මිහිකතගේ හද ගිනි අවුලන ළැව් ගිනි

 ඡායාරූපය:

මිහිකතගේ හද ගිනි අවුලන ළැව් ගිනි

කවදාවත් නොදැකපු තරම් ලොකුවට ඇමේසන් වනාන්තරයේ ලොකු කොටසක් මේ වසරේදී ගිනි ගත්තා. හැම අවුරුද්දකම වාර්තා වෙන පොඩි පොඩි ළැව් ගිනිවලට සාපේක්ෂව මේ අවුරුද්දේ අගෝස්තුවේ හටගත්ත ඒ ගින්න අති දැවැන්ත එකක් වුණා. ඒ විතරක් නෙවෙයි එයින් ඇතිවූ සමාජ, පාරිසරික විනාශය කියන්න බැරි තරම් අති විශාල එකක් බවටත් පත්වුණා.

ඇමේසන් වනාන්තරයේ ගින්න නිවෙන්න කලින්ම ලෝකයේ දෙවැනියට වැදගත්ම වනාන්තරය වන අප්‍රිකාවේ කොංගෝ වනාන්තරයත් ගිනි ගැනීමට පටන් ගත්තා. ඇමේසන් වනාන්තරයට වඩා වපසරියක් කොංගෝ වනාන්තරයේ ගිනි ගත්තා. ලෝකයේ අවධානය කොංගෝවට එතරම්ම නොලැබුණත් එහිදී ගින්නට හසුවූ වනාන්තර ප්‍රමාණය ඇමේසන් වනාන්තරයේ ගින්නට හසුවූ වනාන්තර ප්‍රමාණයට වඩා විශාලයි.

ඒ ගිනි ගැනීම් එතැනින් අවසන් වුණේ නැහැ. සති කිහිපයක සිට ඔස්ට්‍රේලියාවේ නැඟෙනහිර වෙරළ තීරයේ කැලෑ ගිනි ගැනීමට පටන් ගත්තා. ඔස්ට්‍රේලියානුවන් මිලියන 5ක් ජීවත් වන සිඩ්නි නුවර මිනිස්සුන්ට ඉන්න හිටින්න නැති වෙනකම් දුමකින් ඒ නගරය වැසී ගියා. ලෝකයේ මෙතුවක් කල් පවතින පරිසර රටාවන් වෙනස් වී ඇති බව මිනිස්සු කතා වෙන්නට පටන් ගත්තා.

ඔව්, ළැව් ගිනි ලෝකෙට අලුත් නැහැ. බොහෝ වනාන්තරවල වියළි කාලයට යම් යම් ගිනි ඇති වෙනවා. නමුත් ඒ ගිනි පුරුදු වෙච්චි ආකාරයකට පාලනය වෙනවා. රස්නේ වැඩි වියළි කාලයට මිනිසාගේම යම් යම් ක්‍රියාකාරිත්වයන් නිසා හට ගන්නා මේ ගිනි කලින් මහා විනාශයන් දක්වා පැතිරී ගියේ නැහැ.

කැලෑවල, වනගත තණ භූමිවල උලා කෑමට ගවයන් කැලේට යවන වනාන්තර ආශ්‍රිතව ඉන්න මිනිස්සු එම තණ බිම් වියළි කාලයේදී ගිනි තිබ්බා. ඒ වහිනකොට අලුතින් දලුලා වැඩෙයි කියන අපේක්ෂාවෙන්. ඒ වගේම වන භූමි ආශ්‍රිතව විශාල ප්‍රමාණයේ වගා කරන මිනිස්සු ගස් කපලා ඉඩම් සුද්ද කරලා එම ශාකවල කොටස් එකතු කරලා ගිනි තිබ්බා ඉඩ හදා ගන්න. ඒ අස්සෙම වනාන්තරවල ඉඩම් හොරෙන් අල්ලන මිනිස්සු, ගස්වල කඳන් දැවවලට ජාවාරම් කරන මිනිස්සුත් ඒ අස්සේ ගිනි ගැහැව්වා. මේ ගිනි තැබීම් නිසා ලෝකයේ වනාන්තර ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වුණා. වර්ධනය වන මිනිස් ජනගහනයට සාපේක්ෂව අවශ්‍ය ඉඩම්, දැව හා ස්වභාවික සම්පත් උකහා ගැනීම වෙනුවෙන් ක්‍රම ක්‍රමයෙන් වනාන්තර කැපී විනාශ වී ක්ෂය වී ගියා.

දැන් එහි රතු කට්ට පැන ගොසින්. කාර්මික විප්ලවයෙන් පසුව බොර තෙල් දහනය අධික වීම නිසා සහ වර්ධනය වන මිනිස් ජනගහනය විසින් අධික ලෙස කාබන් පරිසරයට මුදා හැරීම නිසා ගෝලීය උණුසුම ඉහළ ගිහින්. ගෝලීය උණුසුම ඉහළ යෑම කියන්නේ රස්නේ වැඩි වෙන එකනේ. එහි ප්‍රතිඵලයක් විදියට ලෝකයේ වනාන්තරවල ගහකොළවල පවා වියළීමක් සිදු වෙනවා. ගිනි ගන්න නම් රත් වෙන්න ඕනේ. ඒ වගේම රස්නේ නම් වතුර වාෂ්ප වෙලා ගිහින් තෙත ගතියත් අඩු වෙනවා. ඉතින් සාමාන්‍ය වනාන්තරයක ගිනි ගන්න ලේසී තෙත අඩු වියළී ගිය දර වගේ ශාක කොටස් ප්‍රමාණය වැඩියි. ඉතින්, ඒවා ඉක්මනින් ගිනි ගන්නවා, නිවන්න අමාරුයි.

වැසි වනාන්තරයක් වෙච්චි ඇමේසන් ගඟ පටන් ගන්න ඇමේසෝනියාවට, නයිල් ගඟ ,කොංගෝ ගඟ පටන් ගන්න අප්‍රිකාවේ කොංගෝවට විතරක් නෙවෙයි ඔස්ට්‍රේලියාවේ නැඟෙනහිර වෙරළ වනාන්තර කලාපයටත් සිදුවුණේ මෙයයි. වෙන අවුරුදුවල ටික ටික ඇතිවෙලා ඉබේම පාලනය වන ගිනි මේ අවුරුද්දේ පාලනය කර ගන්න බැරි විදියටම පැතිරුණා. ඒවා ලෝකයේ වටිනාම වනාන්තර කලාප නැවත පොළොවට නිරුවත් වන තුරුම පුළුස්සා දැමුවා. ඒවයේ ජීවත් වෙච්චි සතා සිවුපාවෝ මිලියන ගණනක් ඒ වනාන්තරයම සොහොන කරගෙන අළු වෙලා ගියා. ජීවිත බේරගන්න පුළුවන් වුණ සතා සිවුපාවන් පවා සිය වාසස්ථාන අහිමි කරගෙන අනාථ වුණා.

එහෙත් මෙහි ඛේදවාචකය නම්, මේ සියලුම විනාශවලට මූලික වෙච්චි මිනිසා තවමත් එම ගැටලුවට පිළියම් සෙවීම ඉතාමත් මන්දගාමීව සිදු කිරීමයි. මෙම විශාල ලැව් ගිනිවලට හේතුව ගෝලීය උණුසුම ඉහළ යෑම බවත් අනිසි ලෙස වනාන්තර විනාශ කිරීමට මිනිසුන්ට ඉඩ දී නිහඬව සිටීම බවත් එම රටවල නායකයන්ට ලෝකයෙන් චෝදනා එල්ල වුණා. එහෙත් මේ වනතුරුත් ලෝකයේ උණුසුම ඉහළ නංවන කාර්මිකකරණයේ නියමුවන් ඔවුන්ගේ ක්‍රියාවන් නවත්වන්න උත්සාහ කරන්නේ නැහැ. කෙතරම් පැහැදිලි කළත් වනාන්තර රැකීම පිළිබඳව මිනිසුන් දරන්නේ හරිම නිද්‍රාශීලී භාවයක්.

දැනට සිටින ලෝක ජනගහනය නොබෝ කාලයකින් දෙගුණ වීමට නියමිතයි. මෙසේ වැඩිවන මිනිස් ප්‍රජාව මේ ආකාරයෙන් ඉඩම්, ස්වභාවික සම්පත් ආදිය සෙවීමට වනාන්තර විනාශ කිරීම ඉදිරියේදී තව තවත් අධික වීමටත් එලෙසම කාර්මිකකරණය තව තව ප්‍රචලිත වීමටත් තිබෙන හැකියාව අප සියලු දෙනා පරිසරය රැකීමට දරන උත්සාහයට වඩා අතිශයින්ම විශාලයි. එවැනි පරිසරයේ වෙනස්කම් ස්වභාවධර්මයට දරා ගැනීමට නොහැකිව ඇස්පනාපිට විනාශ වනු දකින්නට තරස් අප අවාසනාවන්ත වී ඇත්තේ ඒ නිසයි.

නමුත් දැනට ඇති නිර්ණායකයන් පවසන්නේ ඒ විනාශ වන්නේ ස්වභාවධර්මය පමණක් නොව අප සියල්ලන්ම බවයි. ලෝකයේ දැනට පවතින වනාන්තර ප්‍රමාණය වන සියයට 33ක වන ගහණය ලැව් ගිනි, ඉඩෝර, එළිපෙහෙළි කිරීම්, සත්ත්ව පාලනය ආදිය නිසා අධික වේගයෙන් විනාශව ගොස්, වැසි රටා, සෘතු රටා, සුළං රටා, වෙනස් වී යනවා. ඒ වගේම ගස්වල මල් හට ගන්නා, මී මැස්සන්, කුරුල්ලන් විසින් ස්වභාවිකව ඒවා පරාගනය වන, ප්‍රචාරණය වෙන සියුම් ස්වභාවික නියමයන් බිඳී ගොස් ගෝලීය පරිසර පද්ධතිය ජීවය පවත්වා ගැනීමට නුසුදුසු ස්ථානයක් බවට පත්වෙන බවත් පැවසෙනවා. එවිට මිනිසා තමා විසින්ම කෘත්‍රිමව තනා ගන්නා ලද සීමිත වූ ස්වාභාවික පරිසරයක කොටු වී ජලය, වාතය සහ ආහාරද කෘත්‍රිමව නිපදවාගෙන එහි ජීවත්වන සිරකරුවකු බවට පත්වනු නොඅනුමානයි.

තමාට නොමිලයේ ලැබුණු ජීවයෙන් පිරි මේ ලෝකයේ ජීවය මරා වෙන ලෝකවල ජීවය හා ජලය සොයා අභ්‍යවකාශයේ සැරිසරන ආර්ථික සංස්කෘතික ක්‍රමවේදයන්වල අවසානය ලෝක විනාශයක්ම නොවෙද?

වෛද්‍ය [පැතුම් කර්නර්]

News Order: 
3
මාතෘකා