කණපිට හැරෙන උසස් අධ්‍යාපනය

 ඡායාරූපය:

කණපිට හැරෙන උසස් අධ්‍යාපනය

පසුගියදා (05) අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරු සහ ආයතන නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැතිකඩ රැසක කඩිනම් වෙනස්කම් කිරීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇත. ඒ අනුව,

* උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ වහාම විශ්වවිද්‍යාලවලට දරුවන් ඇතුළත් කරගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීම

* පුරප්පාඩු ඇති ආයතන සොයා බලා රැකියා විරහිත උපාධිධාරීන් පුහුණුව සමඟින් ඒ සඳහා බඳවා ගැනීම

* රටට සහ ආර්ථිකයට ගැළපෙන පරිදි ශ්‍රම බලකායක් බිහි කිරීම සහ ඊට ඉවහල් වන විෂය නිර්දේශ සකස් කිරීම

* උසස් පෙළ සමත් සියලු දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා ඇති කිරීම

* තොරතුරු තාක්ෂණ විෂයට ප්‍රමුඛත්වයක් ලබාදීම

යන කාරණා පිළිබඳව එහිදී අවධානය යොමු කර ඇත.

එමෙන්ම දැනට ගුරු පුහුණුව සඳහා පවතින විද්‍යාපීඨ සියල්ල විශ්වවිද්‍යාල පීඨ බවට උසස් කරන බව පසුගියදා (05) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. දැනට ගුරු පුහුණුව සඳහා පවතින විද්‍යාපීඨ සියල්ල විශ්වවිද්‍යාල පීඨ බවට උසස් කර ඩිප්ලෝමා ලබාදෙන ක්‍රමවේදය වෙනස් කර, සියලු ගුරුවරු උපාධිධාරී ගුරුවරු බවට පත් කරන දැවැන්ත පරිවර්තන තීන්දුවක් කැබිනට් මණ්ඩලය විසින් ගත් බව එහිදී අමාත්‍යවරයා පැවසීය.

එම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් වත්මන් රජය කරන මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අධ්‍යාපන ක්ෂේත්‍රයේ වියතුන්ගෙන් මත විමසුමක් කිරීමට අප තීරණය කළෙමු.

රටේ සංවර්ධනයට ගත් ඉතා හොඳ පියවරක්

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු පාලන අධ්‍යක්ෂ සමරසිංහ ගුණසේකර

රටක සංවර්ධනය ගැන සැලකිල්ලට ගත්තම ඒ සඳහා අනාගතයට කරන හොඳම සහ විශාලම ආයෝජනය වෙන්න ඕනේ අධ්‍යාපනය. උදාහරණයක් වශයෙන් ඇමරිකාව සහ රුසියාව යන රටවල් දෙකම අභ්‍යාවකාශ තාක්ෂණය අත්හදා බලනකොට ප්‍රාථමික කම්කරු රාජ්‍යයක් වුණු රුසියාව ඇමෙරිකාවට වඩා ඉස්සර වුණා. එහිදී ඇමෙරිකාව තමන්ගේ පසුබෑමට හේතුව අධ්‍යාපනය කියලා වටහාගෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් වෙනසක් ඇති කළා. ඒ නිසා රටක අධ්‍යාපනය ගැන පුළුල් අවධානයක් අවශ්‍යයි. විශේෂයෙන් විධිමත් අධ්‍යාපනය සඳහා රජයක් ලෙස විශාල වශයෙන් ආයෝජනය කළහොත් අනාගතයේදී එහි ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදයේ යම් යම් වෙනස්කම් කිරීම සඳහා රජයක් ලෙස අවධානය යොමු කිරීම ඉතාම හොඳ දෙයක්. ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රජාව ඉතා අඩු සංඛ්‍යාවක් ඉන්නේ. එය තායිලන්තයටත් වඩා අවම ගණනක්. ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රජාව සියයට 6ක් ලෙස දැක්වෙනවා. දැන් විශ්වවිද්‍යාලවලට යන එක තරගයක් කරගෙන තියෙන්නේ. විශ්වවිද්‍යාලය කියන්නේ විශ්වයට පිවිසෙන මාර්ගයක් මිසක් ධාවන පථයක් නෙවෙයි. ඒ වගේම දැන් විශ්වවිද්‍යාලවල පුරුෂ පක්ෂයේ නියෝජනය අවමයි. ඒ නිසා රජය ගෙන ඇති පියවර ඉතා සාධනීයයි කියන්න පුළුවන්. ඒ වගේම නව රජය විසින් විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත් කිරීම ඉතාම හොඳ පියවරක්. ඒ මඟින් සෑම ගුරුවරයෙක්ම උපාධිධාරියකු වෙනවා වගේම උපාධිධාරියෙක් සතු දැනුමක් හැම ගුරුවරයකුම සතුව තියෙනවා. ඉන් නොනැවතී පාසල් අධ්‍යාපනයත් මීට වඩා නිර්මාණශීලී වෙන්න ඕනේ කියලා මම හිතනවා. තාක්ෂණයත් එක්ක ඉදිරියට යන පරපුරක් නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා ගුරුවරු පුහුණු කළ යුතුයි. ඒ වගේම වර්තමාන ගුරු ක්ෂේත්‍රයේ සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුවෙනවා නම් හොඳයි කියලා මම හිතනවා.

ප්‍රමිතීන් සකස් කිරීම කාලීන අවශ්‍යතාවක්

ආචාර්ය ටියුඩර් වීරසිංහ

සමස්තයක් ලෙස ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් නිදහසෙන් පසුව ගැටලු රාශියක් පැවතුණා. විවිධ කාලවල, විවිධ ආණ්ඩු විසින් විවිධ අධ්‍යාපන ප්‍රතිපත්ති අත්හදා බැලුවා. නමුත් ඒ එකකින්වත් ලංකාවේ ජන සමාජයට සරිලන පුද්ගලයන් බිහිකරන්න බැරි වුණා. රටේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අවශ්‍යතාව දිගින් දිගටම තිබුණා. සමහරු පිළිගත්තා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ බටහිර රටවල ඒ සමාජය අනුව නිර්මාණය කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා. ඒවා ලංකාවේ අත්හදා බැලුවාම අසාර්ථක වුණා. මෙතැනින් වෙන් වුණු ක්‍රමවේදයක් අධ්‍යාපනය සඳහා අවශ්‍යයි. රටේ සමාජ අවශ්‍යතා, සංස්කෘතික අවශ්‍යතා, කලාපීය ගෝලීය අවශ්‍යතා සැලකිල්ලට ගෙන මානව ද්‍රව්‍යවල විභවතා ශක්‍යතා සැලකිල්ලට ගෙන රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් කිරීම අවශ්‍යයි. අධ්‍යාපනය ස්මාර්ට් කිරීම, අධ්‍යාපනය අන්තර්ජාලීකරණය කිරීම වගේ සංකල්ප වැරදි මාවත් කියලා මම හිතනවා. ඒවා බැහැර කළ යුතු නැහැ. නමුත් ලංකාවේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා අනුව ඒවා අනුගත කරගනිමින් නිසි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළ යුතුයි. ලංකාවේ උසස් අධ්‍යාපනයට මවුපිය දූදරු උනන්දුව ඉහළයි. නමුත් ඒ සඳහා පහසුකම් වර්ධනය කිරීම හා ප්‍රමිතීන් සකස් කිරීම කාලීන අවශ්‍යතාවක්. මෙහිදී නව රජය ගත් තීරණය නිවැරදියි. උසස් අධ්‍යාපනය සඳහා ප්‍රවේශය කඩිනම් කිරීම, සෑම ශිෂ්‍යයකුටම උසස් අධ්‍යාපන අවස්ථා ඇති කිරීම වගේම ඒ සඳහා ගුරුවරුන් සූදානම් කිරීමේදී විද්‍යාපීඨ විශ්වවිද්‍යාලවල කොටසක් බවට පත් කිරීම ආදිය සාධනීය කාරණා විදිහට මම දකිනවා.

මේවා විධික්‍රමානුකූලව කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

මහාචාර්ය චරිත හේරත්

අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳව ආපසු හැරී බලන විට පේනවා පෙර ආණ්ඩුව ක්‍රියාත්මක කළේ යටිතල පහසුකම් දියුණු කිරීමට පියවර ගැනීම පමණයි කියලා. පාසල්වල ගොඩනැඟිලි සැදීම, ක්‍රීඩා පිටි සැදීම වගේ භෞතික සංවර්ධනයෙන් පමණක් අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කරන්න පුළුවන් කියලා පෙර රජය හිතුවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව විධික්‍රමානුකූලව බලලා රටේ අධ්‍යාපන සංවර්ධනය සඳහා ප්‍රධාන කරුණු තුනක් හඳුන්වා දීලා තියෙනවා. එහි පළමු තැන ගන්නේ විෂය මාලා සංවර්ධනය. දියුණු රටක් බවට පත් වෙන්න නම් අධ්‍යාපන ක්‍රමයේ වෙනස්කම් මෙන්ම විෂයමාලා සංවර්ධනය කළ යුතුයි. ඒ වගේම තමයි එහිදී ගුරු පුහුණුව ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. දරුවන් රටේ සංවර්ධනයට දායකවන පුරවැසියන් බවට පත් කරන්න නම් ඒ සඳහා උත්ප්‍රේරකයන් වන ගුරුවරුන්ට නිසි පුහුණුවක් ලබාදිය යුතුයි. එම නිසා ගුරු පුහුණුව අධ්‍යාපන සංවර්ධනය සඳහා දායක වන දෙවැනි කරුණ ලෙස දක්වන්න පුළුවන්. එහි තෙවැනි කරුණ ලෙස යටිතල පහසුකම් සංවර්ධනය කරමින් අධ්‍යාපනය නවීකරණය කළ යුතුයි කියලා හඳුන්වා දීලා තියෙනවා. රජය මේ තෙවැදෑරුම් සංකල්ප සමඟ තමයි අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් කරන්නේ. අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාලවල පීඨ බවට පත් කර ජාතික අධ්‍යාපන ආයතනයේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වෙමින් නව සංකල්පයන් ඔස්සේ ඉදිරියට යන ගුරු පරපුරක් රට තුළ බිහිවෙන්න නියමිතයි. අධ්‍යාපන විද්‍යා පීඨ විශ්වවිද්‍යාලවල පීඨ බවට පත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් අධ්‍යාපන සංවර්ධනය සඳහා ඉතා හොඳ පාලක කණ්ඩායමක් බිහිවෙලා තියෙනවා. ඒ ඔස්සේ හොඳ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාශියක් රටේ ඇති කර ඒ තුළින් රටේ සංවර්ධනය කරා මෙහෙයවිය හැකි දරු පරපුරක් බිහි කළ හැකියි කියලා මම හිතනවා.

විශේෂඥ අදහස් අනුව ක්‍රියාත්මක විය යුතුයි

මහාචාර්ය ලියනගේ අමරකීර්ති

උසස් පෙළ ප්‍රතිඵල පිටවුණු වහාම විශ්වවිද්‍යාලවලට දරුවන් ඇතුළත් කරගන්න ජනාධිපතිවරයා ගත්තු තීරණය හොඳයි. ඒක කාලීන අවශ්‍යතාවක්. නමුත් අධ්‍යාපන පීඨ විශ්වවිද්‍යාලවල පීඨ බවට පත් කිරීම සම්බන්ධයෙන් ටිකක් දීර්ඝ සාකච්ඡාවක් අවශ්‍යයි කියලා මම හිතනවා. අධ්‍යාපන පීඨ විශ්වවිද්‍යාලවල කොටසක් බවට පත් කරන එක හොඳයි. නමුත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමඟ ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා ගුරු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේද සකස් කළ යුතුයි කියලා මම හිතනවා. විශ්වවිද්‍යාලය කියන්නේ සියලු දැනුම් ක්ෂේත්‍ර ගැන උගන්වන ආයතනයක්. ඒ නිසා ඒ ගැන පුළුල් ක්‍රමවේද සකස් විය යුතුයි. ගුරුවරුන් තමන් උගන්වන විෂයට පමණක් සීමා වීම අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විශාල ගැටලුවක්. 21 වැනි සියවසේ අධ්‍යාපනයට ගැළපෙන, ලෝකයේ දැනුම් පද්ධති ගැන අවබෝධයක් සහිත ගුරුවරුන් නිර්මාණය විය යුතුයි කියලා මම හිතනවා. ඔවුන්ට පළමු වසරේ විශ්වවිද්‍යාලවල ගත කරලා දෙවැනි හා තෙවැනි වසරවල අධ්‍යාපන පීඨවල ගත කිරීම සඳහා ඉඩහසර ලබාදීම වැනි ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා නම් වඩා උචිත වෙයි කියලා හිතනවා. කෙසේ වෙනත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව පවතිනවාට වඩා දීර්ඝ සංවාදයක් අවශ්‍යයි. මේ පියවරවල වරදක් නැහැ. ඒවා සාධනීයයි. නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී කඩිනම් නොවී විශේෂඥ අදහස් අනුව ක්‍රියාත්මක කරනවා නම් වඩාත් හොඳයි.

සෑම දරුවකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීම සාධාරණයි

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු කථිකාචාර්ය ලීලානන්ද වික්‍රමසිංහ

ජනාධිපතිවරයා අධ්‍යාපනය සම්බන්ධයෙන් වගේම උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් සාධනීය වැඩපිළිවෙළක් හඳුන්වා දීලා තියෙනවා. විශේෂයෙන් වර්තමානයේ උසස් පෙළ ප්‍රතිඵල අනුව ලකුණකින් දෙකකින් විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වන දරුවන් බොහෝමයක් ඉන්නවා. A සාමාර්ථ තුනක් ලබාගෙනත් විශ්වවිද්‍යාල වරම් නැති දරුවන් ඉන්නවා. ඔවුන් පවතින අධ්‍යාපන ක්‍රමය තුළ මංමුළා වුණු කොටසක් බවට පත් වෙනවා. ඒ නිසා උසස් පෙළ සමත් සෑම දරුවකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමට ගත් තීරණය ඉතා සාධාරණයි. ඒ වගේම විද්‍යාපීඨ විශ්වවිද්‍යාලවලම කොටසක් බවට පත් කිරීම තුළින් විද්‍යාපීඨ ගුරුවරුන් සහ උපාධිධාරී ගුරුවරුන් එකම තලයකට එනවා. එය විය යුතු හොඳ තත්ත්වයක් හැටියට මම දකිනවා. ඒ සඳහා ගුරුවරුන්ට විෂයමාලා පුළුල් කරලා විශ්වවිද්‍යාල මට්ටමට ගෙන ආ යුතුයි. ඒ වගේම උසස් පෙළ සමත් සියලුම දරුවන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්න නම් ඒ සඳහා පහසුකම් ඇති කරන්න ඕනේ. ඒ සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය වෙන්න විශ්වවිද්‍යාල බිහි කරන්න ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙලා තියෙනවා. රටේ අධ්‍යාපනය නඟා සිටුවනවා කියන්නේ රටේ මානව සම්පත නඟා සිටුවනවා කියන එක. මානව සම්පත නඟා සිටුවනවා කියන්නේ රට භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය වෙනවා කියන එක. එම නිසා මේ පියවර කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි.

ගුරුවරු ගැන විශේෂ අවධානය යොමු කිරීම වැදගත්

හිටපු විෂයමාලා සම්පාදක,

මණ්ඩල සභික, විදුහල්පති

ජේ. එම්. එම්. ජයසුන්දර

නව ජනාධිපතිවරයා අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන තමන්ගේ පුළුල් අවධානය යොමු කරලා තියෙන බව මේ ප්‍රතිසංස්කරණවලින් පෙනෙනවා. එහිදී ජනාධිපතිවරයා ගුරුවරු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත් කිරීම ඉතා කාලෝචිත කාරණාවක් හැටියට මම දකිනවා. විද්‍යාපීඨවල අධ්‍යාපනයත් විශ්වවිද්‍යාල මට්ටමටම පවතින නිසා එම ගුරුවරුන්ට අසාධාරණයක් නොවන පරිදි මේ ගෙන ඇත්තේ ඉතා වැදගත් තීරණයක්. විදේශ රටවල දරුවන් පාසල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනය හදාරනවා; එසේ නැති නම් රැකියාවක් කරනවා. නමුත් ලංකාවෙ අපි දකින්නේ තමන්ගේ තරුණ කාලය වෙනත් ඵල ප්‍රයෝජන නැති දේවල්වලට යොදවන තරුණ පරපුරක්. එම නිසා වෘත්තිය පාඨමාලා තවත් ඇති කර ඒ හරහා උපාධි හෝ ඩිප්ලෝමා ලබාදීලා දැනුමින් පිරුණු දරුවන් බිහි කරන්න ජනාධිපතිවරයා ගත් තීරණ පාදක වෙයි කියලා මම හිතනවා. ගුරු වැටුප් විෂමතා ගැනත් මේ වෙනකොට කතාබහක් ඇති වෙලා තියෙනවා. කාලයක් ඉඳන් මේ විෂමතා සකස් වීමක් දකින්න ලැබෙන්නේ නෑ. එම නිසා ඒ ගැනත් ජනාධිපතිවරයා හා අධ්‍යාපන ඇමතිවරයා අවධානය යොමු කරනවා නම් හොඳයි කියලා මම හිතනවා. ඒ වගේම ගුරුවරුන් අධ්‍යාපන සේවයට බඳවා ගැනීමේ පටිපාටියත් සංශෝධනය කළ යුතුයි. එහි අක්‍රමිකතා රාශියක් පවතිනවා. ජනාධිපතිවරයා මේ ගැනත් අවධානය යොමු කරනවා නම් වඩාත් හොඳයි.

[නිර්මාණී බණ්ඩාරනායක]

News Order: 
2
මාතෘකා