දීඝවාපිය ළඟ මීතොටමුල්ලක්

 ඡායාරූපය:

දීඝවාපිය ළඟ මීතොටමුල්ලක්

ලෝකයේ ඇතැම් රටවලට කසළ යනු සම්පතකි. නමුත් බොහෝ රටවල කසළ යනු මහා වසංගතයකි. සම්පතක් බවට පත්කොට මුදල් උපයන්නට හැකිව තිබූ මීතොටමුල්ල මහා කුණු කන්ද නායගොස් සිදුවූයේ මහා විනාශයකි. අප රටට නිසි කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයක් නොමැත. ජනතාවද බොහෝ දෙනෙකු නිසි ආකාරයෙන් කසළ බැහැර කිරීම සිදු නොකරති. එවන් තත්ත්වයක් යටතේ දිනෙන් දින කසළ පිළිබඳ ඇති වන තත්ත්වය ඉතා බරලතළය. නමුත් නිසි ආකාරයේ අපද්‍රව්‍ය බැහැර කරමින් කුණු කසළ ප්‍රතිචක්‍රීකරණය කරනා රටවලින් අපට උගත හැකි පාඩම් බොහෝය. නමුත් බලධාරීහු ඒ කිසිත් තැකීමක් නොකරති. එනිසා අපට රට වටින් කුණු ගැන ඇඟ හිරිවට්ටන කථා වස්තූන් බොහෝමයක් ඇසේ.

මේ කතාව දීඝවාපී පුදබිමට නුදුරෙන් ගොඩගැහෙන මහා කුණු කන්දක් ගැනය. එය පිහිටා තිබෙන්නේ අම්පාර පල්ලේකාඩු ප්‍රදේශයේය. මෙම කුණු එකතු කරන මධ්‍යස්ථානය අලින් මිය යන සොහොන් බිමක් බවට පත්ව ඇත. මීට මාස කිහිපයකට පෙර කසළ ආහාරයට ගැනීම නිසා වන අලියෙකු දින ගණනක් මෙම කුණු කන්ද ආසන්නයේ පණ අදිමින් මිය ගියේය. මේ ආකාරයෙන් මෙම ස්ථානයේ මීට පෙර කසළ ආහාරයට ගැනීම නිසා අලින් හය දෙනෙකු මිය ගිය බවත් තවත් අලින් සිව් දෙනෙකු වනාන්තරයෙදි මියගොස් සිටියදි හමු වු බවත් දීඝවාපිය ප්‍රදේශවාසීන් පවසයි.

අලියාඩිවෙම්බු ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම කසළ රැස් කිරීමේ මධ්‍යස්ථානය වෙත අක්කරපත්තුව, කල්මුනේ, ආලියඩිවෙම්බු, සමන්තුරය, සයින්දමරුදු , නින්දවුර්, ඔළුවිල් ආදී ප්‍රදේශ රැසකින් දිනකට කසළ ටොන් 40කට අධික ප්‍රමාණයක් මෙම ස්ථානයට ගෙනැවිත් දමනු ලබයි.

මීට වසර 09කට ඉහතදී යුරෝපා සංගමය මගින් ආරම්භ කරන ලද මෙම කසළ රැස් කිරීමේ මධ්‍යස්ථානයේ වසර 04ක කාලයක් ඉතා හොඳින් කටයුතු සිදු වු අතර ආලියාඩිවෙම්බු ප්‍රාදේශීය සභාව මගින් මෙම ස්ථානය බාර ගැනීමෙන් පසුව නිසි ආකාරයෙන් කටයුතු සිදු නොවන බව ප්‍රදේශවාසීහු පවසති. අක්කර 35ක භූමියක කසළ, මෙම කසළ රැස් කරන මධ්‍යස්ථානයේ අක්කර 06ක භුමියක මේ වන විට දැමීම සිදු කරගෙන යනු ලබයි.

මෙම ස්ථානය වට කොට විදුලි වැටක් ඉදිකර තිබුණද මේ වන විට එය අක්‍රිීය වීම නිසා වන අලින් විශාල පිරිසක් සෑම දිනකම පාහේ මෙම ස්ථානයට පැමිණ කසළ ආහාරයට ගනී. මෙම කසළ කන්දෙන් බැස යන වතුර ඒ ආසන්නයේ විශාල ටැංකි කිහිපයකට එකතු වෙන අතර දැඩි සේ අපවිත්‍රව ඇති එම වතුර බීමෙන් වන සතුන් මිය යන බවද ප්‍රදේශවාසීහු පවසා සිටිති.

මේ පිළිබඳව දීඝාවපිය රාජමහා විහාරාධිපති මහඔය සෝභිත හිමියෝ මෙසේ පැවසූහ.

"මේ කසළ රැස් කිරීමේ මධ්‍යස්ථානය හදලා තියෙන්නේ දීඝවාපිය රාජමහා විහාරයට මඳක් දුරින් පල්ලේකඩු පුරාවිද්‍යා භූමියට යාබද ඉඩමේ. මෙම කසළ රැස් කිරීමේ මධ්‍යස්ථානය හදන අවස්ථාවේදී ඉපැරණි පුරාවිද්‍යා ස්මාරකයන් රැසක් හමුවෙලා තියෙනවා. ඒවා එහෙමම යට කරලා තමයි මෙම ස්ථානයේ කසළ රැස් කරන මධ්‍යස්ථානය ගොඩනඟලා තියෙන්නේ. මේ වන විට මෙම ස්ථානයේ කුණු කාලා, කුණු වතුර බීලා අලින්, සිය ගණන් ගවයින් සහ වන සතුන් මිය ගිහින් තියෙනවා. පන්සල් ඉඩම පුරාවටම අලි වසුරුවල තියෙන්නේ පොලිතින්, බියර් ටින් වගේ ප්ලාස්ටික් කැබලි ඇතුළු විවිධ අපද්‍රව්‍ය. මෙම ස්ථානය වට කරලා විදුලි වැටක් ගහලා තියෙනවා නම් වන සතුන්ට කුණු කන්න මෙතෙන්ට එන්න බැරි වෙනවා. මෙතන කුණු කිසිම වර්ගිකරණයක් කරන්නේ නැතිව නිකන් එක ගොඩට තමයි ගොඩගහන්නේ. ඒවා මේ අවට ප්‍රදේශවල පවා විසිරිලා තියෙනවා. සමහර අවස්ථාවල මැස්සො බෝ වෙලා අවට ප්‍රදේශවලට ජනතාවට ඉන්න බැරි වෙනවා. මේ කුණු එකතු කරන මධ්‍යස්ථානයට මෙම ස්ථානයේ ඉදි කරන්නේ නැතිව කුණු ගේන ප්‍රදේශ ආසන්නයේ හිස් ඉඩම්වල මෙම කුණු දැමිමට කටයුතු කරන්න පුළුවන්. නමුත් ඒවා එහෙම කළේ නැහැ.

"මෙම කුණු එකතු කිරීමේ මධ්‍යස්ථානය ඉදිකරලා තියෙන්නේ පුරාවස්තු මතින්. ඒ හින්දා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගෙන් මම ඉතා වගකීමෙන් ඉල්ලා සිටිනවා මෙම ස්ථානයේ පුරාවිද්‍යා පර්යේෂණ කැණීමක් කරන්න. අපේ ඉතිහාසය වටිනා තොරතුරු කුණුවලට යටවෙන්න දෙන්න එපා කියලා. ඒ නිසා මෙම ස්ථානයේ මෙම කුණු දැමීම නතර කර වෙනත් ස්ථානයකට ගොස් මේවා ප්‍රතිචක්‍රීකරණය කර නිසි ආකාරයෙන් කටයුතු කරන ලෙස වගකිය යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා. හැමදාම සවස කළුවර වැටෙද්දිම විශාල අලින් පිරිසක් කුණු කන්න එනවා. මෙය හදලා තියෙන්නේ යාලෙන් එන අලි ගල්ඔයට අම්පාර සහ අවට වනාන්තර ප්‍රදේශවලට යන අලි එකතු වෙන ස්ථානයට" යැයි දීඝාවාපිය රාජමහා විහාරාධිපති මහඔය සෝභිත හිමියෝ පවසා සිටියහ.

මේ පිළිබඳව අදහස් දැක්වූ දීඝවාපිය ප්‍රදේශවාසීහු මෙසේ පැවසූහ.

"මෙම ස්ථානයේ විදුලි වැටක් තිබුණත් මේ ආකාරයෙන් සතුන්ට කුණු කන්න ලැබෙන්නේ නැහැ. එහෙම නැති නම් මෙම කුණු දමන ස්ථානය වට කර ශක්තිමත් බැම්මක් ඉදිකරන්නේ නම් මෙම වන සතුන්ට කුණු ආහාරයට ගැනීම නවතා ගන්නට පුළුවන්කම තිබෙනවා. එසේ නැති නම් අලින්ට මෙම ස්ථානයට යෑමට නොහැකි වන සේ අගල් කැපිය යුතු වෙනවා" යැයි දීඝවාපියේ ජනතාව පවසා සිටිති.

පුරාවිද්‍යා භුමියක් මත නිසි ආකාරයෙන් සිදු නොකර මෙම කුණු කන්ද ගොඩනැඟෙමින් තිබේ. තව නොබෝ දිනකින්ම මෙම කුණු කන්ද දීඝාවාපිය දාගැබටත් වඩා නිසැකවම ඉහළ යනු ඇත. වන සතුන්ට මරුබිමක් වූ මෙම කුණු කන්ද නිසි ආකාරයෙන් අපද්‍රව්‍ය වෙන වෙනම එකතු කර ප්‍රතිචකී‍්‍රකරණය කිරීමට දැන් දැන්ම බලධාරීන්ගේ අවධානය යොමු කළ යුතුය.

[සුසන්ත අමරබන්දු]

මාතෘකා