රබර් වගාව අද ඇත්තේ කොතැනද?

 ඡායාරූපය:

රබර් වගාව අද ඇත්තේ කොතැනද?

1876දී රබර් ඇට එක්දහස් නවසිය දහනවයක් වගා කරමින් මෙරට රබර් කර්මාන්තය ඇරඹි බව අගලවත්ත රබර් පර්යේෂණ ආයතනය සඳහන් කරයි. මෙරට රබර් කර්මාන්තය මුල් කාලීනව කළුතර දිස්ත්‍රික්කයට පමණක් සීමා විය. පසුව අගලවත්ත රබර් පර්යේෂණ ආයතනය පිහිටුවමින් බගවන්තලාව, බලංගොඩ, කහවත්ත, හොරණ ආදී ප්‍රදේශ ගණනාවක රබර් වැවිලි සමාගම් ව්‍යාප්ත විය.

ලෝක වෙළෙඳපොළේ රබර් මිල පහත වැටීමත් සමඟ මෙරට රබර් කර්මාන්තයේද පසුබෑමක් දැකගත හැකිය. කළුතර, රත්නපුර හා කෑගල්ල යන ප්‍රදේශ මෙරට රබර් කර්මාන්තයේ ආරම්භයේ සිටම රබර් වගාවට ප්‍රචලිත විය. එහෙත් එම ප්‍රදේශ තුළ අද අපට දැකගත හැකි වන්නේ රබර් කට්ටි බොහොමයක් පාළු වී ඇති ස්වභාවයකි.

හොරණ රබර්

රබර් වගාවට ප්‍රචලිත හොරණ ප්‍රදේශය තුළ අද වන විට පවතින රබර් වගාවේ තත්ත්වය පිළිබඳව අප විසින් සොයා බලන ලදි. 2016 වර්ෂයේදී සිදු කළ සංගණන වාර්තාවන්ට අනුව හෙක්ටෙයාර විසිනවදහස් අටසිය පනස් දෙකක (29 852) රබර් වගා කර ඇත. එහෙත් අද වන විට මෙම රබර් වගාව ක්‍රමයෙන් පහත වැටෙන බව හඳුනාගත හැකිය. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ හොරණ ශාඛාව භාර රබර් සංවර්ධන නිලධාරී ලෙස කටයුතු කළ මිහිඳු මුදලිගේ මහතා අප වෙත ප්‍රකාශ කර සිටියේ ලෝක වෙළෙඳපොළේ රබර් මිල පහත වැටීම මෙරට රබර් මිල පහත වැටීමට ප්‍රධාන හේතුව වන බවයි. තෙල් මිල අඩුවන විට ස්වභාවික රබර් ආශ්‍රිත නිෂ්පාදකයන් පෙට්‍රෝලියම් වැනි අතුරු ඵල ආශ්‍රිත කෘත්‍රිම රබර් නිෂ්පාදන වෙත යොමු වෙයි. ඒ අනුව ස්වභාවික රබර් සඳහා වන ඉල්ලුම අඩුවීම මත රබර් කර්මාන්තය පහත වැටෙන බව ඒ මහතා පැවසීය.

පළපුරුදු රබර් කිරි කපන්නන් හිඟවීමද රබර් කර්මාන්තය පහත වැටීමට හේතුවක් වනු ඇත. රබර් කිරි කැපීම සඳහා ක්‍රමවත් පුහුණුවක් අවශ්‍ය වෙයි. එහෙත් පුහුණුව ඇති වැඩිහිටි කම්කරුවන් අතළොස්සක් පමණක් ඉතිරිව ඇති අතර තරුණ පරපුර රබර් කර්මාන්තය වෙත සම්බන්ධ නොවීමද මෙරට රබර් කර්මාන්තය පහත වැටීමට හේතුවක් වන බව මුදලිගේ මහතා ප්‍රකාශ කළේය. ඒ බව හොරණ කුඩා උඩුව ප්‍රදේශයේ සහ අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ අප කළ සොයා බැලීම්වලදී මනාව හඳුනාගත හැකි විය. ඒ අතර හොරණ කුඩා උඩුව ප්‍රදේශයේදී හමුවූ එකම රබර් කිරි කපන්නිය අපට පැවසුවේ මෙවැන්නකි.

රබර් කැපීම මදිපුංචිකමක්?

“මම අවුරුදු 14ක ඉඳන් කිරි කපනවා. දැන් මේ පැත්තටම කිරි කපන්න ඉන්නෙ මම විතරයි. කවුරුවත් කැමති නෑ මේ රස්සාව කරන්න. හැමෝම ලොකු ලොකු රස්සාවල් හොයාගෙන යනවා. මේ රස්සාව කරන එක මදිපුංචිකමක් විදියට තමයි ගොඩක් අය හිතන්නේ.”

රබර් කිරි කැපීම පහත් රැකියාවකැයි ජනතාව අතර ඇති මතය තරුණ පරපුර මෙම කර්මාන්තය සඳහා සම්බන්ධ නොවීමට ප්‍රධාන හේතුව වී ඇත. එහි ඇත්තේ තරුණයන්ට නිසි මඟපෙන්වීමක් නොමැති වීමයි. සමාජ සම්මතයට පටහැනි රැකියාවල නිරතවීමට තරුණයන් පෙළඹීම ඔවුහු ලැජ්ජාවක් සේ නොසලකති. එහෙත් රබර් කැපීම ලැජ්ජාවක් මෙන් සලකති.

“රබර් කර්මාන්තය සඳහා රබර් වතු හිමියන් පූර්ණකාලීනව තමන්ගේ කාලය යොදවන්නේ නැහැ. ඒ නිසාම රබර්වලින් ගන්න පුළුවන් උපරිම ලාභය ලබා ගන්නෙත් නැහැ. නියමිත කාලයට රබර් වගාවට පොහොර දැමීම හා කිරි කැපීම ආරම්භ කිරීම තුළින් පූර්ණ ලාභයක් ලබා ගන්න පුළුවන්. ඒත් අද වෙද්දි රබර් කර්මාන්තයට සම්බන්ධ වුණු බොහොමයක් අය සිය අතුරු වෘත්තිය ලෙස පමණක් රබර් වගාව සිදු කරන නිසා මේ වගාවට පූර්ණකාලීන කැපකිරීමක් කිරීමට වැවිලිකරුවන්ට බැරිවෙලා තියෙනවා.”

ස්වභාවික රබර් අත්‍යවශ්‍යද?

මෙලෙස රබර් කර්මාන්තය අගාධයට යමින් පැවතියද එය එසේ නොවිය යුත්තකි. ස්වභාවික රබර්වලින් පමණක් නිෂ්පාදනය කළ හැකි; මිනිසාට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් පවතී. වෛද්‍ය ක්ෂේත්‍රයේදී භාවිත කරන අත් ග්ලවුස්, ශල්‍යකර්ම සඳහා යොදා ගන්නා උපකරණ, බැලුන්, මුඛ ආවරණ ආදියේ අවශ්‍යතාව සමාජයෙහි දිනෙන් දින වැඩිවත්ම ස්වභාවික රබර් ඉල්ලුම වැඩි වනු ඇත. මෙකී නිෂ්පාදනයන් සඳහා කිසිසේත්ම කෘත්‍රිම රබර් භාවිත කළ නොහැකිය. එබැවින් එකී අවශ්‍යතාවන් සපුරා ගැනීමට මෙම රබර් වගාව යහපත් ආකාරයට පවත්වාගෙන යෑම සිදු කළ යුතුව ඇත.

මෙරට රබර් කර්මාන්තය විධිමත්ව පවත්වාගෙන යෑම සඳහා රජය විසින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරයි. දීර්ඝකාලීනව පවතින අධික වර්ෂාපතනය රබර් වගාව පවත්වාගෙන යෑමට බාධාවක් වන නිසාවෙන් රබර් ගස සඳහා වැසි ආවරණයක් හඳුන්වාදීමට මෙරට රබර් වගාවට සම්බන්ධ බලධාරීන් කටයුතු කරන ලදි. ඉටි කොළයට රබර් ගස තැම්බෙනවා යැයි වතු හිමියන් පැවසීම හේතුවෙන් එය අසාර්ථක විය. එහෙත් රබර් වගාව සම්බන්ධව දීර්ඝකාලීන අත්දැකීම් ඇත්තවුන් අප හා ප්‍රකාශ කළේ වැසි ආවරණය යෝග්‍ය වන බවයි.

අක්කර පනහකට අඩු සෑම රබර් වත්තක්ම කුඩා රබර් වගාවක් ලෙස රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව පිළිගන්නා අතර ඒ සෑම වගාවක් සඳහාම ක්‍රම කිහිපයක් ඔස්සේ ආධාර ලබා දීමද ප්‍රාදේශීය රබර් සංවර්ධන කොට්ඨාස හරහා ක්‍රියාත්මක කරයි. එය කුඩා රබර් වතුකරුවන් සඳහා වන යහපත් වරප්‍රසාදයකි. මෙලෙස රබර් වගාව වැඩි දියුණු කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙනු ඇත. තවද ඒ ඒ ප්‍රදේශවල රබර් සංවර්ධන කාර්යාල හරහා වගාකරුවන් සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමක්ද ක්‍රියාත්මක වේ. රබර් වගාව සඳහා වන පොහොර සහනාධාර ලබා දීමටද මෙරට බලධාරීන් කටයුතු කරනු ඇත.

මුදල ප්‍රමාණවත් නෑ

මෙම රබර් වගාව අගාධයට යා නොදී ගුණාත්මක අයුරින් පවත්වාගෙන යෑම මෙරට රබර්වතු හිමියන්ගේ වගකීමක් වනු ඇත. අද වන විට දුන් ශීට් කිලෝවක මිල රු. 220ක් පමණ වන බව රබර් කර්මාන්තයේ නිරත අය සඳහන් කරති. ඔවුන් සියලු දෙනාම පවසන්නේ මේ මුදල ප්‍රමාණවත් නොවන බවයි. මෙම මිල තීරණය වීම සඳහා ලෝක වෙළෙඳපොළ රබර් මිල බලපායි. එහි රබර් මිල උච්චාවචනය වීමත් සමඟ ලංකාවේ රබර් මිලෙහි වෙනස්කම් සිදු වනු ඇත. රබර් මිල අද වන විට මෙසේ පැවතියද රබර් කර්මාන්තය පිළිබඳව දීර්ඝකාලීන අත්දැකීම් ඇත්තවුන් පවසන්නේ මිල ප්‍රමාණවත් ලෙස ඉහළ යෑමක් තව නොබෝ දිනකින් සිදු වන බවයි. එහෙයින් රබර් ගලවා තේ වැනි වෙනත් බෝග වගා කිරීම වැවිලිකරුවන් සිදු කරන අදූරදර්ශී ක්‍රියාවක් බවත් ඔවුහු සඳහන් කරති.

අගාධයට යන රබර් කර්මාන්තය නඟා සිටුවීම මෙරට රබර් වැවිලිකරුවන්ගේ වගකීමකි. ඒ සඳහා උත්සාහවන්ත වීම හා රජයෙන් ලැබෙන සහාය උපරිමයෙන් ලබා ගැනීමටද වැවිලිකරුවන් කටයුතු කළ යුතුය.

කමල් සෙනවිරත්න

News Order: 
13
මාතෘකා