වාණිජ නගරයක් ඉකිබිඳින හැටි

 ඡායාරූපය:

වාණිජ නගරයක් ඉකිබිඳින හැටි

තඹුත්තේගම යනු මහවැලි එච් කලාපයේ ප්‍රමුඛ නගරයයි. එතෙක් කුඩා කඩ වීදියක් ලෙස පැවත ඇති තඹුත්තේගම මහවැලියේ තවත් දායාදයක් ලෙස 1984 වර්ෂයේ දී විවිධ පහසුකම් සහිතව නවීකරණය වී ඇත. මෙබිමෙහි පිහිටි විවිධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසකින් සේවා ලැබීමට ගම්මාන සිය ගණනක ජනී ජනයා දහස් ගණනක් දෛනිකව මෙහි එති; යති. අනුරාධපුර නගරයෙන් නික්මී කුරුණෑගල නගරය දක්වා යන අතරවාරයේ හමුවන ප්‍රමුඛ සහ කාර්යබහුලම නගරයද වන්නේ තඹුත්තේගමයි.

එහෙත් අද වන විට මෙහි ඇති පොදු සම්පත් කිහිපයක්ම නිසි නඩත්තුවක් නොවීමෙන් විවිධ අපහසුතා රැසකට මුහුණ දී ඇත.

මෙහි සිට දිනපතා අනුරාධපුරය, කුරුණෑගල මෙන්ම කොළඹ නගරය දක්වා යන බස් රථ සේවා මෙන්ම කැකිරාව, එප්පාවල, තලාව, රාජාංගණය, ගල්නෑව, නොච්චියාගම ආදී තදාසන්න ප්‍රදේශ වෙතද බස් රථ සේවාවන් ක්‍රියාත්මකව පවතී. එහෙයින් දෛනිකව තඹුත්තේගමට යන එන පිරිස කොපමණක්ද යන්න පැහැදිලි කර ගැනීමට එයද සාධකයක්ව පවතින බව නගරවාසීහු පවසති. ප්‍රදේශවාසී එච්.එම්.බී. කරුණානායක මහතා අප සමඟ ඒ පිළිබඳව මෙසේ පැවසුවේය.

“මේක ගොවි ජනපද දෙකකට මැදිවුණු ටවුන් එකක්. එක පැත්තක මහවැලි ගම්මාන. අනිත් පැත්තේ රාජාංගණේ ගොවි ජනපදේ. එහෙම බලනකොට දවසකට ගම්මාන සියයක විතර මිනිස්සු එනවා මේ ටවුන් එකට. ඒත් තාමත් ටවුන් එකේ පහසුකම් හරියට නඩත්තු වෙන්නේ නෑ. සමහර දවස්වලට කුණු ටික හරියට එකතු කරන්නේ නෑ. අයාලේ යන හරක් සහ සුනඛයෝ නගරය පුරා ඉන්නවා. සමහර කානු පිරිලා ඉතිරෙනවා. අනවසර ඉදිකිරීම්වලත් අඩුවක් නෑ. නගරය මේ තරම් අපිරිසුදු වෙලා තියෙනවා අපි දැක්කමයි.”

තඹුත්තේගම නව මහජන පොළ තවමත් වසා දමා ඇති බව නගරවාසීහු පවසති. නව පොළ භුමියේ වෙළෙඳාම් ඉකුත් 2016 වසරේ ජනවාරි 25 වැනිදා ආරම්භ වුවත් එහි වෙළෙඳාම් කටයුතු දින දෙකකට සීමා වූ බව ඔවුහු හෙළිකරති. පොළ භුමියේ ඉදිකිරීම් අවිධිමත් හා අසම්පූර්ණ බවටත්, ව්‍යාපාරිකයන් නොවන පිරිස් විසින් වෙළෙඳ කුටි අල්ලා ගත් බවටත් මතුවූ චෝදනා හේතුවෙන් පොළ පැවැත්වීම පැරණි තැනටම ගෙන යෑමට ප්‍රාදේශීය සභාව කටයුතු කර ඇත. එහෙත් අසම්පූර්ණ ඉදිකිරීම් සම්පූර්ණ කර, වෙළෙඳුන් වෙත නිසි ලෙස වෙළෙඳ කුටි ලබා දී නැවත පොළ අරඹන බවට ප්‍රාදේශීය සභාව ලබා දුන් පොරොන්දුව මෙතෙක් ඉටු වී නැති බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

රුපියල් ලක්ෂ 3,479ක ඇස්තමේන්තුවක් සහිතව ඉදිකිරීම් ඇරඹූ මෙම නව පොළ භූමිය ස්ථිර වෙළෙඳ කුටි, වැසිකිළි කැසිකිළි පහසුකම්, පානීය ජලය, ජලය බැස යන කානු පද්ධතියක්, තාර ඇතිරූ බිමක් ඇතුළුව අංගසම්පූර්ණව ස්ථාපිත කිරීමට යෝජිතව තිබූ බව නගරවාසීහු පවසති. මේ වන විටත් පොළ පවත්වන ආර්ථික මධ්‍යස්ථානයට යාබද භුමියේ ඉදිකර තිබූ වෙළෙඳ කුටි සියල්ලද නව පොළ භුමිය වෙත ගෙන ගොස් සවි කිරීම මඟින් අව්, වැසි හේතුවෙන් හිරිහැරයට ලක්වෙමින් වෙළෙඳාමේ යෙදෙන්නට ව්‍යාපාරිකයන්ට සිදුව තිබේ. කරුණු එසේ වුවද සියල්ලෝ නිහඬව සිටින බව ඔවුහු පවසති. ප්‍රදේශවාසියකු වන එම්. දසනායක මහතා පැවසුවේ මෙවැනි අදහසකි.

“ඇයි මේ ගොඩනැඟිලිවල පොළ පවත්වන්නේ නැත්තේ කියන එක හැමෝටම ප්‍රශ්නයක්. යන්තම් දවස් දෙකක් මෙතැන පොළ පැවැත්වුවා. ඒ මීට අවුරුදු තුනකට විතර කලින්. එදා ඉදන් ලක්ෂ ගාණක් වියදම් කරලා හැදුව ගොඩනැඟිලි දැන් ආයෙත් කැලේ. දැන් අවුරුදු තුනක් තිස්සේ මේ ගොඩනැඟිලි බල්ලන්ට, හරක්ට ඇරලා තියෙන්නේ. ආණ්ඩුව පෙරලෙනකොටම කොන්ත්‍රාත්කාරයෝ කෙරුවේ මෙතැන දාල තිබුණු බෝඩ් එක ගලවපු එක. කාලෙකට කානුවක් දෙකක් පාදනවා. ආයේ පස් ටිකක් ගෙනත් දානවා. වැඩවල ඉවරයක් නෑ. දැන් ආයෙත් සම්පූර්ණයෙන්ම කැලේ. මෙතැන ලක්ෂ 3500කින් මොනවද කෙරුවේ කියලා හිතාගන්න බෑ. තිබුණු මඩු ටිකත් ගලෝගෙන ගිහින් අලුත් තැන සවිකළ හින්දා මඩ වළක තමයි මේ දවස්වල පොළ තියන්නේ. කාටද මේවා කියන්නේ කියලා අපට තේරෙන්නේ නැහැ.”

තඹුත්තේගම නගරය ආශ්‍රිතව ඇති අතුරු මාර්ග බොහෝමයක්ද දෙපයින් හෝ යා නොහැකි තරමින් දැඩි ලෙස අබලන්ව ඇති බව නගරවාසීහු පවසති. වසර ගණනාවකට පෙර අතුරණ ලද තාර පදාස ගැලවී, වලගොඩැලි ඇතිවී, ගල් මුල් මතුවී මගීන්ට හිරිහැර ඇති වුවද මෙතෙක් මෙම මාර්ග ප්‍රතිසංස්කරණය කරදීම කෙරෙහි අවධානය යොමු වී නැති බව නගරවාසීහු පවසති. දුම්රිය ස්ථාන ප්‍රවේශ මාර්ගය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රවේශ මාර්ගය, කලාප අධ්‍යාපන කාර්යාල ප්‍රවේශ මාර්ගය, විදුලිබල මණ්ඩල ප්‍රවේශ මාර්ගය මෙන්ම තඹුත්තේගම නගරයට සහ තදාසන්න ප්‍රදේශයට ජලය සම්පාදනය කරන නල්ලච්චිය වැව් බැම්ම මතින් නගරය තෙක් වැටී ඇති මාර්ගය මෙසේ දැඩි ලෙස අබලන්ව ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. සිය ගණනක් දෛනිකව ප්‍රතිකාර සඳහා පැමිණෙන තඹුත්තේගම මූලික රෝහලේ ප්‍රවේශ මාර්ගයද අබලන්ව දෙපස ඇති කානු ගොඩවී ඇති බවද නගරවාසීහු පවසති. නගරවාසී එල්.එස්.කේ. ලියනගේ මහතා එය පැහැදිලි කළේය.

“දැන් අවුරුදු දහයකට දොළහකට කලින් මට මතකයි මේ පාරවල්වලට එහෙන් මෙහෙන් තාර දැම්මා. එතැනදී ලොකු බොරුවක් කෙරුවේ. වැඩේ හරියට කෙරුණේ නැහැ. ඒකේ විපාක තමයි දැන් හැමෝටම විඳින්න වෙලා තියෙන්නේ. රෑකට එහෙම මේ පාරවල්වලින් යන්න ගියොත් යන ගමනත් එපා වෙනවා. වාහනේකට තියා පයින්වත් යන්න බෑ. ත්‍රීවීල් එකකින් එහෙම ගියොත් කීයක් හරි වැඩියෙන් ගන්නවා. පාරවල්වල තියෙන වලගොඩැලි හින්දම දැන් පාරවල් ගොඩක් පටු වෙලා තියෙන්නේ. වාහන දෙකකට මාරු වෙන්න පුදුම අමාරුවක් තියෙන්නේ. අනිත් එක මේ දවස්වල මේ පාරවල් වතුර වළවල් වෙලා තියෙන්නේ. පායන කාලෙට දූවිල්ල. දැන් වතුර, ඉස්පිරිතාල පාරේ කානු ගොඩවෙලා තියෙන්නේ. වහින කොට තමයි ඒකේ අරුමේ දැනෙන්නේ.” මහවැලි එච් කලාපය ඇතුළු තදාසන්න ප්‍රදේශයේ ගොවිපොළ නිෂ්පාදන දෛනිකව ගෙන එන තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයද පවතින අඩුපාඩු කිහිපයක් හේතුවෙන් පීඩාව පත්ව ඇති බව ව්‍යාපාරික ප්‍රජාව පවසති. ආර්ථික මධ්‍යස්ථානයේ, වෙළෙඳ සංගමයේ හිටපු ලේකම් එස්. ජයසුන්දර මහතා කරුණු පැහැදිලි කරමින් පැවසුයේ දෛනිකව එළවළු, පලතුරු ආදිය රැගෙන එන වාහන ගාල් කිරීමට නිසි පහසුකමක් නොවීම එහි ඇති ප්‍රධානතම ගැටලුවක් බවය.

“නගරයේ දැඩි වාහන තදබදයක් ඇතිවීම මෙහි සුලභ දසුනක් වෙලා තියෙනවා. මිනිස්සුත් දැන් ඒ තදබදයට හුරුවෙලා. ඒ නැතත් එයාලට වෙන කරන්න දෙයක් නැහැ. නගරයට හරි වැට මායිමක් නැහැ. විදුලි බල පද්ධතියෙත් ගැටලු රැසක් තියනවා. ඒ නිසාම නගරයේ බොහෝ තැන් තියෙන්නේ අඳුරේ.” කිසිදු පානීය ජල පහසුකමක් ආර්ථික මධ්‍යස්ථානය තුළ නැති බවද ගොවීහු පවසති. ආර්. ප්‍රේමදාස මහතාගේ වකවානුවේ ඉදිකළ නගරය මැද ඇති හෝරා ස්ථම්භයද නිහඬව ඇත. එය පරෙවි රජදහනකි. නගරය පසෙක ඇති වැවද එකම ජපන් ජබර ගාලකි. වැව පසෙකින් ඉදිකොට ඇති ඇවිදින මංතීරුව දෙපසින් වල්වැදී විවිධ අපද්‍රව්‍ය මුදාහරින තෝතැන්නක් වී ඇති බව ප්‍රදේශවාසියකු වන ඩබ්ලිව්. පියදාස මහතා අප සමඟ පැවසුවේය.

“වැවෙහි අප්‍රමාණව වර්ධනය වෙලා තියෙන හිතකර නොවන ජලජ ශාක මඟින් වැව ගොඩ වෙලා. ඒ නිසා කුඩා වැස්සකදී පවා වැව දොගොඩතලා යනවා. ඒ වගේම නගරයේ කොනක තියෙන මහවැලි ක්‍රීඩාංගණය දැන් බොහෝ කාලෙක ඉඳලා නිසි නඩත්තුවකට ලක් නොවීමේ සාපයට ලක් වෙලා තියෙනවා. මේ වෙද්දි ක්‍රීඩා පිටිය හදිසි අවශ්‍යතා වෙනුවෙන් නගරයේ මිනිස්සු ප්‍රයෝජනයට ගන්නා මෙවලමක් බවට පත්වෙලා තියෙනවා. මිනිස්සු උත්සව, සංදර්ශන ආදියට ක්‍රීඩා පිටිය පාවිච්චි කරනවා. ඒත් සංවර්ධනය කරන්න කිසිම කෙනෙක්ට අවශ්‍ය නැහැ.”

ක්‍රීඩා පිටිය වටා නිසි ලෙස ජලය බැස යෑමේ කානු පද්ධතියක් නැති බවත්, එහි කිසිදු ජල පහසුකමක් නැති බවත් ඔවුහු පවසති. ක්‍රීඩා පිටිය ඉදිකළ මුල් වකවානුවේ සාදා ඇති වැසිකිළි සහ කැසිකිළි පද්ධතියද මේ වන විට මුළුමනින්ම වල්වැදී අභාවයට ගොස් ඇති දසුන හැමගේ කනස්සල්ලට හේතු වී තිබේ. තඹුත්තේගම විචිත්‍රවත්, රමණීය නගරයක් ලෙස පවත්වා ගත යුතු බව ප්‍රදේශවාසී සියල්ලන්ගේම ඉල්ලීම වී ඇත. ඒ කෙරෙහි වගකිව යුතු අවධානය නොපමාව යොමුවනු ඇතැයි යන්න ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත.

තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති ටී. එම්. ඉන්දික මහතා වෙතින් නගරයේ පවතින අඩුපාඩු පිළිබඳව කළ විමසීමකදී පැවසුවේ නව පොළ භුමියේ අනාරක්ෂිත කානුවක් හේතුවෙන් පොළ ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවය. කාණුව ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රාදේශීය සභාව සතු ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවද ඒ මහතා පැවසුවේය. අතුරු මාර්ග සංවර්ධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කොට ඇති බවත් ඉන්දික මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

[තඹුත්තේගම විශේෂ - ඩබ්ලිව්. ප්‍රදීප්]

මාතෘකා