35 වසරක් පුරා නගරය පිරිසුදු කළ ගුරුසාමිට ගමෙන් ලැබුණු උපහාරය

 ඡායාරූපය:

35 වසරක් පුරා නගරය පිරිසුදු කළ ගුරුසාමිට ගමෙන් ලැබුණු උපහාරය

මිනිස්සු ඉපදෙති, මැරෙති. ලෝක ස්වභාවය එය වේ. සමහර අය ජීවත්ව සිටියත් මැරුණ අය සේය. ඇතැම්හු මැරුණත් ජීවත් වන්නා සේය. ජීවත්ව ඉන්නා කාලයේ අගය නොදැනුණ ඇතැම් අයගේ අගය මැරුණාට පසුව දැනේ. ඒ ඔවුන් කළ කී දෑ ඉදිරියට කරගෙන යෑමට නොහැකි වූ විටය.

ඇතැම් සේවාවන්ද එසේමය. ඇතැම් සේවාවන් ඇගයූවත් එම සේවය කරන්නන් අගයන්නේ නැත. සේවය කරන්නන් මතක් වෙන්නේ ඔවුන් එම සේවයෙන් ඉවත් වූ විටය. එසේත් නැතිනම් එයින් විශ්‍රාම ගත් පසුවය. අයියෝ.., අරයා හිටිය නම් මෙහෙම වෙන්නේ නැහැ යනුවෙන් බොහෝ අය කියන කතාද ඉඳහිට අසන්නට ලැබේ.

අම්බලන්ගොඩ නගර සභාවේ සේවය කළ ෂන්මුගම් ගුරුසාමිද එවන් අයෙකි. වසර 35ක් නගර සභාවේ කුණු ට්‍රැක්ටරයේ සේවය කළ ගුරුසාමි 2017 වසරේ විශ්‍රාම ගියේය. ඒ වයස අවුරුදු 60 සම්පූර්ණ වීම නිසාය. ගුරුසාමි සේවය කළ කාලයේ නගරයේ බොහෝ නිවෙස් හිමියන් උදෙන්ම දකින්නේ ගුරුසාමිය. වෙළෙඳසල් හිමියන් දකින්නේද ගුරුසාමිය. ගුරුසාමිගේ දවස පුරා වෙහෙස මහන්සිය නගරයට අලංකාරය කැන්දාගෙන ආවේ යැයි කීවොත් එය නිවැරදිය.

ඇතැම් අවස්ථාවල ගලි බවුසරයේද ගුරුසාමි සේවය කළේය. වෙළෙඳසල් හිමියන්ගේ හා නගරවාසීන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් ගුරුසාමි දිවා රෑ වෙහෙස නොබලා සේවය කළේය. නගර සභාවෙන් වැටුපක් ඔහුට ලැබුණත් ඔහුගේ සේවය වැටුපට සම කළ නොහැකි බව බොහෝ අය කියන්නේ ඒ නිසාය. එයට බොහෝ සෙයින් ඉවහල් වී ඇත්තේ වර්තමාන කම්කරුවන්ය. ජැන්ඩියට ඇඳ පැලඳගත් ඔවුන්ගෙන් සේවය හරිහැටි සිදු නොවන විට ඉබේටම ගුණ වැයෙන්නේ ගුරුසාමිලා වැනි අයගේය. පාසල්වල කම්කරුවන් හා ගුරුවරුන් හඳුනාගන්නට ළමුන්ට නොහැකි බවට වූ පුවතක් පසුගියදා මාධ්‍ය මඟින් හෙළිදරව් විය. පාසල්වල කම්කරුවන් උදෙන්ම පැමිණ ළමුන් ලවා පාසල් භූමිය හා ගොඩනැඟිලි සුද්ධ පවිත්‍ර කරවන බව එම පුවත මඟින් තහවුරු කර තිබුණි. හොඳින් හැඳ පැලද සිටින ඔවුන් ගුරුවරුන් යැයි සිතා ඔවුන්ගේ අණට අනුව සුද්ධ පවිත්‍ර කිරීමේ ක්‍රියාවේ ළමුන් නිරත වන බවද ඒ මඟින් තහවුරු කර තිබුණි. ගුරුසාමිලාගේ සේවය වඩාත් හොඳින් දැනෙන්නේ මේවා අසන දකින විටය. ගුරුසාමි වසර 35ක් කිසිදු වැටුප් රහිත නිවාඩුවක් නොගෙන රාජකාරි කර තිබේ. ඔහු වසරකට ලබාගෙන ඇත්තේද ඉතා අත්‍යවශ්‍ය වූ දින කිහිපයක නිවාඩු පමණි.

ගුරුසාමි පසුගියදා (10) අම්බලන්ගොඩදී ඇගයීමට ලක් විය. ගාල්ල දිස්ත්‍රික් බෞද්ධ සම්මේලනය ඔහුට “දෑ ප්‍රේමී දේශපුත්‍ර” ගෞරව සම්මානය පුද කළේය. ඒ මිහිඳු කුසුම් හරසර ඇගැයුම් සම්මාන උලෙළේදීය. එහිදී ඔහුට ඉතා වටිනා අඹ පැළයක්ද ප්‍රදානය කරන්නට බෞද්ධ සම්මේලනය කටයුතු කර තිබුණි. සම්මාන උලෙළ අම්බලන්ගොඩ කෙරමිණිය ප්‍රජා කේන්ද්‍රයේදී පැවැත්විණ.

සම්මාන උලෙළට ගුරුසාමි පැමිණියේ කුලී ත්‍රිරෝද රථයකිනි. ඔහු සමඟ ඔහුගේ බිරිඳ, දරුවන් හා පවුලේ අයද වූහ. ගුරුසාමි පිළිගැනීමට විශාල පිරිසක් එක්රොක්ව සිටියහ. ඒ අතර අම්බලන්ගොඩ නගර සභාවේ නිලධාරීන්, සේවකයන් මෙන්ම මන්ත්‍රීවරුද වූහ. ගුරුසාමිගෙන් සේවාව ලබාගත් අම්බලන්ගොඩ නගරවාසීන් විශාල පිරිසක්ද ඒ අතර වූහ. ළා නිල් පැහැති කමිසයකින් සැරසී පැමිණි ඔහු පිළිගනු ලැබුවේ ගාල්ල දිස්ත්‍රික් බෞද්ධ සම්මේලනයේ සභාපති දේශප්‍රේමී දේශපුත්‍ර ග්‍රේෂන් කෙරමිණියගේ මහතා විසිනි.

ගුරුසාමි තමන් වෙනුවෙන් මෙවන් උත්සවයක් කෙදිනක හෝ පැවැත්වේවි යැයි සිතුවේ නැත. තමන් යටහත් පහත්ව සේවය කළ අය තමන්ට බුලත්හුරුළු දී, මල්මාලා දමා පිළිගනීවි යැයි සිතුවේ නැත. ගුරුසාමිගේ නෙතට කඳුළු ඉනුවේද ඒ නිසාය. ඒ සතුටු කඳුළුය. “මට දැන් මැරුණත් කමක් නැහැ” ගුරුසාමිට නොදැනුවත්වම කියවිණි. ඒ වන විට ගුරුසාමිගේ මෙන්ම රැස්ව සිටි බොහෝ පිරිසකගේ දෑසින් කඳුළු කැට ටැටෙමින් තිබුණි. ඒ ඔවුන්ටත් හොරාය. ස්වල්ප වේලාවක් උත්සව භූමිය මීයට පිම්බාක් මෙන් නිහඬව තිබුණි. ගුරුසාමි උත්සව සභාව වෙත කැඳවාගෙන යන අලංකාර පෙරහැර ඇරඹුණේ ඉන් අනතුරුවය. පිළිගැනීමේ ගීතයක්ද ගුරුසාමී වෙනුවෙන් ගායනා කිරීමට ගාල්ල දිස්ත්‍රික් බෞද්ධ සම්මේලනය කටයුතු යොදා තිබුණි.

ෂන්මුගම් ගුරුසාමි (61) ජීවත්වන අම්බලන්ගොඩ, කොබෙයිතුඩුව ප්‍රදේශයට පෙරේදා (14) මා ගියේ ඔහුගේ වගතුග තව තවත් සොයන්නටය. අම්බලන්ගොඩ සිට පොල්වත්ත හරහා බටපොළ දක්වා ගමන්ගන්නා බසයෙන් ගොස් කොබෙයිතුඩුව මංසන්ධියට මීටර් 100ක් පමණ පසුපසින් වමට හැරී කන්ද උඩට තිබෙන මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගියපසු ගුරුසාමීගේ නිවස හමුවේ. ඔහු ජීවත් වන්නේ බැවීරියන් සිංහ ගම්මානයේ අංක 20 නිවසේය. සිය බාල පුතු සමඟ එහි ජීවත්වන ඔහු අප එහි යන විටත් කුරුඳු ඉඩමක් සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා ගොස් තිබුණි. ඒ වන විට ඔහුගේ නිවසේ සිටියේ බිරිඳ හා ලේලිය පමණි. බාල පුතා වන ෂන්මුගම් නිල්ටන් (28) උපකාරක පංතියකට ගොස් සිටි තම දරුවා රැගෙන එන්නට ගොස් තිබුණි. නිල්ටන් පැමිණ සුළු මොහොතකින්ම අපගේ කතානායක ගුරුසාමිද නිවසට කැඳවාගෙන ආවේය.

“අපි මුලින් ජීවත් වුණේ බේරුවල ප්‍රදේශයේ. පසුව අම්මා තාත්තා සමඟ අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ වෙරළ තීරයට පැමිණ ජීවත් වුණා. තාත්තා බළපිටිය ප්‍රාදේශීය සභාවේ කම්කරුවෙක් ලෙස සේවය කළා. අම්මාගේත් තාත්තාගේත් නම් මතක නැහැ” යැයි කතාවට මුල පුරමින් ගුරුසාමි අප සමඟ ප්‍රකාශ කළේය. ගුරුසාමිගේ නිවස පිහිටා ඇති ගම්මානයට පිවිසීමට ඇත්තේ විශාල කුරුඳු ඉඩමක් මැදින් වැඩී ඇති පාළු මාර්ගයක් ඔස්සේය. එම පාළු ප්‍රදේශය මීටර් 500කට වඩා දුරින් යුක්තය. එහි ගමන් කිරීම තමන්ට පමණක් නොව, කුඩා ළමුන්ට පවා දැන් හොඳින් හුරු පුරුදුව තිබෙන බව ගුරුසාමි කියයි. නමුත් එහි භයානකකමක්ද නැතුවා නොවේ යැයි අපිට වැටහිනි. රාමන් පාක්කිම් ගුරුසාමිගේ ආදරණීය බිරිඳය. මෙම යුවළට දරුවන් සිව් දෙනෙකි. ඔවුන්ගෙන් තිදෙනකුම සිටින්නේ බැවීරියන් සිංහ ගම්මානයේය. ලොකු පුතා ෂන්මුගම් දිනේෂ්ය. ඔහු 33 හැවිරිදි දරුවන් දෙදෙනකුගේ පියෙකි. මෙම ගම්මානයේ අංක 09 නිවසේ වාසය කරන ඔහු අම්බලන්ගොඩ නගර සභාවේ කම්කරුවකු ලෙස සේවය කරයි. ගුරුසාමිගේ දෙවැනි දරුවා දියණියකි. ෂන්මුගම් රේණුකා (31) වන ඇයද මෙම ගම්මානයේ 17 වැනි නිවසේ වාසය කරයි. ඇයගේ ස්වාමිපුරුෂයාද නගර සභාවේ කම්කරුවෙකි. බාල පුතු ෂන්මුගම් නිල්ටන්ද (28) නගර සභාවේ සේවය කරයි. බාල දියණිය ෂන්මුගම් සුරේඛා (26) විවාහ වී මීගමුවේ පදිංචිව සිටියි. ඇයගේ ස්වාමිපුරුෂයාද මීගමුව නගර සභාවේ සේවය කරයි. ගුරුසාමි මුණුබුරු මිණිබිරියන් හත් දෙනකුගේ සීයා කෙනෙකි.

ගුරුසාමි පාක්කියන් යුවළ හා දරුවන් ඉතා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්නේ සුනාමි ව්‍යසනයක් සමඟයි. සුනාමිය නිසා ඔවුන්ට ඉතිරි වූයේ ඇඳිවත පමණි. ඔවුන් පණ බේරා ගැනීමට දුවගියේ අම්බලන්ගොඩ, දළුක්කන්ද විහාරස්ථානයටය. කන්දේගොඩ විහාරස්ථානයේත් ගොඩහේන පාසලේත් වසර 03කට අධික කාලයක් සිටි ඔවුන්ට බැවීරියන් සිංහ ගම්මානයේ නිවාස ලැබී ඇත්තේ 2007 වසරේය. ගුරුසාමි කිසිදා පාසල් ගොස් නැත. ඔහුට අකුරු කියවන්නට හෝ ලියන්නටද බැරිය. නමුත් දෙමළ භාෂාවත් සිංහල භාෂාවත් චතුර ලෙස කතා කළ හැකිය. රුපියල් 3000කට වඩා අඩු වැටුපට 1982 වසරේදී අම්බලන්ගොඩ නගර සභාවේ කම්කරුවකු ලෙස සේවයට එක්වන ඔහු 2017 අවසාන භාගයේ විශ්‍රාම යන විට රුපියල් 35,000කට අධික වැටුපක් ලබා සිටිමින් සිටි බව කියයි. රුපියල් 18,000ක විශ්‍රාම වැටුපක් ලබන ඔහු අමතර වියදම් සොයා ගැනීම සඳහා අදටද සිය සේවාව ලබා දෙන බව අප සමඟ පැවසුවේය. දරුවන් කුඩා කාලයේදී වැටුප ප්‍රමාණවත් නොවුණත් මේ වන විට දරුවන් සිව් දෙනාම විවාහ වී සිටින නිසා බරපතළ ආර්ථික ගැටලුවක්ද නොමැති බව ඔහු ප්‍රකාශ කළේය. දැන් ඇත්තේ මුණුබුරු මිණිබිරියන්ට යුතුකම් ඉටු කිරීමට බවද ඔහු ප්‍රකාශ කරයි. තමා නැති කාලයක හෝ බිරිඳට විශ්‍රාම වැටුප ලැබෙන නිසා හිතට බයක් නැති බවද ඔහු ප්‍රකාශ කළේය. එම ප්‍රකාශයේ ඇත්තේ ෙළන්ගතු ආදරයම බවද අපිට පසක් විය.

මේ අපූරු පුද්ගලයා සම්බන්ධයෙන් මෙවන් උපහාර උලෙළක් පැවැත්වීම සම්බන්ධයෙන් සියලු දෙනා සිටින්නේ ඉතා පැහැදීමෙන් බව අපට පැහැදිළි විය. ගාල්ල දිස්ත්‍රික් බෞද්ධ සම්මේලනයේ සභාපති ශාස්ත්‍රපති ග්‍රේෂන් කෙරමිණියගේ මහතා එහිදී මෙසේ පැවසීය.

“ෂම්මුගම් ගුරුසාමි මහතා ඉතා අවංකව සිය සේවය කළ අයෙක්. ඔහු විශ්‍රාම ගියාට පස්සේ ඔහුගේ අගය හොඳින් නගර සභාවට දැනෙනවා. නගරවාසීන්ද ඔහු සම්බන්ධයෙන් නිතර කතා කරනවා. විවිධ තරාතිරම්වල අයට අපේ රටේ සම්මාන ලබා දෙනවා. ඔවුන් ඇගයීමටත් ලක් කරනවා. දේශපාලනඥයන් සිය ජීවිතයේ වසර 10, 20, 30 සමරනවා. නමුත් ගුරුසාමිලා වගේ සේවාවන් කළ අය ඇගයීමට ලක්වෙන්නේ නැහැ. ගුරුසාමිලා ඒ සේවාව කරන්නේ නැති නම් අපේ අනිත් අයට ජීවත් වෙන්න පුළුවන්ද? අපි මේ තත්ත්වය තේරුම් ගත යුතුයි. මේ ඇගයීම් උත්සවයේ පරමාර්ථය එයයි.”

උත්සවය අවසානයේ සියලු දෙනාම ගුරුසාමිට සුබ පැතීමටද අමතක නොකළ අතර ඉතා උසස් ගණයේ අඹ පැළයක්ද ඔහුට ප්‍රදානය කළේය. එම අඹ පැළය ඔහු මේ වන විට සිය කුඩා නිවස ඉදිරිපිට රෝපණය කර තිබේ.

අහුන්ගල්ල [ජයකාන්ත ලියනගේ]

News Order: 
8
මාතෘකා