බඩු මල්ලට බදු ගහන්නේ නැති රටවල්

 ඡායාරූපය:

බඩු මල්ලට බදු ගහන්නේ නැති රටවල්

සටහන [අමිල මහවත්ත]

මිනිස් ජීවිතයට ස්ථිරවම හිමි වන්නේ මරණය සහ බදු ගැසීම” යැයි ඇමෙරිකා එක්සත් ජනපදය ස්ථාපිත කිරීමේ පුරෝගාමියකු වූ බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් පවසා තිබේ. ඕනෑම රාජ්‍යයක ප්‍රධානම ආදායම් මාර්ගය වන්නේ බදුය. ඕනෑම බද්දක් ප්‍රධාන වර්ග දෙකකට වෙන් කළ හැකිය. එනම් ඍජු බදු සහ වක්‍ර බදු ලෙසය. ඍජු බදු යනු කිසියම් ඉපැයීම් ප්‍රභවයකින් ඍජුවම බදු අය කිරීමය (ආදායම් බදු වැනි බදු වර්ග). වක්‍ර බදු යනු කිසියම් ඉපැයීමකින් වක්‍රව බදු අය කිරීමය (එකතු කළ අගය මත වැනි බදු වර්ග).

ශ්‍රී ලංකාවට නව රාජ්‍ය නායකයකු සහ නව කැබිනට් මණ්ඩයක් පත්වීමෙන් අනතුරුව ගනු ලැබූ ප්‍රධාන තීරණයක් වූයේ ප්‍රධාන බදු වර්ග කිහිපයක බදු අනුපාත සංශෝධනය කිරීම සහ බදු කිහිපයක් අහෝසි කිරීමය. මේ අතුරෙන් “එකතු කළ අගය මත බදු (VAT)” අනුපාතය පහත ‍දැමූ අතර “ජාතිය ගොඩනැඟීමේ බද්ද (NBT)” සහ “උපයන විට බද්ද (PAYE)” අහෝසි කිරීමට තීරණය කර තිබේ.

KPMG වෙබ් අඩවිය රටවල් 150ක් යොදාගෙන සකස් කළ නවතම වාර්තාවට අනුව ලෝකය තුළ බදු අය කරන රටවල් මෙන්ම විවිධ වර්ගයේ බදු අය නොකරන රටවල්ද තිබේ. මේ අතුරෙන් සමහර රටවල් රටවැසියාගෙන් වක්‍ර බදු කිසිවක් අය ‍නොකරන අතර තවත් සමහර රටවල් ආදායම් බදු අය නොකරයි. මේ අතර ව්‍යවස්ථාපිත බදු අය නොකරන රටවල්ද වේ. මේ ලිපියෙන් අවධානය යොමු කරනු ලබන්නේ රටක සාමාන්‍ය ජනතාවට වැඩි වශයෙන් දැනෙන භාණ්ඩ හා සේවා මත බදු (වක්‍ර බදු) අය නොකරන රටවල් හා පාලන ඒකක (වෙනත් රාජ්‍යයක් යටතේ පවතින භූමි ප්‍රදේශයන් පාලන ඒකක ලෙස හඳුන්වා තිබේ) පිළිබඳවය. එමෙන්ම ආදායම් බදු සහ ව්‍යවස්ථාපිත බදු අය නොකරන රටවල් හා පාලන ඒකක පිළිබඳ සංක්ෂිප්ත සටහනක්ද මෙහි වේ.

වක්‍ර බදු අය නොකරන රටවල් හා පාලන ඒකක

ලෝකයේ රටවල ආදායම් බද්ද, සංස්ථාපිත බද්ද සහ භාණ්ඩ හා සේවා මත අය කරන බදු යනාදී බදු වර්ග ගණනාවක් දැකගත හැකිය. මේ අතුරෙන් සාමාන්‍ය ජනයාගේ එදිනෙදා ජීවිතයට දැඩි ලෙස බලපෑම් කරන බද්ද වන්නේ වක්‍ර බද්දයි. එයට ප්‍රධාන හේතුව වන්නේ භාණ්ඩ හා සේවා මත වක්‍ර බදු අය කිරීමත් සමඟ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑම හේතුවෙනි. මෙකී වක්‍ර බදු අය කිරීමේදී සාමාන්‍ය ජනතාව එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ හා සේවාවල සිට සෑම අංශයකටම යොදා ගන්නා භාණ්ඩ හා සේවා දක්වා බදු අය කිරීම සිදුවේ. මෙහිදී වක්‍ර බදු ලෙස ලෝකයේ බොහෝ රටවල අය කරනුයේ “එකතු කළ අගය මත බද්ද (වැට්)” සහ “භාණ්ඩ හා සේවා බද්දයි (ජී.එස්.ටී)”. මෙසේ භාණ්ඩ හා සේවා මත සම්පූර්ණයෙන්ම බදු අය‍ නොකරන රටවල් සහ විවිධ සීමාසහිතකම් සහිතව වක්‍ර බදු අය නොකරන රටවල් සහ පාලන ඒකක පිළිබඳව පහත පරිදි විමසිය හැකිය.

01. බර්මියුඩාව

ආදායම් බදු, වක්‍ර බදු සහ සංස්ථාපිත බදු යන බදු වර්ග අය නොකරන පාලන ඒකකයක් වන්නේ බර්මියුඩාවයි. බර්මියුඩාව යනු බ්‍රිතාන්‍යයට අයත් දූපතක් වන අතර උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටා තිබේ‍. වර්ග කිලෝමීටර් 52ක් තරම් කුඩා දූපතක් වන බර්මියුඩාවේ ජනගහනය 71,000කට තරමක් වැඩිය. ලෝකයේ ධනවත්ම පාලන ඒකකයක් වන බර්මියුඩාව ලෝක බැංකු වාර්තාවන්ට අනුව ඒක පුද්ගල දළ ජාතික ආදායමෙන් ලෝකයේ දෙවැනි ස්ථානය හිමි කරගෙන තිබේ. එහි ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් 1,06,140ක් වන අතර එහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින් කෝටි දෙකකට ආසන්නය. මෙය වඩාත් හොඳින් අවබෝධ කරගැනීම සඳහා එය ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම සමඟ සංසන්දනය කළ යුතුය. 2018 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම රුපියල් ලක්ෂ හයහමාරකට ආසන්නය. ඒක පුද්ගල දළ ජාතික ආදායම ගණනය කරනුයේ අදාළ පාලන ඒකකයේ වාර්ෂික දළ ජාතික ආදායම එකී පාලන ඒකකයේ මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් බෙදීමෙනි. එයින් සරලවම අදහස් වන්නේ කිසියම් පාලන ඒකකයක ජීවත්වන එක් පුද්ගලයකුට වසරක් තුළ හිමි වන ආදායමය (මෙය සෑම පුද්ගලයකුටම එක හා සමානව සැබෑ ලෙසම හිමි වන ආදායම් ප්‍රමාණයක් නොව ආර්ථික තත්ත්වය සහ ජීවන තත්ත්වය මැන බැලීම සඳහා යොදා ගන්නා ප්‍රධාන මිනුමකි).

බර්මියුඩාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකමින් සියයට 85කට වැඩි ප්‍රතිශතයකට දායකත්වය දක්වනුයේ ජාත්‍යන්තර වෙළෙඳාම හා බැඳුණු මූල්‍ය සහ රක්ෂණ සේවාවන්ය. එහි දළ දේශීය නිෂ්පාදිතයට සියයට 05ක් තරම් කුඩා දායකත්වයක් දක්වනුයේ සංචාරක ව්‍යාපාරය වන නමුත් එරට සේවා නියුක්තිකයන්ගෙන් වැඩි පිරිසක් නිරත වන්නේ සංචාරක ව්‍යාපාරයේය‍. එහි භූමිය කුඩා වීම හේතුවෙන් කෘෂිකර්මාන්තයේ සහ කාර්මික ක්ෂේත්‍රයේ යෙදීමට ඇති හැකියාව අවම වන අතර බර්මියුඩා ආර්ථිකය සියයට 90කට වඩා ආදායම් උත්පාදනය කරනුයේ සේවා සැපයීමෙනි. එමෙන්ම බර්මියුඩාවට අවශ්‍ය සෑම භාණ්ඩයක්ම විදේශ රටවලින් ගෙන්වීමද (ආනයනය) සිදු කෙරේ. එමෙන්ම බර්මියුඩාව සෑම අවස්ථාවකදීම විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අවධානය යොමු කරන පාලන ඒකකයකි.

02. කේමන් දූපත්

දේශීය භාණ්ඩ හා සේවා මත කිසිදු බද්දක් අය නොකරන සහ ආදායම් බදු මෙන්ම සංස්ථාපිත බදුද අය ‍නොකරන තවත් පාලන ඒකකයක් වන්නේ කේමන් දූපත්ය. බ්‍රිතාන්‍යයට අයත් පාලන ඒකකයක් වන කේමන් දූපත්හි විශාලත්වය වර්ග කිලෝමීටර් 264ක් වන අතර ජනගහනය 64,000කට තරමක් වැඩිය. භාණ්ඩ හා සේවා සඳහා එකතු කළ අගය මත බද්ද හෝ භාණ්ඩ හා සේවා බද්ද අය නොකරන කේමන් දූපත් විදේශ රටවලින් ගෙන්වන බොහෝ භාණ්ඩවලින් ආනයන ගාස්තු අය කරයි. එසේ අය කරන ආනයන ගාස්තුවල අනුපාතයන් තීරණය වන්නේ ආනයනය කරනු ලබන භාණ්ඩ අනුවය.

කේමන් දූපත්හි 65,000කට වැඩි සමාගම් ප්‍රමාණයක් ලියාපදිංචි කර තිබේ. මෙහි දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 70කට වඩාද විදේශ මුදල් ඉපැයීම්වලින් සියයට 75කට වඩාද උපයනු ලබන්නේ සංචාරක කර්මාන්තයෙනි. තවද මෙහි ආදායම් උත්පාදනය සඳහා සියයට 90කට වඩා දායකත්වය දක්වන්නේ සේවා සැපයීමය. කෙසේ නමුත් කේමන් දූපත්වලට අවශ්‍ය ආහාර සහ පාරිභෝගික භාණ්ඩවලින් සියයට 90ක්ම ආනයනය කරනු ලැබේ.

03. කටාර්

ලෝක බැංකු වාර්තාවන්ට අනුව කටාර් රාජ්‍යය ඒක පුද්ගල දළ ජාතික ආදායමෙන් ලෝකයේ 11 වැනි ස්ථානය හිමි කරගෙන තිබේ. එරට ඒකපුද්ගල දළ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් 61,190ක් වන අතර ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම රුපියල් කෝටියකට වඩා තරමක් වැඩිය.

කටාර් රාජ්‍යයද භාණ්ඩ හා සේවා මත වක්‍ර බදු අය නොකරන නමුත් ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ එකඟතා අනුව යමින් රේගු ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක නිරත වේ. මේ අනුව කටාර් රාජ්‍යය එරටට ආනයනය කරනු ලබන බොහෝ භාණ්ඩවලට සියයට 05ක රේගු ගාස්තුවක් අය කරනු ලැබේ.

කටාර් රාජ්‍යයේ ප්‍රධානම ආදායම් මාර්ගය වන්නේ ඛනිජ තෙල් සහ ස්වාභාවික ගෑස්ය. කටාර් රාජ්‍යය වර්ග කිලෝමීටර් 11,581ක භූමියක පැතිරී ඇති අතර එහි ජනගහණය ලක්ෂ 26කට තරමක් වැඩිය. ලෝකයේ ආදායම් බදු අය නොකරන රටවලින් එක් රටක් වන්නේද කටාර් රාජ්‍යයයි.

04. කුවේට්

කුවේට් රාජ්‍යය ලෝක බැංකු වාර්තාවලට අනුව ඒක පුද්ගල දළ ජාතික ආදායමෙන් ‍ලෝකයේ 31වැනි ස්ථානය හිමි කරගෙන තිබේ. එරට ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් 33,690කි. එහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින් ලක්ෂ 60කි.

භාණ්ඩ හා සේවා මත වක්‍ර බදු පැනවීමක් කුවේට් රාජ්‍යයේ සිදු නොවන නමුත් ආනයනය කරනු ලබන භාණ්ඩවලින් සියයට 05ක ‍රේගු ගාස්තුවක් අය කෙරේ. එමෙන්ම කුවේට් රාජ්‍ය ඉදිරි කාලය තුළ භාණ්ඩ හා සේවා සඳහා එකතු කළ අගය මත බද්ද හඳුන්වා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් එකතු කළ අගය මත බද්ද ක්‍රියාවට නැංවීම පිළිබඳව කුවේට් රජය මෙතෙක් නිවේදනය කර නොමැත.

කුවේට් රාජ්‍යය ආදායම් බදු අය නොකරන රටක් වන නමුත් සංස්ථාපිත බදු අය කරනු ලැබේ. කුවේට් රාජ්‍යයේ ප්‍රධාන ආදායම් මාර්ගය ඛනිජ තෙල් අපනයනයයි.

05. හොංකොං

එකතු කළ අගය මත බදු මෙන්ම භාණ්ඩ හා සේවා බදු අය නොකරන තවත් පාලන ඒකකයක් වන්නේ හොං‍කොංය. චීනයේ විශේෂ පාලන ඒකකයක් ලෙස සැලකෙන හොංකොං ඒක පුද්ගල දළ ජාතික ආදායම අනුව ලෝකයේ 18 වැනි ස්ථානය හිමි කරගෙන තිබේ. හොංකොංහි ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් 50,310ක් වන අතර එය වටිනාකමින් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 90කට වඩා තරමක් වැඩිය. එමෙන්ම හොංකොංහි ආර්ථිකයෙන් සියයට 90කට වඩා රඳා පවතින්නේ සේවා සැපයීම මතය.

06. ඕමානය

ඕමානය තුළද මේ වර්ෂයේ පළමු කාර්තු ත්‍රිත්වය තුළ එකතු කළ අගය මත බදු මෙන්ම භාණ්ඩ හා සේවා බදු අය නොකළ අතර ‍වසරේ අවසාන කාර්තුවේදී එකතු කළ අගය මත බද්ද හඳුන්වා දීමේ තීරණයක සිටියේය. කෙ‍සේ නමුත් රොයිටර් පුවත් සේවය වාර්තා කරන ආකාරයට එකතු කළ අගය මත බද්ද අය කිරීමේ කටයුතු 2021 දක්වා කල් දමා ඇති බව පැවසුණද ඕමානයට එකතු කළ අගය මත බද්ද පැනවීම ප්‍රමාද කිරීමට කිසිදු සූදානමක් නොමැති බව එරට මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ඕමානය ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ එකඟතා අනුව මේ ආකාරයේ බද්දක් අය කිරීමට නියමිතය. ඕමානයේ ප්‍රධාන ආදායම් මාර්ග වන්නේ ඛනිජ තෙල් සහ ගෑස් අපනයනයයි.

07. ගර්න්සි

ඉංග්‍රීසි ඕඩයේ පිහිටා ඇති ගර්න්සි දූපත බ්‍රිතාන්‍යයේ ආධිපත්‍යයට යටත් පාලන ඒකකයකි. වර්ග කිලෝමීටර් 65ක භූමියකින් යුත් මෙහි ජනගහනය 63,000කට තරමක් වැඩිය. ගර්න්සි පාලන ඒකකය තුළ කුමන ආකාරයක හෝ වක්‍ර බදු නොමැති අතර සංස්ථාපිත බදුද අය නොකෙරේ.

ගර්න්සි ආර්ථිකයට‍ සියයට 85කට වඩා දායකත්වය දක්වනු ලබන්නේ සේවා සැපයීම වන අතර මෙහි මූල්‍ය සේවා, වෘත්තීමය සේවා, සංචාරක ව්‍යාපාරය යනාදී සේවා වර්ධනය වෙමින් පවතින ක්ෂේත්‍ර ලෙස හඳුනා ගත හැකිය. එමෙන්ම එහි ව්‍යාප්තව තිබූ ගොඩනැඟීම් සහ නිෂ්පාදන කර්මාන්ත, තක්කාලි සහ මල් වගාව යනාදිය ක්‍රමයෙන් අභාවයට යමින් තිබේ.

08. ඇෆ්ගනිස්තානය

එකතු කළ අගය මත බද්ද මෙන්ම භාණ්ඩ හා සේවා බද්ද යනාදී වක්‍ර බදු අය නොකරන එකම දකුණු ආසියානු රාජ්‍යය වන්නේ ඇෆ්ගනිස්තානයයි. කෙසේ නමුත් ඇෆ්ගනිස්තානය ආදායම් බදු සහ සංස්ථාපිත බදු අය කරනු ලැබේ. එරට ආර්ථිකය සියයට 50කට වඩා සේවා සැපයීමෙන්ද සියයට 40කට වඩා කෘෂිකාර්මික සහ කාර්මික ක්ෂේත්‍රයේ ඉපැයීම්වලින්ද රඳා පවතී.

09. ජිබ්රෝල්ටාව

ජිබ්රෝල්ටාව යනු ස්පාඤ්ඤයේ දකුණු වෙරළ තීරයේ පිහිටා ඇති බ්‍රිතාන්‍ය පාලන ඒකකයකි. මෙකී පාලන ඒකකය තුළ එකතු කළ අගය මත බද්ද වැනි වක්‍ර බදු අය නොකරන නමුත් ආදායම් බදු සහ සංස්ථාපිත බදු අය කෙරේ.

ජිබ්රෝල්ටාවේ ආර්ථිකය සියයට සියයක්ම රඳා පවතින්නේ සේවා සැපයීම්වලින් වන අතර මූල්‍ය සේවා සහ සංචාරක ව්‍යාපාරය යනාදිය මේ අතුරෙන් වඩාත් වැදගත් දායකත්වයක් දක්වයි.

10. ලිබියාව

උතුරු අප්‍රිකාවේ පිහිටා ඇති ලිබියාව තුළද එකතු කළ අගය මත බද්ද සහ භාණ්ඩ හා ‍සේවා බද්ද යනාදී වක්‍ර බදු අය නොකෙරේ. කෙ‍සේ නමුත් එරට තුළ සංස්ථාපිත බදු සහ ආදායම් බදු අය කෙරේ. ඛනිජ තෙල් සහ ගෑස් අපනයනයෙන් ලිබියාව සිය වැඩිම ආදායම් උත්පාදනය සිදු කරනු ලැබේ.

11. සිරියාව

ලෝකයේ සරණාගතයන් වැඩිම පිරිසක් වාර්තා වන රාජ්‍යය වන්නේ සිරියාවයි. සිරියාව තුළ එකතු කළ අගය මත බද්ද වැනි වක්‍ර බදු අය නොකෙරේ. නමුත් එර‍ට රජය සංස්ථාපිත බදු සහ ආදායම් බදු අය කරයි. සිරියාවේ ආර්ථිකයට වැඩි දායකත්වයක් දක්වනු ලබන්නේ සේවා සැපයීමය.

12. ඉරාකය

එකතු කළ අගය මත බද්ද මෙන්ම භාණ්ඩ හා ‍සේවා බද්ද වැනි වක්‍ර බදු අය කිරීමක් ඉරාකය තුළ සිදු නොවන අතර ආදායම් බදු සහ සංස්ථාපිත බදු අය කිරීම සිදුවේ. කෙසේ නමුත් 2015 ජනවාරි මාස‍යේ සිට ජංගම දුරකථන සහ අන්තර්ජාල පෙරගෙවුම් කාඩ්පත් යනාදිය සඳහා සියයට 20ක වෙළෙඳ බද්දක්ද ගුවන් ටිකට්පත් සහ ඕනෑම වර්ගයේ වාහන මිලදී ගැනීම් සඳහා සියයට 15ක වෙළෙඳ බද්දක්ද සිගරට් සහ මත්පැන් සඳහා සියයට 300ක (තුන්සියයක) වෙළෙඳ බද්දක්ද අය කිරීමට අවශ්‍ය නීති සම්මත කිරීමට ඉරාක පාර්ලිමේන්තුව කටයුතු කළේය. කෙසේ නමුත් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු අය කිරීමක් ඉරාකය තුළ දක්නට නොමැත. ඛනිජ තෙල් අපනයනය එරට ආර්ථිකයේ ප්‍රධානම ආදායම් උත්පාදන මාර්ගය වන අතර ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානයේ (ඔපෙක්) රටවල් අතර සිව්වැනියට වැඩිම ඛනිජ තෙල් සංචිත ප්‍රමාණයක් පිහිටා ඇති රට වන්නේද ඉරාකයයි.

13. මැකාවු

චීනයේ විශේෂ පරිපාලන ඒකකයක් වන මැකාවු පාලන ඒකකය තුළද එකතු කළ අගය මත බද්ද මෙන්ම භාණ්ඩ හා සේවා බද්ද යනාදී වක්‍ර බදු ක්‍රියාත්මක නොවන නමුත් සංස්ථාපිත බදු සහ ආදායම් බදු අය කරනු ලැබේ. වර්ග කිලෝමීටර් 115ක පමණ භූමි ප්‍රමාණයකින් යුත් මැකාවු පාලන ඒකකයේ ජනගහනය ලක්ෂ 7කට ආසන්නය. මැකාවු ආර්ථිකයේ සියයට 90කට වඩා දායකත්වය දක්වනු ලබන්නේ සේවා සැපයීම්ය.

ලෝක බැංකු වාර්තාවලට අනුව ඒක පුද්ගල දළ ජාතික ආදායමෙන් ලෝකයේ 06 වැනි ස්ථානයට පත්ව ඇත‍්තේ මැකාවු පාලන ඒකකය වන අතර මෙහි ඒකපුද්ගල දළ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් 78,320කි. මෙහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින් එක්කෝටි හතළිස් ලක්ෂයකට තරමක් වැඩිය.

14. ඇමෙරිකා එක්සත් ජනපදය

ඇමෙරිකා එක්සත් ජනපදය එකතු කළ අගය මත බද්ද ජාතික වශයෙන් අය නොකරන නමුත් එහි ප්‍රාන්ත 50න් 45ක්ම සහ යම් පළාත් පාලන ආයතනද ගනුදෙනු මත පදනම් වූ වෙළෙඳ බදු ක්‍රමයක් පවත්වාගෙන යනු ලැබේ. එසේ අය කරනු ලබන බදුවල අනුපාතයන් සියයට 4 සිට සියයට 11 දක්වා පරාසයක ව්‍යාප්ත වී තිබේ. එකතු කළ අගය මත බද්ද වැනි බදු අය කිරීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ඇමෙරිකාව තුළ ක්‍රියාත්මක නොවුණද ආදායම් බදු සහ සංස්ථාපිත බදු අය කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වේ. ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකය තුළද සියයට 80කට වඩා සමන්විත වන්නේ සේවා සැපයීම්ය.

ආදායම් බදු අය නොකරන රටවල් සහ පාලන ඒකක

KPMG නවතම වාර්තාවට අනුව ලෝකයේ රටවල් සහ පාලන ඒකක 150ක් අතුරෙන් ආදායම් බදු අය නොකරන රටවල් සහ පාලන ඒකක 13ක් හඳුනාගත හැකිය. මෙකී රටවල් හා පාලන ඒකක ලැයිස්තුවට “කුවේට්, ඕමානය, කටාර්, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන්, ඈන්ග්විලා, ඇන්ටිගුවා සහ බාබඩෝස්, බහමාස්, බර්මියුඩා, බෲනායි, කේමන් දූපත්, ශාන්ත කිට්ස් සහ නිවිස් දූපත්” අයත් වේ.

ආදායම් බදු අය නොකරන රටවල් සහ පාලන ඒකක අතුරෙන් වැඩි ප්‍රමාණයක් කුඩා දූපත් වන අතර මෙකී දූපත්වල ව්‍යවසායකත්වය ප්‍රවර්ධනයෙහිලා මෙම බදු ක්‍රමවේදය වඩා වැදගත් වේ.

සංස්ථාපිත බදු අය නොකරන රටවල් සහ පාලන ඒකක

සංස්ථාපිත බද්දක් යනු කිසියම් ව්‍යාපාරික ආයතන පද්ධතියකින් එහි ආදායම හෝ ප්‍රාග්ධනය මත නෛතිකව අය කරනු ලබන ඍජු බද්දකි. ලෝකයේ රටවල් 150ක් අතුරෙන් සංස්ථාපිත බදු අය නොකරන රටවල් සහ පාලන ඒකක 10ක්ද හඳුනාගත හැකිය. ලෝකයේ රටවල් 150ක් අතුරෙන් මෙම රටවල් හා පාලන ඒකක 10 සංස්ථාපිත බදු අය නොකරන රටවල් ලෙස වර්ගීකරණය කර තිබේ. මෙකී රටවල් සහ පාලන ඒකක නම් “බහරේනය, ඈන්ග්විලා, බහමාස්, බර්මියුඩා, කේමන් දූපත්, ගර්න්සි, මැනිං දූපත, ජර්සි දූපත, ටර්ක්ස් සහ කෙයිකස් දූපත්, වනවාටු දූපත්” යනාදියයි.

සංස්ථාපිත බදු අය නොකරන රටවල් සහ පාලන ඒකක අතුරෙන්ද වැඩි ප්‍රමාණයක් ඇත්තේ කුඩා දූපත් වන අතර මෙකී දූපත්වලට විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමෙහිලා මෙම බදු ක්‍රමවේදය වඩා වැදගත් වේ.

(මෙම ලිපිය සැකසීම සඳහා Telegraph, Business Insider, Reuters, CIA, KPMG, CNBC, Arabian Business යන වෙබ් අඩවි ඇතුළු අන්තර්ජාල මූලාශ්‍ර ගණනාවක් භාවිත කෙරිණි)

News Order: 
2
මාතෘකා