ගත්තු පළවෙනි පියවර වුණු 'හතේ අපේ පොතත්' තහනම් කරනවා කියන්නේ අපේ නරක වාර්තාවල අංක පහළ යනවා දකින්න කවදාවත් අපට වාසනාව නැහැ කියන එකයි.

[තමල් මංජිත]

News Order: 
1
මාතෘකා