ආත්මාභිමානය බිඳහෙළන සානුකම්පික උපකාර අවශ්‍ය නැහැ

 ඡායාරූපය:

ආත්මාභිමානය බිඳහෙළන සානුකම්පික උපකාර අවශ්‍ය නැහැ

ආබාධිත වූවන්ගේ ප්‍රවේශ පහසුකම් පිළිබද පර්යේෂක
ජනිත් මහේල

ලෝකය මල් උයනක් වාගේය. ඒ ලෝකය සුන්දර කරන්නේ එක් එක් හැඩයෙන්, වර්ණයෙන් සහ සුවඳින් පිරුණු මිනිස් හදවත්ය. විවිධත්වය තුළින් සුන්දරත්වය ඉපදෙන බව රහසක් නොවේ. එම නිසාම විවිධාකාර මිනිසුන් නිසා ලෝකය හැමදාමත් සුන්දර වේ.

එවැනි සුන්දර මිනිසුන් අතරට එක්වන වාර්ගික සහජීවනය, සමගිය සහ සංහිඳියාවේ විශ්ව සංකේතයක් බඳු අයකු ලෙස නැසී ගිය දකුණු අප්‍රිකානු ජනපති නෙල්සන් මැන්ඩෙලා හැඳින්විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය, මානව ගරුත්වය සහ සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටි ඔහු මානව දුක් වේදනාවන්ට තුඩුදෙන හේතුකාරක අවබෝධ කරගෙන ඒවා ආමන්ත්‍රණය කිරීමට පවා පසුබට නොවීය.

"වෙනත් පුද්ගලයකුගේ සමේ පැහැය, ආගම හෝ සමාජ පසුබිම නිසා ඔහුට වෛර කිරීමට කිසිවකු ඉපදෙන්නේ නැත. මිනිසුන් වෛර කිරීමට ඉගෙන ගත යුතුය. ඔවුන්ට වෛර කිරීමට ඉගෙන ගත හැකි නම්, ඔවුන්ට ආදරය කිරීමටද ඉගැන්විය හැකිය. මන්ද, මිනිස් හදවතට ප්‍රතිවිරුද්ධ වෛරයට වඩා ආදරයට ස්වභාවිකව පැමිණිය හැකිය." මානව ගරුත්වය සහ සමානාත්මතාව පිළිබඳ නෙල්සන් මැන්ඩෙලා පවසා ඇත්තේ එවැනි අදහසකි. පුද්ගලයකු සතු දුබලත්වය නිසා ඔහු සුළුකොට නොතැකිය යුතු බව නෙල්සන් මැන්ඩෙලාවන් නිරන්තරයෙන් පැවසූ අදහසක් විය.

පසුගියදා සැමරූ ආබාධ සහිත පුද්ගලයන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එවැනි අදහසක් ප්‍රකාශ කළේය. ආබාධ සහිත පුද්ගලයන් විසින් මෙරට සංවර්ධනයට ලබාදෙනු ලබන සුවිශේෂී දායකත්වය ගෞරවාන්විතව සහ හෘදයාංගමව සිහිපත් කළ ජනාධිපතිවරයා, ආබාධ සහිත පුද්ගලයන් මුහුණ දෙන අභියෝගයන් ජය ගැනීමට අවශ්‍ය රැකවරණය හා සහයෝගය ලබාදිය යුතු බවද එහිදී සඳහන් කළේය. එමෙන්ම සියලු දෙනාගේම අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන සමාජයක් තුළ රටේ සංවර්ධනය වෙනුවෙන් ආබාධ සහිත පුද්ගලයන්ගේ පූර්ණ සහභාගීත්වය සාක්ෂාත් කරගැනීම සඳහා සියලු පුරවැසියන්ට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කිරීමට ඇති බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය. එය මෙරට ආබාධ සහිත පුද්ගලයන්ට සුබ පුවතක් වනු නිසැකය.

මෙම වසරේ ආබාධ සහිත පුද්ගලයන්ගේ ජාත්‍යන්තර සැමරුම් දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර හඳුන්වා දී ඇති තේමාව වන්නේද “ආබාධ සහිත පුද්ගලයන්ගේ සහභාගීත්වය සහ ඔවුන්ගේ නායකත්වය ප්‍රවර්ධනය කිරීම ඔස්සේ 2030 සංවර්ධන න්‍යාය පත්‍රය මත කටයුතු කිරීම” යන්නයි. මෙය යථාර්ථයක් බවට පත්වීමට නම් ආබාධ සහිත පුද්ගලයන්ගේ කුසලතා වැඩි වශයෙන් සමාජ ප්‍රගමණය වෙනුවෙන් දායක කරගත යුතු අතර ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ මුළු මහත් සමාජයේ ආකල්පමය වෙනසක්ද ඇතිකළ යුතුය.

ජනිත් මහේල ඉත්තපාන යනු එවැනි වෙනසක් කිරීමට දායක වී සිටින 22 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි. ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍යය යහපත් අනාගතයක් කරාගෙන යෑමට උත්සාහ දරන ඔහු මේ වන විට මනෝ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය හදාරමින් සිටී. සිය උපාධි පැවරුම වෙනුවෙන්ජනිත් ඉදිරිපත් කරන පර්යේෂණයේ මාතෘකාව වන්නේ 'ආබාධිත පුද්ගලයන්ට ප්‍රවේශතා පහසුකම ඔවුන්ගේ අනන්‍යතාවට සහ ජීවිතයේ ගුණාත්මකභාවයට බලපාන අයුරු' යන්නයි. ප්‍රවේශ අපහසුකම් නිසා ආබාධිත සහිත පුද්ගලයන් මුහුණ දෙන ගැටලු සහ ඒ තුළින් ඔවුන්ට ඇතිවන කායික, මානසික බලපෑම් සහ ඊට විසඳුම්ද සිය පර්යේෂණය තුළින් ඉස්මතු කරන්නට ජනිත් උත්සාහ දරා තිබේ. උපතින් ඇතිවූ ස්නායු ආබාධයක් නිසා ආබාධිත තත්ත්වයක් සහිතව ජීවත් වන ජනිත්ගේ වෑයම අප අගය කළ යුත්තේ ඔහු වැනි දියුණු සහ නවමු ආකල්ප සහිත තරුණයන්ගෙන් රටේ දියුණුව වෙනුවෙන් ලබාගත හැකි සේවය මිල කළ නොහැකි නිසාය. ආබාධ සහිතව ජීවත්වන පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යයඉහළ නැංවීමට ජනිත් වැනි තරුණයන් ආදර්ශයක් වනු නිසැකය. ජනිත් වෙනුවෙන් අද 'රැස' පිළිසඳර වෙන්වන්නේ ඒ නිසාය.

මනෝ විද්‍යාව හැදෑරීම සඳහා ඔබ යොමු වන්නේ කෙසේද?

මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. පාසල් වියේ සිටම මට අනිත් අයට උදව් කිරීමේ ආශාවක් තිබුණා. පාසලේ තිබූ උපදේශන අංශය ක්‍රියාත්මක වන ආකාරය දුටු විට මටත් ඒ ගැන ආශාවක් ඇතිවුණා. නමුත් මනෝ විද්‍යාව ඉගෙන ගන්නවා කියන අදහසක් ඒ කාලේ තිබුණේ නැහැ. උසස් පෙළට මම පෙනී සිටියේ ජීව විද්‍යා අංශයෙන්. ඉන්පසුව තමයි මම මනෝ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය හැදෑරීමට තීරණය කළේ. උසස් පෙළට ජීව විද්‍යාව විෂය හැදෑරීම මනෝ විද්‍යාව ඉගෙන ගැනීමට මට පහසුවක් වුණා කිව්වොත් නිවැරදියි.

ඔබේ පර්යේෂණය පිළිබඳ වැඩිදුරටත් සඳහන් කරනවා නම්?

ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රවේශ පහසුකම් අහිමි වීම තුළ විශාල ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවෙනවා. උදාහරණයක් විදිහට අපේ රටේ රෝහල් සහ අලුතින් ඉදිවන ගොඩනැඟිලි ඇතුළු සීමිත ස්ථාන කිහිපයක පමණයි මේ වන විට රෝද පුටු භාවිත කරන්නන්ට පහසුකම් සපයා තිබෙන්නේ. ආබාධිත වාහන නැවැත්වීමේ අවසරය (Handicap parking permits) මම දන්නා තරමින් අපේ රටේ නැහැ. නමුත් පිටරටවල එම අවසරය සහ ආබාධිත වූවන් හඳුනා ගැනීමට disable card එකක් තිබෙනවා. ඒ වගේම ඒ පිළිබඳ නීති තිබෙනවා. එයින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වනවා. එය ඉතා හොඳ දෙයක්. මොකද ප්‍රවේශ අපහසුතා නිසා පීඩාවට පත්වන ආබාධ සහිත පුද්ගලයන්ට තම අනන්‍යතාව සහ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගැටලු රාශියක් පැන නඟිනවා. එම නිසාම එවැනි පුද්ගලයන්ගෙන් රටට, සමාජයට ගත හැකි ප්‍රයෝජනය වැළකී යනවා. නමුත් විදේශ රටවල එම තත්ත්වය ඉතා අඩුයි. රෝද පුටු භාවිත කරන අය ඇතුළු ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් වැසිකිළි පහසුකම්, වාහන නැවැත්වීමේ පහසුකම් බොහෝ රටවල සලසා දී තිබෙනවා. එකී කරුණු සියල්ල මම මගේ පර්යේෂණය සඳහා පදනම් කරගත්තා.

ආබාධ සහිත පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ ඔබේ අදහස් මොනවාද?

මම හිතන්නේ සාමාන්‍ය පුද්ගලයන්ට වගේම ආබාධ සහිත පුද්ගලයන්ටත් ස්වාධීනත්වය අත්‍යවශ්‍යයි. එම තත්ත්වය ගොඩනඟා ගැනීම සඳහා ඔවුන්ට උදව් අවශ්‍යයි. නමුත් ඔවුන්ගේ ආත්ම අභිමානය බිඳහෙළන, සානුකම්පිත උපකාර විය යුතු නැහැ. ඒ වගේම ඔවුන්ගේ ආත්ම ශක්තිය දියුණු කළ හැකි ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. අපේ රටේ මානසික සෞඛ්‍ය පිළිබඳ දැන් වැඩිපුර කතාබහට ලක්වනවා. එය හොඳ තත්ත්වයක්. බොහෝ විට පරිසරය සහ ජාන තුළින් පුද්ගලයකුගේ මානසික සෞඛ්‍යයට බලපෑමක් සිදුවෙනවා. මේ සියලු කරුණු ගැන මම මගේ පර්යේෂණය තුළින් විමසුමට ලක්කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා. එය නිසි ලෙස ක්‍රියාත්මක වනවා නම් හොඳයි කියා මම සිතනවා.

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

උපාධිය සම්පූර්ණ කරගැනීමෙන් පසුව මම දිගටම මේ ක්ෂේත්‍රයේ නිතර වීමට අපේක්ෂා කරනවා.

මෙතෙක් පැමිණි ගමනට ඔබට ශක්තියක් වූවන් සිහි කරනවා නම්?

නම් වශයෙන් සඳහන් කරන්න අපහසු විශාල පිරිසක් සිටිනවා. පාසල් අවිධියේදී මම නිසාම ඉහළ තට්ටුවල තිබුණු පංති කාමර බිම් මහලට ගෙන ආව, අමතර පන්ති පහළ මහල්වලට ගෙන ආ ගුරුවරුන්ගේ ආදරය, ආශිර්වාදය ලබන්න මම වාසනාවන්ත වුණා. ඒ වගේම රෝද පුටුව පිටින් මාව ඕන තැනකට ගෙනියන්න සැදී පැහැදී හිටි හොඳ මිතුරන් පිරිසක් මට හිටියා. ඒ නිසා මම පළමු වසරේ සිට උසස් පෙළ ඉගෙනීම අවසන් කරන තෙක් මට ඉගැන්වූ සියලුම ගුරු මහත්ම මහත්මීන්ටත් එදා වගේම අදත් ළඟින් ඉන්න මිතුරු කැලටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ අම්මා, තාත්තා, අක්කා, ඇයගේ සැමියා ඇතුළු මගේ පවුලේ අයට විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතුයි. මගේ මවුපියන් මා වෙනුවෙන් උපරිම කැපකිරීමක් කළා වගේම තවමත් කරමින් සිටිනවා.

ජීවිතය අභියෝගයක් ලෙස ඔබට හැඟෙනවාද?

කුඩා කාලේ සිට සෑහෙන දැනුම් තේරුම් එන වයසට එනතුරු මට මගේ ආබාධිත බව ගැන කිසිම කනගාටුවක් දැනුණේ නැහැ. ඊට හේතුව මගේ පවුලේ අය මට එය දැනෙන්න ඉඩ දුන්නේ නැහැ. මම හිතන්නේ ආබාධ සහිත පුද්ගලයන්ට තමන්ගේ පවුලෙන් ලැබෙන ඒ සහයෝගය ඉතාම වටිනවා.

ආබාධිත බව ගැන දැනෙන්න පටන්ගත්තට පස්සේ මම හිතුවේ සාමාන්‍ය අයට කරන්න බැරි දේවල් කරන්න මම උත්සාහ කළ යුතුයි කියලයි. ඒ වගේම මම මගේ ඉලක්කවලට උපරිම ආකාරයෙන් සපුරා ගත්තා. නමුත් මම කියන්නේ නැහැ මම ප්‍රශ්නවලට මුහුණ දුන්නේ නැහැ කියලා. ඉදිරියේදිත් විවිධ අභියෝග, ප්‍රශ්න පැමිණේවි. නමුත් ඒ දේවල්වලට මුහුණ දීමේ ශක්තිය තිබිය යුතුයි කියා මම විශ්වාස කරනවා.

ආබාධ සහිත පුද්ගලයකු වීම තුළ පසුතැවෙන අයෙකුට ඔබට දිය හැකි පණිවුඩය කුමක්ද?

ආබාධ සහිත හෝ රහිත ඕනෑම පුද්ගලයකුට තමන් පිළිබඳ විශ්වාසයක් තිබීම ඉතාම වැදගත්. මම කියන්නේ ජීවිතේ අසමත් වෙන්න (Fail) බිය විය යුතු නැහැ. ෆේල් වුණත් ජීවිතය එතැනින් අවසන් වෙනනේ නැහැ. යළි යළිත් උත්සාහ කළ යුතුයි. ඒ වගේම සමහර අවස්ථාවලදී ජීවිතයේ අපිට පසුබෑම් එනවා. දරාගන්න බැරි මානසික පීඩනයන්ට මුහුණ දෙනවා. ඒ වගේ අවස්ථාවලදී පවුලේ කෙනෙක් හෝ වෙනත් සමීප විශ්වාසවන්ත අයකු සමඟ ඔබේ ප්‍රශ්නය ගැන කතාබහ කරන්න. එවැනි කතාබහකින් ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් සොයාගත හැකියි. එහෙම නැතිව ජීවිතයෙන් පලා යෑම හෝ පසුබෑමට ලක්වීම අවශ්‍ය නැහැ.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

News Order: 
2
මාතෘකා