2020ට අලුත් කලිසම් විලාසිතා

 ඡායාරූපය:

2020ට අලුත් කලිසම් විලාසිතා

'රැස' ලියන්ගේ වේදිකාව 'ලිය' තුළින් අප පසුගිය කලාපයෙන් ඉදිරිපත් කරනු ලැබුවේ 2020 නව වසරට ගැළපෙන නවතම වර්ණ ප්‍රවණතාවන් පිළිබඳවයි. යුවතියන්ගේ සහ කාන්තාවන්ගේ සුන්දරත්වය වැඩි දියුණු කිරීමට ගවුම් සහ සාරි විලාසිතාවන්ගෙන් ලැබෙන්නේ විශාල පිටිවහලකි. නමුත් යුවතියන්ගේ හුරුබුහුටි පෙනුම වඩාත් ඔප්නැංවීමට උපකාරී වන විලාසිතා අතර කලිසම් සුවිශේෂී වේ. එම නිසා යුවතියන්ට ගැළපෙන සුන්දර අලුත්ම කලිසම් විලාසිතා කිහිපයක් මෙවර ඉදිරිපත් කරන්නෙමු.

ඒවායේ හැඩය කුමක් වුවත් අලංකාර බ්ලවුසයක් හෝ ටී ෂර්ට් එකක් සමඟ ගළපා ගත් විට නවීන පෙනුමක් මෙන්ම වඩා සුවපහසුවක්ද ඔබට ගෙන එනු ඇත.

නවීන පෙනුමින් යුතු ට්‍රැක් කලිසම් (modern track pants)

ට්‍රැක් කලිසම් සම්පුර්ණ වශයෙන්ම ක්‍රීඩා සඳහා භාවිත කරන ආකාරයේ ඒවා නොවිය යුතුය. ක්‍රීඩා තරගයකට හෝ ව්‍යායාම මධ්‍යස්ථානයට යෑමට අඳින කලිසම් සාමාන්‍ය ගමනකට ඇදීම සුදුසු නොවේ. මෙහිදී අප අදහස් කරන්නේ ක්‍රීඩා සඳහා භාවිත කරනු ලබන ඇඳුම්වල ඇති විස්තර රැගත් කලිසම් වේ. උදාහරණයක් වශයෙන් කලිසමේ පැති මූට්ටුව ඔස්සේ පහළට දිවෙන රේඛා හෝ ටේප් (taping) සහිත කලිසම්, ලුමිනස් හෝ නියෝන් වර්ණවලින් අලංකාර කරන ලද වාටිය සහිත කලිසම් හැදින්විය හැකිය. මේ ආකාරයේ ට්‍රැක් කලිසම් සමඟ තනි පැහැති මදක් විශාල සාමාන්‍ය ටී ෂර්ට් ගළපා ගත හැකිය.

හයිවේස්ට් ඩෙනිම් විලාසිතාව (high waist denim)

මෑත කාලයේ අතිශයින් ජනප්‍රියත්වයට පත්වූ ඩෙනිම් විලාසිතාවක් ලෙස මෙය හැඳින්විය හැකිය. යුවතියකගේ සිරුරෙහි හැඩය මනා ලෙස ඉස්මතුකර පෙන්වීමට සමත්කමක් දක්වන මෙම විලාසිතාව බ්ලවුසයේ ස්වභාවය අනුව විවිධ අවස්ථාවන් සඳහා පහසුවෙන් ගළපා ගත හැකියි. බ්ලවුසය කලිසමට යට කර ඇඳීමෙන් වඩා වෘත්තීයමය පෙනුමකුත් කෙටි බ්ලවුසයක් හෙවත් crop top එකක් සමඟ ඇඳීමෙන් සැහැල්ලු පෙනුමකුත් ලබාගත හැකියි.

Ripped jeans විලාසිතාව

ඔබ ඩෙනිම් කලිසම් ඇදීමට ප්‍රිය කරන යුවතියක් නම් මේ ආකාරයේ ඩෙනිම් කලිසමක්ද ඔබේ විලාසිතා එකතුවට කදිමයි. සාමාන්‍ය ගමනේ සිට ප්‍රියසාදයක් දක්වාම විවිධ විලාසිතාවන්ට අනුකූලව මෙම කලිසම් හසුරුවා ගත හැකිය. සාමාන්‍ය ගමනක් යෑමේදී සැහැල්ලු කපු, ලිනන් වැනි බ්ලවුසයක් සහ සාමාන්‍ය ෆ්ලිප් ප්ලොප් (flip plop) සෙරෙප්පු යුගලයක් සමඟ මෙය ඇඳීමට හැකියි. එසේත් නොමැතිව ප්‍රිය සාදයකට සහභාගි වන්නේ නම්, chiffon, silk වැනි බ්ලවුසයක් සමඟ අඩි උස පාවහන් හෝ ballerina පාවහන් යුගලක් සමඟ වඩාත් සුදුසුයි.

Patched denim විලාසිතාව ඩෙනිම් කලිසමේ විවිධ ස්වරූප මෙම කාලය තුළ වඩාත් වැඩි අවධානයක් දිනාගෙන ඇති බව ඔබට පෙනෙනූ ඇත. වඩාත් සැහැල්ලු casual පෙනුමක් අවශ්‍ය ඔබට කදිමට ගැළපෙන විලාසිතා වර්ගයක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය. ඩෙනිම් කලිසමේ විවිධ ස්ථානවලට වෙනත් මුද්‍රිත හෝ තනි පැහැති රෙදි වර්ග එකතු කිරීමෙන් මෙම විලාසිතාව සකසාගෙන ඇත. ලේස් වැනි රෙදි වර්ගයකින් මෙම patches එකතු කර ගත් විට එයින් ලැබෙන පෙනුම නම් ඉතා ඉහළයි. මෙහි ඇති සුවිශේෂිත්වය වන්නේ පෙර සඳහන් කළ ripped jeans සහ මෙම patched denim විලාසිතාවන් ඔබට මිලදී ගැනීමට අත්‍යවශ්‍ය නොවේ. ඔබට අවශ්‍ය ආකාරයට ඔබගේ පැරණි ඩෙනිම් ජින්ස් යුගලක් මෙම විලාසිතාවන්ට අනුව පහසුවෙන් සකසා ගත හැකිය. මෙය ඔබගේ පැරණි ඩෙනිම් කලිසමට නව පෙනුමක් ලබාදෙනවා මෙන්ම විශාල මුදලක්ද ඉතිරි කර දෙනු ඇත.

Paper bag waist විලාසිතාව

හරියටම මෙම කලිසම් විලාසිතාව ඉහළින් ගැට ගසන ලද කඩදාසි බෑගයක් ඔබට සිහි ගන්වනු ඇත. ඉණ ප්‍රදේශයේ අලංකාරව රැලි සහිතව නිම කර ඇති මෙම විලාසිතාව එහි ඇති විශාල බඳ පටිය නිසා වඩාත් කැපී පෙනේ. මෙය ඕනෑම යුවතියක් මොහොතකින් වෙනස් කළ හැකි හැකියාවක් සහිත විලාසිතාවකි. බ්ලවුසය සෑම විටකම යටකර (tucked in) ඇඳීම මඟින් මෙහි අලංකාරය වඩාත් කදිමට පෙනේවි. සාදයකට සහභාගි වන විට මෙන්ම රැකියාවකට යන ඔබට වෘත්තීයමය පෙනුමක් ලබා ගැනීමටත් මෙය වඩාත් සුදුසුයි.

Plaid jeans විලාසිතාව

දුටු පමණින්ම ඉතා විශාල පෙනුමක් ලබා දෙන මෙම කලිසමකුත් ඔබගේ නව විලාසිතා එකතුවට එකතු කර ගන්න. කොටු සහ ඉරි මෝස්තර සහිත මෙම විලාසිතා කලිසම් අළු, බේජ්, නිල්, කලු යන වර්ණවලින් ලබා ගැනීම වඩාත් සුදුසුයි. තනි පැහැති කොලර් සහ අත් යෙදු chiffon බ්ලවුසයක්, plaid විලාසිතාවේ කලිසමක් සහ අඩි උස පාවහන් යුගලක් ඔබේ පෙනුම විශ්ෂ්ට ලෙස වෙනස් කරනු ඇත.

මේ ආකාරයට ඔබට ගැළපෙන විලාසිතා මොනවාදැයි හොඳින් හඳුනාගන්නට හැකි බව අපගේ විශ්වාසයයි. ඉහත සඳහන් කළ කලිසම් වර්ගවලින් කිහිපයක් හෝ 2020 නව විලාසිතා එකතුවට එක්කර ගැනීමට අමතක කරන්න එපා. නව වසරේදී ඔබේ විලාසිතාවල වෙනසක් කර බලන්න.ඔබට සැම විටම එයින් පුදුමාකාර සහ සුන්දර ප්‍රතිඵලයක් ලැබෙනු නිසැකය.

[මුතුහාරි අත්තනායක]

විලාසිතා නිර්මාණ ශිල්පිනී

(විලාසිතා නිර්මාණවේදී ගෞරව උපාධිධාරිනී)

News Order: 
6
මාතෘකා